එදා මෙරට සින­මාව | Page 3 | සිළුමිණ

එදා මෙරට සින­මාව

1947 සිට 1956 දක්වා ම අවුරුද්දකට සිංහල චිත්‍රපට තිරගත වුයේ ඉතා අඩු ගණනකි. ඒ නිසා කොතෙක් දුර්වල කම් තිබුණත් චිත්‍රපට දෙක තුනක් හැර ඉතිරි සියල්ල එදා මාස ගණනක් එක දිගට ප්‍රදර්ශනය විය. එකල ලාංකික සිනමාවේ සිංහල- දෙමළ - මුස්ලිම් සමඟිය ඉතා දැඩි විය. සිංහල චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරුන්ය. වෙනත් අංශ රැසක දකුණු ඉන්දීය බලපෑම වැඩි විය.

සිලෝන් තියටර්ස් මෙන්ම සිනමාස් යන ප්‍රධාන සමාගම් දෙක ද්‍රවිඩ ජාතිකයින් සතු විය. සිනමා ශාලා කිහිපයක් තිබූ සිලෝන් එන්ටර්ටේ‍න්්මන්ට්ස් සමාගම ජබීර් ඒ. කාදර් සතු විය. පිටරට චිත්‍රපට ගෙන්වීම - ප්‍රදර්ශනය සිංහල චිත්‍රපටවලට ආධාර කිරීම සියල්ල කෙ‍රුණේ මේ ප්‍රධාන ආයතන තුන මඟිනි. සිංහල චිත්‍රපට මුල් කාලයේ ප්‍රදර්ශනය අඩු බැවින් ලංකාවේ මුල් කාලයේ බහුලව ප්‍රදර්ශනය වූයේ දෙමළ චිත්‍රපටයි. ඉන්පසු හින්දි චිත්‍රපට හා ඉංග්‍රීසි චිත්‍රපට මෙම සමාගම් මඟින් ගෙන්වා ප්‍රදර්ශනය කෙරුණි. දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට පිටපත් හත අටක් එකවර ප්‍රදර්ශනය කෙරුණි.

ලාංකික චිත්‍රපට කර්මාන්තය දේශිය කිරීමට ඔවුන් සමඟ ගැටුණු සිරිසේන විමලවීර අන්තිමේ පරාජයට පත් විය. දිවයින පුරා සිනමාහල් තුන්සීය පනහට කිට්ටු ගණනක් එදා පිහිටා තිබුණි. ඒ හැර සංචාරක සිනමා කූඩාරම් ගම්බඳ ප්‍රදේශවල ජනප්‍රිය විය. එවැනි කුඩාරම් සිනමාහල් මාස කිහිපයක් එක තැන නැවතී චිත්‍රපට ප්‍රදර්ශනය එදා සිදු විය. ජාතික සමඟිය තිබූ බැවින් උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය වූ අතර කොළඹ හා පිට ප්‍රදේශවල දකුණු ඉන්දීය චිත්‍රප‍ට ජනප්‍රිය විය. එදා ලංකිකයින්ගේ ප්‍රධාන විනෝදාස්වාදය චිත්‍රපට නැරඹීම විය. රූපවහිනිය එදා තිබුණේ නැත. ගුවන් විදුලියේ තිබුණේ ස්වදේශීය සේවය හා වෙළඳ සේවය පමණි. වෙනත් ගුවන්විදුලි නාලිකා තිබුණේ නැත. මෙම චිත්‍රපට ගී ග්‍රැමෆෝන් සමාගම් හා ගුවන්විදුලියෙන් ප්‍රචාරය විය. ග්‍රැමෆෝන් තැටි සමාගම් අතර තරගයක් විය.

වීඩියෝ චිත්‍රපට රූපවාහිනී නොතිබුණු බැවින් චිත්‍රපටවලට විශාල ප්‍රෙක්ෂක පිරිසක් එකතු විය. විශේෂයෙන් එදා සිනමා ශාලාවල මිල ගණන් බෙහෙවින් අඩු විය. ගැලරිය සත අටකි. පසුකල චිත්‍රපට සංස්ථාව මඟින් ගැලරිය ඉවත් කළේය. චිත්‍රපටයක වැඩි ම ප්‍රේක්ෂක පිරිස දිළිඳු අය කම්කරුවන් ඇඳී ආවේ ගැලරියටයි.

