අපේ නිදහස නොවැළැක්විය හැක්කකි | Page 3 | සිළුමිණ

අපේ නිදහස නොවැළැක්විය හැක්කකි

සිංහ කොඩිය, සිංහල කොඩිය යැයි ගැනීමෙන් මහ ජාතිය හා සමඟ කතුරු හබ ඇති කර ගැනීමට සුළු ජාතීන්ට ඉඩක් ලැබෙතියි යන සැකය, මහජන මන්ත්‍රී මණ්ඩලයේ කොඩි ප්‍රශ්නය සම්බන්ධයෙන් කෙරුණ වාදයෙහි දී එක් මන්ත්‍රීවරයකු කියා පෑ නමුත්, එය උපන් ගෙයිදීම යටපත්වී යාම ශුභ ලකුණකි. කොඩි වාදයෙහි දී සුරතින් අසිපත ගත් අප රට සුප්‍රකට සිංහයා ගැන කිසිවකු වැඩි විරුද්ධත්වයක් නොපෑමද ජාතික කොඩි ප්‍රශ්නට සතුටුවිය හැකි පරිදි විසඳා ගැනීමට අවකාශ ලබාදෙන්නකි.

එක්දහස් නවසිය හතළිස්අටේ ජනවාරි දහඅටවැනි ඉරිදා සිළුමිණ පුවත්පතට මහාචාර්ය ගුණපාල මලලසේකර ලියා තිබුණු ලිපියෙහි සිරස හැටියට යොදාගෙන තිබුණේ මෙම වැකියයි.

”අපේ නිදහස නොවැළැක්විය හැක්කකි.”

අපගේ ඓතිහාසික ලේඛන අතරට එක්ව ඇති එකී ලිපියෙහි ලා මලලසේකර මහාචාර්යතුමා මෙසේ සඳහන් කෙළේය.

”පෙර රජුන් දවස රෝමයෙන් හා මිසරයෙන් පැමිණි තානාපතීහු රටෙහි සුන්දරත්වයද, සෞභාග්‍යයත්වයද වර්ණනා කරන අතර, ඊටත් වඩා ප්‍රශංසා මුඛයෙන් මෙහි වැසියන්ගේ ධර්මිෂ්ටභාවය ගැන ප්‍රකාශ කළහ. අතීතයෙහි ඈත පෙරදිගින් පැමිණි දේශ සංචාරකයන්ගේ ගමන් විස්තරයන්හි, විශිෂ්ට වශයෙන් සඳහන් වන්නේත්, මෙහි වැසියන්ගේ ගුණධර්ම සම්ප්‍රදාය පිළිබඳ තොරතුරුයි. බොහෝ අවුරුදු ගණනක් මෙහි පදිංචිව සිටි, රොබට් නොක්ස් මෙරටින් පිටව ගිය පසු, සිංහලයන් ගැන මුව නොසෑහෙන තරම් වර්ණනා කෙළේය. අදත් මෙහි පැමිණෙන විදේශීහු අපේ කරුණාව ගැනත්, ආගන්තුක සත්කාරයට ඇති බලවත් ආශාව ගැනත්, නිතර ලියති. කියති. පෙර මෙරට ආසියා මහාද්වීපයේ ධාන්‍ය භාණ්ඩාගාරයයි ප්‍රසිද්ධියට පැමිණියේය. මහා යුද්ධය පැවැති කාලයෙහි මෙහි ඇති වූ ආහාර හිඟය අති දරුණු විය. එහෙත් මෙහි හාමතින් මළ එකම කෙනකු ගැනද අසන්නට සිදු නොවූයේ, මිනිසුන්ගේ මේ මහත් කරුණා ගුණය නිසායයි යුරෝපයෙන් මෙහි පැමිණි පඩිතුමෙක් කියා ඇත. නොයෙක් තැන්වල ඇති අපේ සහස‍්‍රසංඛ්‍යාත සෙල් ලිපිවලට සමාන සෙල් ලිපි චීන භාෂාවෙහිද නැත. අපේ මහාවංශය වැනි ඉතිහාස ග්‍රන්ථයක් අන් කිසිම ජාතියක දක්නට නොලැබේ.‘‘

එක්දහස් නවසිය හතළිස්අට ජනවාරි විසිපස්වැනි ඉරිදා සිළුමිණ පුවත්පතට මහාචාර්ය මලලසේකර ලියූ ලිපියෙහි සිරස හැටියට යොදාගෙන තිබුණේ මෙම වැදගත් ප්‍රශ්නයයි.

