යටත් විජිත සමයෙන් නිදහස් රාජ්‍යයක් කරා | Page 3 | සිළුමිණ

යටත් විජිත සමයෙන් නිදහස් රාජ්‍යයක් කරා

එංගලන්ත රජය එංගලන්තයේ සර්වජන ඡන්දය ක්‍රියාත්මක කොට ඊලඟට එම ක්‍රමය ශ්‍රී ලංක‍ාවේ ක්‍රියාත්මක කිරීමට කල්පනා කළේ මෙරට මධ්‍යම පංතියේ ප්‍ර‍බෝධය සලකා බැලීමෙන් විය හැකිය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1931දී පැවැති අතර තේරුණ මන්ත්‍රීන් කාරක සභා 7 කට බෙදා ඒවායේ සභාපතිවරු අමාත්‍යවරු ලෙස පත් කළහ.

මහනුවර මඟුල්මඩුවේදී 1815 මාර්තු මස 02 දින අත්සන් කරන ලද සිංහල - ඉංග්‍රීසි ගිවිසුමෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ තුන්වෙනි ජෝර්ජ් මහ රජතුමාගේ යටත් විජිතයක් ලෙසට ප්‍රකාශ කරන ලදි. උඩරට රදළවරු සහ ජනතාව ඉංග්‍රීසින්ට ලංකාව බාර කෙළේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසින්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමටයි. එහෙත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අත් අඩංගුවට ගත් ඉංග්‍රීසිහු ශ්‍රී ලංකිකයෙක් යළිත් රජ බවට පත් කිරීමට කටයුතු නොකළහ. උඩරට ගිවිසුමෙන් වසර දෙකක් පමණ ඉක්ම යන විට උඩරට සිංහලයන්ට තමන් රැවටී ඇති බව ‍හොඳින් ම වැට හී ගියේය. මේ නිසා ඉංග්‍රීසි පාලනයෙන් රට මුදා ගැනීමේ ප්‍රථම විමුක්ති අරගලය ඌව වෙල්ලස්සෙන් පැන නැගී රට පුරා පැතිර ගියේය. 1817-18 වන විමුක්ති අරගලය ලෙස හඳුන්වන මෙය ඉතා කෲර ලෙස මැඬ පැවැත්වූ ඉංග්‍රීසිහු අත්තනෝමතික පාලන ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක කිරීම ඇරැඹීය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටත් විජිත අල්ලා ගත්තේ ඒවායේ ධන සම්පත් සූරාගෙන සිය රටට ගෙනයාමටය. එහෙත් ලංකාව යටත් කරගත් මුල් වකවානුවේ ඔවුන් අපේක්ෂා කළ පරිදි ධනස්කන්දයක් එංගලන්තයට ගෙන යාමට නොහැකිවිය. එපමණක් නොව ශ්‍රී ලංකාව පාලනයට බ්‍රිතාන්‍යයෙන් මුදල් වැයකිරීමට සිදුවිය. ලංකාව සම්බන්ධ අයවැය ලේඛනයේ වාර්ෂික හිඟය ක්‍රමයෙන් ඉහළ යාම සිදුවිය. එම නිසා මෙරට සාමාන්‍ය පාලනයත් මුදල් ක්‍රමයත් ගැන සොයා බලා ආණ්ඩුක්‍රම සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 1829 දී සර් විලියම් කෝල්බෲක් සහ මාර්ල්ස් හේ කැමොරෙන්ගේ සාමාජිකත්වයෙන් යුත් කොමිෂන් සභාවක් ලංකාවට එවිය එම කොමිෂම මඟින් රටේ පාලනයට ව්‍යවස්ථාදායක සහ විධායක ලෙසින් පාලන සභා දෙකක් පිහිටුවීමට යෝජනා කළේය.

කොමිසම එසේ යොජනා කළේ 1802 සිට මෙරට පාලනය කළ ආණ්ඩුකාරවරුන්ට පැවති අධික බලතල දැක මවිත වීමෙනි. එසේ වුවත් ව්‍යවස්ථාදායක විධායක පාලන සභා ක්‍රියාත්මක වූ කාලය තුළම ව්‍යවස්ථාදායක සභාවේ ව්‍යුහය අනුව අණ්ඩුකාරවරයාට පාලනය පිළිබඳව ගැනීමට පැවැති බලතල වල අඩුවක් නොවීය. සැර බාල වීම පමණක් සිදුවිය.

