
හෙළ ගීත සාහිත්‍ය කෙත අස්වැද්දූ සුනිලුන් කීප දෙනෙක්ම අපට සිටිති. අද ‘පැහැසර හමුව’ ට ආරාධනය කරන සුනිලුන්ට ඒ අතරින් අයත් වන්නේ කෙබඳු ස්ථානය ද තීරණය කිරීමට මම ඔබට බාර කරමි. සිංහල සුභාවිත ගීතයේ කසුන් ගිරක් බඳු වූ ඔහු කලා ප්‍රතිභාව නිසැකයෙන් ම ජන්මයෙන් ම ගෙනා පවුලක දීප්තිමත් බඩපිස්සාය ඔවුහු නම් සුනිල් එදිරිසිංහයෝ ය.
• උපන් දිනය?
1949 දෙසැම්බර් 19.
• උපන් ගම?
කැලණිය.
• උප්පැන්නයේ නම?
පැටිකිරිගේ සුනිල් ජයප්‍රිය එදිරිසිංහ
• දෙමව්පියෝ?
පැටිකිරිගේ එදිරිසිංහ පියා. එළිසබෙත් පෙරේරා මව.
• සහෝදර සහෝදරියෝ.
සහෝදරයන් හතරයි, සහෝදරියන් තුනයි.
• මුලින් ම අකුරු කළේ?
කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය.
• පසුව?
සපුගස්කන්ද මහ විදුහලටත් දෙල්ගොඩ ශ්‍රී කල්‍යාණි ප්‍රදීප පිරිවෙනටත් ගියා.
• පාසල් අවධියේ ඔබ කෙබඳු චරිතයක් ද?
සෙල්ලමට කැමැති කෙළිලොල් චරිතයක්.
• කලාවට - ගීතයට බර පවුල් පසුබිමක් ඔබ කුඩා අවධියේ තිබුණ ද?
අපොයි ඔව්! අපේ මුළු පවුලම කලාවට බර පවුලක්.
• ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්න මේ පවුල් පසුබිම බලපෑවා?
ඔව්! සම්පූර්ණයෙන් ම.
• ඒ අතීතය ආවර්ජනය කළොත්?
මගේ අයියා නිමල් එදිරිසිංහයන් එවකට හේවුඩ් ආයතනයේ ගායනය හා සිතාර් වාදනය හැදෑරුවා.
• ඉතිං?
ඔහු ගෙදර ඇවිත් පුහුණුවීම් කරනවා. කුඩා මට ඇහෙනවා මගේ එක අක්ක කෙනෙක් මකුලොළුව හා අමරදේව සර්ලගෙන් සංගීතය ඉගෙන ගත්තා.
• අක්කගේ තනියට ඔබව එක්ක ගියා?
ඔව්! අක්කලට උගන්වන දේවල් මට ඇහෙනව. මා හිතන්නේ මට ව්‍යුත්පන්න ඥානය ලැබුණේ මේවා තුළින් කියලා.
• අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයෝ ඔබේ තවත් සොයුරෙක්. ඔහුගේ මාතර ආච්චි චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් තමයි ඔබ ගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?
ඔව්! මා ඊට පෙර ඔහුගේ නාට්‍යවල ගීත ගායනා කළා.
• ‘මාතර ආච්චි’ සඳහා ගායනය කළ ගීතය අදටත් අතිශයින් ජනප්‍රියයි.
වික්ටර් රත්නායකයන්ගේ මිහිරි තනුවක් වොලි නානායක්කාරයන්ගේ ගේය පද රචනාවක් නිසා ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතය වඩාත් ජනප්‍රිය වුණා.
• මාතර ආච්චි තිරගත වුණේ?
මා ගීතය ගායනය කළේ 1970 දී. චිත්‍රපටය තිරගත වුණේ 1973 දී.
• ඔබේ මුල්ම රැකියාව වුණේ?
