පළමු වන ශ්‍රේණියේ සිට විධි­මත් ඉංග්‍රීසි | සිළුමිණ

පළමු වන ශ්‍රේණියේ සිට විධි­මත් ඉංග්‍රීසි

පළමු ශ්‍රේණියේ පටන් ඉංග්‍රීසි ඉගැන්වීමේ වාසි බොහෝය. ඒවා අතරින් ප්‍රධානතම වාසිය වන්නේ දැනට ක්‍රියාත්මක ‘ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි’ වැඩසටහන අත්හැරීමට අවකාශ ලැබීමය. මේ වැඩසටහන ඇරඹුණේ ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශයක් මත 1998 සිටය. ඒ, පළමුවන සහ දෙවන ශ්‍රේණිවල විධිමත් ලෙස ඉංග්‍රීසි නූගැන්වීමේ අඩුපාඩුව පිරිමසා ගැනීම සඳහාය. විධිමත් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කළ හොත් ‘ක්‍රියාකාරකම් පාදක වාචික අවිධිමත් ඉංග්‍රීසි’ වැඩසටහන අවශ්‍ය නොවේය යන්න තර්කානුකූල වේ.

ශ්‍රී ලංකාවේ පාසල්හි ඉංග්‍රීසි ඉගැන්වීම වඩාත් ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරමින් පළමුවන සහ දෙවන ශ්‍රේණිවලට යෝග්‍ය විශේෂ ඉංග්‍රීසි පෙළ පොත් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමා වගකිව යුත්තන්ට උපදෙස් දුන් බවද එහි අරමුණ පළමු වන ශ්‍රේණියේ පටන් ම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම බවද අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි 13/10/2017 සඳහන්ය. මෙය ඉතා කාලෝචිත අවශ්‍යතාවකි.

1943 ‍පටන්ම මෙරට ඉංග්‍රීසි ඉගැන්වීම කෙරෙන්නේ තුන්වන ශ්‍රේණිය සිටය. මේ කාර්යය දැනට වර්ෂ 75ක් තිස්සේ සිදු කර බොහෝ අත්දැකීම් ඇත.

දැනට ජාත්‍යන්තර පාසල්හිද පළමු වන ශ්‍රේණියේ සිට එම කටයුත්ත සිදු කෙරේ. වෙනත් විෂයයන් පවා ඒවායේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සිදු වේ. රජයේ පාසල්හි විධිමත් පුහුණුව ලත් ඉංග්‍රීසි ගුරුවරු ප්‍රමාණවත් තරම් සිටිති. විෂය මාලා ද්‍රව්‍ය නිෂ්පාදනයට වෙනම ආයතන ඇත. ශ්‍රී ලංකාවෙහි දැන් පෙර මෙන් නොව, පළමු ශ්‍රේණියේ පටන්ම ඉංග්‍රීසි ඉගෙනීමට යෝග්‍ය පරීසරයක් නිර්මාණය වී ඇත.

ලෝකයේ වෙනත් රටවල ද දෙවන බසක් ඉගැන්වීම පළමු ශ්‍රේණියේ සිටම සිදු කෙරේ.

උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ දෙවන බසක් ලෙස මැන්ඩරීන් (චීන) උගන්වන්නේ පළමු වසරටත් පෙර Prep පන්තියේ පටන්ය.

පළමු ශ්‍රේණියේ පටන් ඉංග්‍රීසි ඉගැන්වීමේ වාසි බොහෝය. ඒවා අතරින් ප්‍රධානතම වාසිය වන්නේ දැනට ක්‍රියාත්මක ‘ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි’ වැඩසටහන අත්හැරීමට අවකාශ ලැබීමය. මේ වැඩසටහන ඇරඹුණේ ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශයක් මත 1998 සිටය. ඒ, පළමුවන සහ දෙවන ශ්‍රේණිවල විධිමත් ලෙස ඉංග්‍රීසි නූගැන්වීමේ අඩුපාඩුව පිරිමසා ගැනීම සඳහාය. විධිමත් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කළ හොත් ‘ක්‍රියාකාරකම් පාදක වාචික අවිධිමත් ඉංග්‍රීසි’ වැඩසටහන අවශ්‍ය නොවේය යන්න තර්කානුකූල වේ.

පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයය සහ අනෙකුත් සියලු විෂයයන් උගන්වන ගුරුතුමිය විසින්ම ඉංග්‍රීසි වචන එහෙන්-මෙහෙන් රිංගවීම මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාව විය.

මේ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීමේ අපේක්ෂාවෙන් පර්යේෂණ කණ්ඩායමක් යොදවන ලදි.

ජාතික අධ්‍යාපන කොමිසම විසින්ම පත් කරන ලද ලෝක බැංකු මූල්‍යාධාර මත කටයුතු කරමින් වැඩසටහනේ ඇති දුර්වලතා ක්ෂේත්‍ර නවයක් යටතේ හෙළි කරන ලැබිණි (R.V. Fernando & Manel Mallawa). ජනාධිපතිතුමා වෙත 2017දී බාර දුන් ජාතික අධ්‍යාපන කොමිසන් වාර්තාව 2016 දක්වන ප්‍රතිචාර මෙසේය:

“ක්‍රි.පා.වා.ඉ. වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වී ඇත. එහෙත් මෙම වැඩසටහන පවත්වාගෙන යාම අවශ්‍ය වේ.” (පිටුව 107) මෙම වැඩසටහන දැනටමත් ගණිතය සමඟ පස්වන ශ්‍රේණිය දක්වා දීර්ඝකර ඇත.