”අපට නිදහස කුමකටද?”

සැත්තෑවසකට පෙර මෙම ශ්‍රී ලාංකික ප්‍රාඥයා විසින් නඟන ලද එම ප්‍රශ්නය, අදටත් වලංගු වන ප්‍රශ්නයක් නොවන්නේද?

මහාචාර්ය මලලසේකර එම ලේඛනයෙහි ලා සඳහන් කළ අපූරු සිද්ධියක් මෙහිලා උධෘත කොට දැක්වීම අතිශයින්ම උචිත වන්නේය.

”මං එන්ගලන්තයේ ඉගෙනගන්නා දිනක් සිදුවූ දෙයක් මට මතකයි. මගේ මිත්‍රයන් අතර ජපන් ශිෂ්‍යයෙක්ද, බුරුම ශිෂ්‍යයෙක්ද වූහ. වරක් මා සමඟ ආහාර ගැනීම පිණිස මම මේ දෙදෙනා කැඳවා ඔවුනොවුන් හඳුන්වා දුනිමි. බුරුම ශිෂ්‍යයා සමඟ එකට වාඩිවී කෑම ගැනීමට ජපනා සම්පූර්ණයෙන්ම නොකැමැති විය. බුරුමයා වහලකු සේ ජපනා සැලකූ බැවිනි. නිදහස නැත්තා වහලකු බවත්, එවැන්නකු සමඟ කෑමට එකට වාඩිවීම තමන්ට බලවත් නින්දාවක් බවත් ජපනාගේ තර්කය විය. බුරුම ශිෂ්‍යයා ඒ පිළිගත්තේය. පිළිගෙන, දොහොත් මුදුනෙහි තබා ස්වකීය නිදහස ලබාගැනීම සඳහා එදින සිට දිවි පුදා සටන් කරන බවට බලවත් දිවුරුමක් කෙළේය. එතරම් නිර්භීත ප්‍රකාශයක් කිරීම නිසා, බුරුමයා වහල්භාවයෙන් මිදුණකු ලෙස සැලකිය හැකි බව කියා ජපනා ඔහු සමඟ වාඩිවී කෑම කෑවේය. ඒ බුරුම ශිෂ්‍යයා අද බුරුමයේ ස්වාධින කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.”

මීට අඩ හැත්තෑවසකට උඩ දී අපගේ බුද්ධිමත් ජනතාව ජාතික නිදහස පිළිබඳව කළ ප්‍රාර්ථනයත්, එහි අර්ථවත්භාවය කෙසේ විය යුතුද යන්නත්, මහාචාර්ය මලසේකර සඳහන් කරන එකී සිද්ධියෙන් පෙනී යයි. එම ලිපියෙහිම ලා, ඔහු අප දේශය ඉංග්‍රීසීන්ට යටත් වූ මුල් කාලයේ දී දෙගල්දොරුවේ පන්සලේ නායක හාමුදුරුවන් අවට ගම්වල දරුවන්ට උගන්වා නිතර කියවන්ට සැලැස්වූ පුංචි කවි දෙකක්ද උධෘත කොට දක්වා තිබුණි.

”අනේ කූඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ 
අපට නැත ඉන්නේ
ඉන් නිසාවද අපි තැවෙන්නේ
රජෙක් ලැබුනොතින්
කොඩි සේසත් නගන්නන්
බෙර පතුරුවන්නන්
සාදු නාදෙන් ගිගුම් දෙන්නන්”

අපේ ජාතිය නිදහස බලාපොරොත්තුව සිටියේ එවන් සිතිවිලිවලියක් පෙරදැරි කරගෙනය. අපේ දේශයට නිදහස ලැබෙන්ට ඔන්න මෙන්න කියා තිබුණු අවස්ථාවක සුප්‍රකට සාහිත්‍යධරයකු වූ මාතර ජස්ටින් විජයවර්ධන ”නිදහස් උත්සව දිනයෙහි ”අපේ මවුරට වෙනුවෙන් කැපවීම” යන හිසින් සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක් ගැන සඳහන් නොකරම බැරිය. මේ ලිපිය පළවූයේ 1948 පෙබරවාරි පළමුවැනි ඉරුදින හෙවත් නිදහස ලැබෙන්ට දින තුනකට කලිනි. මෙම ලිපිය වැදගත් වන්නේ එහිලා ඔහු විසින් උපුටා දක්වන ලද මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ”ගීතාංජලියෙහි” එන තිස්පස්වැනි පද්‍යය නිසාය.

