
“දුව සරෝජිනි - වැඩක්ද?”
“මම මේ එනවා මාමේ...”
“ආ, දුව මොකක් හරි වැඩක් කර කර හිටියද?”
“ඒකට කමක් නෑ මාමේ, මාම මට කතා කෙරුවේ ඇයි?”
“ඒක හොඳ ප්‍රශ්නයක්. සරෝජිනි දුව කවි ලිය ලියා හිටියද?
“නැහැ මාමේ, මම කවි කියව කියවා සිටියා”
“දුව ලියපු කවි ද?”
“නැහැ මාමේ. විලියම් බ්ලේක් ලියූ ‘ඔත්පළ සෙව්වන්දිය’ (The Sick Rose) කවිය කියව කියවා හිටියා”
“හොඳයි. දැන් දුවත් කවි ලියනවා කියන්නේ ඇත්ත ද?”
“ඔව් මාමේ”
“කවි ලියන කොට හුඟක් කාලේ ගත කරන්න වෙනව ද දුවේ?”
“එහෙමමත් නැහැ මාමේ”
“පාඩම් වැඩවලට බාධා වෙනව ද දුවේ”
“එහෙමටමත් නැහැ මාමේ”
“මට හිතෙනවා දුව කවි ලිය ලියා හිටියම අනිත් ඉගෙනීම් කටයුතු කඩාකප්පල් වෙයි ද කියලා”
“නැහැ මාමේ...”
“එහෙම නම් කමක් නැහැ”
“ඇයි මාමා ඒවාගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ?”
“මට ඊයේ හැන්දෑවේ මුණගැහුණා, දුවලගේ සාහිත්‍ය ගුරුතුමිය චැටර්ජි නෝනා”
“චැටර්ජි මැඩම් මොකක්ද කිව්වේ?
“චැටර්ජි ගුරුතුමිය කිව්වා...”
“ඇයි මට කියන්නට බැරි දෙයක් අපේ ගුරුතුමිය කිව්වාද?”
“නැහැ දුව ගැන හුඟක් හොඳ කිව්වා. ඒත් මට මතකයි ඇගේ වචන...”
“මොනවද ඒ වචන”
“සරෝජිනි ඉතාමත් ම සියුම් හිතක් ඇති යුවතියක්. ඇයට අප ජීවත්වෙන මේ මානව සමාජය අපට වඩා සියුම් ලෙස කවියට නඟන්නට පුළුවන් බව ඇය ලියූ කවියකින් මට පෙනුණා...”
“ඉතින් මාමේ ඒ ගැන මාමාට සතුටක් ඇතිවුණා ද? දුකක් ඇති වුණාද?”
“මට හිතුණා දුවගේ ඒ කවිය දුවගේ මුවින් ම කියවනවා අහගෙන ඉන්න.”
“මම කට පාඩමින් කියන්නද?”
“මම අහගෙන ඉන්නම්”
“මගේ මේ සුන්දර දේශය”
කලක් යාමෙන්
අසුන්දර වූ මිනිසුන් අතට
පත්වී යා දැ යි මට සැකයි
මගේ මේ ලෝකය මැදින් ගලනා ගංගා
අපවිත්‍ර වේ දැයි මට සැකයි.
මා කුමක් කළ යුතු ද?
මගේ දේශය ගලවා ගන්නට
පරසතුරු උවදුරුවලින්
නොගයමි මම ගීතිකා
උස්හඬින් දෙවියන්ට
නොඉල්ලමි ඒත් ලෙයින්
අවි අමෝරා මැඩලන්ට
මම ඉල්ලමි මගේ වැඩිමහලුන්ගෙන්
ලැබගන්න නුවණැස
දල්වන්න නුවණැස ප්‍රදීපය
රැකගන්න හඬ නඟා
වන්දේ වන්දේ”
“හරි අපූරු කල්පනාවක් නේ
සරෝජිනි දුවගේ හිතට නැඟිලා තිබෙන්නේ”
“මම දන්නේ නෑ මාමේ,
මේවා කොහොමද ලියැවෙන්නේ කියලා”
“දුවට දැනෙනවා සිදුවන විපත්තිය
අපට වඩා හොඳට...”
“වෙන්ට පුළුවන් ද ඒක?
මට තේරෙන්නේ නෑ මාමේ
ඒත් මම මේ හැමදෙයක්ම
ඉගෙන ගත්තේ මාමාගෙන්”
“මට මතක නෑ දුවේ
මම මොනවද ඉගැන්නුවේ?”
“මතක නැහැ පුංචි කාලේ,
මාමා ‘භගවද් ගීතාව’ කියවන කොට
මම අහගෙන සිටියා,
මගේ හිත පිබිදුණා,
ඉඳහිට කෙටි කවි ලියැවුණා”
“මට පුදුමයි - සරෝජිනි
දැන් කෙතරම් කවි ලියැවිලාද?”
“පන්සියයක් විතර!
“මට පුදුමයි
මට අහගෙන ඉන්න කියවන්න
එකින් එක
එවිට මට හැකිවේවි
තව ටිකක් කල් දිවිගෙවන්නට”
භාරතීය මහා කිවිදියක වශයෙන් විශ්ව කීර්තියට පත්වූ සරෝජිනි නායිදු (Sarogini Naidu) (1879 – 1949) වයස අවුරුදු 15 දී ඉංග්‍රීසියෙන් තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කළා ය. 1905 පළවූ එය හැඳින්වුණේ The golden Threshold යනුවෙනි. ඒ කාව්‍ය සංග්‍රහය පළ වීමත් සමඟ ම ඊට ලැබුණු ප්‍රතිචාර අනුව ඇයට එංගලන්තයට ගොස් ලන්ඩන්හි හා කේම්බ්‍රිජ්හි උසස් අධ්‍යාපනය ලැබ ගැනුමට වරම් ලැබිණ. එහෙත් තමන් ජන්ම ලාභය ලද භාරතීය දේශයේ පවතින සමාජ තත්ත්වය වඩා යහපත් විය යුතු යැයි ඇය ඇහුවා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය සමාජ - දේශපාලන කටයුතුවලට ද උරදුන්නා ය. එහෙත් ඇය වඩාත් නියැළුණේ කාව්‍යකරණයේ බැවින් 1912 දී The Bird of Time යනුවෙනුත් 1917 දී The Broken Wing යනුවෙනුත් කාව්‍ය සංග්‍රහ දෙකක් පළ කළා ය.