පාලි භාෂාවෙන් ‘ලංකා’ යන වචනය සිංහල ව්‍යවහාරයේදී ‘සිංහලය’ නම් වනු ඇත. අතීතයේ දී ජර්මන් බසින් ‘Ceylon’ යන වචනය ‘සිංහලය’ යනුවෙන් ම භාවිත වී ඇත. ඉංග්‍රිසියෙන් ද එසේම ය.
‘ශ්‍රී ලංකා’ යන්න දමිළ බසින් ‘ඉලංගෙයි’ නම් වේ. ඊළාම් යන්නෙහි සිංහල පදය ‘සිංහලේ’ යනුවෙන් භාවිත වන්නේය. ග්‍රීකයෝ ද අති පුරාණයේ සිටම ‘ලංකාව’ පිළිබඳව දැන සිටියහ. ‘තැප්‍රොබේන්’ යනුවෙන් ලංකාව හඳුනාගෙන තිබුණි. එම වචනය සංස්කෘත ‘තාම්‍රපර්ණි’ යන්නෙන් ප්‍රභවය වූවකි.
ඉන්දීයයෝ අපේ දිවයිනට ‘ලංකා’ යැයි කීහ. බටහිර ප්‍රදේශයට ‘සිලෝන්’ වචනය හුරු පුරුදු වී තිබුණි. ඒ අතර පෘතුගීසීන් ‘සිලාබ්’ අරාබියන් ‘සෙරන්ඩිබ්’ වශයෙන් කතා කොට තිබේ. කෙසේ වෙතත් මෙම වචන ‘සීහළ’ හෝ ‘සිංහල’ යන වචනවලින් බිඳී ආවකි.
1815 දක්වාම දිවයින හඳුන්වා ඇත්තේ ‘සිංහලේ’ නොහොත් ‘සිංහලේ’ යනුවෙනි. වෛද්‍ය හෙන්රි මාෂල් විසින් රචිත “Ceylon” නම් ග්‍රන්ථය ඇල්ලෙපොල එච්.ඇම්. සෝමරත්න මහතා සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ‘සිංහලේ’ නමිනි. පී.ඊ. පීරිස් මහතා රචිත ‘TRI SINHALA’ නම් පොත ‘ත්‍රී සිංහලය’ නමින් අභය හේවාවසම් මහතා පරිවර්තනය කොට ඇත.
ඉතාලි භාෂාවෙන් නීත්‍යනුකූලව ‘ශ්‍රී ලංකා’ ලෙසින් ව්‍යවහාරය කරනු ඇත. එහෙත් ඉපැරැණි ක්‍රමයට ‘චිංගලේස්’ (Cingalese) නමින් හඳුන්වයි. ඉතාලි ඌරුවට ‘සිංහලේ’ යන්න ‘චිංගලේ’ යනුවෙන් ශබ්ද කරයි. ‘චිංගලෙසි’ යනු ‘චිංගලෙ’ නම් රටවැසියන් ගේ හඬයි. ඒ අනුව අපේ භාෂාව ‘චිංගලෙසේ’ නම් වන්නේ ය. ඉතාලියේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් අයගේ ජාතිය ඉදිරියේ සඳහන් වන්නේ ‘චිංගලෙසේ’ යනුවෙන් පමණි.
අනභිභවනීයත්වයට පත්වන සිංහලයට පාරම්පරික අනන්‍යතාවක් ඇත. සිංහල භාෂාව ආර්ය භාෂාවකි. ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් වූවකි. මේ නිසා සිංහලය අනාර්ය භාෂා මූලයන් වන දකුණු ඉන්දීය ‘ද්‍රවිඩ’ භාෂා පවුල හා කිසිදු සම්බන්ධතාවක් ගොඩ නැඟී නැත.
ලෝකයේ විශාලතම භාෂා පවුල වන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුල ය. ඊට ඇතුළත් භාෂා ගණන 443 කි. ඉන් ඉන්දු ආර්ය භාෂා පවුලට භාෂා 296 කි. ‘සිංහලය’ මෙම ආර්ය භාෂා කොටසේ සාමාජිකයෙකි.
සිංහල භාෂා මූලයට මාලදිවයින් බස හා වැදි බස අයත් වන බව මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මහතා පවසයි.
‘සිංහල’ භාවිතය ගැන අර්ථ කථනයන් හා මත විවිධය. සිංහලේ ආරම්භය ‘විජය’ ගේ පැමිණීමෙන් සමාරම්භ වූ බව මහාවංශය කියයි.
‘සීහං ලුනවා ඉති සීහලො එපිරිස් සීහළ පිරිස් නව වි’ යනුවෙන් ධම්පියා අටුවා ගැටපදය සිංහයකු මරපු නිසා සිංහල වූ බවත් ඒ පිරිස සිංහල පිරිස වූ බවත් කියයි. බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළ දවසේම විජය ලංකාවට ගොඩ වූ බව මහාවංශයේ සඳහන් වෙයි. මහානාම හිමියන් එසේ පැවසීමට හේතුව සිංහල ඉතිහාසයේ ආරම්භය අනභිභවනී යැයි සඳහන් කිරීමට විය යුතු ය.
‘ඥානසාර’ නම් ද්‍රවිඩ පූජක තුමා සිංහල භාෂාව ද්‍රවිඩ භාෂාවෙන් උපන් යැයි ප්‍රකාශ කොට ඇත. මෙම මතය හිතලුවක් යැයි සනාථ කරනුයේ මහාචාර්ය ගයිගර් තුමාය.
1896 දී එතුමා ‘ගුරුපූජාකව්මුදී’ නම් උපාධි නිබන්ධනයට ජර්මන් බසින් දීර්ඝ ලිපියක් සපයමින් ‘සිංහලය’ පවිත්‍ර ආර්ය මූලයක් බවට කරුණු පැහැදිලි කරයි.
“සිංහල භාෂාව පිළිබඳ මගේ විනිශ්චය කෙටියෙන් මෙසේ පවසමි. සිංහල භාෂාව යනු පවිත්‍ර ආර්ය මූලය මූලික වශයෙන් ම එහි ශබ්ද ඉතිහාසයේ ආභාසය ලැබ පෝෂණය වූ ඍජු පාලි භාෂාවේ වර්ධනයකි.
තවත් ගැඹුරට විමසමින් මෙම භාෂාවේ සංයුතිය තුළ සැරිසරද්දී එය ද්‍රවිඩ භාෂා මූලයන්ගේ සාරය උරාගත් එහි ප්‍රභවයක් ය. යන්න කිසිසේත් ම පිළිගත හැකි නොවන බව පැහැදිලි වේ. මහාප්‍රාණ අක්ෂරයන්ගේ විරල බවත් ස්වර හා ශබ්දයේ ඇති වෙනස්කම් ද ඊට කදිම සාක්ෂි සපයයි.
(GURUPUJAKAUMUDI 1896 Erlangen Nurmberg Unirersitat)
ගයිගර් තුමා සාඩම්බර වූ සිංහල ඉතිහාසය කිසිම බසක සහෝදර භාෂාවක් නොවන බවත් පැවසීය. තනි ස්වීයත්වයකින් නිර්මිත වූ සිංහලේ ඓතිහාසික වටිනාකම දැන එහි සජීවත්වය අගය කළ යුතුය. විදේශීය සංකර ගති ලක්ෂණයන්ට වහල් වී මෙන් වැදූ මාතාවට නිග්‍රහ නොකළ යුතු ය.