නිදහසේ රහස ධෛර්යයයි | Page 3 | සිළුමිණ

නිදහසේ රහස ධෛර්යයයි

අප්‍රසිද්ධව නිදහස් සටනෙහි යෙදී සිටි ප්‍රශස්ත ජාතික වීරයන් අතර, පුරෝගාමියෙකු වූයේ ඩී.ආර්. විජේවර්ධන මහතායි. උසස් අධ්‍යාපනය උදෙසා එංගලන්ත ගතව සිටි එතුමාගේ ප්‍රධාන න්‍යාය පත්‍රය වූයේ ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය උදෙසා කැපවීමයි. එදා පැවති තත්වයට අනුව, තමන්ගේ ජීවිතය වුවද අන්තරායට ලක්විය හැකිබව ඉතා හොඳින් දැන දැනත්, ඒ ශ්‍රේෂ්ඨ නිහඬ ජාතික වීරයා (එදා) ඉතාම “නපුරු” තැනක (ලන්ඩන්හි) වෙසෙමින් නිදහස් සටනේ යෙදුනේය.

“සුවබර දිවි පෙවෙතෙහි රහස නිදහසයි. එසේම, නිදහසේ රහස නම් ‍ෛධර්යයයි”
ත්යූසිඩිඩීස් (ක්‍රිස්තු පූර්‍ව 460 - 400)
කැලීන ග්‍රීක ඉතිහාසඥයා
“නිදහස නොමැති තැන, නගුලෙන්, රුවලින්, ඉඩම - කඩමින්, එපමණක් නොව, ජීවිතයෙනුත් ඇති ඵලය කුමක් ද?”
රැල්ෆ් වොල්ඩො එමර්සන් (180 - 82)
ඇමෙරිකානු කවියා සහ ලේඛකයා

“සුවදායක ගිම්මාන සමයයේ උණුහුමේ වටනාකම දැනෙන්නේ දැඩි ශිතලෙන් ගැහෙන විටයැ”යි, මහා විද්වතෙක් පවසන්නේය.

‍ඒ අයුරින්ම, අපට නිදහසේ සුවදායක බව, හරිහැටි දැනෙන්නට පටන් ගත්තේ, ඒ නිදහස නැතිවී ගියාට පසුවයි.

ශ්‍රී ලංකාවේ අපට ද එසේය. ලොව වෙන අන් කිසිම රටකට හිමි නොවන ගෞරවයක්, අපගේ මේ කුඩා උතුම් දේශයට අයත්ව පවත්නේ ය. ඒ අසහාය දායාදය නම්, ශතවර්ෂ විසිපහක් තරම් කාලයක් ඔස්සේ විහිදෙන, අපගේ ඉතිහාසය අඛණ්ඩව ලියා වාර්තා කරන “මහා වංශ” යයි.

අපගේ දේශයේ මුල්ම රාජයා වන විජය නිරිඳුන්ගෙන් (ක්‍රි.පූ. 483) පටන්ගෙන අපගේ රාජවංශයේ අවසානයා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය සමය (1798 - 1815) දක්වා මේ රට පාලනය කළ ප්‍රධාන රජවරු 186 දෙනෙක් අපගේ මේ උදාර දේශය භාරව සිටියහ. ඔවුන්ගේ තොරතුරු මහාවංශ, චූලවංශ ග්‍රන්ථයන්හි ආගතයි.

1815 හේ මාර්තු දෙවන හා ඒ ශතවර්ෂ 24 ක් පමණ වූ අපගේ දිගු රාජවංශය නැතිවී ගියේය. අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වූවෙමු.

ඇතැම් විටෙක, අපගේ ගෞරවනීය දේශයේ සමහර කොටස්, විදේශික පාලකයන්ට නතු වූහ. එහෙත් 1815 ට පෙර කිසිම සමයයෙක අපගේ මේ භාග්‍ය සම්පන්න ද්විපික පාරදීසය, විදේශ රාජ පාලනයකට යටත් වූයේ නොවේ.

මේ ඉරණම අපගේ දේශයට අයත්ව‍ූයේ සටනකින් ලද පරාජය හේතුකොටගෙන නොවේ.

