උගතා එලොව යවා මිනිසා මෙලොව ගෙනා සාර්වා­ද­යට ජය වේවා! | සිළුමිණ

උගතා එලොව යවා මිනිසා මෙලොව ගෙනා සාර්වා­ද­යට ජය වේවා!

උගතා එලොව ගොස් මිනිසෙක් මෙලොව ආවේය. කැරලිකාරයා මිය ගොස් මිනිසුන් සමඟ දුක් විඳින්නට හා සැප විඳින්නට කැමති අයෙක් බිහි විය. එසේ සිදුවූයේ සාර් රජතුමාගේ ආදරයේ මහිමය නිසා යැයි යළිත් කියන්නට මට සිතේ. විවිධ බාහිර අදහස් නිසා නොමග ගිය තාරුණ්‍යය යළි හරි මඟට ගැනීමට සාර් රජවරුන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. අනිත් අතට සමහර සාර් රජවරු හා ආණ්ඩුවේ ප්‍රබලයන් ද තරුණයන් සේ ම බාහිර හා ආගන්තුක අදහස්වලින් නොමඟ ගොස් සිටියේය. දොස්තයෙව්ස්කි ඉන්පසුව සටහන් කළේ විලාසිතා වන් සුන්දර අදහස්වලට වසඟව මූලික මිනිස්කම් අමතක කිරීමට එරෙහිවය.

‘එලොව ගිහින් මෙලොව ආවා’ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද නාට්‍යයකි. එයට වස්තු විෂය වන්නේ එලොව ගිහින් මෙලොව ආපු කලු අප්පු නම් හිඟන්නකු පිළිබඳ ජනකතාවකි. එහි දී කලු අප්පු එලොව ගොස් මෙලොව ආ බව කියන්නේ බොරුවටය. ගමහාමිනේව රැවටවීමටය. එහෙත් දොස්තයෙව්ස්කි නම් ඇත්තටටම එලොව ගොස් මෙලොව ආවේය.

1821 උපත ලද පියදෝර් දොස්තයෙව්ස්කිගේ පියා දොස්තරවරයෙකි. ඔහු ඉගෙනුම ලැබුවේ රුසියාවේ පීටර්ස්බගර් නගරයේ උසස් ම විදුහලකය. ඉගෙනුමත් සමඟ ම එකල බොහෝ උගත් තරුණයන් මෙන් ම දොස්තයෙව්ස්කිද රාජ්‍ය විරෝධියකු බවට පත්විය. ඔහු සාර් ආණ්ඩුවට එරෙහි දේශපාලන කණ්ඩායමක සාමාජිකයකු බවට පත්විය. ඒ නිසා 1848 දී අත්අඩංගුවට ගනු ලැබූ දොස්තයෙව්ස්කිට 1849 දී මරණ දඬුවම නියම විය. වෙඩි තබා මරාදැමීම සඳහා ඔහු ඇතුළු තවත් තරුණ රාජ්‍ය විරෝධීන් කිහිප දෙනකු කණුවේ ගැට ගසනු ලැබිණි.

ජීවිතයේ වටිනාකම දොස්තයෙව්ස්කි වටහාගත්තේ ඒ මොහොතේය. ආණ්ඩු විරෝධී අරගල කිරීමට වඩා තේරුමක් ජීවිතයට පවතින බව දොස්තයෙව්ස්කිට තේරුණේ ඒ මොහොතේය. මව පියා තමන්ට දැක්වූ ආදරයේ වටිනාකම ඔහුට වැටහුණේ ඒ මොහොතේය. මව පෙවූ කිරිවල වටිනාකම ඔහුට වැටහුණේ ඒ මොහොතේය. ඔහු ඒ සියල්ල අතැර දමා වෙඩි උණ්ඩය පපුව කරා එනතුරු බලා සිටියේය. එහෙත් වෙඩි හඬ ඇසුණේ නැත. එලොව ගිය දොස්තයෙව්ස්කිට ආපසු මෙලොවට එන්නට හැකිවිය. විශේෂ රාජ දූතයකු පැමිණ ඔවුන් සියලූ දෙනාගේ මරණ දඬුවම අහෝසි කර ඒ වෙනුවට සයිබීරියාවේ සිර දඬුවම් නියම කර ඇති බව දැනුම් දෙනු ලැබිණි.