නිදහස් චිත්නනය පිළිබඳ ආදර්ශ පාඨයක් බඳු එකී පද්‍යය ජස්ටින් විජයවර්ධන සූරීන් තමන්නේ අනනුකරණීය ගද්‍ය රීතියෙන් සිංහලට නඟා, ස්වකීය ලිපියෙහි ඇතුළු කෙළේ මෙපරිද්දෙනි :

”සිත බියෙන් වෙන් කොට පැවැත්විය හැක්කේ යම් තැනකද

හිස ඍජුව ඔසවාගෙන විසිය හැක්කේ යම් තැනකද

ශාස්ත්‍ර ඥානය රිසිසේ ලැබිය හැක්කේ යම් තැනකද

පටු ගෘහස්ථතා ප්‍රාකාරයන්ගෙන් ලෝකය කැබලි නොකොට පැවැත්විය හැක්කේ යම් තැනකද,

සත්‍යයේ පත්ලෙන් උද්ගත වන වචන ඇත්තේ යම් තැනකද

පුරුෂ වීර්යය නම් දෙයක් සම්පූර්ණත්වය කරා ඔසවා නොනවත්වා ධෛර්ය වඩන්නේ යම් තැනකද

විචාර බුද්ධිය නමැති පිරිසිදු දිය දහර, මෘත ස්වරූපී වූ පුරුද්ද නමැති වියළි මරු කතරෙහි වැදී නොසිඳෙන්නේ යම් තැනකද

නුඹවහන්සේ විසින් මඟ පෙන්වනු ලබමින් සදාකල්හි ක්‍රමයෙන් පුළුල් වන කල්පනා හා ක්‍රියාවන්හි යෙදෙන්නාවූ සිත පෙරමුණ කරා ගමන් ගන්නේ යම් තැනකද

මාගේ පියාණන් වහන්ස, ඒ නිදහස නමැති ස්වර්ග රාජ්‍යය කරා මාගේ රට පුබුදුවා ලන්න.”

එකී පද්‍යය ඉදිරිපත් කිරීමෙන් පසුව, ජස්ටින් විජයවර්ධනයෝ මෙසේද පවසති :

”නිදහස ලැබූ භාරතය මෙපරිද්දෙන් පුබුදුවීමෙන් යෙදී සිටී.

”මේ අතර ඕජදීපය, වරදීපය, රත්නදීපය, සිංහලදීපය, ධර්මදීපය ආදි නම්වලින් හැඳින්වෙන අපේ ජන්ම භූමියට නිදහස ලැබීමේ දිනය පෙනෙත්ම, අප සිත් තුළද උස් හැඟීම් ඇතිකර ගත යුතුව තිබේ.

”අපේ ජාතික නිදහස පිළිබඳව සටන් කළා වූ වීර පුරුෂයින් කෘතඥතාපූර්වකව සිහි කිරීම විශේෂයෙන් කළ යුත්තෙකි.

”නානා ජාතිවලට අයත් නානා ආගම්වලට අයත් නානා තරාතිරම්වල අය තම ශක්ති පමණින් කළ සේවය උසස් කොට සැලකීම, නිදහස් ප්‍රීත්‍යෝත්සවයේ එක් අංගයක් විය යුතුය...”

ජස්ටින් විජේවර්ධනයන්ගේ මෙම ලේඛනය, සැබැවින්ම අපූර්ව රචනයකි. විසිවැනි සියවසේ මුල් භාගයේ, ජාතික නිදහස පිළිබඳ චින්තනයේ වඩාත්ම පුළුල් මායිම් දැක්වූ රබීන්ද්‍රනනාත් තාගෝර්ගේ සුප්‍රකට පද්‍යය උධෘත කරමින් සමගිසම්පන්න ප්‍රෞඪ ජාතියක් හැටියට නැ‍ඟී සිටිනු සඳහා, මෙම ලේඛකයා මීට අඩසියවසකට පෙර කළ ප්‍රාර්ථනය වඩාත් වලංගු වන්නේ අදටය. සැත්තෑවසකට පසුව කිසිවකු විසින් උධෘත කොට දක්වතැයි යන බලාපොරොත්ත්වකින් තොරව, ඔහු විසින් ලියන ලද එකී ලේඛනයේ අවසාන භාගයෙහි දී ඔහු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මෙබඳු ප්‍රාර්ථනයක් කරන්නැයි ඉල්ලා සිටියේය.

