රුක්මණී දේවි­යට ගීත ලියූ එ‍ඬේර­මුල්ලේ ලොන්තු විදානේ | සිළුමිණ

රුක්මණී දේවි­යට ගීත ලියූ එ‍ඬේර­මුල්ලේ ලොන්තු විදානේ

එවකට ටවර්හෝල් යුගයේ ජනප්‍රිය නාට්‍යය රචකයකු මෙන් ම ග්‍රැමෆෝන් ගී කලාවේ මැණිකක් සේ දිදුළමින් සිටි ලොන්තු විදානේ ගැන ප්‍රථම සිංහල චිත්‍රපටය තිරයට ගෙනා බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න සිනමාකරුවාගේ විමසුමට ලක් නොවුණා නම් එය පුදුමයට කරුණක් වෙන්නට ඉඩ තිබිණි. ඔහු ප්‍රථමවරට අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළ “හදිසි විනිශ්චය” චිත්‍රපටයේ ගීත ලිවීම ලොන්තු විදානේට භාර කළේය.

තේ පැන් දින දින වැඩි වැඩියේ

බීමෙන් සිරුරට සැප වැඩියේ

උණු වී පැසෙනා ජලයෙහි ලා

පිරිසිදු තේ කොළ වත්කරලා

සීනිද කිරි මුසු කර නිසිසේ

සාදාගෙන පදමට රස සේ

වැඩි සැපතට තේ

වැඩි වැඩියෙන් බොනු

දන මන පිනවන සේ

සුවඳැති මධුරස මන පිනනා

දෙව් බොජුනකි කුස ගිනි නිවනා

ශාරීරික ශක්තිය වඩවමිනා

ගතෙහි විඩා දුරලන ලෙසිනා

වැඩි සැපතට තේ

වැඩි වැඩියෙන් බොනු

දන මන පිනවනසේ

මම සුපුරුදු පරිදි සිතුවමක් අඳිමින් සිටියෙමි. ඒ මා එවකට සේවය කළ පුවත්පත් ආයතනයේ අවශ්‍යතාව වෙනුවෙනි. ඊට අදාළ පත්‍රයක කෙටි කතාවක් සඳහා එම සිතුවම නිමැවූ අතර ගමේ තේ කඩයක් ඇසුරු කොට එම ‍ෙකටිකතාව ගොතා තිබිණි.

පසෙකින් ඇති ගුවන් විදුලිය යන්ත්‍රයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලිය ස්වදේශීය ඔස්සේ “අමරණීය ගී” වැඩසටහනක් ප්‍රචාරය වෙයි. කලකින් අසන්නට ලැබෙන රුක්මණී දේවීගේ ඒ අපූරු ගීතය මා අතීතයට කැඳවාගෙන යනවා පමණක් නොව, නිමැවමින් සිටින සිතුවමට රුකුල් දෙන්නාක් මෙන් හැ‍ඟෙන්නට විය.

මා කුඩා කළ මගේ පියා ගෙදරට ගෙනැවිත්තිබූ ගැ‍මෆෝනයෙන් එම ගීතය වාදනය කරන අයුරු මට මතකය. එදා මා ඒ ගීය ඇසුවා මිස එය රචනා කළ කෙනා ගැනවත්, එහි සංගීතය ගැනවත් කුඩා මට වැ‍ටහීමක් තිබුණේ නැත.

එහෙත් මේ වනවිට වසර හැටකට වඩා ගෙවීගොස්, ඇතත් යළිත් මගේ සිතට දැනෙන්නට වූයේ අපූරු මිහිරියාවකි. එම අමරණීය ගී වැඩසටහනේ ඊළඟ අංකය ලෙස නිවේදිකාව ප්‍රකාශයට පත් කළේ තවත් ඉමිහිරි ගීයක නමකි. ඒ සිරි බුද්ධගයා විහාරේ යනුයි. එයින් මගේ සිත කුල්මත් වන්නට වූයේ මා ඒ පිළිබඳ මෙතෙක් හදාරා ඇති බොහෝ දේ සිහිගැන්වෙන්නට වූ නිසාය.