චිත්‍රපටයක ජනප්‍රියත්වය මෙන්ම ආදායම එක චිත්‍රපටයක් කීප වරක් නරඹන ගැලරි ප්‍රේක්ෂකයින් අතර තීරණය විය. දෙවැනි පන්තිය ටිකට් පතක මිල රුපියලකුත් සත විස්සකි. බැල්කනිය තුනයි සත හැටකි.

අද‍ මෙන් සුරාසැල් -කුඩු අලෙවිය - නිල් අසභ්‍ය චිත්‍රපට - වීඩියෝ පට නොතිබු බැවින් පවුල් පිටින් විනෝදවීම‍ට එකතු වුයේ සිනමාහල් වෙතටයි. සිනමාපට එදා සාමුහික ප්‍රේක්ෂක වින්දනයක් විය. නළු නිළියන් හා කතාවේ චරිතවලට ගැලරියේ අප්පුඩි - විසිල් ප්‍රතිචාර ලැබුණි. සිනමාහල් අසළ දිග පෝළිම් නිතර දක්නට ලැබුණි. එක දර්ශනයක් අවසාන වනවිට ඊළඟ දර්ශනය හැසිරවීමට ‍නොහැකි තරම් විශාල නරඹන්නන් ප්‍රමාණයක් පෝලිම් ගැසී සිටිති. චිත්‍රපටය පෙන්වීමට පෙර හා විවේකයේදී රසකැවිලි - ගීත පොත් අලෙවි වෙයි. භෝජනාගරයේ සැර අඩු බීම වර්ග අලෙවි වෙයි. රාත්‍රී නවයයි තිහ දර්ශනය නිමාවන තුරුත් සිනමාහළ අවට භෝජනාගාර- හෝ‍ටල් විවෘතව පවතියි. අද බොහෝවිට රාත්‍රී අට වන විටත් සිනමාහල් අසල ඇති හෝටල් පවා වසා දමයි. රාත්‍රී නවයයි තිහ දර්ශනය ඉවර වූ පසු නරඹන්නන්ට නිවෙස් කරා යාමට ප්‍රබල ගමනාගමන සේවයක් එදා විය. බස් රථ විය අද රාත්‍රී නවය වනවිට කොළඹ හැර අතුරු නගරවල බස් සේවා නවතියි. සවස හත අට වනවිට පෞද්ගලික බස් සේවා නවතියි.

චිත්‍රපට පිළිබඳ ව පුළුල් ප්‍රචාරයක් - පුවත්පත්- ප්‍රචාරක රථ - පෝස්ටර් මඟින් එදා බහුලව සිදුවිය. සිංහල චිත්‍රපටයක් තිරගත වීමට මාස ගණනක් තිබියදී සිනමාහල්වල පුර්වප්‍රචාරක පට ප්‍රදර්ශනය විය. චිත්‍රපටය ඒමට මාස දෙකක් පමණ තිබියදී පටන් පුවත්පත්වල “ළඟදීම එනවා” යනුවෙන් දැන්වීම් පළවිය. චිත්‍රපටය තිරගත කරන දින පුවත්පතක පිටුවක් පිරෙන තරම් විශාල දැන්වීම් පළවිය. චිත්‍රපටය තිරගත කරන දින පුවත්පතක පිටුවක් පිරෙන තරම් විශාල දැන්වීම් පළවිය. නළු නිළි කාර්මික විස්තර එම දැන්වීම්වල අඩංගු විය.

