ඇතුන් සහ අසුන් නිසා එදා සිදු වූ මහා මිනිස් ඝාත­නය | සිළුමිණ

ඇතුන් සහ අසුන් නිසා එදා සිදු වූ මහා මිනිස් ඝාත­නය

තණ්හාධික ආණ්ඩුකාරවරයාට රිදවීමට හොඳම අවස්ථාව පැමිණ ඇතැයි සතුටට පත් රජතුමා අශ්වයන් දෙදෙනා පැහැර ගන්නා ලෙස රාජ පුරුෂයන්ට අණ කළේ ය. රජුගේ අණ පරිදි සියල්ල ඒ ආකාරයෙන් ම ඉටු කරන ලදි. මේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ගැන කිසිත් නොදන්නා මහනුවර සිටි ප්‍රතිකාල් කොන්සල්වරයා මේ පිළිබඳව රජුට දන්වා සිටියේ ය. රජතුමා එයට පිළිතුරු වශයෙන් ප්‍රතිකාල් ආණ්ඩුකාර තැන කොල්ලකාගත් ඇතා නැවත භාරදුන් වහා අශ්වයන් නැවත ලබා දීමට සූදානම් බව පෘතුගීසි කොන්සල්වරයා දැනුවත් කළේ ය.

 

සෙනරත් රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුතෙකු වන මහා අස්ථාන දෙවැනි රාජසිංහ නමින් සෙංකඩගල නුවර රජ විය. පියා ජීවතුන් අතර සිටියදී පොරොන්දු කරවාගෙන තිබූ තීරණයක් අනුව ඌව පළාත කුමාරසිංහ සහෝදරයාටත් දඹුල්ල ප්‍රදේශය විජයපාල නම් දෙවැනි සහෝදරයාටත් හිමි කැර දී තිබිණි. මේ තුන් බෑ රජදරුවෝ සමගිව රාජ්‍යය කළෝ ය.

ඒ වනවිට ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අයිතිව තිබුණේ ප්‍රතිකාලුන්ට ය. රාජසිංහ රජු ඔවුන් හා ගැටුම් ඇති නොකරගෙන සංහිඳියාවෙන් පාලන කටයුතු කැරගෙන යාමට පියවර ගත්තේ ය. මේ සංහිඳියාව නිසා පෘතුගීසි වෙළෙඳුන්ට උඩරට රාජ්‍යයේ වෙළෙඳ කටයුතු කැරගෙන යාමේ බාධක අවම විය.

වෙළෙඳාම නිසාම දිවයිනට සංක්‍රමණය වූ පරංගි වෙළෙන්දෝ නිතර නිතර සිංහල රජතුමා බැහැදකින්නට අමතක නොකළහ. මෙහිදී එක් වෙළෙන්දෙක් රජුගේ හොඳ හිත පතා වටිනා අශ්වයෙකු සහ සුවඳ විලවුන් තිළිණ කර දුන්නේ ය. සිංහල රජතුමා එයට‍ ප්‍රතිචාර දැක්වූයේ හරි අපූරු ආකාරයකට ය. රජතුමා හිතවත් වෙළෙන්දාට තෑගි කළේ ඇතෙකි. එපමණක් නොව මැණික් රාශියක් ද තෑගි වශයෙන් දුන්නේ ය. පෘතුගීසි වෙළෙන්දා මේ පිළිබඳව ඉතා සතුටට පත්ව ඇතා ද කැටුව කොළඹට පැමිණියේ දින ගණනාවක් මඟ ගෙවමිනි. ඒ සඳහා රජුගේ උපකාරය නොමඳව ලැබිණි.

ඒ වනවිට කොළඹ පෘතුගීසි පාලකයා වූයේ මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනයට දහවැන්නා හැටියට පත්ව ආ දියෝගු මේලෝ ආණ්ඩුකාරවරයා ය. පෘතුගීසි වෙළෙන්දාට සිංහල රජුගෙන් ලැබුණු මේ වටිනා තෑග්ග ගැන මෙලෝ ආණ්ඩුකාරවරයාට එතරම් සතුටක් නොවී ය. ඔහු මේ ඇතාට ලොබ බැන්දේ ය. තම ජාතියේම වෙළෙන්දාට ඌ පිටරට ගෙන යෑම වළක්වා තමාගේ ආණ්ඩුකාර බලතල ඉදිරියට දමා ඇතා රජය සතු කැර ගත්තේ ය.

“සිංහල රජු ප්‍රතිකාල් මහ රජ්ජුරුවන්ට අවුරුදු පතා ඇතුන් දෙදෙනා බැගින් දීමට බැඳී සිටිනවා. ඒ පොරොන්දුව තවම ඉටු කරලා නෑ. එය මතක්වීම පිණිසයි මෙය ආණ්ඩුකාරවරයා යටතට ගන්නේ.”

