
වසර කිහිපයකට ඉහත උසස්පෙළ විභාග ප්‍රතිඵල සමාලෝචනය කර බලන විට පෙනී යන්නේ විශ්වවිද්‍යාල වරම් හිමි කරගනු ලැබූවේ කොළඹ හා තදාසන්න නගරවල වරප්‍රසාදිත පාසල් දරුවන් බවයි. එසේම උසස්පෙළින් වැඩිම ලකුණු ලබාගත්තේද ඔවුන්මය. එහෙත් මෙවර ඒ තත්ත්වය වෙනස් වී තිබේ. මෙවර උසස්පෙළ ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී රට පුරා ඇති ප්‍රධාන පාසල්වල දරුවන් පමණක් නොව, ඈත ගම්දනව්වල පාසල්දරුවෝද උසස් පෙළ ඉහළම ලකුණු ලබා විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිටිති.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ විවිධ කතා සියලු මාධ්‍යයන් තුළ ප්‍රචාරණය වනු අපි දුටුවෙමු. එහෙත් පවතින අධ්‍යාපන ක්‍රමය තුළ හැල්මේ දුවමින් එකකු පරයා තවකකු ජයග්‍රහණය කිරීමට අනුබල දෙනු විනා මෙමඟින් බුද්ධිමත් යහපත් මනෝකායික වශයෙන් නීරෝගි මිනිසුන් බිහි වන්නේද යන්න ගැටලුවකි. උසස්පෙළ හෝ සාමාන්‍යපෙළ හෝ අසමත් වූ විට සියදිවි හානි කරගන්නා දරුවෝ කොතරම් සිටිත්ද? සාමාන්‍යපෙළ අවසන් වී ප්‍රතිඵල පිට වීමටත් ප්‍රථම උපකාරක පන්ති ආරම්භ වේ. එනිසා ඔවුන්ට විවේකීව හිඳිමින් යහපත් මනසක් ඇති කරගැනීමට කාලය අහිමි වේ. මෙකී හේතුවෙන් මේ දරුවන් යන්ත්‍ර-සූත්‍ර බවට පත්ව ඇත. මෙනිසා ඔවුන් මානසික වශයෙන් පසුවන්නේ අසහනකාරී පරිසරයකය. ලෝකයේ වෙනත් රටවල්වල දරුවන් උපතින් ගෙනෙන හැකියා සහ දක්ෂතාව මඟින් විශිෂ්ට මානව සම්පත් බිහි කරගනිද්දී මෙරට විෂයමූලික අධ්‍යාපනයට පමණක් ප්‍රධාන තැනක් හිමි කර දී ඇත. මෙනිසා සහජ හැකියා හා දක්ෂතාවලින් පිරිපුන් දරු පිරිසක් කිසිදු වැදගැම්මකට නැති අයාලේ යන පුරවැසියන් බවට පත් වී සිටිති. එනිසා හුදු විභාග පාස් වූවන්ගේ ආශ්චර්යවත් ප්‍රතිඵල ගැන පමණක් කතිකා නොකොට පවතින අධ්‍යාපන ක්‍රමයේ ගැටලු හඳුනාගෙන ඊට යථාර්ථවාදී විසඳුමක් ලබාදීමට ක්‍රියා කළ යුතුය.
වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් අතර ඉතා දක්ෂ, වගකීම්සහගතව කල්පනා කර බලා කටයුතු කරන අමාත්‍යවරයෙකි. එසේම තමන් විසින් ගනු ලබන තීන්දු-තීරණ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේද යන්න විමසා බලන්නෙකි.
එමෙන්ම ඒ තීන්දූ ක්‍රියාත්මක කිරීමට යෑමේදී තමන්ගේ දේශපාලන අනාගතය අවදානමට ලක් කර ගැනීමටද හේ පසුබට නොවේ. අමාත්‍යවරයා විසින් පසුගිය කාලය පුරා බොහෝ ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගණනාවක් ගනු ලැබූ අතර, ඒවා තීරණාත්මක ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමයට බලපා තිබේ. ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය මීට කදිම නිදසුනය. මිථ්‍යාමතිකව ජනප්‍රිය පාසල් පසුපස හඹායෑම නතර කිරීම සඳහා ගෙනගිය වැඩසටහනෙහි සාර්ථකත්වය මෙවර උසස්පෙළ ප්‍රතිඵලවලින් ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ.