”මම ලක්මවගේ පුතෙක්මි. දුවක්මි. සැම ලක්වැසියාම මාගේ සහෝදරයෙක්වේ. සහෝදරියක් වේ. නූගත් ලක්වැසියාද, උගත් ලක්වැසියාද, දුක්පත් ලක්වැසියාද, පොහොසත් ලක්වැසියාද, කුලහීන ලක්වැසියාද, කුලවත් ලක්වැසියාද මාගේ සහෝදරයෙකි. සියලූ ලක්වැසියෝ මාගේ සහෝදර සහෝදරියෝ වෙති. ලක්වැසියන්ගේ ජීවිතය මාගේ ජීවිතයයි....”

එදා අපේ ජාතියේ බුද්ධිමත්හු අපේ ප්‍රෞඩත්වය තරමටම, මුළු මහත් ජාතියේ සියලූම ජනකොටස් එකට බැඳ තබන සහෝදරත්වයේ ජාතික බැම්ම කුමක්දැයි යනුද, හඳුනාගෙන සිටියහ.

සැබැවින්ම, ඉතිහාසය කියන්නේ පූර්වාපර සන්ධි ගැලපීමකටය. එදා මාතර ජස්ටින් විජයවර්ධනයන් සඳහන් කළ ජාතික සහෝදරත්වය, අද අපට අවශ්‍ය වී ඇත. එය අද අපගේ ජාතික ප්‍රාර්ථනය බවට පත්ව ඇත.

භාරතීය නිදහස් අරගලයට නායකත්වය දුන් මහත්මා ගාන්ධි සාහසිකයකුගේ වෙඩි පහරකින් මියගියේ හතළිස්අට ජනවාරි තිස්එක්වැනි දිනය. අපට නිදහස ලැබෙන්ට දින හතරකට පෙරය. අපගේ නිදහස් උත්සවයේ උත්කර්ශවත්භාවය කිසියම් පමණකින් ගාන්ධි ඝාතනයෙන් යටපත්ව තිබුණු බව, එකල්හි පුවත්පත් විමසා බලන විට පෙනී යයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ අගමැති පණ්ඩිත ජවහර්ලාල් නේරු විසින් අප වෙත එවන ලද පණිවිඩය සැබැවින්ම අර්ථවත්ය. ඊටත් වඩා එය අපගේ අසල්වැසි සබඳතා පිළිබඳ ප්‍රෞඪ නිදර්ශනයක්ද වෙයි. නේරු ස්වකීය පණිවිඩයෙහි ලා මෙසේ සඳහන් කෙළේය.

”මහාද්වීපයන්ගේ මෑණියන් වන ආසියාවේ දැන් සම්පූර්ණ පරිවර්තනයක් ඇති වන්නේය. දුක් විලාප කාලයකින් පසුව, ආසියාව දැන් නිදහසට හා ස්වාධීනත්වයට එළඹෙන්නීය. මේ පරිවර්තනය ඇතිවූයේ බොහෝ සෙමින් බව පෙනෙන නමුත්, ඉතිහාසය හා සන්සන්දනය කර බලන කල, එය ඉක්මන් යයි කිව යුතු තරම් ය.

එක්දාස් නවසිය හතළිස්අට පෙබරවාරි අටවැනිදා වන විට අපට නිදහස ලැබී දින හතරක්ම ඉක්ම ගොස් තිබුණි. එදින ”නිදහස ලැබීමේ ප්‍රීති සන්තෝෂය” යන හිසින් සිළුමිණ පුවත්පතට ලිපියක් ලියන කරදන ජිනරතන නායක හාමුදුරුවන් කියා සිටියේ, රට පාලනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවය.

”..... දුෂ්කර කර්තව්‍යය නම් මුළු රටටම අභිවෘද්ධි සාධක ලෙස මැනවින් රට පාලනය කර ගැනීමය....”

නිදහස් ගංගාව සියලූ දුර්ග අතරින්ද, දුෂ්කර මාර්ග ඔස්සේද, තැනිතලා බිම දිගේද ගලාගෙන ගියේ ඉදිරියටමය.