සියවස් සූවිස්සකටත් අධික මහා කාල පරිච්ඡේදයක් පුරා විහිද පැවති අපගේ දේශයේ නිදහස - ස්වාධිපත්‍යය - නැතිව ගියේ අප සටනකින් පරාජය වීම නිසා නොවන්නේ ම ය. අපගේ විභූතිමත් ඉතිහාසය වසා අඳුරු පටලයක් ආයේ, අපගේ ම ඇතැම් නායකයන් ගේ පටු, ආත්මාර්ථකාමි, ඊර්ෂ්‍ය පරවශ දුර් චින්චතනය නිසාය.

ශ්‍රී ලංකාවේ ඒකාබද්ධතාව බිඳලීමේ “කොන්ත්‍රාත්තුව” ලැබ මෙහි පැමිණි ශඨ - කපට බ්‍රිතාන්‍ය නිලධාරියෙකුගේ කුමන්ත්‍රණය සාර්ථක වූයේ ය.

ඒ තැනැත්තා ජෝන් ඩොයිල් ය. ඔහු අපගේ සිද්ධස්ථානවලට ගියේය. අපගේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර හද‍ාළේය. සඟරුවන ගේ විශ්වාසය දිනාගමින් බණ දහම සහ පාලි භාෂාවන් උගෙන ගත්තේය. සිංහලය ඉතා ගැඹුරට හැදෑරුවේය. ඔහු බුලත් හපන්නටත් වූයේයැයි කථාවක් පවතී.

මේ දේශයේ උසස් පවුල්වල අභ්‍යන්තරයට පිවිසෙන්නට ඔහුට ලැබුනු “බලපත්‍රය” මේ ‍රටේ බොහෝ දෙනා නොදැන සිටි මද්‍යපාන වර්ගයි. ඔහු විසින් “පිදුනු” “මැඩීරා රම්” “රෙචි බ්‍රැන්ඩි” ආදියෙන් අකර්මණ්‍ය වූ නායකයන් බුද්ධි ඇති නායකයන් මඟින්, ඔහු මහ වාසලට යෑම් - ඊම් සඳහාත් වරම ලබා ගත්තේය. රජු චෙරි බ්‍රැන්ඩි පානයට ගිජු වූයේය.

රජුත්, නායකයනුත් නමා ගන්නා සූත්‍රය සකස් කොට ගත් ඔහු, එක් එක් නායකයාට ම “සිංහල සිහසුන” ලබා දෙන්නට රහසේ පොරොන්දු වූයේය.

මේ කාලයේදි, ඔහු විසින් එංගලන්තයේ යටත්විජිත භාර ලේකම් වරයාට යැවූයේ යැයි සැළගෙන ලිපියක් මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් සොයා ගන්නා ලදි. 1814 දී ලියැවුණෙකැයි සැලකෙන එය, එවකට ශ්‍රී ලංකාවේ සිටි, කවර බ්‍රිතාන්‍ය නිලධාරියෙකු විසින් යවන ලද්දැයි හරිහැටි කිව නොහේ. එහෙත් එහි පැවසූ යේ මෙයයි: “THE BIG FISH IS IN OUR NET. SHALL WE RAISE IT”

(මහා මාළුවා දැන් අපේ දැලේ වැටිලා. අපි දැළ උස්සමුද?)

යටත්විජිත ලේකම් වරයාගෙන් ඒ ලිපියට ලැබුණු පිළිතුර, ජාතියක් වශයෙන් අපට අදත් දරාගත නොහෙන ලජ්ජාවක් ගෙන එන්නකි. යටත්විජිත ලේකම් මෙසේ පිළිතුරු දී තිබිනි:

“DO NOT WORRY. THE SINHALA PEOPLE THEMSELVES WILL RAISE THE NET FOR US”

(කලබල වෙන්න එපා. සිංහල මිනිසුන් විසින් ම අපට දැල උස්සා දේවි.”

මෙවැනි පසුබිමෙක, 1815 - මාර්තු - දෙවනදා උඩරට ගිවිසුම ලියැවිනි. ශ්‍රී ලංකාවේ නිදහස “බන්දේසියක” තබා ඉංගිරිසීන්ට පිරිනමනු ලැබුවේය.

රජු සිර භාරයට ගෙන රටින් පිටුවහල් කෙරිනි. ඇහැළේපොළ නිලමේටත් ඒ ඉරණම අත්විය.