මෙවර උසස් පෙළ ප්‍රතිඵලවල දැකිය හැකි විශේෂත්වය නම්, දිවයිනේ සියලුම පාසල්වල ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අතර උසස් පෙළ ප්‍රතිඵල සම සමව බෙදී යාමයි. වසර කිහීපයකට ඉහත උසස් පෙළ විභාග ප්‍රතිඵල සමාලෝචනය කර බලන විට පෙනී යන්නේ විශ්වවිද්‍යාල වරම් හිමි කර ගනු ලැබූවේ කොළඹ හා තදාසන්න නගරවල වරප්‍රසාදිත පාසල් දරුවන් බවය. එසේම උසස් පෙළින් වැඩිම ලකුණු ලබාගනු ලැබුවේ ද ඔවුන්මය. නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී තිබේ.
මෙවර උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී රට පුරා ඇති ප්‍රධාන පාසල්වල දරුවන් පමණක් නොව ඈත ගම්දනව්වල පාසල්දරුවන්ද උසස් පෙළ ඉහළම ලකුණු ලබා විශ්ව විද්‍යාලයට තේරී පත්ව තිබේ. උදාහරණයක් ලෙස වසරේ අපොස (උසස්පෙළ) ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබාගැනීමට යාපනයේ පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් තුවාරකන් ශිෂ්‍යයා සමත්ව තිබේ. යාපනය පේදුරුතුඩුවේ පදිංචිකරුවකු වූ මෙම ශිෂ්‍යයා යුද්ධය හේතුවෙන් යළි පදිංචි වූ පවුලක සාමාජිකයෙකි.
එසේම බණ්ඩාරවෙල ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි හුරුකුඩේ සාරිපුත්‍ර විද්‍යාලයේ ශිෂ්‍යාවකට දශක ගණනාවකට පසුව විශ්ව විද්‍යාල වරම් හිමිව තිබේ. රත්නපුරය වැනි අධ්‍යාපනය සඳහා වැඩි නැඹුරුවක් නොදැක්වූ දිස්ත්‍රික්කවල පවා මෙවර ඉතා ඉහළ ප්‍රතිඵල ලැබී ඇත. එනිසා සමස්තයක් වශයෙන් ලංකාව පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන්නුම් කළ වසරක් ලෙස 2017 වසර අවිවාදයෙන් නම් කළ හැකිය. මෙය වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අපට ලබාදෙන කිසියම් සාධනීය සිතුවමකි.
එමෙන්ම සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය මඟින් දරුවන්ගේ සෞඛ්‍යය රැකගැනීමට වෙහෙසෙන අතර, පාසල් 3600ක් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. දශකයකට පමණ පසු විධිමත් ක්‍රමවේදයක් මගින් තරුණ විදුහල්පතිවරුන් 5000ක් බඳවාගෙන ඔවුන්ට දේශීය හා විදේශීය පුහුණුවක් ලබාදී අඩු වරප්‍රසාදිත පාසල් දියුණු කිරීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයට නව නිලධාරීන් 800ක් බඳවාගෙන එම සේවය සක්‍රීයව අධ්‍යාපනයේ සංවර්ධනයට යොදාගෙන ඇත. එසේම පාසල් තුළ භෞතික සංවර්ධනය සඳහා විශාල වශයෙන් ප්‍රතිපාදන යොදවා පළාත් සභා ඒකාබද්ධ කරගෙන විවිධ වැඩසටහන් ආරම්භ කර තිබේ.
මෙමගින් සියලුම පාසල්වල නව ගොඩනැගිලි, විද්‍යාගාර, පරිගණක අංශ, නෘත්‍ය ශාලා හා ක්‍රීඩා පිටි ඉදිවෙමින් තිබේ. අවිධිමත්ව සිදු කෙරුණු ගුරු මාරුව දේශපාලන බලපෑම්වලින් තොරව කිසියම් ක්‍රමවේදයකට අනුව විධිමත් හා වඩාත් සාධාරණව සිදු කිරීමට පියවරගෙන ඇත.