ටවර්හෝල් යුග පුරුෂයකු වූ ඩී.වී. සෙනෙවිරත්න සූරීන් ප්‍රකාශ කැර තිබූ පරිදි “සිරි බුද්ධගයා විහාරේ” ගීය ගිල්බට් මාස්ටර් හෙවත් ඩී. වීරසේකරගේ රචනයක් බව ස්ථිර කෙරෙයි.

ඒ කෙසේ වෙතත් වර්ෂ 1969 දෙසැම්බර් 29 දා “සරසවිය” කලා සංග්‍රහයෙහි පළ කැර තිබූ පරිදි එම ගීය රචනා කිරීමේ සැබෑ තත්ත්වය ඉදිරිපත් කැර තිබිණි. එය විස්තර කැර තිබුණේ එහි නිර්මාතෘවරයා වූ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ය. ඔහුගේ පැහැදිලි කිරීම අනුව මේ ගීය සම්පූර්ණවීමට දෙවෙනියෙකුගේ උපකාරය ලැබුණු බව කියැවෙයි.

මේ දෙවෙනියා කවුරුදැයි ප්‍රශ්නයක් විය හැකියි. කෙසේ වෙතත් අදත් මතකයෙන් ගිලිහී නොයෙමින් පවතින “සිරි බුද්ධගයා විහාරේ” ගීතය හැඩ ගස්වන්නට දායක වූ ඒ ගේයපද රචකයාගේ නිර්මාණ එළිදැක්වීම දිගින් දිගටම පෙළ ගැස්වීම ඇරැඹිණි. එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සහ රුක්මණී දේවි වෙ නුවෙන් “සිරි මහ බෝධි මුලේදි දස පාරමී ධර්ම බලේ පා” ගීතය පබඳමින් මේ දෙවෙනියා සිය හැකියාව මොනවට ගෙනහැර පෑවේය.

සාරා සිරිනි රම්‍යා

සුසැදි අජපල් නුගමුලේහි

ගීතය ඊළඟට එළිදැක්වී රුක්මණී දේවියගේ මධුර ගායනයෙන් ඔපවත් වී සවන් වැකෙන්නට වූ කල්හි එදා රසිකයෝ භක්ති ප්‍රමෝදයෙන් කුල්මත් වන්නට වූහ. භක්තිගීත පමණක් නොව ක්‍රමයෙන් වෙනත් මාතෘකා යටතේ ගී පබැඳීමට යොමු වූ මේ අපූරු රචකයා 1940 - 50 දශකයේ ග්‍රැමෆෝන් ගී පබැඳීමේ කලාවේ මුලටම පැමිණ සිටියා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

ඔහුගේ උපන්දිනය හැඳින්විය හැක්කේ අනුමාන වශයෙනි. කෙසේ වෙ තත් ක්‍රි.ව. 1894 වන විට හෙතෙම මෙලොව එළියදැක අවසානය. උපන් භූමිය පිහිටියේ බස්නාහිර පළාතට හිමි ගම්පහ දිස්ත්‍රික්කයේයි. ඔහු නිජබිම කැරගත් ගම සියනෑ කෝරළයට අයිති එකක් වන අතර ඓතිහාසික වටිනාකමකින් යුක්තය.

පෙර දැක්වූ ගීවල රචකයාගේ උපන් ගම එ‍ඬේරමුල්ල ය. සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයට නුදුරුව ඔහු විසූ නිවස පිහිටා තිබිණි. ගමේ උදවිය ඔහු හැඳින්වූයේ “මසි අයියා” යන සුහද නාමයෙනි. ඊළඟ පරපුරට ඔහු “මසි මාමා” වි. පසු කාලයේ හෙතෙම එකල පළකළ “සුදුටු විදුල” පුවත්පතට “ලොන්තු විදානේ” ලෙස ආරූඪ නාමයෙන් ලිපි පෙළක් ලිවීම නිසා ගමේ ඒ නමින් ප්‍රසිද්ධ වන්නට විය. කලක් මෙය භාවිතා වූ බැවින් විදානෝ කොටස හැලී “ලොන්තු” බවට පත්විය.

