
පාඨක, විචාරක උභය පාර්ශ්වයේ ම ශාස්ත්‍රාභිලාෂීන්ගේ ප්‍රසාදයට, අධ්‍යයනයට ලක් වූ ග්‍රන්ථ සම්භාරයක් තිළිණ කළ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් වෙනුවෙන් මෙවර සත්මඬල විශේෂ විමර්ශන අතිරේකය වෙන් වෙයි. සිංහල ලේඛකයන් අතර මහාචාර්ය සුරවීර තරම් විවිධ කේෂ්ත්‍රයන්හි පෘථුල සේවාවක් කළ ලේඛකයන් ඇත්තේ අතළොස්සක් පමණ යැ යි කිව හොත් ඔබ එකඟ වනු නියත ය. ඔහුගේ එකුන්තිසක් වූ ග්‍රන්ථ සහ දෙසියයකට අධික පර්යේෂණාත්මක සහ ශාස්ත්‍රීය ලේඛන සම්භාරය ඊට සාක්ෂි දරයි. ඒවා ද නන් විධ කේෂ්ත්‍ර නියෝජනය කරන්නේ ය. ඒවා සම්භාව්‍ය සහ නූතන සාහිත්‍ය විචාර, ශිලා ලේඛන විමර්ශන, සිංහල සංස්කෘතික අධ්‍යයන, සම්භාව්‍ය සහ අද්‍යතන ග්‍රන්ථ පරිවර්තන, නවකතා, කෙටිකතා, ළමා සාහිත්‍ය ආදි වශයෙන් වර්ග කළ හැකිය.
1960 ජනවාරි 01 වැනිදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සහාය කථිකාචාර්ය ධූරයක් ලැබ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය තෙක් සෑම කඩඉමක් ම කුසලතා මත උසස්වීම් ලත් සුරවීරයන්, මෙරට විශ්වවිද්‍යාලයන්හි සිංහල අධ්‍යයන අංශවල “ අගත අනගත චතුදිශ ශගශ“ යන පාඨයේ පටන් නවතම සාහිත්‍ය කෘතිය තෙක් සිංහල සාහිත්‍ය අලළා උපාධි, පශ්චාද් උපාධි දේශන පැවැත්වූ එක ම විද්වතා යැ යි කියනු ලැබේ. එමෙන් ම සාහිත්‍ය නිර්මාණය පිළිබඳ පූර්ණ පාඨමාලාවක් හැදෑරූ ප්‍රථම ලාංකිකයා වන්නේ ද එතුමා ය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ප්‍රථම වරට සාහිත්‍ය නිර්මාණය පිළිබඳ පිළිගත් අධ්‍යයන මාර්ගයක් ආරම්භ කර, ඉනික්බිති එය ලේඛකත්ව සහ සන්නිවේදන පශ්චාත් උපාධි සහ ඩිප්ලෝමා යන පාඨමාලා ලෙස දියුණු කිරීම ද මහාචාර්ය සුරවීරයන්ගේ මඟ සලකුණු ය.
මේ කරුණු කාරණා විමසන කල මහාචාර්ය සුරවීරයන් පිළිබඳ මේ නිකුත් කරන විශේෂ විමර්ශන අතිරේකය මෙරට සංස්කෘතික, ශාස්ත්‍රීය, විමර්ශන හා සාහිත්‍ය ගවේෂණයක් වනු නියතය. සත්මඬල මේ නිකුත් කරන්නේ විශේෂ විමර්ශන අතිරේක මාලාවේ 21 වැන්න යි. සෑම විට ම ශාස්ත්‍රාභිලාෂි ඔබ වෙනුවෙන් අප පෙර ගමන් යන්නෙමු.
මහාචාර්ය සුරවීරයන් නාමශේෂභාවෝපගත වීමට පෙර අවසන් සම්මුඛ සාකච්ඡාව පවත්වන ලද්දේ එවකට සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය වූ පුන්කලස වෙනුවෙන් මා සමඟිනි. එතුමන්ට කරන ගෞරවයක් වශයෙන් අපි ඒ සම්පූර්ණ සංලාපය මේ විශේෂ අතිරේකයේ පළ කරන්නෙමු. එමෙන් ම එතුමන් සමඟ කිහිප විටක් සංලාපයේ යෙදීමට අවස්ථාව ලැබීම ද මා දිවියේ ලද භාග්‍යයකි. මහාචාර්ය සුරවීරයන් දැයෙන් සමුගැනීමට සති කිහිපයකට පෙර පරාක්‍රම එ්කනායක අධ්‍යක්ෂණය කළ ‘උත්තරීත්තර‘ රූපවාහිනී වැඩසටහනෙහි මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය රත්නසිරි අරංගල, බුද්ධදාස ගලප්පත්ති යන වියතුන් සමඟ මම ද එතුමා පිළිබඳ විවරණයක යෙදුණෙමි. ඒ වැඩසටහන විකාශය වූ දිනයේ එතුමා ඒ ගැන බෙහෙවින් සතුටට පත් ව දුරකතනයෙන් අප වෙත ස්තුති කළේ නිහතමානි ව ය. ඊට දින කිහිපයකට පසු එතුමා දැයෙන් සමු ගත් අතර, එතුමාට අවසන් මොහොතේ බුහුමන් දැක්වීමට ලැබීමේ භාග්‍යය අද ද මතකයේ රැව් දෙන්නේ ගෞරව පූර්වක හැඟීමක් පෙරදැරි ව ය.
මේ විශේෂ අතිරේකය සම්පාදනය කිරීමේ ලා අපට බෙහෙවින් සදූපකාර කළේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ය. එතුමන් ට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ. එමෙන්ම සිළුමිණ හිටපු ප්‍රධාන කතුවර, ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ට ද දුර්ලභ ලිපි ලේඛන හා සේයාරූ ලබා දීම සම්බන්ධයෙන් ප්‍රණාමය පුද කරන්නෙමු.