අවුරුදු 2400 ක පමණ අඛණ්ඩ සෛවරී පාලනයෙන් පසුව, ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්විය. මුළු දේශයට ම මේ සිද්ධියන් මහා කම්පාවක් දැනුනේ ය.

රටේ ජන සංහතිය රජෙකු පතා යැදුම් කළහ. කූඹුවන්ට පවා රජෙකු සිටියදි, අපට රජෙකු නැතැයි ඔවුහු දුක්බර වූහ.

නිදහස් සටනේ වර්ධනය වූයේ එතැන් පටන්ය. බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරලි ගසන්නට නැඟී සිටි ජනයා නිර්දය ලෙස වනසා දමනු ලැබූහ. වෙල්ලස්ස, විනාශ කෙරිනි. රටේ විභූතිය ගතහැකි නායකයෝ එක්කෝ බන්ධනාගාරගත කරනු ලැබූහ. ඇතැම් දේශ ප්‍රේමීහු ඝාතනය කරනු ලැබූහ.

මේ දරුණු තර්ජන මැද්දේ, දේශප්‍රේමයෙන්, ජාත්‍යාලයෙන් වෙහෙසුණු සිත් - සතන් ඇති දේශීය නායකයෝ ජාති - ගෝත්‍ර - ආගම් - කුල ආදි භේද නොතකා පොදු විරුද්ධකාරයා වූ “බ්‍රිතාන්‍ය පාලනයට” එරෙහිව නැඟී සිටියහ.

අසල්වැසි ඉන්දියාවේ විමුක්ති සටන විසින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක ගේ ජීවිත බිලිගන්නා ලදී. අපගේ දේශප්‍රේමී ඇතැම් ශ්‍රේෂ්ඨ යන්ටත් දිවි පුදන්නට සිදුවුනද, දූරදර්ශී කස්ත්‍රවාදී, දේශබන්ධු පිරිසක් එකතුව, රහසේ අපගේ නිදහස් සටන කරගෙන යන ලදි.

කිසිම කිසිකලෙක මතිමාත්‍රවූ හෝ පෞද්ගලික අභිමතාර්ථයකින් තොරව, අප්‍රසිද්ධව නිදහස් සටනෙහි යෙදී සිටි ප්‍රශස්ත ජාතික වීරයන් අතර, පුරෝගාමියෙකු වූයේ ඩී.ආර්. විජේවර්ධන මහතායි. උසස් අධ්‍යාපනය උදෙසා එංගලන්ත ගතව සිටි එතුමාගේ ප්‍රධාන න්‍යාය පත්‍රය වූයේ ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය උදෙසා කැපවීමයි. එදා පැවති තත්වයට අනුව, තමන්ගේ ජීවිතය වුවද අන්තරායට ලක්විය හැකිබව ඉතා හොඳින් දැන දැනත්, ඒ ශ්‍රේෂ්ඨ නිහඬ ජාතික වීරයා (එදා) ඉතාම “නපුරු” තැනක (ලන්ඩන්හි) වෙසෙමින් නිදහස් සටනේ යෙදුනේය.

නිදහස් සටනේ, ප්‍රබලතම මූර්තියක් වූයේ, 1815 වේදි අපේ නිදහස නැතිවූ මොහොතේදි. බ්‍රිතාන්‍ය බලවතුන් විසින් පහත හෙලන ලද “සිංහ” කොඩියයි. දේශප්‍රේමි දොන් රිචඩ් විජේවර්ධන යෞවනයා, ඒ සිංහ කොඩිය, ලන්ඩන්හි චෙල්සි ප්‍රදේශයෙහි රාජකීය ආරෝග්‍යශාලාවෙනි. (සිංහ කොඩිය, රෝහලට ගියේ කෙ‍ෙස්ද? මෙය තාමත් නොවිසදුනු අභිරහසකි.)

