ජාතික දිනයේ දී ජාතික කොඩියටත් ජාතික ගීයටත් ජාතික වීරයන්ටත් හිස නමමු | Page 3 | සිළුමිණ

ජාතික දිනයේ දී ජාතික කොඩියටත් ජාතික ගීයටත් ජාතික වීරයන්ටත් හිස නමමු

ජාතික විරවරුන් පිළිබඳව අපේ රටේ සියලූ ජනතාව අතර එක අදහසක් දකින්නට නොලැබේ. එනම් ජාතික වීරවරුන් ලෙස සැලකෙන ලියැවෙන සියලු දෙනා ජාතික වීරවරුන්දැයි ප්‍රශ්න කරන්නෝ සිටිති. නිදහස් දිනයේ දී මේ උත්සාහය මේ  ගැටලුවෙන් ද නිදහස් වීමටය.

ජාතික වීරයන් වනාහී රටටම පොදු විරයෝ වෙති. ජාතියක් නිර්මාණය වන්නේ ද එම වීරයන්ට පොදුවේ ගරු කිරීම හා භක්තිමත් වීම තුළිනි. එහෙත් ජාතික විරවරුන් පිළිබඳව අපේ රටේ සියලූ ජනතාව අතර එක අදහසක් දකින්නට නොලැබේ. එනම් ජාතික වීරවරුන් ලෙස සැලකෙන ලියැවෙන සියලූ දෙනා ජාතික වීරවරුන්දැයි ප්‍රශ්න කරන්නෝ සිටිති. නිදහස් දිනයේ දී මේ උත්සාහය මේ ගැටළුවෙන් ද නිදහස් වීමටය. මා නම් සිතන්නේ අප ජාතික ධජයට ජාතික කොඩියට සේ ම සියලූ ම ජාතික වීරයන්ට ද එකහෙළා හිස නැමිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් අපේ හදවතේ මෙන්ම බුද්ධියේ ද දැනුමේ ද ඒකමතිකත්වයක් පැවතිය යුතු බවය. විශාල මතභේද නොපැවතිය යුතු බවය.

එක් එක් ජාතික වීරයන් පිළිබඳ විවිධ මතවාද ඇත. කතන්දර ඇත. එහෙත් ඒ කිසිම මතවාදයක් හෝ කතාවක්අපේ රට පිළිබඳ අපේ ආදරය අඩුවීමට හේතු විය යුතු නැත. රට ගැන අපේ ආදරය භක්තිය අඩුවීමට ඒ කතන්දරය හෝ මතවාදය හේතුවන්නේ නම් ඒවා අප විසින් රට ගැන ආදරයක් ඇතිවන ආකාරයට සංස්කරණය කරගත යුතුය. නොඑසේනම් කතන්දරය කෙසේවුවත් අප එයට දෙනු ලබන අර්ථකථනය රට ගැන ආදරයක් ඇල්මක් බැඳීමක් ඇතිවන ආකාරයෙන් සංස්කරණය කරගත යුතුය. එහෙත් කවුරුන් කළ දෙයක්දෝ මන්දා අප විසින් බොහෝ කතන්දර සංස්කරණය කරගෙන ඇත්තේ ඒවා රට ගැන අපේ ඇති ආදරය අඩුවිමට හේතුවන ආකාරයෙනි. නැතිනම් අප ඒවාට අර්ථකථනය දෙන්නේ රට ගැන අපේ ආදරය අඩුවීමට හේතුවන ආකාරයෙනි.