ලොන්තුගේ මුල් පාසල වූයේ එ‍ඬේරමුල්ල සාන්ත සෙබස්තියන් දේවස්ථානයට අනුබද්ධව පිහිටි සාන්ත සෙබස්තියන් කතෝලික මිශ්‍ර පාසලය. ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂ වූ අතර කල්යාමේදී සංගීතයට මෙන්ම නාට්‍ය රචනයට ඇලුම් කළේය.

කෙතරම් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවෙකු වුවත් ලොන්තු විදානේ එ‍ඬේරමුල්ල ගමේ දිවියෙවූයේ පොදු ජනතාව සමඟය. ඔහු “වාසප්පු” රචනයෙහි අති දක්ෂයෙක් විය. සාන්ත සෙබස්තියන් වාසප්පුව ඔහුගේ රචනයකි. එය එළිදැක්වූයේ 1926 දීය. “වාසප්පු” යන වචනය හෙළයට හුරුවූවක් නොවේ. එය පෘතුගීසීන්ගෙන් පැමිණියා යැයි සිතිය හැකිය. වාසප්පුවෙහි විශේෂත්වයක් තිබේ. එය නාට්‍ය කොටස් කීපයකින් සමන්විත වූ කලා අංගයකි. ක්‍රිස්තු සමය හා සබැඳි කතා පුවත් ගමේ රඟ දැක්වූයේ දින ගණනාවක් යොදා ගනිමින්ය. පළමු රැයේ ඇරඹෙන නාට්‍යයේ අවසානයක් නැත. එය දෙවන දින දර්ශනවලට සම්බන්ධ කෙරෙයි. දෙවන දින අවසානයේදී ද මේ පිළිවෙතම අනුගමනය කෙරෙයි. මේ ආදී වශයෙන් දින පහක් හයක් හෝ හතක් මෙම වාසප්පුව වේදිකාගතවෙයි.

කතා රචනයෙන්ද, ගීත ලිවීමෙන්ද, සංගීතය පිළිබඳ දැනීමෙන්ද, එය මෙහෙයවීමෙන්ද දක්ෂයකු වූ ලොන්තු විදානේ ගමේ රටේ කා අතරත් ජනප්‍රියව සිටියේ මේ කලා අංගවල ඇති හාස්කම නිසා යයි පැවසීම මුසාවක් නොවේ. ඔහු සාන්ත සෙබස්තියන් මුනිඳුන් වෙනුවෙන් රචනා කළ “කුසුමේනී නර්බෝනා” ගීතය සෙබස්තියන් පීරිස් ගායකයාගේ හඬින් ග්‍රැමෆෝන් තැටියට නැගුණු අතර එය අදත් එම මුනිඳුන්ගේ දේවස්ථානයන්හි වාර්ෂික මංගල්‍යය උත්සවවලදී අසන්නට ලැබෙයි.

මොහු කිතු දහම මෙන්ම බුදු දහම ගැන පෘථුල අවබෝධයකින් සිටි අයෙකු බව හැ‍ඟෙන්නේ අදත් ශ්‍රී ලංකා ගුවන් විදුලිය, ලක්හඬ හා විශේෂයෙන් රන්ගිරිදඹුලු ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කැරෙන පැරණි ග්‍රැමෆෝන් ගී වැඩසටහන්වලට සවන් යොමු කරන විටය.

ඔහුට බොදු ගීය රස වැටුණේ ග්‍රැමෆෝන් යුගයේ ප්‍රබලයෙකු වූ යූ.ඩී, පෙරේරා නිසාදැයි ප්‍රශ්නයකි. කෙසේ වෙතත් දෙදෙනා ගජ මිතුරෝය. කලක් යූ.ඩී. පෙරේරා වර්තමානයේ එ‍ඬේරමුල්ල ප්‍රදේශයේ වූ ජූඩ් මාවතේ නිවසකට පදිංචියට ආ නිසා මේ මිතුරු දම වඩ වඩාත් තහවුරු වෙන්නට ඇතැයි සිතිය හැකිය. යූ.ඩී. පෙරේරා කොළොම්බියා ග්‍රැමෆෝන් තැටි සමාගමට ගී ලියූ අතර ලොව්තු විදානේ ගී රචනා කළේ එච්.එම්.වී ග්‍රැමෆෝන් තැටි සමාගමට ය. එදා තරග කාරිත්වයෙන් මේ සමාගම් ග්‍රැමෆෝන් තැටි නිකුත් කළ බැවින් කොලොම්බියා තැටි සමාගමට ලියන අයට අනෙක් සමාගමකට ගී ලිවීම තහනම් විය. එච්.එම්.වී තැටි සමාගම එයම අනුගමනය කළේය. කෙසේ වෙතත් කොළොම්බියා ලේබලයෙන් යූ.ඩී. පෙරේරා නමින් පළවී ඇති සමහර ගීත ලොන්තු විදානේ නොහොත් මසි අයියා ලියූ ඒවා බව ගමේ තතු දන්නෝ පවසනවා මා අසා ඇත.

