තමන්ට වු අයු­ක්ති­යේදී නිහඬව අනුන් වෙනු­වෙන් සට­නට බසින ධනු ලග්න­කා­රයෝ | Page 3 | සිළුමිණ

තමන්ට වු අයු­ක්ති­යේදී නිහඬව අනුන් වෙනු­වෙන් සට­නට බසින ධනු ලග්න­කා­රයෝ

දුන්නක් අතින් ගත් අපුරු තේජවන්ත අර්ධ පුරුෂයෙකි. අපරාර්ධය අශ්වයෙකුගේ ස්වරූපය දරයි. දිග නාසය රන්වන් හිසකේ ඇති දැකුම්කළු මනාවු වැඩුණු ‍දේහදරයෙකි.

රාශි චක්‍රයේ නවවැන්න වන ධනු අංශක 240ත් 270 අතර ප්‍රදේශ‍යේ ව්‍යාප්තව ඇති තරු ගොනුවකි. ධනු රාශිය ඇති දුන්නක් අතින් ගත් අර්ධ මිනිසාගේ හැඩය ආකාශයේ තරු පන්ති අතර එසේ ඇඳී තිබෙනු ඔබ යම් දිනෙක දැක තිබේද?

චාපා, ධන්දරී වැනි නම් වලින්ද හඳුන්වයි. තේජෝ බලයෙන් යුක්ත අග්නි රාශියකි. පුරුෂ රාශියක් වන ධනු ස්වරූප දෙකකින් යුක්ත උභය රාශියකි. කෲර වුත් විෂම වුත් ගති ඇත.

ධනු රාශියේ අධිපතියා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාය. ධනු අධිපති ගුරු ග්‍රහයා කටකයේදී උච්ච වන අතර මකරයේ දී නීච වෙයි.

ධනු රාශිය ලග්නය වු විට නව වන භාග්‍යස්ථාන අධිපතීත්වය සිංහයා හිමි රවිටය. එවිට රවි ශුභඵල කාරකයා වෙයි. ගුරු ධනුව හා මීනය අධිපතියා වුවද වැඩි බලතල හිමි වනුයේ ධනුමය. ගුරුගේ මුල ත්‍රිකෝණ බලය ධනුට ලැබෙන හෙයින් මෙසේ වෙයි.

ධනු අධිපති ගුරු යම් කේන්ද්‍රයක සතර වැන්න කටකය වී එහිම වුවොත් ගුරු හංස නම් මහා සක්විති යෝගයන්ගෙන් එකක් උදාවනු ඇත.ධනු රාශිය ලග්නය වී අධිපති ගුරු දෙවැන්නේ මකරයේ සිටියොත් නීචක්ෂේත්‍ර බලය හිමිවන බැවින් අශුභ ඵල ලබයි.

කුජ ද ධනුවට හිතවත්ය. ධනුවේ ප්‍රබලම පාපී ග්‍රහයා සිකුරුය. බුධ පාපී ස්ථානයක පාපීන් සමඟ සිටියේ නම් පමණක් අසුබ වෙයි.ධනු නම් වර්ගෝත්ථම වෙයි. එවිට ධනුවේ මුල් අංශක 10 පමණක් ගුරුට මුල ත්‍රිකෝණ වෙයි. අනෙක් 20 ස්වක්ෂේත්‍ර වෙයි.

ඥණවන්තය. අධ්‍යාත්මික බලය ධනුවට හිමිය. සටනට බය නැත. නිතර සටනට නොගියද සටන් කළයුතු නම් එසේ නොකරම නොසිටී. කොතරම් බලවතෙක් වුවද බිය නැත.

මෙවැනි ජන්මින් යුක්ති ගරුක අවංක .කරුණාව ,ත්‍යාගවන්න බව, විශ්වාසය ඉතා අගයයි. තමන් තුළද ඒවා පවත්වාගෙන යයි. කරුණාව නැති වන්නේ අයුක්තියේදි පමණි. ලග්න 12න්ම වැඩි යෙන්ම නීතියට ගරු කරන්නේ ධනු ලග්න කාරයාය. සුලු දේට සටන් නොකරයි. ඉවසිලිවන්ත බව විශේෂ ලක්ෂණයකි. තමාට අයුක්තියක් වු විට ඉවසා සිටින නමුත් අන්‍යයෙකුට අයුක්තියක් වී නම් ඉවසන්නේ නැත. සටනට පෙලඹේ. ජයග්‍රහණය ලබනතෙක් අත්නොහරියි.