1832 දී ක්‍රියාත්මක කළ ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත විය. එම 15 දෙනා නිලධාරීන් 9 කින් හා නිලධාරීන් නොවු 6 දෙනෙකුගෙන් සමන්විත විය. විධායක සභාව නිලධාරින් 6 දෙනෙකුගෙන් යුත්ත විය. එයට නීති ලේකම්, මහ ලේකාම්, මුදල් ලේකම් ඇතුළු නිලධාරීන් ‍6 දෙනෙක් පත්වුහ.

මෙම සභා පිහිටුවීමෙන් පසුවද ලාංකිකයන්ට හිතකර පාලන ක්‍රමයක් ඇති කිරීමට ඉංග්‍රීසිහු අපොහොසත් වූහ. 1848 පමණ වන විට ඉංග්‍රීසි ආණ්ඩුව විවිධ බදු වර්ග පනවමින් ජනතාව පීඩනයට පත් කළහ. ඒ වන විට සිටි ටොරිංටන් ආණ්ඩුකාරවරයා ඇඟ බද්ද, බලු බද්ද, පාර බද්ද, ඔරු බද්ද, තුවක්කු බද්ද ආදී ලෙස බදු පනවමින් රජයේ ආදායම වැඩි කර ගැණිමට උත්සාහ ගත්තේය. මේ නිසා කල කිරීමට පත් උඩරට ජනතාව පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් දෙවන ආයුධ සන්නද්ධ අරගලය ක්‍රියාත්මක කළේය. 1848 මාතලේ කැරැල්ල ලෙස හඳුන්වන මෙම සටන යුද්ධ නීතිය පනවා දරුණු ලෙස මර්දනය කළ ඉංග්‍රීසිහු සිය ගණනක් සිංහලයන් ඝාතනය කළහ. කැරැල්ල පිළිබඳව රජයේ නිලධාරීන් ඉදිරිපිට ශාක්ෂි දීම ප්‍රතික්ෂේප කළ කුඩාපොළ හිමියන් මරා දමන ලදි. ටොරිටෙක් ගේ එම සාහසික ක්‍රියාවලට අග විනිසුරු හා නීති ලේකම් ද විරුද්ධ වූහ. ඔබ්සවර් පත්‍රය ආණ්ඩුකාරවරයා දැඩි ලෙස විවේචනය කළේය. මේ නිසා 1850 දී ටොරිටෙක් ආණ්ඩුකාරවරයා ඉවත් කොට සර් ඇන්ඩන්සර් පත්කරන ලදි.

මෙයින් පසු නිදහස සඳහා සන්නද්ධ අරගල ක්‍රියාත්මක නොවු අතර ව්‍යවස්ථාදායක සභාව තුළ ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුවිය. 1912 දී මැකලන් ප්‍රතිසංස්කරණයත් 1920 දී මැනිං ප්‍රතිසංස්කරණයත් 1924 දී මැනිිං - ඩෙවොන්සයර් ප්‍රතිසංස්කරණයත් සිදු කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කරමින් ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීමට උත්සාහ ගත්හ. 1924 දී මැනිිං ‍ෙඩවොන්සයර් ප්‍රතිසංස්කරණයේදී ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 49 ක් කළ අතර නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව 37 දක්වා වැඩි කරන ලදි. එයින් 29 දෙනෙක් සීමිත ඡන්දයෙන් පත් වුහ.