මේ අනුව කිව හැක්කේ රටේ විකෘතියක්ව තිබූ අධ්‍යාපන ක්‍රමවේදය ශීඝ්‍රයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් වෙමින් තිබෙන බවය. විශේෂයෙන් අධ්‍යාපනයේ ව්‍යූහගත වෙනස්කම් මෙන්ම විෂයමාලා සංවර්ධනයේදී හා ප්‍රතිසංස්කරණවලදී ආණ්ඩුව පෙන්වා ඇති සමත්කම මත මේ රටේ අනාගත පරපුරට සුභදායක බලාපොරොත්තුවක් ඇති කරගත හැකිය. එහෙත් ආකල්පමය වශයෙන් දිළිඳු, මවුපියෝ තවමත් විෂය මූලික අධ්‍යාපන රාමුවට කොටු වී ඒ මත සිය දරුවාගේ සිහින නිමවා දිග්විජය කිරීමට සැදී-පැහැදී සිටිති.
ඇත්තෙන්ම මේ සිහින දරුවා දකින සිහිනයට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ සිහින බොහෝ මවුපියන් විසින් ඔවුන් මත පටවන ලද සිහිනයන්ය. එහෙත් නූතන ලෝකය සමඟ ඉදරියට යෑමට නම් අධ්‍යාපන ක්‍රමයේ තවත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයෙන්ම සිදු කළ යුතුය.
මේ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පවසයි: “අපි විභාගවලට මුහුණ දීපු කාලයේ දීර්ඝ නිවාඩුවත් එක්ක විශාල නිදහසක් භුක්ති වින්දා. ඒ නිදහස දරුවකුට අත්‍යවශයයි. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණේ අවුරුදු 16න්.
පාසල් පරීක්ෂකවරයා ඇවිත් අපේ දැනුම මට්ටම පරික්ෂා කරලා, පංති සාමාර්ථ ලබාදෙනවා. ඒ විදියට පන්ති සාමර්ථ්‍ය අරන් විශ්වවිද්‍යාලයට ඇවිත් අවු 20න් උපාධිය ලබාගත්තා. මේ නිසා, විශ්වවිද්‍යාල සේවයේ හා රජ්‍ය සේවයේ විවිධ තනතුරු දරමින් මට විශාල කාලයක් කටයුතු කරන්න අවස්ථාව හිමි වුණා. මම ඒ තත්ත්වයට පත්වුණේ ටියුෂන් ගිහින් නෙවෙයි. ඒක මුළාවක්.
මම හිතන්නේ අධ්‍යාපනය වගේම දරුවන්ට කිසියම් නිදහසක් අවශ්‍යයි ඔවුන්ගේ මානසික වර්ධනයට. ඒ සඳහා විෂයධාරාවෙන් බාහිර ක්‍රියාවන්ට ඔවුන් යොමු විය යුතුයි. යහළුවන් සමග ක්‍රීඩා කිරීමට, මළ ගෙදරකට, පිරිත් ගෙදරක, ගම්මඩුවකට, තොවිල්පලකට යන්න ඕන. ඒමඟින් ආත්මාර්ථකාමීත්වයෙන් තොරව සාමූහික හැඟීමකින් කටයුතු කරන්න පෙලඹවීම ඇති වෙනවා. ඒත් අද ඒ තත්ත්වය දරුවන්ට නැහැ.
මේ තරම් පහසුකම් තිබිලත් අවු 26-30 අතර කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. මේ නිසා ටියුෂන්එකාරයන්ට දෙස්-දෙවොල් තියනවට වඩා මවුපියන් දරුවන් පිළිබඳ මීට වඩා සංවේදීව සිතිය යුතුයි.