එදා ටවර්හෝල් ප්‍රමුඛ දිවයිනේ විවිධ රඟමඩුලුවල මෙන්ම තාවකාලික රඟමඬුලු සඳහා නාට්‍යය රචනා කරමින් ජාතිය නගා සිටුවීමට මහත් පරිශ්‍රමයක යෙදුණු නාට්‍ය රචකයෝ බොහෝ පිරිසක් වූහ. ඉන් ප්‍රබල කෙනෙකු ලෙස ලොන්ත විදානෝ අමතක කළ නොහැකිය.

ශාන්ත සෙබස්තියන් වාසප්පුවට අමතව ඔහු ඉදිරිපත් කළ ආගමික නාට්‍යය වූයේ ශාන්ත රීතා (1929) ශාන්ත දාරියා (1930) ශාන්ත මර්තියා (1931) ශාන්ත ජෝන් (1932) ශාන්ත මෙරිසා (1933) යන නාට්‍යය පිටපත්ය. ලොන්තු විදානෝ මේවා ඉදිරිපත් කළේ ග්‍රන්ථ හැටියටය. සමාජ ශෝධනයට ඉවල්වෙන නාට්‍යය ලිවීමේදී ඔහු පෙරමුණ ‍ගත්තේය.

වංක තරුණයා (1931) හත්වෙනි පැය (1934) නාමල්පානේ කුමාරිහාමි (1940) තුම්පනේ බණ්ඩා සහ කොළඹ අප්පුහාමි (1939) රන්මුදුව (1940) පවුලේ අවුල (1944) නගර ශෝභනී (1944) රම්බාගේ ආලය සහ ඉරණ (1945) ජනතා ප්‍රසාදය බෙහෙවින් දිනාගත් නිර්මාණයෝ වූහ.

කොළඹ, මරදානේ වෛද්‍යාචාර්ය ඩී.ජේ.එස්.පී යාපාගේ ගුත්තිල නාට්‍යය සභාවේත්, කොළඹ මරදානේ වින්ස් ඡායාරූප ශාලා අධිපති ටී.ඩී. පියදාසගේ ශ්‍රී විජය නාට්‍යය සමාජයේත්, කොළඹ, පිටකොටුවේ වීර හෝටලය හිමි චාල්ස් ජයසිංහගේ වීර නාට්‍යය සභාවේත් නාට්‍යය රචකයෙකු ලෙස ඔහු උද්යෝගිමත්ව කටයුතු කළේය.

අගනුවරට සම්බන්ධව කාර්යය බහුලව කටයුතු කරමින් වුවත් තම උපන්බිම වූ එ‍ඬේරමුල්ල ගමේ සිය නෑදෑ හිතවත් අසල්වාසී ගම්වාසී පිරිස ප්‍රමෝදයට පත්කරමින් විටින් විට නාට්‍යය රඟ දැක්වීමේ සිරිතක් ලොන්තු විදානේ තුළ තිබිණි.

ඔහු විසින් ගමේ වේදිකා ගත කරවන ලද නාට්‍යවල සුළු කොටස් රඟ දැක්වූ අයගෙන් කීප දෙනෙක් මේ මෑතක් වන තුරුම එ‍ඬේරමුල්ල පින්නමැද මෙන්ම ගොංගිතොට ගම්වල වයස්ගත පුද්ගලයන් හැටියට දැක ගන්නට ලැබිණි. එදා ග්‍රෑමෆෝන් ගී ගායනයෙහි යෙදුණු සෙබස්තියන් පීරිස්, අරුණි ශාන්ති මෙන්ම වයලට් ජයසිංහ ආදී නළු නිළියෝ මෙම නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළහ.

