
සමහරුන් ලියන්නේ අනුන්ට ය; තවත් සමහරුන් ලියන්නේ ආතක් පාතක් නැතිව ය; තවකෙක් තවකකු විවේචනය සඳහා ලියයි; තවත් සමහරෙක් පැසසුම් පතා ලියයි. ලියන්නේ කුමක් වුවත්, කාට වුවත් කාට වත් ඇති ප්‍රශ්නය කුමක් දැ යි ඔබට ගැටලුවක් මතු වීමට ඉඩ ඇත.
සිතිවිලි මුදා හළ ඉනික්බිති පැසසුම්, ගැරහුම් තනි වදනකින් කියනවා නම් විවේචන අවැසි ද?
තමා ගැන නිසි තක්සේරුවක් ඇති ලේඛකයාට සහෘදය අදහස් මිස විවේචන අවැසි ද කියා සිතුණේ නාරායන් කියවද්දී ය. අසල්වැසි රටේ නාරායන් කියවන්නට කාල වේලාව නැති අපේ බොහෝ පාඨකයන්, අපට බොහෝ ආගන්තුක ලේඛකයන් සොයා දේස දීපංකරේ කරක් ගසන්නේ ඒ රටේ පාඨකයන්ටත් වඩා අතැඹුලක් සේ ඔවුන් දන්නා පරිද්දෙනි. කෙසේ වෙතත් නාරායන් ද තමාගේ නිර්මාණ අනුන් කියැවිය යුතු ම යැයි සිතුවේ නැත. ඔහු එසේ කීවේ පුහු අහංකාරකමකින් නම් නො වෙයි; තමාගේ ලියැවිල්ල ගැන, ලේඛකයකු ලෙස තමාගේ මෙහෙවර ගැන ඔහුට ගානක්, මිම්මක් තිබුණු බැවිනි. ඔහු සිතුවේ ලෝකය තමාට පෙනෙන ආකාරය, කියවාගන්නා ආකාරය සාහිත්‍ය නමැති කැන්වස් රෙද්ද මත සටහන් කළාට පසු තමාට ඉන් එහා කාරියක් නැති බව ය. ගරු සම්මාන, ප්‍රශස්ති ගායනා බලාපොරොත්තුවෙන් නිර්මාණ කරන බොහෝ දෙනකුට නාරායන් කියැවීම කෙතරම් අගනේ දැ යි සිතෙන්නේ මෙන්න මේවා නිසා ය.
නාරායන් පඨකයන්ට බොරු කළේ නැත; ඔවුන් මුළාවේ දැම්මේ හෝ ෆැන්ටසියේ අතරමං කළේ නැත; තමාට පෙනෙන්නට, දකින්නට තිබෙන දෑ ලිව්වේ ය; ඒවා කියවූ පාඨකයෝ තම තම නැණ පමණින් ඊට අර්ථකථන සපයාගත්හ. වෙන මොනවාට බොරු කළත් ලේඛනයේදී; නිර්මාණකරණයේදී බොරු කළ නොහැකි යැ යි කී තවත් ලේඛකයෙක් මා මතකයට එයි. ඒ ඇන්ටන් චෙකොෆ් ය. ඔහු නිර්මාණකරණයට බොරු නොකළ බැව් කියන්නට ඔහුගේ කෙටිකතා සම්භාරය ම නිදසුන් ය. ඒවා ඔහුගේ ජීවිතය කියවා, ඉනික්බිති අපේ ජීවිත ද කියවන්නට පටන් ගන්නේ ය.
මේ නිර්මාණකරුවන්ගේ ජීවිත ද සරල ය; මහ පොළොවේ ස්පර්ශය හඳුනන සුලු ය. එබැවින් ඔවුන් ලියන්නේ ද පාඨකයාගේ ජීවිතයේ විවිධ කාලවකවානු ගැන ය; ඒ කියන්නේ ඔබේ, මගේ ජීවිතය ගැන ය.
ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි වීමේ ඉතිහාසයක් අපට ඇත. සමාධි පිළිමය, සඳකඩපහණ ඈ මූර්ති කලාවේ විශිෂ්ටතම නිර්මාණ සේ ම නවකතා ඉතිහාසය උඩු යටිකුරු කළ නවකතාකරුවන් ද, කවීන් ද, නාට්‍යකරුවන් ද අපට සිටියේ ය; තවදුරටත් එවැනි නිර්මාණකරුවන් හා නිර්මාණ බිහි වෙමින් ද පවතින්නේ ය. ඒවායේ වටිනාකම තක්සේරු කරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් පැන නැඟෙන්නේ මට විතරක් නොවේ යැයි සිතේ. වෙනත් අරමුණු උදෙසා බිහිවෙන නිර්මාණ ගැන එදා කතා කරන්නට වැඩි පිරිසක් සිටියේ නැත; අද එය දෙගුණ තෙගුණ වෙමින් පවතී. පටු අරමුණු වෙනුවෙන් බිහි වන නිර්මාණ කලා නිහීනයන්ගේ පටු අරමුණුවලට සමපාත වෙමින් එදා ද පැසසුම් ලැබුවේ ය; වන්දනාවට ලක් වූයේ ය. අද ද එසේ ම ය.