යමක් පටන්ගත්තොත් හරියටම හොඳටම කරයි. අතරමඟ ද‍මා නොයයි. එය අවසන් කරන තෙක් සිතට විවේකයක් නැත. තමාට වාසි වුවත් අවාසි වුවත් ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැත. එළොව මෙලොව දෙකටම ගැලපෙන සේ ජිවත් වේ. චාම් නිහතමනී ජීවිතයක් ගතකරයි.

උසස් අදහස්,ක්‍රියා අගයයි,ගරුකරයි. කිසිවකු යටත්කර ගන්නට වත්,යටත් වන්නටවත් අවශ්‍ය නැතැයි සිතයි. වරෙක සැර පරුෂ වුවත් ඊලඟ මොහොතේ කරුණාවන්ත විනීත ගති ඇත. ආගමට, විවිධ දර්ශනවලට, නොයෙක් ශාස්ත්‍ර ඥාණයට ආසාකරයි. එය තමන් තතුකර ගැනීමට පාඩු වුවද පසුබට නොවේ.

පිරිසුදුව ඇඳියි. නමුත් ඇඳුමට පැළඳුමට ගරු නොකරයි. උඩඟුකම මහන්තත්වය කිසිසේත් මායිම් නොකරයි.

උභය රාශියක් බැවින් ගති ගුණවල ද්වි ස්වාභාවයක් පෙන්වයි.

තරුණ වියේදී වයසට වඩා පැසුණු ගතියක්ද මැදි වියේදී වයසට වඩා තරුණ බවක්ද පෙන්වයි.

මේෂ ,වෘෂභ, මිථුන, කටක නවංශක උදාවෙන් උපන‍්නේ නම් මුල් අංශක 15දී මිනිස් හැසිරීම්, මෙලොව .පරලොව පිළිබඳ උසස් අදහස් ඇත. වැඩක් භාරදුන්විට කීවාටත් වඩා හොඳින් කරයි. වැඩ අවුල්කර නොගනී . දැනුම ඇත. සටන්වදී ඇත්ත ඇති සැටියෙන් කීමට භය නැත.

අග කොටසේ ඉපදුණේ නම් අදහස් එළිපිට කීමට මැලිය. අයුක්තියේදී ඉක්මනින් කිපේ. කෝපය පාලනය කරගැනීමට නොහැක. ලෝකෝන්තර දේට වඩා ලෞකික දේට ප්‍රියය. කෙළි සෙල්ලමට, ව්‍යායායමයට. දිවීමට .පැනීමට කැමතිය. අන්‍යයන්ගේ රැවටීමට හසු නොවීමට පරිස්සම් වෙයි. අන්‍යයන් කෙරේ එතරම් විශ්වාසයක් නැත.ධනුවේ දුර්වලතා පමණට වඩා පරිස්සම්වීම. අවදානමක් ගෙන අනුන්ගේ කටයුතුවලට නිතර මැදිහත් වීමෙන් තමන්ට පාඩු මෙන්ම සතුරන්ද ඇතිකර ගනී.

ධනුවේ උපන් අය යහපත් මුඛයක් ඇති තේජවන්තයෝය. කීමෙහි බිනීමෙහි දක්ෂය .කථිකත්වය ඇත. ශරීරය සෘජුව තබාගනී. පැහැපත්ය. කඩිසරය. පිරිසිදුය. යාග භූමි .රථ ගමන්කරවන භූමි, නගර වාසකොට ඇති ස්ථාන ධනුවේ අධිපතීත්වය දරයි.

කලවා, හා ඉඟටිය ආශ්‍රිත රෝග. රක්ත වාත හා ශරීරයේ නියම පැවැතිමට බාධාවන රෝග පීඩා සාමාන්‍යයෙන් ධනුට ආවේනිකය.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වුවද පලාඵල කථනයේදී ග්‍රහ පිහිටීම ,විශේෂයෙන් ගුරුගේ පිහිටීම හා දශා ඇතුළු කරුණු සැලකිල්ලට ගතයුතු බව මතක තබා ගන්න. ඒවා නොසළකා ජන්මියාගේ ගතිගුණ ප්‍රකාශ කළ නොහැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න

රාජ්‍ය සම්මානලාභී

 

Comments