
ලොව උපන් සෑම කෙනෙකුටම අම්මා කෙනෙකු සිටියි. මවකගෙන් තොර වූ ජාතියක් හෝ ජීවයක් මේ මිහිපිට නැත. අප උතුම් ශ්‍රේෂ්ඨ ආගමික නායකයාණන්වූ බුදුන් වහන්සේ තමා හා සම කළ හැක්කේ ‘අම්මා’ යැයි ප්‍රකාශ කොට ඇත. ‘ගෙදර බුදුන් අම්මා’ යැයි ප්‍රකාශිතය. ‘මාතෘ භූමිය’ ‘මවු දෙවඟන’ යන වදන්වලින් ද මවකගේ අගය ලොවට ප්‍රකාශවේ. ‘තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි’ යන ප්‍රකාශය අපට ගම්‍ය කරනුයේ ද මවකගේ අතින් ලොවට නිසිමං සැලසෙන බවමය. අපේ අතීත ජන කවියා ද මවගේ අගය විවිධ ජනගී හා වැකිවලින් ප්‍රකාශ කරයි.
‘අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා’, ‘අම්මා නැති කළේ අප්පා කවර කළේ’ සහ ‘අපෙ අම්මා අපෙ කිතුලේ පැණි වගේ’ ආදී වශයෙන් කර ඇති සියලු ම ප්‍රකාශයන්හි අන්තර්ගතව ඇත්තේ, හැකි වී ඇත්තේ, අම්මා පිළිබඳ ගුණ මහිමය.
“මවකගේ ගුණ ගැන කතා කරන විට මහ පොළොව සේ නොසැලී සියලු දුක් කන්දරාවන් ඉවසා සිටීමට අම්මාට හැකි බව කියැවේ. මවකගේ හදවතෙහි දරුවන් වෙනුවෙන් උපදින සෙනෙහස සුළුපටු නැත. තම සිරුරෙහි දුවන රතු ලේ සුදු පැහැති කිරි බවට පත්වන්නේ ඒ දරු සෙනෙහසේ නාමයෙනි. මහිමයෙනි.
ගැහැනියක ස්වභාවයෙන් ම මවක වීමේ වාසනා මහිමය පෙරටු කොටගෙන උපත ලබා ඇත. ඇය නව මසක් තිස්සේ කුසේ හොවමින් දරුවා පෝෂණය කරයි. අනතුරුව අපමණ වූ වේදනා විඳිමින් දරුවෙකු මෙලොවට බිහි කරයි. ලේ කිරිකර පොවමින් දරුවා හදයි. වඩයි. මවකගේ සෙනෙහේ කියා නිම කළ නොහැකිය.