රියන් ගණනින් මැන සාදන පිළිම වහන්සේ ද; හන්දි ගානේ වැඩ වසනාකාරයට ඉදි කරන බුදු පිළිම වහන්සේ ද තනන්නේ පෙර කී උසස් ගණයේ නිර්මාණ කළ, ඒවායෙන් ලෝක පූජිත වූ මේ රටේ උදවිය ම ය. විවිධ සම්මාන උත්සව හැඩ කරන්නේ ද සිතාගත නොහැකි නිර්ණායක දෙන්නේ ද මේ රටේ සම්මාන විනිසුරන් ම ය. මේ ලංකාවේ පමණක් සිදු වන්නක් නො වේ; අසල්වැසි ඉන්දියාවේ ද, එතැනින් එහාට ගිය විට හමු වන සෑම රටක ම ද සිදු වන්නකි. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය මිහයිල් ෂොලහොව් වැනි ලේඛකයන් සිටියදී බොරිස් පැස්ටනැක්ට හිමි වීමේ කතාව ඒ සම්මානය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාව දක්වා දුර දිග යන්නේ ඒ නිසා ය.
මේ එකිනෙකට පරස්පර විරෝධ සිදුවීම් ගැන සිතද්දී ඒ සඳහා හේතු වන්නට ඇතැයි සිතෙන කරුණක් ම සිතට නැඟේ.
නිර්මාණකරුවන් රටේ ජීවත් වන අනෙක් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ද්විරූපතාවෙන් යුතු යැ යි මා කිව හොත් ඔබ එකඟ වන්නේ ද? ඔවුන්ගේ නිර්මාණ දිවිය හා සාමාන්‍ය ජීවිතයත්, චින්තනයත් සපුරා වෙනස් ය. නාරායන් හෝ චෙකොෆ් නිර්මාණකරුවන්ට නිර්මාණකරණයේදී බොරු කළ නොහැකි යැ යි පැවසුවාට අපේ බොහෝ නිර්මාණකරුවන්ට එය අදාළ නො වේ. කුඩා සන්දියේ සමහර කවි හා වෙනත් නිර්මාණ කෘති නිර්මාණය කළ නිර්මාණකරුවන් දේවත්වයේ ලා සලකන්නට තරම් අපට ඔවුන් කෙරෙහි ගෞරවයක්, භක්තියක් පැවතිණි. වයසින් වැඩෙත් ම ඔවුන්ගේ නිර්මාණ අපේ ජීවිතවලට ඈඳාගන්නේ කෙසේ දැ යි සිතමින් පුරුෂාර්ථ වගා කරගන්නට අපි උත්සාහ කරන්නෙමු. තවත් ටික කලෙකදී ඔවුන් සජීව ලෙස ඇසුරු කරන්නට ලැබුණු කල්හි, ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයත්, චින්තන විලාසයත් හා ඔවුන්ගේ නිර්මාණ ඇතුළාන්තයත් අතර කොතරම් වෙනසක් පවතින්නේ දැ යි දැනෙන්න පටන් ගනී. තම නිර්මාණ ඔස්සේ මහා මානව දයාවක් පතළ කරන සමහර කවීන්ගේ, නවකතාකරුවන්ගේ පොදු ජීවිතයේ ඔවුන්ගේ කුහක වත හා පිළිවෙළ ගැන දැනෙද්දී, විඳින්නට ලැබීමේදී ඒ දෙක අතර වන පරස්පර විරෝධය දරා ගත නොහුණු තරම් වෙනස් ය. එවිට අර නිර්මාණ ඔස්සේ පතළ කළ මහා මානව දයාර්ද්‍රභාවය හුදු ආටෝපිත වූවක් බව දැනෙන්න පටන් ගනී. එ් ද්විරූපතාව ඉවසිය නොහැකි තරම් කටුක ය.
චෙකොෆ් ලා, නාරායන් ලා කියැවීමේ වැදගත්කම මතු වන්නේ මෙවැනි තත්ත්වලට මුහුණ දීමේ දී ය. ඔවුහු නිර්මාණයත්, ජීවිතයත් එකට එක් කර සුන්දර වියමනක් තනති. ඒ වියමන ඇත්තේ සත්‍යයෙන් වැඩි ඈත නො වේ. ‘ජීවිතය‘ කියවන්නේ එවන් නිර්මාණ නො වේ ද?