පසුව සැබවින් ම ප්‍රකාශ වූයේ සාර් රජතුමා තුළ ඔවුන්ට මරණ දඩුවම දීමට අදහසක් නොපැවතුණු බවය. එය මේ උගත් කැරලිකාර තරුණයන් බියවැද්දීමට කළ රංගනයක් පමණක් විය. උගත් තරුණයන්ට සාර් රජතුමා ගැන වෛරයක් තිබුණත් ඔවුන් ඔහු මරා දැමීමට කුමන්ත්‍රණය කළත් සාර් රජතුමාට මේ තරුණයන් මරා දැමීමට අවශ්‍ය වූයේ නැත. තරුණයන් ගැන වෛරයක් තිබුණේ නැත. හිතන තරම් සාර් රජතුමා දරුණු වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ මොවුන් ව බිය වැද්දීමට පමණි. එය ලෝකයේ සාර්ථකම පුනරුත්ථාපන ක්‍රමය ද විය හැකිය.

මට සිතෙන්නේ තමන් මෙතරම් වෛර කළ සාර් රජු තමා කෙරෙහි දැක්වූ අනුකම්පාව හා දයාව ඉන්පසු දොස්තයෙව්ස්කි ද මුළු මහත් ලෝකය කෙරෙහි ම දක්වන්නට වූ බවකි. පියකු ලෙසින් තමන්ගේ රට වැසියන් ගැන සාර් රජතුමා හිතුවත් තමන් මවක පියකු නැති අයකු මෙන් ක්‍රියාකරමින් සිටි බව දොස්තයෙව්ස්කි වටහාගත්තේ ඒ රඟ දැක්වූ මරණ දඬුවම තුළිනි. කෙසේවුවත් මෙය සාර් රජුගේ අදහසක් ද නැතිනම් වෙනත් එවක සිටි තරුණයන්ට ආදරය දැක්වූ ප්‍රබලයකුගේ අදහසක් ද යන්න නොදනිමි. එහෙත් දොස්තයෙව්ස්කි වෙනස් ම මිනිසකු බවට පත්කළ මොහොත එය විය.

දොස්තයෙව්ස්කි නම් උගතා මිය ගොස් දොස්තයෙව්ස්කි නම් මිනිසා උපත ලද මොහොත එය විය. උගතා එලොව ගොස් මිනිසෙකු මෙලොව ආවේය. කැරලිකාරයා මිය ගොස් මිනිසුන් සමඟ දුක් විඳින්නට හා සැප විඳින්නට කැමති අයකු බිහිවිය. එසේ සිදුවූයේ සාර් රජතුමාගේ ආදරයේ මහිමය නිසා යැයි යළිත් කියන්නට මට සිතේ. විවිධ බාහිර අදහස් නිසා නොමග ගිය තාරුණ්‍ය යළි හරි මඟට ගැනීමට සාර් රජවරුන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. අනිත් අතට සමහර සාර් රජවරු හා ආණ්ඩුවේ ප්‍රබලයන් ද තරුණයන් සේ ම බාහිර හා ආගන්තුක අදහස්වලින් නොමඟ ගොස් සිටියේය. දොස්තයෙව්ස්කි ඉන්පසුව සටහන් කළේ විලාසිතා වන් සුන්දර අදහස්වලට වසඟව මූලික මිනිස්කම් අමතක කිරීමට එරෙහිවය. අපට අමුතු අදහස් නොතිබුණත් අම්මාගේ තාත්තගේ සහෝදර නෑදැ හිතවතුන්ගේ ආදරය හඳුනාගැනීමට හැකිනම් එයම පමණක් ප්‍රමාණවත්ය යන්න ඔහුගේ අදහස විය. කොතරම් අමුතු විප්ලවීය අදහස් තිබුණත් ඒවා හේතුවෙන් යමකුට මව පියා ගම රට අමතක වන්නේ නම් එතන විනාශයක් විනා විප්ලවයක් නැති බව පෙන්වාදීම ඉන්පසුව දොස්තයෙව්ස්කිගේ අරගලය විය. ඒ අරගලය උපත ලැබුවේ සාර් රජුගේ සුරතල් දඬුවමෙනි.