යළිත් වරක් ලංකාවේ ලෙලදෙන්ට පටන් ගත් සිංහ කොඩිය සෙවණෙහි, අපි දැන් සැත්තෑවසක් ගතකොට ඇත්තෙමු.

ඒ කාලය තුළ බොහෝ දේවල් සිදු විය. විවිධ මං ඔස්සේ රටත් ජාතියත් ගමන් කෙළේය. ඉදිරියට තැබූ පියවර තරමටම ආපසු තැබුණු පියවරද ඒ මගෙහි දක්නට නැත්තේ නොවේ. කෙසේ වෙතත්, දුර්ගමවූ ඒ ගමන් මාර්ගය, අනාගතාභිමුඛවම සිටි බව ද අමතක කරනු බැරි වෙයි.

ඉතිහාසයේ ඕනෑ තරම් වැරදි සිදුවෙයි. ඉතිහාසය හිතාමතාත්, නොසිතාත්, නපුරුකම්ද කරයි. අපට නිදහස ලැබෙන්ට දිනකට පෙර, එනම්, 1948 පෙබරවාරි 3 වැනිදා සිලෝන් ඬේලි නිවුස් පත්තරයේ මුල් පිටුවෙහි පළව තිබුණු එක් පුවතක්, මෙසමයෙහි සමාජ විද්‍යාඥයකුට නම්, නිධානයක් තරම් වටින්නේය.

අපේ ජනවර්ග අර්බුදය කාන්දුවන්ට පටන් ගත්තේ කොතැනින්ද?

එයට වගකිව යුත්තේ කවරහුද?

එපුවත පළවුණේ, “Where Lion Flag is not acceptable” (සිංහ කොඩිය පිළිගත නොහැක්කේ කොහේද?) යනුවෙනි.

එහි උප සිරස වූයේ නන්දි කොඩිය තහනම් කළ බවය. තුන්වැනි සිරසින් කියා සිටියේ මේ පිළිබඳව ආණ්ඩුවේ ඒජන්තවරුන්ට උපදෙස් දී ඇති බවය. පුවත මෙසේ විය :

”උතුරු පළාත වැනි සිංහ කොඩිය පිළිගත නොහැකි පළාත්වල සැරසිලි කටයුතු සඳහා, සිංහ කොඩිය හෝ නන්ද කොඩිය යොදා ගැනීම තහනම් වෙයි. එබඳු තැන්වල රාජ්‍ය කොඩිගස්වල නැන්විය යුත්තේ යූනියන් ජැක් (හෙවත් ඉංගිරිසි කතිර) කොඩියයි.”

මෙම පුවතට අර්ථකථනයකුත් කළ යුතුද?

අපට නිදහස ලැබුණු අවධියේ ජාතික කොඩිය පිළිබඳ ප්‍රශ්නය කිහිප දිශාවකින්ම පැන නැඟුණි. නිදහස ලබන ශ්‍රී ලාංකික ජනතාවගේ කොඩිය කුමක් විය යුතුද?

මේ සම්බන්ධයෙන් දේශපාලකයින් දේශපාලන අරමුණු අනුවද, එකිනෙක ජනවර්ග තමන්ට අභිමත වූ තෝරා ගත් අපේක්ෂාවක් අනුවද, විවිධ මතවාද ඉදිරිපත් කළහ. එහෙත් මේ සම්බන්ධයෙන් 48 ජනවාරි විසිපස්වැනි දින සිළුමිණ පුවත්පතේ පළවුණු කතුවැකියත්, එම පිටුවේම පළවුණු මයුරපාදගේ ලිපියත් ඉතා වැදගත්ය. මයුරපාද නමින් ලියූ ලේඛකයා අන් කවරකුවත් නොව, මාර්ටින් වික්‍රමසිංහය. කතුවැකිය ලියන්නට ඇත්තේද මයුරපාද විසින්ම බව, භාෂා රීතිය අනුව අනුමාන කිරීම අනුචිත නොවේ. කතුවැකියෙහි මැද භාගයේ දී, මෙසේ සඳහන්ව තිබුණි.