දෑ හිතකාමී ඊ. ඩබ්ලිව්. පෙරේරා විශිෂ්ටයා දිවි පරදුවට තබා අසාමාන්‍ය වීර ක්‍රියාවක යෙදුනේය. බ්‍රිතාන්‍ය පාලකයන් අතට පත් කළ යුතු වූ රහස් ලිපියෙක්, ඔහු සිය පාවහන් පත්ලට තබා අල්ලා මැස්ස වූයේය. වැරදිලාවත් එය අසුවූයේ නම්, ඊ.ඩබ්ලිව්. පෙ‍ෙර්රා මහතාට ඝාතනය ලැබීම, නියත සිද්ධියක් වන්නට ඉඩ තිබිණි.

දේශීය මට්ටමෙන්, ඩී.එස්. සේනානායක, පොන්නම්බලම් අරුණාචලම්, අරුණාචලම් රාමනාදන්, ටී.බී. ජයා ආදී දේශ මාමකයෝ, සටනට එක්වූහ.

1948, නිදහස් චතුරශ්‍රයේදි බ්‍රිතාන්‍ය කොඩිය පහත බැස, සිංහ කොඩිය ඉස්මතුව නැඟී සිටියේය.

නැතිවී ගොස් තිබුණු නිදහස ය ලි උදාවිය. 1815 න් නැවතී වසර 133 ගතවීමෙන් පසුව, මහා වංශය යළි එක්වූයේය.

එහෙත්, නිදහසෙන් පසුව සමයයේදි “වාමන” සිද්ධියක් උදාවූයේය. කථාව මෙසේය: සුරලොවින් පහළ පාතාලයේ වෙසෙන වාමනයෝ, ඉමක් - කොනක් නැති සේ දබරයේ යෙදෙමින් ඔවුනොවුන් හා අරගල කරගනිති. මේ “කං කරච්චලයෙන්” බේරෙන්නට බැරිතැන, දෙවිවරු මේ අරගල නවත්වන්නට, නියෝජිතයෙකු යැවූහ. නියෝජිතයා ශිව - ඊශ්වර - දෙවියාය. ඊශ්වර දෙවියා නවරාජ වේශයෙන්, ගිනි දැල්වලින් ආවරණය වී වාමන ලෝකයට ආයේය. ඒ නටරාජ ශිව දෙවියන් එනු දැක, ඒ උනුනුන් හා සටන් කරමින් සිට වාමනයෝ ඒකාබද්ධවී. ඊශ්වර දෙවිඳුන්ට මූණපෑහ. එහෙත් ඉසුරු බලය, වාමනයෙන් අබිබවා සිටිහෙයින් වාමනයෝ පැරදුනහ.

ඔවුනොවුන් අතර මත‍භේද තිබුණද, අපි ද ඒවා අමක කොට දමා පොදු “තර්ජනයට” (බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට) මූණ දුන්නෙමු. එහෙත්, අප පැරදුනේ නාවේ. ජය ගැනීමෙන් පසුව කලකින් “වාමන” න්‍යායය අප අතර ඉස්මතු වූයේය. පොදු තර්ජනය ඉවත්වූ පසුව, අපි යළිත් “වාමන” මඟට බැස, ඔවුනොවුන් හා සමඟ මත භේද හා සටන් පටන් ගත්තෙමු. බෙදි - බෙදී කෑකෝ ගසන්නට වන්නෙමු.

ඒ නිසා නිදහසින් 70 පිළිබඳ උත්තරී මොහොතේ අපි, ඒ මතභේද - අභ්‍යන්තර ගැටුම් ගැන ඉතා ගැඹුරට සිතිය යුතුවෙමු.

නිදහස දිනනවා මෙන් ම, ඒ ලද නිදහස, උදාර ලෙස පිළිගෙන එහි උපරිම ඵල නෙළා ගැනීඹ ගැන දැඩි ලෙස මෙනෙහි කළ යුතු වෙමු.

කථාවක් මතකයට එයි: ඇමෙරිකා එක්සත් ජනපදයෙහි එක් පෙදෙසක විශාල ප්‍රමාණයේ උක්වත්තක් හිමි අයෙක් සිටියේය. ඔහුගේ වගාවෙන් ලැබෙන උක් මිරිකනු ලබන්නේ සෙක්කුවක් මඟිනි. සෙක්කුව කරකවන ලද්දේ එහි බැඳි අශ්වයෙකු විසිනි. අවුරුදු ගණනක් ම ඒ අශ්වයා කළේ, රවුමේ යමින් සෙක්කුව කර කැවීමයි.