‘අදහස්’ යනු ආඩම්බරයටම කියන තවත් නමකි. අදහස් යනු තමන්ට ලොකුකම ආරූඪ කරගැනීමකි. තමන්ට වඩා ලොක්කකු නැති බව හිතට ගැනීමකි. අපේ ආඩම්බරය අපේ අහංකාරය අපට අමතක කර අපව ඉතා පරාර්ථකාමී මිනිසුන් යැයි අපට පෙන්වාදීම ‘අදහස්’ මඟින් සිදුකරනු ලැබේ. අප නොදැන අප ආඩම්බරකාරයන් බවට පත්කරන්නේ අදහස් විසිනි. අපේ අදහස් උදාර යැයි අපට සිතේ. එහෙත් එසේ වීමේ උදාරකමක් නැත. එනම් තමන්ගේ අදහස උදාර යැයි සිතීම තමන් උදාර යැයි සිතීමක් වන බැවිනි.

තමන්ගේ අදහස් උත්තරීතර යැයි අපට සිතේ. එහෙත් එය තමා උත්තරීතර යැයි සිතාගැනීමකි. තමන් උත්තරීතර යැයි සිතාගැනීම මෝඩකමක් බව අපට වැටහේ. එහෙත් තමන්ගේ අදහස් ද උත්තරීතර යැයි සිතීම ඒ හා සමානම මෝඩකමක් බව අපට නොවැටහේ. තමන් නිවැරැදි යැයි සිතීම වැරැදි බව අපට සිතේ. එහෙත් තමන්ගේ අදහස් නිවැරැදි යැයි සිතීම වැරැදි බව අපට නොසිතේ. වෙඩිල්ල වෙත මුහුණ දෙන්නට සිත හදාගන්නට උත්සාහ කරමින් සිටි කාලය තුළ දොස්තයෙව්ස්කි තමාගේ සියලූ ‘අදහස් හා මතවාද’ ඉවත දැමුවේය. මක්නිසාද යත් ඒ කිසිදු අදහසක් මතවාදයක් මගින් වෙඩි උණ්ඩයට මුහුණදීමට සිත හදාගත නොහැකි වූ බැවිනි. දොස්තයෙව්ස්කි නම් මහා ශ්‍රේෂ්ඨ ලේඛකයා ඉපදුණේ සාර් රජතුමාගේ පත්තු නොවූ තුවක්කුවෙනි.

කෙසේවුවත් මේ අදහස් පිළිබඳ අදහස් මා උපුටා ගත්තේ නැතිනම් සිතාගත්තේ පියෙදෝර් දොස්තයෙව්ස්කි විසින් ලියනු ලැබ ‘රෝ යූත්’ නමින් ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇති කෘතියෙනි. ‘රෝ යූත්’ යන්නට නොමේරූ තාරුණ්‍ය, ළඳ බොළඳ තරුණයා, ළාමක තරුණයා, තරුණ ළදරුවා, නාම්බා ආදී වශයෙන් තේරුම් ලබාදීමට හැකිය. මේ කෘතිය සිංහලට පරිවර්තනය වී නැත.