ඇහැළේපොළ රට පාවා දුන්නා යනු ජනප්‍රිය කතාවකි. එහෙත් එයට යටින් ඇති එක්තරා හැඟීමක් වන්නේ ඇහැළේපොළ මහාදිකාරම්තුමාත් රට පාවාදුන්නා නම් අප පාවා දුන්නාට මක් වේද වැනි හැඟීමක් ද යන්න සම්බන්ධයෙන් අප සංවේ දී විය යුතුය. ඒ අතරම ඇහැළේපොළ මහ නිලමේ උත්සාහ කළේ වඩුග රජවරුන් වෙතින් සිංහාසනය අපේම රටේ නායකයකු වෙතට යළි උරුම කරගැනීමට යැයි ද කියැවේ. මෙතන දී වඩුග රජවරු පමණක් නොව දකුණු ඉන්දියාවෙන් ඔවුන් විසින් ගෙන්වා ගත් විශාල පිරිසක් ද රාජ්‍ය පාලනයට මැදිහත් වීම උඩරට රදළවරුන්ගේ නොඉවසීමට හේතුවන්නට ඇත. එය රටේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළුවක් වන්නට ඇත. අනෙක් අතට ඉංග්‍රීසීන්ට රට පාවාදුන්නා යැයි කීවාට 1818 කැරැල්ලට ඇහැළේපොළ අදිකාරම් ද උපකාර කළේය. ඒ අනුව 1818 කැරැල්ලෙන් පසුව ඇහැළේපොළ අදිකාරම්වරයා ද පිටුවහල් කරනු ලැබිණි. එතුමන්ට මියයන තුරුම ආපසු මව්රටට එන්නට සුද්දන් ඉඩ ලබාදුන්නේ නැත. ඇහැළේපොළ නිලමේ තුමාට මව්රටට ද්‍රෝහිවීමට අවශ්‍ය නොවිණි. එහෙත් එතුමන් අතින් යම් යම් වැරදීම් සිදුවන්නට ඇත. එතුමන් සියල්ලම කළේ හිතාමතා මව්රට විනාශ කිරීමට යැයි සිතුවහොත් එය වරදකි. අනෙක් අතට ඇහැළේපොළ නිලමේ තුමා මව්රටට ද්‍රෝහිවූවත් එය අපට ද මව්රටට ද්‍රෝහීවීමට ලැබෙන අවසරයක් නොවේ. එනම් ඇහැළේපොළ පිළිබඳ කතාවේ සියල්ල අවසාන වශයෙන් අප මව්රටින් ඈත්කරවන්නක් නොව මව්රටට ළංකරවන්නක් විය යුතුය. අපට මව්රටට ද්‍රෝහීවීමට නොහැකිනම් ඇහැළේපොළට කිසිසේත් එසේ කරන්නට හැකිවීමට ද ඉඩක් නැත.

ඒ අතරම ඇහැළේපොළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධ ව කටයුතු කළේය. නැතිනම් කටයුතු කළේ යැයි අප සිතමු. ඒ අතරම අප ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වඩුග රජෙකු බව ද කියමු. එතුමා විසින් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය කරනු ලැබිණි. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ අප විසින් තාමත් සලකන්නේ සිංහලේ අන්තිම රජු වශයෙනි.

අප ඇහැළේපොළ රට පාවා දුන්නා යැයි කියන්නේ ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා දීමට කටයුතු කළ හෙයිනි. මෙහි දී පැන නගින ගැටළුව වන්නේ අපේ හදවත තුළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට මෙන් ම ඇහැළේපොළ නිලමේ තුමන්ට ද ඉඩ තබාගන්නේ කෙසේද යන්නයි.

මෙවන් මතභේද පවතින්නේ සිංහලේ අන්තිම රජුගේ යුගය පිළිබඳව පමණක් නොවේ. සමස්ත ඉතිහාසය පුරා මෙවන් ප්‍රශ්න කිරීම් දකින්නට ලැබේ. එය ඈත ඉතිහාසයට මෙන් ම මෑත ඉතිහාසයට ද පොදුය. සියලූම ජාතික වීරවරුන් පිළිබඳව යම් හෝ ආකාරයේ විවේචන විචාර ඇත.

එළාර රජුගෙන් රට නිදහස් කරගත් ගැමුණු රජතුමා හඳුන්වනු ලබන්නේ දුටුගැමුණු වශයෙනි. එනම් දුෂ්ඨ ගාමිණි වශයෙනි. එහෙත් දුටුගැමුණු රජතුමන් ඉදි කළ රුවන්වැලි චෛත්‍ය රාජායාණන්ට වන්දනා නොකරන්නෝ නැත. එනම් ඒ නාමය අප එතුමන්ට ගරු බුහුමන් කිරීමෙන් වළක්වා නැත.

ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමට නායකත්වය ගනිමින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී. එස්. සේනානායක මැතිඳුන්ය. එහෙත් එතුමන් පිළිබඳව විවිධ විචාර විවේචන අදහස් පවතියි. විශේෂයෙන් ම වාමාංශික අදහස්වලට බර අය විසින් එතුමන්ට විවිධ විවේචන එල්ල කරනු ලැබේ.

ඇතැම් විට පහර එල්ල වුණේ ඞී. එස්. සේනානායක මැතිඳුන්ට ද වඩා ඞී. එස්. සේනානායක මැතිඳුන්ගේ බාහිර ස්වරූපයට විය හැකිය.

එනම් ඩී. එස්. සේනානායක මැතිඳුන් බටහිර ටයිකෝට්වලින් වෙස් වලාගෙන අධිරාජ්‍යවාදීන් හමුවේ පෙනී සිටිය බව කිව හැකිය. එනම් අධිරාජ්‍යවාදීන් හමුවේ ඔහු වෙනස් චරිතයක් රඟපෑවේය. කණෙන් රිංගනවා යැයි කියන්නේ මේවාට විය හැකිය.

පුවත්පත් කලාවේ ජාතික වීරයකු හා සමාන කළ හැකි ඞී. බී. ධනපාලයන් මේ තත්ත්වය විනිවිද දැක කීවේ ඞී. එස්. සේනානායක මහතාගේ ටයි කෝට් ඇතුළේ ගැමියකු සිංහලයකු සැඟවී සිටින බවය.

ඞී. එස්. සේනානායක ඔක්ස්ෆඞ් කේම්බ්‍රි– ගියේ නැත. කෙසේවුවත් කේම්බ්‍රි– ගිය අය ඇතැම් විට අධීරාජ්‍යවාදියා යන නම සේනානායක මැතිතුමාට පට බැන්දේය. මේ කතන්දර ඇතුළට කිඳාබැසිය යුතුය. ඒ වීරයකු සෙවීමේ අටියෙනි. ජාතික වීරයන් පිළිබඳව භක්තිය සොයාගැනීමේ අටියෙනි. ඞී. එස්. සේනානායක මැතිතුමා මෙන් ම අනගාරික ධර්මපාල තුමා ද පාසල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ශාන්ත තෝමස් විදුහල අධිරාජ්‍යවිරෝධී අරගලයට දායක වූයේ කෙසේද යන්න සෙවීම ද රසවත් වනු ඇත.

ඇතැම් අයගේ මතය වන්නේ සර් ඞී. බී. ජයතිලක මැතිඳුන්ට ලැබෙන්නට තිබුණු තැන අහිමි කරනු ලැබූ බවය. සර් ඞී. බී. ජයතිලක මහතා ඉන්දියාවේ මහකොමසාරිස් විසින් පත්කර යවනු ලැබීම පයින් ගසා උඩුමහලට විසි කිරීමක් වශයෙන් එඞ්මන්ඞ් සමරක්කොඩි මහතා විසින් හඳුන්වනු ලැබු බව කියැවේ. මා දන්නා තරමට ශ්‍රී ලංකාවේ බිහි වූ දේශපාලනයෙන් මෙන්ම උගත්කමෙන් ද එකසේ ඉහළ සිටි ප්‍රාඥයා සර් ඞී. බී. ජයතිලක මැතිඳුන්ය. එතුමන් තුළ සිංහල භාෂාව ගැන වූයේ අනුපමේය බැතියකි. විශාරද දැනුමකි. එතුමා විසින් ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරතනාවලියේ එන උපමා සියල්ලම එක්කර ලියන ලද ලිපියක් ද මා තුළ එම හැඟීම ඇතිවන්නට හේතු විය.