චිත්‍රපට සමාගම් මඟින් සිංහල අවුරුද්ද -දීපාවලි- වෙසක්- ඇසළ පෙරහැර වැනි දිනවල රාත්‍රී දොළහා - පාන්දර තුනට විශේෂ දර්ශන විය. වෙසක්වලට සිනමාශාලා ඉදිරිපිට ‍තොරන් සාදා විදුලි එළියෙන් ආලෝකමත් විය. සිනමාහලේ පෙන්වන චිත්‍රපටයේ දෙබස් හා ගීත පිටත පෝළිමේ සිටින ප්‍රේක්ෂකයින්ට හොඳින් ඇසෙන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබුණි. එය ප්‍රේක්ෂකයින්ට මහත් ඇල්මක් ඇති කළේය. ඒ හැර විශාල දැන්වීම් පුවරු බැඳ ශබ්ද වාහිණිය මඟින් චිත්‍රපටයේ කතාව අඩංගු දැන්වීම් පත්‍රිකා අවට ප්‍රදේශවල බෙදාහැරීම බෙහෙවින් සිදුවිය. පාසල් යන සමයේ එසේ එකතු කරගත් ප්‍රචාරක පත්‍රිකා විශාල ප්‍රමාණයක් මා ළඟ තවමත් ඇත. පුවත්පත්වල සමහරවිට මිල අධිකවීම - වියදම් සීම කිරීම නිසා අද තිරගත වන චිත්‍රපටය ඉතා කෙටි දැන්වීම්වලට සීමා වී ඇත. දිනපතා පුවත්පත්වල පවා අද චිත්‍රපට දැන්වීම් ඉතා අඩුය. එදා චිත්‍රපටයේ ප්‍රචාරය ප්‍රේක්ෂකයන් ඇඳගත් ප්‍රධාන උපක්‍රමය විය. ගුවන්විදුලියේ චිත්‍රපට ප්‍රචාරක වැඩසටහන් හා චිත්‍රපට ගීත ප්‍රචාරය මඟින් ද චිත්‍රපටයට එන පිරිස වැඩි විය.ඒවා වැඩි හරියක් මුද්‍රණය කළේ පොන්නයියා පිල්ලේ සමාගමයි. සිනමාහළ තුළ හා අවට ද්‍රවිඩ කඩල කඩවල ගීත පොත් විකිණීමට තබා තිබුණි. කැසට් පටි පැමිණීමෙන් ගීත පොත් නතර විය. පසුකල ජනවර්ග අර්බුදය මතුවීම උඩරටේ නොසන්සුන් බව ගිනිදැල් ඇවිළීමෙන් සිනමාහල් වැසීයාම - ගිනි තැබීම සිදුවිය. අද එය සිනමාහල් එකසිය පනහකට පමණ සීමා වී ඇත.

රටේ එදා තිබු චිත්‍රාගාර ප්‍රමාණය පහකට වැඩිවිය. අදට වඩා ඒවා කාර්යය බහුල විය. ක්‍රමයෙන් ද්‍රවිඩ ‍විරෝධය සමඟ චිත්‍රගාර වැසීයාම - ගිනිතැබීම සිදුවිය.මේ චිත්‍රපට කාර්මික ක්ෂේත්‍රය තුළ විවිධ ජන වර්ගවල ඉහළම කාර්මික ශිල්පි එකමුතුවක් විය. එය ලාංකික සිනමාවේ ප්‍රගතියට හේතු විය.

අප පාසල් යන අවදියේ ගමේ සිට මහනුවර නගරය දක්වා චිත්‍රපටයක් ගැලරියේ සිට නරඹා ඒමට රුපියලක් ප්‍රමාණවත් විය. ගැලරි ටිකට් පතක මිල සත හැටකි. මහනුවරට බස් ගාස්තුව යාමට ඒමට සත විස්සකි. කීපදෙනකු එකතු වූ විට ඒ දුර පයින් යාම සිරිත විය. චිත්‍රපටයේ ගීත පොතක් සත දහයකි. තෝසේ කඩයකින් සත පහළොවකට බඩපුරා තෝසේ කෑහැකි විය. එවැනි ගමන් ගිය දිනවල සිනමාහලෙන් ලබාගත් ටිකට් පතේ ඉතිරි කැබැල්ල හා එදා තිබූ පෞද්ගලික බස් ටිකට්පත මගේ පැරණි දින‍ පොත්වල අළවා අදත් ආරක්ෂා වී ඇත. අද විවෘත ආර්ථිකයෙන් ඒ සියල්ල උඩු යටිකුරු වී ඇත. ජාති භේදයෙන් තොරව චිත්‍රපට නැරඹු පිරිස ‍ජාතිවාදයෙන් වෙන්කර ඇත. සාමුහික වින්දනය දුන් චිත්‍රපට වෙනුවට කුඩු අලෙවිහල් -සුරාසැල් - කාම චිත්‍රපට - කැසිනෝහල් - ගණිකාවන් - රූපවාහිනී වෙනත් බාල විනෝද මාධ්‍ය රටපුරා පැතිරී ඇත. අතීතයේ තිබූ ජාතික එකමුතුව සිනමාවෙන් ලැබු සාමූහික වින්දනය බිඳ වැටී ඇත. ඒ සමාජය අද සිහිනයක් ම පමණකි.

 

Comments