රෝ යූත් නම් කෘතිය ගැන මා දැනගත්තේ ජෝ ලූයිස් බර්හේස් නම් ලතින් ඇමරිකානු ලේඛකයාගේ කෘතියකිනි. ජෝ ලුයිස් බර්හේස් ගැන මා දැනගත්තේ මහාචාර්ය විමල් දිසානායකගේ පුවත්පත් ලිපියකිනි. මා මේ වක්‍රව කියන්නට හදන්නේ මේ අදහස් මගේ ම නොවන බව විය හැකිය.

එදා වෙඩි උණ්ඩය නොආ නිසා එලොව ගොස් මෙලොව ආ දොස්තයෙව්ස්කිට එතනින් යන්නට වූයේ සයිබීරියාවේ සිර ගෙදරකටය. එය ඔහුට මානසික වශයෙන් දෙව්ලොවක් විය. එනම් පීටර්ස්බර්ග් නුවර සිටින මිනිසුන්ට වඩා මිනිසුන් එහි දී ඔහුට දැකගත හැකිවිය. ලක්ෂ ගණනක් සිටින පීටර්ස්බර්ග් නුවර හරි මිනිසුන් සිටියේ කීප දෙනකු පමණක් වුවත් දෙතුන්සීයක් සිටි සිර ගෙදර ‘හරි මිනිසුන්’ විශාල පිරිසක් සිටින අයුරු දොස්තයෙව්ස්කි දැකගත්තේය. මතවාදී දැනුමට වඩා දැනුමක් ජීවිතය තුළින් උකහාගැනීමට හිර ගෙදර ජීවිතය දොස්තයෙව්ස්කිට උපකාරී විය. මතවාද සමඟ ජීවත්වීම වෙනුවට මිනිසුන් සමඟ ජීවත්වීමට දොස්තයෙව්ස්කි කෙමෙන් උගත්තේ හිර ගෙදරදීය. මතවාද ඇසුරුකිරීම වෙනුවට මිනිසුන් හා හදවත් ඇසුරුකිරීමට දොස්තයෙව්ස්කි උගත්තේ හිරගෙදරදීය. එහෙත් අද අපව හුරු කරනු ලබන්නේ මිනිසුන් වෙනුවට මතවාද ඇසුරු කිරීමටය. එයින්ම සෑහීමට පත්වීමටය. එයින්ම සන්තෝස වීමටය.

දොස්තයෙව්ස්කි රෝ යූත් නොඑසේනම් නාඹර තරුණයා පොත ලීවේ ම එයින් රුසියානු තරුණයා මුදාගැනීමටය. අපට සිතෙන්නේ ජීවිතයේ විනෝදය ඇත්තේ මිනිසුන් වෙනුවට මතවාද ඇසුරු කිරීම තුළ බවය. අප ජීවත්වන්නේ ද මිනිසුන් උදෙසා නොව මතවාද උදෙසාය. මෙය දොස්තයෙව්ස්කිගේ මතවාදය නොවේ. මතවාද වෙනුවට දොස්තයෙව්ස්කි නිර්මාණය කළේ මිනිසුන්ය. ලෙයින් මසින් ගැහෙන හදවතින් යුතු මිනිසුන්ය. එවැනි මිනිසුන් පොස්තයෙව්ස්කිගේ පොත් තුළින් හමුවේ. දොස්තයෙව්ස්කි විශිෂ්ට ලේඛකයකු වන්නේ මතවාදවලට එරෙහිව ‘මිනිසුන්’ නිරේමාණය කළ නිසාය. අප ද මතවාද නොව මිනිසුන් වීමට උත්සාහ කළ යුතු යැයි දොස්තයෙව්ස්කිගේ පොත් කියවන විට හිතෙන්නේ ඒ නිසාය.

කෙසේ වුවත් මතවාද වෙනුවට මිනිසුන් හමුවන්නේ දොස්තයෙව්ස්කිගේ කෘතීන්ගේ පමණක් නොවන බව මා කිව යුතුය. මතවාද ඔස්සේ මිනිසුන් තේරුම් ගැනීමට වඩා මිනිසුන් ඔස්සේ ලෝකය හා මතවාද තේරුම් ගැනීම යහපත් යැයි සිතමි.