සිංහල භාෂාව හා ඉතිහාසය පිළිබඳව එතුමන් තුළ ඉහළම ශාස්ත්‍රීය දැනුමක් තිබිණි. එතුමා මා දන්නා තරමට උපත ලැබුවේ ද මෙරට ප්‍රභූ පංතියේ පවුලක නොවේ. එහෙත් නිදහසට පෙර ලාංකිකයෙකුට ලැබිය හැකි ඉහළම තනතුර කරා ළඟාවීමට එතුමන්ට හැකිවිය. එනම් ඞී. එස්. සේනානායක මැතිතුමාට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකවරයා වූයේ එතුමන්ය. ඞී. එස්. සේනානායක මැතිඳුන් ලබාගත්තේ සර් ඞී.බී. ජයතිලක මැතිඳුන්ට ලැබෙන්නට තිබූ තනතුරය යන්න මේ අදහස්වල සාරයයි. එසේ ද වුවත් නිදහස් ජාතියක් වශයෙන් නැ‍ඟී සිටීමට අවශ්‍ය අඩිතාලම දැමීම ඞී. එස්. සේනානායක මැතිඳුන් වෙතින් අඩුවක් නැතිව සිදුවූ බව අප පිළිගත යුතුය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ විහාර මහා දේවීය පිළිබඳ කතන්දර හුදු කල්පිත නොවන බව පෙන්වීමට තරම් එඩිතර බවක් එතුමිය විසින් එතුමියගේ ජීවිතය තුළින් අපට පෙන්වූ බැවිනි. අපේ රටේ කාන්තාවගේ ශක්තිය හා නැණනුවණ කොතරම් ද යන්න මේ යුගය තුළ ද සනාථ කළ බැවිනි. බලන්ගොඩ මහවලතැන්න ගමේ උපන් එතුමිය ගැමි සිරිත් අත් නොහළ එතුමිය සරසවියකට පා නොතැබූ එතුමිය නොබැඳි සමුළුවට ද නායකත්වය දුන්නාය.

ජාතික වීරයන් වන්නේ දේශපාලනය කළ අය පමණක් නොවේය යන්න ද බොහෝ විට අමතක වන කරුණකි. ෂේක්ස්පියර් එංගලන්තයේ ජාතික වීරයකු වන්නේ දේශපාලනය කළ නිසා නොවේ. ඞී. ජේ. විමලසුරේන්ද්‍ර ජාතික වීරයකු වන්නේ දේශපාලන ක්ෂේත්‍රයටත් වඩා එතුමන් විදුලි බල ක්ෂේත්‍රයේ විශේෂඥයකු වූ නිසාය. (එතුමන් 1931 දී රත්නපුර කොට්ඨාශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.) එහෙත් අද වැඩි දෙනා ජාතික වීරයන් වන්නට උත්සාහ කරන්නේ දේශපාලනය කිරීම තුළිනි. එවන් අයට ජාතික වීරයන් වන්නට හැකිවේ ද යන්න ද ප්‍රශ්නයකි. අනෙක් අතට ෂේක්ස්පියර් එංගලන්තයට ජාතික වීරයකු වන්නා සේ මෝපසාං ප්‍රංශයට ජාතික වීරයකු වන්නා සේ රවීන්ද්‍රනාත් තාගෝර් භාරතයට ජාතික වීරයකු වන්නා සේ මට ද කුමාරතුග මුනිදාස, ඩබ්ලිව්. ඒ. සිල්වා, එදිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවරඣධන ජාතික වීරයන් හා සමානය. මේ නාමාවලිය මෙයට වඩා ඉතා දීර්ඝ අතර නම් කිහිපයකට සීමා කරන්නේ ලිපිය ද අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වැළැක්වීමටය. කෙසේ හෝ අපේ රටේ යම් සාහිත්‍යකරුවකු හා නාට්‍යකරුවකු එම ක්ෂේත්‍රයේ නියුතුවන්නන් විසින් ස්වකීය වීරයන් වශයෙන් සැලකීම වරදක් නොවේ. අවශ්‍ය නම් නාට්‍ය කලාව නිදහස් කළේ එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවරඣධන, සුගතපාල ද සිල්වා විසින් යැයි කිව හැකිය. ජාතික වීරයන් අතරට එච්. ආර්. ජෝතිපාල අයත් වන්නේ ද යන්න නොඇසිය යුතු ප්‍රශ්නයක් සේ අද තිබුණත් තව අවුරුදු දෙතුන් සියයකින් ඒ ප්‍රශ්නය විසඳෙනු ඇතැයි මට සිතේ. ඇතැම් ප්‍රශ්න කල් ඇතිව විසඳන්නට සිතීමෙන් ව්‍යාකූල විය හැකිය. කෙසේ හෝ මේ සියල්ලේ අදහස අන් කිසිවක් නොවේ අපේ රට වෙනුවෙන් යම් මෙහෙවරක් කළ අය වෙනුවෙන් අපේ හදවත තුළ ඇති භක්තිය කොතෙක් ද යන්නයි.