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ලිපිකරු. ඒ 1969 වසරේ.
• ඔබේ මුල් ම ගුවන් විදුලි ගීතය වුණේ?
ප්‍රබුද්ධ ගී කියන වැඩසටහනට මා ගායනය කළ ‘වාදකයාණනි ඔබේ සිතාරය’ ගීතය.
• කොයි වසරෙදි ද?
ඒත් 1973 මාතර ආච්චි තිරගත වූ වසරේ.
• සංගීතය ඒ වනවිට විධිමත් ලෙස හදාරල තිබුණද?
නෑ! මා ඒ වනවිට සංගීතය විධිමත් ලෙස හදාරා තිබුණේ නෑ.
• සංගීතය විධිමත් ලෙස හදාරන්නේ?
1973 සිට 77 දක්වා.
• කාගෙන්ද?
සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාගෙන්.
• මාතර ආච්චි තිරගතවීමෙන් පසුව ඔබට චිත්‍රපට ගණනාවක පසුබිම් ගායනය සඳහා ආරාධනා ලැබෙනවා?
ඔව්! ශ්‍රී මදාරා, අධිෂ්ඨාන, හුලවාලි වැනි චිත්‍රපට රාශියක පසුබිම් ගායනය සඳහා ආරාධනා ලැබුණා.
• එදා මෙදාතුර ඔබ චිත්‍රපට කීයක පසුබිම් ගායනා කැර තිබෙනවද?
චිත්‍රපට තිහක පමණ
• ඒ අතර ඔබ ජනාධිපති, සරසවි සම්මානවලටත් පාත්‍ර වෙනවා?
ඔව්!
• ඔබේ කැසට් සහ සී.ඩී. තැටි සංඛ්‍යාව කොපමණ දැයි මා ඇසුවොත්?
කැසට් පට අටක් සහ සී.ඩී. හතක් පමණ නිකුත් කැර තිබෙනවා.
• මේ වනවිට ඔබේ සම්පූර්ණ ගී එකතුව?
හය සියයක් පමණ
• ඉදිරියේ තවත් සී.ඩී. තැටි නිකුත් වෙයිද?
එදා වගේ සී.ඩී. කැසට් කිරීමට නිෂ්පාදකයින් අද ඉදිරිපත් වෙන්නේ නෑ!
• ඇයි?
නිෂ්පාදකයෙක් මුදලක් වැය කරන්නේ කිසියම් ලාභයක් අපේක්ෂාවෙන්.
• ඒ කියන්නේ?
ලක්ෂ ගණනක් වැය කරලා සී.ඩී. කළා ම ඒක හෙට ඉඳලම පදික වේදිකාවට රුපියල් සියයට එනවා හොරට හදලා. නැත්නම් ඉන්ටනෙට් එකට එනවා එතකොට කොහොමද නිෂ්පාදකයා ගිය මුදලවත් සොයා ගන්නේ?
• මේ රටේ ප්‍රබුද්ධ ශ්‍රාවකයන්ට බලවත් අසාධාරණයක්?
ඔව් හරිම ඛේදනීය තත්වයක් මේ රටේ සදාචාරාත්මක ස්වභාවයක් නෑ.
• මේකට පිළියමක් නැද්ද?
මේවට තව තවත් නීති රීති සකස් විය යුතුයි යන්න මගේ මතයයි.
• ප්‍රබුද්ධ ගීතයට වැටකඩොලු බැඳීමෙන් රටක් හැටියටත් හරිම අවාසනාවන්ත තත්ත්වයක්
ගීතය කියන්නේ ප්‍රබලම කලා මාධ්‍යයයි. විනාඩි තුන හතරකින් මිනිස් හදවත් වෙනස් කළ හැකි ප්‍රබුද්ධ කළ හැකි මාධ්‍යය ගීතයයි. මෙය රැක නොගත්තොත් විශාල අවාසනාවක් බලන්න අද සුභාවිත ගීත කෙතරම් විකෘති කරනවද කියල.