දීගු ද මෙලෝ මෙම අවක්‍රියාව සාධාරණය කරන්නට උත්සාහ කළේ මේ ආකාරයට ය‍. මෙයින් ඉතා කනගාටුවට පත් පෘතුගීසි වෙළෙන්දා පිට රට ගමන අතහැර නැවත හැරී ගියේ සිංහල රජුට මේ පිළිබඳව ගතු කීමට ය. දෙවැනි රාජසිංහ රජු මෙය අසා කෝපයට පත් වුවත් එය ඉවසා ගත්තේ ය. අනතුරුව හිතවත් වෙළෙන්දාට ඒවර ඇතෙකු පමණක් නොව යළිත් වටිනා මැණික් කීපයකුත් දී හලාවතින් නැව් නැඟී සිය රට යන්නට පිටත් කළේ ය.

තන්හාවට ඇතා පැහැරගත්තාට මේලෝගේ සිතේ මෙය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මෝදු වෙමින් තිබිණි. පසු දවසක ඔහු වටිනා අශ්වයින් දෙදෙනකු මිලයට ගෙන උඩරටට පිටත් කළේ රජු මෙය වැඩි මිලකට ගනීවි යයි සිතුවිල්ල සිතේ රුවා ගෙන ය.

තණ්හාධික ආණ්ඩුකාරවරයාට රිදවීමට හොඳම අවස්ථාව පැමිණ ඇතැයි සතුටට පත් රජතුමා අශ්වයන් දෙදෙනා පැහැර ගන්නා ලෙස රාජ පුරුෂයන්ට අණ කළේ ය. රජුගේ අණ පරිදි සියල්ල ඒ ආකාරයෙන් ම ඉටු කරන ලදී. මේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ගැන කිසිත් නොදන්නා මහනුවර සිටි ප්‍රතිකාල් කොන්සල්වරයා මේ පිළිබඳව රජුට දන්වා සිටියේ ය. රජතුමා එයට පිළිතුරු වශයෙන් ප්‍රතිකාල් ආණ්ඩුකාර තැන කොල්ලකාගත් ඇතා නැවත භාරදුන් වහාම අශ්වයින් නැවත ලබා දීමට සූදානම් බව පෘතුගීසි කොන්සල්වරයා දැනුවත් කළේ ය.

දියෝගු මේලෝ ආණ්ඩුකාරවරයා ඒ පිළිතුර අසා බොහෝ සේ කිපී මහනුවර රජු ඒ අශ්වයන් වහා නොඑවුවහොත් තමාම පැමිණ එය ගෙන එන බව කියා තර්ජනාත්මකව පිළිතුරු යැවීය. එම පිළිතුර අසා රජතුමා සිනාසුණා මිස තරහ ගත්තේ නැත. “එසේ නම් ඔබතුමාම පැමිණ අශ්වයන් ගෙන යන්නට බාධාවක් නැත.” මක්නිසා ද සියලු දෙනාටම තම තමන් සතුදේ ගන්නට ඉඩ හැරීම මහනුවර සිරිතක්. එහෙත් ප්‍රතිකාල් ආණ්ඩුකාරයා අශ්වයන් ගෙන යන්නට එන කල ඔහු විසින් කොල්ලකා ගන්නා ලද ඇතා ද ගෙන එන්නට ඕනෑ යයි කියා හැරියේ ය. අශ්වයන් දෙදෙනා නැති වීමෙන් වූ අලාභය ද ලජ්ජාව ද ප්‍රතිකාල් මිනිසුන්ගේම සමච්චලය ද ඉවසිය නොහැකිව දියෝගු මේලෝ ආණ්ඩුකාර තැන ක්‍රෝධයෙන් දිලිසුණේ ය. ඔහුගේ සිත බලකරන්නේ සිංහල රජු සමඟ යුද කළ යුතු බවම ය. හෙතෙම කතෝලික සමය වැලඳගත් සිංහල හේවාපන්න කාරයන් 28,000 ක් ද, ප්‍රතිකාල් හේවායන් 700 ක් ද රැස් කොටගෙන සෙංකඩගල නුවර දෙසට යුද පිණිස ගමන් කළේ ය. මෙය දැනගත් ඌව පළාත පාලනය කළ කුමාරසිංහ රජු සිය සොහොයුරු රාජසිංහ රජුට උපකාර පිණිස හේවායන් දස දහසක් පිරිවරාගෙන සූදානම්ව සිටියේ ය‍. උඩරට ආක්‍රමණය කළ ප්‍රතිකාල් සේනාව කඳවුරු බඳින්නට තෝරා ගත්තේ බලන කඳු මුදුනය.