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ නායකයන් ද අතර ද බොහෝ නායකයන් දිවි පරදුවට තබා කටයුතු කළ අවස්ථා අසන්නට ලැබේ. වාමාංශිකයකු වූ පමණන් වීරයකු බවට පත් නොවේ. එහෙත් පිලිප් ගූණවර්ධන වැනි නායකයන් බොහෝ විට කටයුතු කළේ මරණය හමුවේ පවා නොසැලෙමින් යැයි එතුමන් පිළිබඳ කතා පුවත්වලින් හෙළිවේ. ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල ආදී නායකයන් එක් පිලකට අයත් වන අතර එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්. ඒ. වික්‍රමසිංහ ආදී නායකයන් අයත් වන්නේ ඔවුන් සමඟ ගැටුණු විරුද්ධ පිලකටය. මේ දෙපිරිසම අපේ හදවත් තුළ වීරයන් බවට පත්කරගන්නේ කෙසේ ද යන්න සිතීමට නිදහස් දිනය තරම් හොඳ වෙනත් දිනයක් නැත. ඇත්තටම අප නිදහස් ද යන්න පවා අප සිතිය යුත්තේ නිදහස් දිනය තුළමය. එනම් එම දිනයේ දී නිදහස සමරනු ලබන බැවිනි.

මහසෙන් රජතුමා ඉදි කළ මින්නේරි වැව් බැම්ම මත දී අපට නිදහස් සුළඟක ආස්වාදය විඳින්නට හැකිය. මහසෙන් රජතුමාට අප ජාතික වීරයකු මෙන් ගරු නොකළ යුතු ද? වැව් දකිද්දීවත් අපට වීරයන් සිටින බව කල්පනා විය යුතුය. මේ වැව් නැවත මේ යුගයේ දී ප්‍රතිසංස්කරණය කිරීමට ඞී. එස්. සේනානායක මැතිඳුන් මූලික විය. මා කියන්නට හදන්නේ අන් කිසිවක් නොව මේ යුගයේ අප වෙනත් කිසිවෙකුට වීරත්වය පුදන්නට මැලිවන බවය. අද අප වන් බොහෝ අය සතු එකම වීරත්වය අප හැර වෙනත් කිසිවකු වීරයන් යැයි නොසිතීම යැයි ද කිව හැකිය. මෙවන් සිතිවිලි අපේ හිතෙන් අත්හැරීමට හැකිදැයි සෙවීමට සුදුසු දිනයක් ලෙස ද නිදහස් දිනය සැලකිය හැකිය.

දැන් ජාතික වීරයන්ටත් වඩා ෆේස්බුක් වීරයන් බිහිව තිබේ. කෙසේවුවත් මෙය ෆේස්බුක් විසින් පමණක් ඇති කරන ලද තත්ත්වයක් නොවේ.