එවකට ටවර්හෝල් යුගයේ ජනප්‍රිය නාට්‍යය රචකයකු මෙන් ම ග්‍රැමෆෝන් ගී කලාවේ මැණිකක් සේ දිදුළමින් සිටි ලොන්තු විදානේ ගැන ප්‍රථම සිංහල චිත්‍රපටය තිරයට ගෙනා බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න සිනමාකරුවාගේ විමසුමට ලක් නොවුණා නම් එය පුදුමයට කරුණක් වෙන්නට ඉඩ තිබිණි. ඔහු ප්‍රථමවරට අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළ “හදිසි විනිශ්චය” චිත්‍රපටයේ ගීත ලිවීම ලොන්තු විදානේට භාර කළේය. ඒ කාර්යය සඳහා ඔහු ජයමාන්න මහතා සමඟ ඉන්දියාවටද ගියේය. වැඩිම ගීත තිබූ චිත්‍රපටයක් හැටියට හදිසි විනිශ්චය ලේඛනගතය. ප්‍රථමයෙන්ම විරුදු යෙදූ චිත්‍රපටය හැටියට මෙය ප්‍රසිද්ධය. එහි යොදා තිබූ ගීත දාහතරම ලොන්තු විදානේ නිර්මාණය.

එසේ නම් මෙතෙක් මසි අයියා, මසි මාමා ලොන්තු විදානේ හැටියට හැඳින්වූ ටවර්හෝල් යුගයේ නාට්‍යකරුවා මෙන්ම ග්‍රැමෆෝන් මුල්යුගයේ ම එළි දැක්වුණු “සංගීත්” ගීත සංග්‍ර‍හයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ප්‍රබන්ධ ශාස්ත්‍රඥයකු හැටියට කටයුතු කළ ග්‍රැමෆෝන් ගීය වර්ණවත් කළ ඒ අපූරු කලාකරුවා කවුද?

ග්‍රැමෆෝන් ගී තැටිවල ඔහුගේ නම සඳහන් වී ඇත්තේ ඩබ්ලිව්.ඩී. එම්. ඇල්බට් හැටියටය. සම්පූර්ණ නම විතානගේ දොන් මර්සලීනු ඇල්බට්ය.

සිරිබුද්ධගයා විහාරේ ගීයට හවුල් වී බොදු ගී ලිවීම ඇරඹූ ඩබ්ලිව්.ඩී.එම්. ඇල්බට් සිරිමා බෝධි මුලේදී, සාරා සිරිනි රම්‍යා, බුදුවේවා බුදුවේවා, වන්දනාවේ යමු පේවීලා, බුදු පිළිමේ දඹුල් ලෙනේහි සාර ශාන්ති, අප මුනිඳා, ජීවන සාප ශ්‍රීපානා, සංසාර සැපා, සෑගිරියේ ස්වර්ණයේ, පූර්වේ කළාවූ පාපේ සේ, මුනි ශ්‍රි දළදා, සිරිපාද කමල්, තෙද බල පානා, බැඳීලා ඒ රන්තලියේ ආදී වශයෙන් මෙන් ම වෙනත් මාතෘකා යටතේ ලියූ දහසකුත් එකක් ග්‍රැමෆෝන් ගී අතරට ‍බොදු සිරිතේ බොහෝ තැන් ඔපවත් කරමින් මෙලෙස බෙදු ගී සමූහයක් එකතු කළේය. දේශාභිමානී ගී අතරින් ලක්ෂ්මී බායි ගායනා කළ “ආදී සිංහලුන් දීප දේශ ජයගත්තා” ගීතය ඩබ්ලිව්.ඩී.එම් ඇල්බට්ගේ පෑන් තුඩින් එළිදැක්වුණු එකකි.

 

ලලිතකලා කීර්ති, චිත්‍ර කලා ගුරු

 

Comments