තම සිතෙහි මෝදු වී ඇති ක්‍රෝධය නිසා දියෝගු මේලෝ මහා මිනිස් ඝාතනයකට සූදානම්ව පැමිණ ඇති බව රාජසිංහ රජු කරුණු නොදැන නොසිටියෝ නොවේ. එහෙත් එය අවසාන මොහොතේ හෝ වළකාලීම එතුමාගේ අරමුණ විය. අනතුරුව රාජසිංහ රජු දියෝගු මේලෝ ආණ්ඩුකාරයා වෙත දේවගැතියෙකුට කුරුසියක් දී යවනුයේ මෙවැනි සන්දේශයක් අතැතිව ය.‍ “නුඹ අදහන්නාවූ නුඹ නිසා මැරුණා වූ නුඹේ දෙවියන් වහන්සේ සෙංකඩගල රජුගේ රාජ්‍යයට නුඹේ පැමිණීම තහනම් කරන්නේය. නුඹ ආපසු හැරී නොගියහොත් නුඹේම දෙවියෝ නුඹට දඬුවම් කිරීම වළක්වා ගත නොහැකි වන්නේ ය.”

මෙය කියවූ ආණ්ඩුකාර තැන අධික ලෙස කෝපව සේනාව සමඟ කන්දෙන් බැස ඉදිරියට ගමන් ඇරැඹුවේ ය. අනතුරුව ඔවුහු දොළක් සමීපයට පැමිණියහ.‍ ඒ අතර දේවගැති වරුන් මේ මහා මිනිස් ඝාතනය වළක්වා ලීමට කොතෙක් කරුණු කීවත් මෙලෝ ආණ්ඩුකාරවරයා ඒ ගැන නොසලකා සිය හමුදාව ඉදිරියටම මෙහෙයවීය. ඔවුහු උඩරට රාජ්‍යයට ඇතුළු වී ඉදිරියටම ගියත් කිසිදු වෙනසක් දක්නට නොලැබිණි. මෙසේ ආණ්ඩුකාරයාගේ හමුදාව ගන්නොරුව දක්වාම පැමිණ සිටියහ. මෙතෙක් බාධක නුදුටු පරිසරය එතැන් සිට වෙනත් මගක් ගෙන ඇති බව දකින කොට දීගුද මෙලෝ ආණ්ඩුකාරයාගේ ඉහ මොළ රත්වෙන්නට විය.

හැම අතම රූස්ස ගස් කපා දමා මඟ අහුරා තිබිණි. ඇළ දොළ සමීපයට යා නොහැකි ය. ඒවා ජලයෙන් ඉතිරී ගොස් ය. මහවැලි ග‍ඟේ ජලය ඇදී යන ආකාරයට බාධක ඇළ මාර්ග කපා අවසානය. තමන් පුරුදු පුහුණු වී සිටි යුද්ධෝප ක්‍රම භාවිතයට ගෙන ස්වදේශිකයෝ සතුරාට මුහුණදීමට සූදානම්ව සිටියහ. මේ වනවිට ආණ්ඩුකාර දියෝගු මේලෝ ඇතුළු පෘතුගීසි, සිංහල සතුරු හමුදාව කොටු වී හමාර ය. කඳු, පල්ලම් ගල් කුළු, රූස්ස ගස් අතර සැඟවී සිටින රාජසිංහ හමුදාව එවන්නට යෙදුණු ඊතල වර්ෂාවෙන් බේරෙන්නට පෘතුගීසි සහ සහයක හමුදාවට කළ හැකි සියල්ලම කරන්නට සිදුවිය. එහෙත් ඒ කිසිවකින් විනාශය අවම කරගත නොහැකි වූ අතර යුද පිටිය වසා මළ කඳන් දක්නට ලැබිණි.

තමා සහ සිය සේනාව අසරණවූ පසු මේලෝට දෙවියන් සිහිවෙන විට දෙවියන් වහන්සේම ඔහුට පිටුපා ඇති බව වැටහිණි. ඒ සමඟ ම වේගයෙන් පියාඹා ආ ඊතලයක් මේලෝගේ පපුව සිදුරු කළේ ය. තමාම නිර්මාණය කැර ගත් සටන් බිමේම අවසන් හුස්ම හෙළීය.

සටනේ ප්‍රතිඵලය වූයේ රාජසිංහ රජතුමාගේ දෙපා මුල වැඳ වැටී සමාව ගත් තිස් තුන් දෙනෙකු හැර අන් සියලු දෙනාම සමූල ඝාතනය වීම ය. ජීවිත බේරාගත් පෘතිකාල්ලු තිස් තුන් දෙන ඌවට පිටත් කැර හරින ලදහ.

ඓතිහාසික තොරතුරු අනුව මේ ඛේදවාචකය සිදුවී වසර තුන්සිය අසූවකට ආසන්නය. මේ සටනේ ජයග්‍රහණය සිහිකරනු වස් දෙවැනි රාජසිංහ රජතුමා සිය ඔටුන්න සහ මඟුල් කඩුව දොඩම්වල දෙවියන්ට ස්තුතිය පිණිස පූජා කළ බැව් ජනප්‍රවාදයේ එයි.

Comments