බොරු වීරයන් ව පිම්බීම සඳහා නොඑසේනම් කඬේ යැවීම සඳහා විවිධ කාලවල විවිධ ක්‍රම සහ විධි නොඑසේනම් මාර්ග එයි. අප තුළ සිටින මෝඩයා ඇවිස්සීම විවිධ කාලවල විවිධ ක්‍රමවලට සිදුවේ. අප තුළ සිටින මෝඩයාට කිරුළ පැළැන්දවීම නොඑසේනම් අංතට්ටුවට ශක්තිය ජවය දී මොළය සිහිය නුවණ අඩපණ කරවීම විවිධ කාලවල විවිධාකාරයෙන් සිදුව තිබේ. ඒ අනුව මෙය ෆේස්බුක්වල වරදක් නොවේ. නොමඟ යාම සඳහා අප තුළ පවතින බලවත් වුවමනාවේ වරදකි. මේ අපේ ‘කඬේ යාමේ ආසාව’ ‘මෝඩවීමේ අභිප්‍රාය’ ‘බොරු වීරයන් වීමට පවත්නා ආසාව’ අප විසින් හඳුනාගනු ලබන්නේ කවදාද? එදා වන තුරු නිදහස උදාවනු ඇතැයි කීමට අපහසුය.

ජාතික වීරයන්ගේ යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන. නොඑසේනම් එබඳු යම් අඩුපාඩු ගැන අපට හැඟෙගන්නට පළුවන. එසේ වූ පමණින් ජාතික වීරයන් පිළිබඳ අපේ භක්තිය පළුදු කරගත යුතු නොවේ. එසේ වන්නේ නම් එය ජාතික වීරයන්ට වඩා අපේ අඩුපාඩුවක් වීමට බොහෝ විට ඉඩ තිබේ. කොතරම් අඩුපාඩු තිබුණත් ජාතික විරයන්ගේ එක් පොදු ලක්ෂණයක් දකින්නට හැකි යයි සිතමි.

එනම් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් රටට යම් සේවයක් කිරීම උදෙසා වූ අභිප්‍රායයයි. මේ අර්ථයෙන් ගත් කළ ජාතික වීරයන් වන්නේ ජාතික වීරයන් වශයෙන් පොත්වල නම් පළවන්නන්ගේ පමණක් හෝ ප්‍රතිමා ඉදිවී ඇත්තන් පමණක් නොවේ. තමන්ගේ පරිශ්‍රමයෙන් අවංකව ගොවිතැන්බත් කර්මාන්ත කළ ගොවියෝ ශිල්පියෝ දරුවන්ගේ නැණස පෑදීමට අවංකව කැපවූ ගුරුවර ගුරුවරියෝ ආදී වශයෙන් බොහෝ පිරිස් ඒ අනුව ජාතික වීරයෝ වෙති. අඩුම වශයෙන් ජාතික වීරයන් වීමට නොහැකි වුව ද ඒ මග යන්නට උත්සාහ කළ අය වෙති. ඒ අනුව අප සියලූ දෙනාගේ උත්සාහය විය යුත්තේ ජාතික වීරයකු වීමට නොවේද? එහෙත් ජාතික වීරයකු වීමට වඩා පොඩි පොඩි වාසි නෙළා ගැනීම, පොඩියට පොඩියට හෝ හොඳ හෝ නරක දේකින් කැපී පෙනීම ආදී කරුණු අපේ ජීවිතයේ ප්‍රමුඛතාවයට පත් ව නොතිබේද?

ඔබට වීරයන් යැයි හැඟෙන අය පිළිබඳව සමහර විට මේ ලිපියේ සඳහන් නොවන්නට ඇත.

නැතිනම් ඔබ සිතනවාට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් එම වීරත්වය පිළිබඳව වර්ණනා කෙරෙන්නට ඇත. එයට හේතුව වන්නේ ජාතික වීරවරුන් පිළිබඳව මගේ හැඟීම් ද සමබර නොවීම විය හැකිය. අප සතු අභියෝගය වන්නේ සියලූ ජාතික විරයන් තුළ වූ පොදු ගුණය හඳුනාගෙන එය අපේ හදවත් තුළ රෝපණය කරගැනීමය. මේ පොදු ගුණය මට හිතෙන හැටියට මෙහි දී මම කෙටියෙන් සඳහන් කරමි. එනම් මේ මව්රට හැර අපට වෙනත් මව්රටක් නැති බවය.

උදයසිරි වික්‍රමරත්න

Comments