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙද්දි ‘හැමෝටම අධ්‍යාපනය (Education for all)’ ලබාදිය යුතුයි කියන ප්‍රතිපත්තිය මතයි ක්‍රියා කළේ. ඔහු තමයි මේ ක්‍රමය මුළු ලෝකයටම හඳුන්වා දුන්නේ. ඒ සංකල්පය අපේ අය නිවැරදිව වටහා ගත්තේ නැහැ. ඒ නිසා ඔහු පිළිබඳව නිසි ඇගයීමක් කෙරෙන්නත් නැහැ. ඔහු තමයි අපට හිටිය අධ්‍යාපන විශේෂඥයා. අද යුරෝපය තුළ ක්‍රියාත්මක වන්නේ එතුමා ගෙනාපු සංකල්පය යි. මේ ක්‍රමය ගෙනාවේ මේ මනුෂ්‍යා නේද කියලා අපේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ.
ඒවගේම ‘වෘත්තීය අධ්‍යාපනය’ කියන සංකල්පය හඳුන්වා දීමේ ගෞරවයද කන්නන්ගර මැතිතුමාට හිමි විය යුතුයි. මෙහිදී දැනුම ආර්ථික සාධකයක් ලෙස සලකන අතරම, ඊටම මුල්තැන නොදී දරුවා තුළ පවතින ‘කුසලතා‘ හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කර පලදායි පුරවැසියෙකු බිහි කර ගැනීම ඔවුන්ගෙ අපේක්ෂාව වී තිබෙනවා. අපි හැමෝ තුළම උපතින් ගෙනෙන විභව ශක්තියක් පවතිනවා. ලෝකයේ සිටින අධ්‍යාපන විද්‍යාඥයින් ‘බහු බුද්ධි න්‍යාය‘ කියන සංකල්පය ඔස්සේ මේ පිළිබඳව කරුණු දක්වා තිබෙනවා. නමුත් මේ රටේ අධ්‍යාපනවේදීන් තවම ඒ පිළිබඳව දැනුවත් වී නැහැ. ඔවුන්ට එහෙම සොයන්න අවශ්‍යතාවයකුත් නැහැ.
ඒත් ලෝකයේ සෙසු රටවල අධ්‍යාපය තුළ අපේ වගේ එකම දේ ලබාදෙන්නේ නැහැ. ඔවුන් දරුවන් තුළ පවතින මේ විවිධ බුද්ධිමය කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ ඔවුන් රැගෙන යාමටයි මුල්තැන ලබා දී ඇත්තේ. උදාහරණයකට කෙනෙක් යන්ත්‍ර සූත්‍ර කෙරෙහි විමසිලිමත් නම්, ඒවා කඩා-බිඳ නැවත සකස් කරන්න උත්සාහ කරනව නම්, ඔහු හෝ ඇය ඒ සඳහා යොමු කළ යුතුයි. නැතිව “මේ ඕව කර කර ඉඳලා හරියන්නේ නැහැ, ගිහින් ගණන් හදපන්” කියන්නේ නැහැ. එවැනි දක්ෂතා ඇති අය අදාළ අංශයට යොමු කරනවා.
එනිසා වහාම ක්‍රියාත්මක වී මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. අද වන විට යුරෝපීය රටවල අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. අපි දැනුම ලබාදීමට මූලික අවධානය යොමු කරද්දී,
ඔවුන් කුසලතාවයට මූලිකත්වය ලබාදෙනවා. පැරණි මතයක් තිබුණා ආර්ථිකය හදාගත්තහම අධ්‍යාපනය ඇතුළු අනෙකුත් දේවල් ඔක්කොම ළඟා කරගන්න පුළුවන්ය කියලා. දැන් ඒ මතය අහෝසි වෙලා ඉවරයි. දැන් ඔවුන් කියන්නේ අධ්‍යාපනය හදාගෙන, එය නිවැරදිව හසුරවාගැනීමෙන් ආර්ථිකය ඇතුළු අනෙකුත් සියලු දේවල් ළඟාකරගන්න පුලුවන් කියලා. අද මුළු ලෝකයම පිළිගන්න න්‍යාය බවට පත්ව තිබෙන්නේ එයයි. අපිත් ඒ තත්ත්වයට පරිවර්තනය වෙන්න අවශ්‍යයි. ඒ නිසා නැවත ආපස්සට ගමන් කිරීමෙන් පලක් නැහැ. මෙවැනි සම්මුතිවාදී දේශපාලන විභවයක් පවතින අවස්ථාවක එවැනි අධ්‍යාපන ව්‍යූහයක් සකස් කිරීමට පියවර ගැනීම කාලෝචිතයි. එහිදී එක-එක්කෙනාගේ අවස්ථාවාදී දේශපාලන විවේචනයන්ට කන්නොදී, ඍජුව තීන්දු-තීරණ ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා කිසිවිටෙකත් බිය විය යුතු නැහැ” යි හෙතෙම පවසා සිටියේය.
අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පිඨයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා ප්‍රකාශ කර සිටියේ: “අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන විශාලතම වැරැද්ද අපි ඉන්ටර්නැෂනලි බෙන්ච් මාර්ක් සලකුණු කර නැති එකයි. එනිසා අන්තර්ජාතික ප්‍රමිතිගත තත්ත්වයක් මේ කිසිදු විභාගයකට ලැබී නැහැ. සාමාන්‍යපෙළ, උසස්පෙළ කියන්නේ සාමාන්‍ය සුදුසුකම් නෙමෙයි. ඒවා අන්තර්ජාතික සුදුසුකම්. ඒවා අන්තර්ජාතික මට්ටමේ විභාග. ජාත්‍යන්තර ලෝකයේ අධ්‍යාපනය යාවත්කාලීන වෙනවා. ඒ වෙනුවෙන් නව මිනුම් දඩු හැදෙනවා. ළමයින්ගෙ ශක්‍යතාවන් අධ්‍යයනය කරනවා. ඒ රටවල අධ්‍යාපනය සකස් වෙන්නේ දේශපාලනඥයන්ට ඕන විදියට නෙමෙයි. අධ්‍යාපන විශේෂඥයන්ට ඕන විදියටයි. ඒත් අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ.
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්තයා දේශපාලනඥයකු තමයි. එහෙත් එතුමා තුළ අධ්‍යාපන විශේෂඥයකු සතු දැනුම තිබුණා. ඒත් එතනින් මෙහාට මේ රටේ දේශපාලනය විසින් අධ්‍යාපනය හැසිරවීමට යෑමේ ප්‍රතිඵලය තමයි අපි මේ භුක්ති විඳින්නේ.
අධ්‍යාපනය ලබාදීම පෞද්ගලික අංශය මැදිහත් වෙලා කරනවද? නැත්තම් වෙනත් පාර්ශ්වයක් මැදිහත් වෙලා කරනවද? කියන කාරණය එතරම් වැදගත් නැහැ. වැදගත් වන්නේ අපට වඩාත් වාසිසහගත මොකක්ද කියන-එකයි. ඒක කරන්න පුළුවන් මේ අධ්‍යාපන ආයතන හරහා ලබාගන්නා දැනුම ඉන් පිට වීමේදී ප්‍රශස්ත ආකාරයෙන් (exit qualification) තියෙනවද කියන-එක මතයි. කවුද වෛද්‍යවරයෙක් වෙන්නෙ, “කවුද ඉන්ජිනේරුවෙක් වෙන්නෙ?“ “කවුද කලා උපාධිධාරියෙක් වෙන්නෙ?“ “කවුද වාණිජ්‍ය උපාධිධාරියෙක් වෙන්නෙ?“ කියන-එකට වඩා; මෙන්න මේකයි අවම සුදුසුකම (minimum standards) කියන නිර්ණායකයට අප යා යුතුයි. ඒක කරන්න පුළුවන් හොඳම විදය පිටවීමේ දී ලබාදෙන සුදුසුකම (exit qualification) අන්තර්ජාතික මට්ටමකට තීරණය කිරීමයි” පවසා සිටියේය.
මේ අනුව අපට නිගමනය කළ හැක්කේ සාමාන්‍යපෙළ හා උසස්පෙළ යනු අපට ඇති පූර්ව සුදුසුකමක් පමණක් වන බවයි. එසේ නොවූවද වෙනත් විකල්පයන් අපේ හැකියාව මත අපට තීරණය කළ හැකිය.