පුරාතනයේ සිට පැවත එන කතන්දර කීම මගින් සිදුවන්නේ එයයි. එක්දහස් එක් රැය අරාබි කතා එකතුව සම්පූර්ණයෙන් කියවූ අයකු මතවාදවලට කොටුවන්නේ අඩුවෙනි. පංච තන්ත්‍රය කියවූ අයකු යම් මතවාදයක වහලෙකු බවට පත්වන්නේ කලාතුරකිනි. පන්සිය පනස් ජාතක පොත කියවූ ඇසූ අය එක් පැත්තක් පමණක් දකින මතවාදයකින් කොටුකර තැබීම අපහසුය.

මතවාදයකින් ලෝකයේ එක් පැත්තක් අංශයක් පමණක් ග්‍රහණය කරනු ලබන අතර පුංචි වුවත් කතන්දරයකින් ඊට වඩා පුළුල් හා ප්‍රයෝජනවත් විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. අදහස්වලට වඩා කතන්දර ජීවිතයට සමීපය. අර්ථවත්ය. වැඩදායී වේ. එහෙත් කතන්දර වෙතින් අදහස් හා මතිමතාන්තර වෙතට සංක්‍රමණය වීම මිනිසුන් අතර අන්‍යොන්‍ය අවබෝධය හීනවීමට හේතු වී ඇතැයි මට සිතෙයි. නැතිනම් ‘නූගතකු’ බිහිවීමට හේතුවී ඇතැයි මට සිතේ. අරාබි නිසොල්ලාසයේ කතාවකින් ජීවිතය ඒ හැටියෙන් ම ග්‍රහණය වන්නේ නම් මතවාදයකින් කෙරෙන්නේ ජීවිතය කොක්කකින් එල්ලීම වැන්නක් යැයි සිතේ. නැතිනම් ලෝකය දෙසට ඇඟිල්ල දිගුකර පෙන්වීමක් විනා ලොව ඒ සැටියෙන්ම තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් නොවේ. මොනතරම් මතවාද දැන සිටියත් පරතෙරට ගියත් පන්සිය පනස් ජාතක පොත, එක්දහස් එක් රැය, පංච තන්ත්‍රය, මහා භාරතය, රාජධානි තුනේ කතාව නම් චීන නවකතාව ආදී කෘති කියවා නොමැති නම් එවැන්නකු සතු ලෝකය පිළිබඳ දැනීම පාර්ශවීය වේ.

මතවාද හා දාර්ශනික අදහස් තුලනය කිරීමක් හා මිනිස් මනසට දරාගත හැකි තත්ත්වයකට ගෙන ඒමක් කතන්දර මගින් සිදු කෙරේ. වෙස්සන්තර රජ්ජුරුවන්ගේ චරිතයෙන් තොරව බුදුදහමට ප්‍රවේශයක් ලබාගැනීමට අපහසු යැයි සිතේ.

එහෙත් අද කතන්දර තුළින් ලෝකය දැකීම අඩුය. අද පළවන නවකතාවල ද කතන්දරවල හා චරිතවලට වඩා ඇත්තේ මතවාදය. මේ නිසා අද පවතින්නේ කතන්දරවලට බර වූ ලෝකයකි. ලෙනින් සාර්වරුන්ට එරෙහි කළ සටන කතන්දරවලට එරෙහිව මතවාද විසින් ගෙනගිය සටනක් යැයි කීම සම්පූර්ණ සත්‍යයක් නොවූවත් සත්‍යයෙන් කොටසක් ඒ තුළ අඩංගු වන්නේ යැයි දොස්තයෙව්ස්කිගේ කෘති කියවන විට හැඟේ. කෙසේ හෝ සාර් රජු භංග වේවා යැයි හා ලෙනින්ට ජය වේවා යැයි කීම පමණක් නුවණ යැයි සැලැකීමට නොහැකිය . 

 

 

Comments