පර්යේෂකයන්ගේ හෙළිදරවු කිරීම ගැනද ලෝක බැංකු ආධාර වැය කිරීම ගැන ද ජා.අ.කො. ගණන් ගන්නේ නැත.

භාෂාවක් ඉගැන්වීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ. වි‍ශේෂයෙන් බහ තෝරන අවස්ථාවේදී ළමයින්ට දෙවන බසක් හෝ විදේශීය බසක් ඉගැන්වීමේදී වඩ‍ාත් පරිස්සම් විය යුතු ය.‍ භාෂාවක් ග්‍රහණය කරන ආකාරය නොදැන කරන මේ ක්‍රියාවෙන් මවුබස ඉගෙනීමට ද බාධා ඇති විය හැකිය.

මවුබසින් කෙරෙන අවබෝධය, ප්‍රකාශනය, චින්තනය නිර්මාණය කථනය සම්බන්ධයෙන්ද ගැටලු ඇති විය හැකිය. ඉංග්‍රීසි වැරදි උච්චාරණයට හුරු වුව හොත් පසුව නිවැරැදි කිරීම දුෂ්කරවේ.

එසේම මේ මඟින් මවුබසක තිබෙන ගුණාත්මක භාවය සහ ශක්තියද පිරිහේ.

එක්තරා විධියකින් Broken Sinhala බවට පත් වේ. දෙවන ශ්‍රේණියට ගණිත ක්‍රියාකාරකම් යටතේ කියා දෙන වාචික ඉංග්‍රීසි වචන දෙකක් නම් Rectangle සහ Patterns වේ. තෙවන ශ්‍රේණිය සඳහා Ordering, Volume සහ Two digits වේ. මෙහි ප්‍රතිඵලය විය හැක්කේ ගණිත සංකල්ප සාධනයද දුර්වල වීමයි‍.

ක්‍රි.පා.වා.ඉං. විෂය ඉගැන්වීම සඳහා විෂය නිර්දේශ ගුරු මාර්ගෝපදේශ ඇත. එහෙත් කාලසටහනෙහි එම විෂය සඳහා කාලච්ඡේදයක් වෙන් කර නැත. පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ ගණිතය සඳහා වෙන්කර ඇති කාල‍ච්ඡේදයන්ගෙන් වේලාවක් ක්‍රි.පා.වා.ඉං. සඳහා යොදා ගැනීමෙන් එම ප්‍රධාන විෂය දෙකට ද පාඩුවක් සිදුවේ.

ක්‍රි. පා.වා.ඉ. විෂයය ඉගැන්වීම ආරම්භ කොට දැන් වර්ෂ 20ක් ගත වී ඇත. එම විෂයය උගත් අය තම ජීවනෝපාය සඳහා එම උගත්කම භාවිත කරනු දැකිය හැකිය. විශේෂයෙන් ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදිකාවෝ ඉතා මැනැවින් එසේ කරති. උදාහරණයක් මෙසේ ය.

“ඕ, කෝලර් කෙනෙක් ඉන්නවා. කවුද මේ?”

“අක්කේ මට අර සෝන් එක දෙනවද?”

“..... හරි. ඔයා මේ සෝන් එක ඩෙ.ඩිකේට් කරන්නෙ කාටද?... කථා කළාට තැන්කිවු... බායි!”

මවුබස, අවිධිමත් කථා ව්‍යවහාරයේදී එහෙන්-මෙහෙන් ඉංග්‍රීසි වචන යොදා කථා කිරීම සාමාන්‍ය සිරිතක්ව පවතී. එහෙත් එසේ කරන්නේ කිසියම් චකිතයකින් යුක්තවය.

මෙහි විෂයය නාමය පවා අර්ථාන්විත නොවේ. ක්‍රියාකාරකම් පාදක වාචික නොවන ඉංග්‍රීසිද තිබෙන බවක් එයින් ධ්වනිත වෙයි.

තවද මෙහි යොදා ගන්නා ක්‍රියාකාරකම් භාෂාවක් ඉගැනීමට යොදාගන්නා ක්‍රියාකාරකම් නොවේ. ඒවා පරිසරය හා ගණිතය ඉගැන්වීමට යොදාගන්නා ක්‍රියාකාරකම් වේ.

මේ වැඩසටහන අ.පො.ස. (උ/පෙ) සිසුන් සඳහා යොදාගත්තා නම් අර්ථවත් විය හැකිව තිබිණි.

අධ්‍යාපන මූලධර්ම සහ ළමා මනෝවිද්‍යාවට අනුකූලව පළමු ශ්‍රේණියේ පටන් ඉංග්‍රීසි විධිමත් ලෙස ඉගැන්වීමෙන් ඉහත කී අවුලද විසඳෙනු ඇත.

එවිට තුන්වන ශ්‍රේණියෙ දැනට පවත්නා ඉංග්‍රීසි ඉගැන්වීමේ කාර්යයද පහසු වනු ඇත. තවද: වෙනත් රටවල අත්දැකීම්වලින් ආභාසය ලබා කාර්යක්ෂම ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රියාවලිය දියුණු කිරීම අනෙක් ක්‍රියාමාර්ගයයි. තරුණ අධ්‍යාපන අමාත්‍යවරයා වඩා බුද්ධිමත් අධ්‍යාපනඥයකු වීම සතුටට කාරණයකි. 

Comments