මේ අශ්වයා කෙරේ කළ අනුකම්පාවෙන් වතු හිමියා, ඒ සතා මුදා හැරියේය. එසේ මුදන ලද්දේ ඒ සත්වයාට, මහා වතු යායෙහි නිදැල්ලේ ඕනෑම පෙදෙසක හැසිරෙන්නට ඉඩ දෙනු පිණිසයි.

පසුදා වතු හිමියා දුටුවේ ඔහු මවිත කළ දර්ශනයකි.

අර මුදාහල අශ්වයා මහා විසල් වතු යායක් තිබියදී, තමාට පුරුදු පරිදි එක තැනක කැරකෙමින් සිටියේ ය.

එක ම තැනක කැ‍රකෙමින් සිටියේ ය.

නිදහස ලැබුනත්, නිදහස නිසිසේ භාවිත කරන්නට බැරිවීම, කොපමණ දැඩි ඛේදවාචකයක් ද?

නිදහසින් අවුරුදු හැත්තෑවකට පසුව, තාමත් අපේ ඇතැම් දෙනා නිදහස ගෙවන්නේ ඒ “අශ්ව” න්‍යායයෙනි.

තමන්ට අයත්වූ “මහා නිදන් ගබඩාවක්” වැනිවූ මේ නිදහස, අදෝමයකට මෙන් සමහරු ගත කරන්නේ ඒ නිදහසට දැඩි පා පහර දෙන, නාස්තිකාරි, කාගේත් කාලය කා දමන, ජාතියේ යහජීවනය සහමුලින් ම විනාශ කරන ක්‍රියාදාමවල නියැළීගෙනය.

මෙය “නිදහස” පිළිබඳ හෝඩියවත් නො දන්නා අයගේ චර්යා වැනිය. වෙන්ඩල් ෆිලිප්ස් නම් ඇමෙ‍රිකානු ජාතික විචාරකයා මෙසේ පවසයි. “නිදහස සඳහා අප විසින් ගෙවිය යුතු වන්දිය නම් සදාකාලිකවම අවදි වී, තියුනු අවධානයෙන් විසීමයි.”

අප නිදහසෙන් 70 වේදීවත් මේ චර්යාවට පුරුදුවිය යුතුය. අද අප වෙසෙන්නේ ඉතා බාල දරුවන් අතේත් “ස්මාර්ට් ෆෝන්” (බුද්ධිමත් දුරකථන) රැ‍ඳෙන අවධියකයි. සිය ෆෝනයේ මූණතට අත තැබීමෙන්, ඔවුන්ට ක්ෂණයෙකින් සැතපුම් දස දහසක දුර වුවද යා හැකියි.

ඒ නිසා, අද පරපුර මුළු ලොවින් ම ගලා එන අදහස් - උදහස් - මත - පුරුදු - චර්යා - සංකල්ප වලට යොමුවෙති.

ඒවායෙන් ගැලවී, විචාර පූර්වක මැදහත්බව රකිමින් ජීවත් වන්නට අප මේ උතුම් දේශයේ යොවුන් පරපුර - ළමා පිරිස - හැදුවේ නැත්නම්, අප ලද නිදහසට තව නොබෝ කලකින් කුමක් විය හැකිද? නිදහසට වන්දනා කිරීම වෙනුවට, එයට පා පහර දෙන පිරිසක් තැනේද?

මේ අන්තරාය ගැන පරෙස්සම් වීම අපගේ නිදහස් 70 වේ පරම අධිෂ්ඨානය විය යුතුය. මානව වීර - මහත්මා ගාන්ධිගේ මතයක් සිහිපත් ‍කරමු: “අපි අපගේ නිවසේ දොර ජනෙල් සියල්ල විවෘත කොට තැබිය යුතුවෙමු.

හැමතින්ම හමන සුළඟ අප නිවසට ඒවා. ඒ සුළඟින් අප අවතැන්ව විසිවී යා නොයනු පිණිස, අපගේ දෙපා තරයේ අපගේ භූමියේ තබාගෙන සිටිමු.”

නිදහස 70 ට ඔබින උතුම් ම කියමන ඒ ගාන්ධි ඔවදන යැයි මට සිතේ.

කලාකීර්ති ආචාර්ය
එඩ්වින් ආරියදාස

Comments