මෙම ප්‍රතිසංස්කරණ සඳහා හේතු ව්‍රයේ 19 වෙනි සියවස මුල් දසක වලදී බිහි වු මධ්‍යම පංතිය පිරිස් බලයෙන් වැඩි වී දේශපාලනය ගැණ වඩ වඩාත් උනන්දු වීමය ඔවුන් ලද ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා එංගලන්තයේ නිදහස් මත හැදෑරීමට හැකි වූ අතර පවතින රාමුව තුළම වඩ වඩාත් බලතල ලබා ගැණීමට අපේක්ෂා කළහ. එසේම අනගාරික ධර්මපාලතුමා වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා වැනි දේශප්‍රේමිහු ජනතාව තුළ ජාතික චින්තනය ඇති කිරීමට පියවර ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් අදහස් වලින් පෝෂිත වූ ලාංකිකයෝ පාලනය තුළ වඩාත් බලතල ඉල්ලා උද්ඝෝෂණ කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා‍වට සුදුසු පාලන ක්‍රමයක් යෝජනා කරන ලෙස එංගලන්ත රජය ඩොනමෝර් සාමී ප්‍රමුඛ පාර්ලිමේන්තු කොමිසම ලංකාවට එවීය. 1927 දී ලංකාවට පැමිණි එම කොමිසම පුර්ණ වගකීම ඇති ආණ්ඩුක්‍රමයක් ලංකාවට ලබා දීමට තාමත් කාලය පැමිණ නැතැයි සලකා මන්ත්‍රීන් 61 දෙනෙකුගෙන් සමන්විත “රාජ්‍ය මන්ත්‍රණ සභාව” නම් වු මන්ත්‍රි මණ්ඩලයක් ව්‍යවස්ථාදායක කටයුතු සඳහා පිහිටුවීමට යෝජනා කළේය. මේ 61 දෙනාගෙන් තිදෙනෙක් නිල ලත් අයයි. නිල නොදරන 58 දෙනාගෙන් 50 ක් සර්වජන ඡන්දයෙන් තෝරා ගත්හ. එංගලන්ත රජය එංගලන්තයේ සර්වජන ඡන්දය ක්‍රියාත්මක කොට ඊළඟට එම ක්‍රමය ශ්‍රී ලංක‍ාවේ ක්‍රියාත්මක කිරීමට කල්පනා කළේ මෙරට මධ්‍යම පංතියේ ප්‍ර‍බෝධය සලකා බැලීමෙන් විය හැකිය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1931දී පැවැති අතර තේරුණ මන්ත්‍රීන් කාරක සභා 7 කට බෙදා ඒවායේ සභාපතිවරු අමාත්‍යවරු ලෙස පත් කළහ.

මෙම ක්‍රමය ‍යටතේ මුළු පාලන තන්ත්‍රය කොටස් 10 කට බෙදන ලදි. එනම් රාජ්‍ය සේවාව, මුදල්, නීතිය, ස්වදේශ කටයුතු, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය හා ඉඩම් , සෞඛ්‍ය හා ‍පළාත් පාලනය, කම්කරු කටයුතු, කර්මාන්ත හා වාණිජ ව්‍යාපාර, මංමාවත් හා පොදු කර්මාන්ත යන මේවාය. මෙයින් මුල් 3 නිලධාරින් යටතේ තැබු අතර සෙසු කරුණු කාරක සභා 7 ට බෙදන ලදි. මෙතෙක් පැවැති විධායක සභාවේ බලතල විධායක කාරක සභා වලට පැවැරුණි.

1931 දී ප්‍රථම මැතිවරණය පවත්වා සභාව රැස්විය. සභාව කාරක සභා වලට බෙදී අමාත්‍යවරු තෝරා ගත්හ. එහිදි සුළු ජාතිකයන් දෙදෙනෙක් අමාත්‍යධුර වලට පත් වුහ. දෙවන මැතිවරණය පැවැත්වුයේ 1936 දීය එවර අමාත්‍යධුරවලට පත් වුයේ සිංහලයන් පමණි. එබැවින් මෙම ක්‍රමයටද විරුද්ධව සුළු ජාතීන් නැඟී සිටියහ. දෙවන ලෝක සංග්‍රාමය නිසා ඊළඟ මැතිවරණය පැවැත්වීමට නොහැකි විය. 1936 දී පත් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලය දික්කරන ලදි.

1944 දී ශ්‍රී ලංකාවට අභිනව ආණ්ඩු ක්‍රමයක් යෝජනා කරන ලෙස ‍සෝල්බරි ‍කොමිෂන් සභාව ලංකාවට එවීය. ඔව්හු ලංකාවට ඩොමීනියන් ආණ්ඩුක්‍රමයක් ‍යෝජනා කළහ. මේ යටතේ ව්‍යවස්ථාදායක බලතල පාර්ලිමේන්තුවට පැවැරුන අතර විධායක බලතල කැබිනට් මණ්ඩලයට පැවැරුණි. පාර්ලිමේන්තුව ආයතන දෙකකින් සමන්විත විය. මහජන මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලය ලෙසය.

1977 බලයට පත් වූ එත්සත් ජාතික පක්ෂ රජය සම්මත කළ 1978 ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ පනත අනුව ජනාධිපති තනතුර විධායක බලැති තනතුරක් බවට පත් කළ අතර ජාතික රාජ්‍ය සභාව යලිත් වරක් පාර්ලිමේන්තුව බවට පත් කළේය.

විජේරත්න අතුරුපාන

Comments