• මංකොල්ල කෑමක්?
ඔව් තනිකරම මංකොල්ල කෑමක්. මේක අද ඊයේ සිදුවුණු දෙයක් නොවෙයි. මේ ගැන සුනිල් ශාන්තයන් පවා සඳහන් කැර තිබෙනවා.
• අද රියලැටි සංදර්ශන ගැන යමක් කියන්න?
බොහෝම හොඳයි. ඈත ගම් දනව්වල ඉන්න දක්ෂ දරුවන්ට වේදිකාවක් තැනෙනවා. ඒත්...
• ඇයි ඒත් කිව්වෙ?
ඔවුන්ට විශාල වේදිකාවක් හදලා ප්‍රචාරයක් ලබාදීල නාළිකා මුදල් හම්බ කරගෙන ඔවුන්ව අතරමං කරනවා.
• අතරමං කරනවා කිව්වෙ?
බලන්න! ඒ අයට හොඳ සංගීත ඥානයක් ලබාදීලා හොඳ පද රචනා ලබාදීලා මේ සමාජයේ ප්‍රබුද්ධ ගායකයන් ලෙස රඳව ගන්න කිසිම නාළිකාවකට වැඩපිළිවෙළක් තියෙනවද කියල.
• රියලැටි සංදර්ශන වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙනද?
ඔව්! අපි ක්ෂේත්‍රයට එන කාලයේ රූපවාහිනි තිබුණේ නෑනේ. තිබුණේ ගුවන් විදුලිය විතරයි. ගුවන් විදුලිය ප්‍රබුද්ධ පිරිසක් හැදුවා අදටත් හොඳ දෙයක් කරන්න ගුවන් විදුලිය අපට ආරාධනය කරනවා.
• ඔබේ ජීවිතයේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න කැමැතියි?
මා විවාහ වී සිටින්නේ මහනුවරින්. ඇය කුමුදු.
• ප්‍රේම සබඳතාවක්?
නෑ. ඒ කතාව ටිකක් දිගයි.
• කියන්න. දැනගන්න කැමැතියි?
මගේ අක්ක කෙනෙක් ගුරුවරියක් හැටියට සේවය කළේ මහනුවර.
• ඉතිං?
අපේ අම්මා පවුලේ සියලු දෙනාට කියල තිබුණ චූටි පුතාට හොඳ ගෑනු ළමයෙක් බලන්න කියලා.
• ඊට පස්සේ?
නුවර හිටපු අක්කා දවසක් මාව නුවර කුමුදුගේ ගෙදරට එක්කගෙන ගියා. ගිහින් එන ගමන් ඇහුවා ඒ ගෙදර හිටපු ගෑනු ළමයා ගැන මොකද කියන්නේ කියලා.
• කැමතියි කිවුවද?
ඔව්! වෙන ගෑනු ළමයි හොයන්න අවශ්‍ය නෑ! මම එයාට කැමතියි කිව්වා.
• බුලත් හෙප්පුවක් අරගෙනද මනමාලිය ඔබ ඉදිරියට ආවේ?
නෑ...නෑ... (සිනා) නිකං සාමාන්‍ය විදිහට ඇය ගෙදර හිටියේ. මාත් සාමාන්‍ය විදිහටයි එහේ ගියේ. මොකද අක්කා දන්න අඳුරන කට්ටියක් නිසා.
• දරුවන්?
දුවයි පුතයි. දුව සංඛනී. පුතා සංඛ.
* • විවාහකයි?
දුව තවම විවාහක නෑ. ඇය ගුරුවරියක්. පුතා විවාහකයි. පදිංචි වී සිටින්නේ ඇමෙරිකාවේ.
• මුනුපුරු මිනිපිරියෝ?
නිවුන් මිනිබිරියන් දෙදෙනකු සිටිනවා.
අකුරු කළේ - රම්‍යතිලක තල්පිට