”.... ජාතීන් කිහිපයක් වෙසෙන රටක ඒ සැමදෙනා සතුටුවනාකාරයෙන් කොඩි ප්‍රශ්නයක් විසඳා ගැනීම ගලින් පට්ටා ඉලිප්පීම බඳු දුෂ්කර කාර්යයක් වතුදු, සියල්ලන්ට පිළිගත හැකි ජාතික කොඩියක් සකස් කිරීම දුෂ්කර නොවන බැව්, කොඩි ප්‍රශ්නය අරබයා අප රට උබය මන්ත්‍රණ සභාවන් තුළ කොඳු කඩන්නාක් මෙන් කෙරුණු වාද විවාදවලින් ඔප්පු විය.

සිංහ කොඩිය, සිංහල කොඩිය යැයි ගැනීමෙන් මහ ජාතිය හා සමඟ කතුරු හබ ඇති කර ගැනීමට සුළු ජාතීන්ට ඉඩක් ලැබෙතියි යන සැකය, මහජන මන්ත්‍රී මණ්ඩලයේ කොඩි ප්‍රශ්නය සම්බන්ධයෙන් කෙරුණ වාදයෙහි දී එක් මන්ත්‍රීවරයකු කියා පෑ නමුත්, එය උපන් ගෙයිදීම යටපත්වී යාම ශුභ ලකුණකි. කොඩි වාදයෙහි දී සුරතින් අසිපත ගත් අප රට සුප්‍රකට සිංහයා ගැන කිසිවකු වැඩි විරුද්ධත්වයක් නොපෑමද ජාතික කොඩි ප්‍රශ්නට සතුටුවිය හැකි පරිදි විසඳා ගැනීමට අවකාශ ලබාදෙන්නකි. කොඩි ප්‍රශ්නය අරභයා මහජන මන්ත්‍රණ සභාවේ කෙරුණු උණුසුම් වාදය ලබන අඟහරුවාදාට කල්යාම සුබ ලකුණක් හැටියට සැලකිය යුතු වන්නේ, සමඟියෙන් ඉවසිල්ලෙන් හා උපේක්ෂාවෙන්ද යුතුව විසඳාගත යුතු මේ වැදගත් ප්‍රශ්නය ගැන දුර පෙනෙන නුවණින් යුතුව ක්‍රියා කිරීමට ඒ කරණ කොටගෙන කාටකාටත් ප්‍රස්තාව ලැබුණ හෙයිනි.”

යළිදු, එම කතුවැකියෙහිම අවසාන භාගයේ දී මෙසේද සඳහන් විය.

”..... ලංකාවට ඩොමීනියන් ආණ්ඩු බලය ලැබෙන දින එසවිය යුතු කොඩිය කුමක්ද යනු ඉන් එක් ප්‍රශ්නයකි. අනෙක් ප්‍රශ්නය නම්, ස්ථිර ජාතික කොඩිය කුමක් විය යුතු ද යන්නයි. මෙහි මුලින් කී ප්‍රශ්නය ගැන කාටවත් මුඛ නගන්නට බැරි අන්දමින් ඍජු පිළිතුරක් දුන් අගමැතිවරයා, 1815 අවුරුද්දේ සෙංකඩගල නුවර දී ඇද දැමූ සිංහ කොඩිය, ලංකාව ස්වාධීනත්වය ලබන දිනයේ දී නැවත එසවීම යුක්තියුක්ත බැව් එඩිතර ලෙස පෙන්වා දුන්නේය.”

එකී කතුවැකිය අවසන් වන්නේ භාරතයේ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය අමතමින් අගමැති ජවහර්ලාල් නේරු කළ ප්‍රකාශයක්ද උපුටා දකිවමිනි.

1955 ජූනි 28 වැනිදා තිනකරන් පුවත්පතේ ප්‍රධාන පුවත හැටියට මුල් පිටුවේ පළව තිබුණේ එකී ඉල්ලීමයි. ප්‍රවෘත්ති ශිර්ෂය මෙසේ විය.

”කල් නොයවා දෙමළ හා සිංහල භාෂා රාජ්‍ය භාෂා කරනු.”

නිදහස අසමසම බලවේගයකි. එහි අර්ථයෙහි මෙන්ම කාර්යභාරයෙහි, සීමාවක් ඇත්තේ නැත. නිදහස පිළිබඳ විවරණය අහවල් තැනින් නැවැත්විය යුතුයයි අණ කළ හැකි ජගතෙක්ද මිහිපිට නොසිටියි. නිදහසේ හැටි සොබාව එසේය.

ආචාර්ය අධිනීතීඥ
ඩබ්ලියු.ඒ. අබේසිංහ

Comments