
• උපන් දිනය ?
1950 මැයි 06
• උපන් ගම ?
අරණායක ගැවිලිපිටිය.
• උප්පැන්නයේ නම ?
බුදවත්තේ යක්දෙස්සලා කුලිසිරි බුදවත්ත.
• දෙමවුපියෝ?
පියා පුංචිගුරු බුදවත්ත
මව ඇල්පිනෝනා
• සහෝදර සහෝදරියෝ?
අයියා, අක්කා සහ මල්ලි
• මුලින්ම අකුරු කළේ ?
උස්සාපිටිය මධ්‍ය මහ විදුහල
• පසුව ?
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණියා
• උපාධිය අවසන් කළාට පසුව ?
නෑ ! උපාධිය අවසන් කරන්න ලැබෙන්නේ නෑ
• එහෙනම් ?
ඊට කලින් මට ගුරුපත්වීමක් ලැබෙනවා
• ඒ කොහාටද ?
මා ඉගෙන ගත් පාසලටම මෙහි විශේෂයක් තියෙනවා
• මොකක්ද විශේෂය ?
මගේ පියත් නැටුම් ගුරුවරයෙක් ලෙස සේවය කළේ මේ පාසලෙයි
• ඔබේ පාසල් කාලයේ ඔබ කොයි වගේ චරිතයක් ද ?
ටිකක් මුරණ්ඩු ගතිත් තිබුණා හැබැයි 9 – 10 ශ්‍රේණිවලට එන ෙකාට ඒවා තිබුණේ නෑ!
• නැටුම,ගැයුම, වැයුම, ඇඹුම ආදී සකල විධ කලාවන්ගෙන් පරතෙරට ගිය පරපුරක් බුදවත්ත පරපුර.
අපේ පරම්පරාව යුගයෙන් යුගයට ඒ කලාවන් රැකගෙන ආවා
• ඔබේ මුතුන් මිත්තන් පිළිබඳ මතක් කළොත් ?
බුදවත්තේ පුංචිකිරා ගුරු ගණිතා ගුරු, පුංචිගුරු සහ ඩිංගිත්තා ගුරු පරපුරේ මගේ පියා පස්වෙනියා එයත් බුදවත්ත පුංචිගුරු
• ඔබේ පරපුරෙන් විදේශවල පවා ප්‍රචලිත වෙන්නේ ඔබ ?
නෑ මගේ පියා වසර තුනක් පමණ ජර්මනියේ ගත කර තිබෙනවා.
• ඒ කොහොමද ?
ඒ කාලයේ ජර්මනියේ නැටුම් සර්කස් කණ්ඩායමක් ලංකාවට ඇවිත් තිබෙනවා මගේ පියාත් ඒ අය සමඟ සම්බන්ධ වී රට වටේ ප්‍රසංග සඳහා ගොස් තිබෙනවා.
• ඒ අය සමඟ ද පියා ජර්මනියට යන්නේ ?
ඔව් ! ඒ අය ජර්මනියේ ප්‍රසංග සඳහා පියාත් රැගෙන ගොස් තිබෙනවා.
• නර්තනය ඔබට ලේ වලින් ආ දෙයක්
ඔව් ! මා කුඩා අවධියේ අම්මගේ හැට්ට ඇඳගෙන තාත්තගේ බඳ පටියක් බැඳගෙන නටන හැටි මගේ මතකයේ තිබෙනවා.
• උස්සාපිටිය විදුහලේ නර්තන ආචාර්යවරයා වෙන ඔබ ජාත්‍යන්තරය දක්වා ගිය ගමන කියන්න ?
ගාලු මුවදොර පිටියේ ඒ දවස්වල වාර්ෂික ප්‍රසංගයක් පැවැත්වුණා එහිදි මමත් මගේ අක්කත් යුගළ නර්තනයක් ඉදිරිපත් කළා
• ඉතිං?
ඒ ප්‍රසංගය බලන්න ආපු එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්තේ මහතා මගේ නර්තන දැක මට තරුණ සේවා සභාවට බැඳීමට ආරාධනා කළා.
• කවුරු හැටියටද ?
අපි හොඳ නැටුම් කණ්ඩායමක් හැදීමට අදහස් කරගෙන ඉන්නවා එය බාරගෙන ඒ කටයුත්ත කැර දෙන්න කිව්වා.
• ඔබ ඒ අභියෝගය බාර ගත්තා !
ඔව් ! මා ගුරු වෘත්තියේ සිටියදීම තරුණ සේවා සභාවට අනුයුත්තව ඉතා දක්ෂ සිසුන් පිරිසක් බඳවාගෙන හොඳ නැටුම් කණ්ඩායමක් හැඳුවා.
• විදේශ සංචාර ?
ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක සංචාරය කළා හරියට ගණන මතකනම් නෑ. රුසියාවට පමණක් සිවු වතාවක් ගියා.
• මේ සංචාරවලදී රසවත් සිදුවීම් බොහෝ ඇති ?
අපෝ ඔව් !
• එකක් කියන්න ?
මේක රුසියාවේ දී වුණ වැඩක් කොහොඹ යක්කංකාරි ප්‍රදර්ශනය කැර ඒ එක්කම ජසයා, ලෙන්චිනා කෝලම පෙන්වීමට තිබුණා. ඉතිං ඒ සඳහා අප ඉක්මනින් ඇඳුම් මාරු කැර ගත යුතුයි.
• ඔබ මොකක්ද මේ කෝලමේ කළ චරිතය ?
මා විදානෙගේ චරිතය කළා. සේන එලමල්දෙණිය මිතුරා හෙංචගේ චරිතය කළා.
• ඉතිං ?
කවුද අපේ මිතුරෙක් හෙංචගේ හා විදානගේ වෙස් මුහුණු මාරු කරලා අපිට මුහුණු දිහා බල බලා අදින්න වෙලාවක් නෑනේ.
• හරි ජංජාලයක් ?
ජංජාලයක්ද කියන්නේ දැන් අපි දෙන්නා වේදිකාවේ . මට මගේ වෙස් මුහුණ අස්සෙන් පෙනෙනවා හෙංචා දාගෙන ඉන්නේ විදානගේ මුහුණ කියලා. ෂුවර් එකට මට හිතුණා මා දාගෙන ඇත්තේ හෙංචගේ මුහුණ කියල.
• ඔබ මොකද කළේ ?
මා එක්වරම මගේ මුහුණ ගලවා අතට අරගෙන හෙංචෙ ගලවපිය තොගේ මුහුණත් කිව්වා!
• ඔහු මුහුණ ගැලෙව්වද ?
ඔව් ! ඊට පස‍්සේ මා කිව්වා දීපිය ඔය මුහුණ මට මෙන්න මේක උඹ දා ගනිං කියා මා අත තිබුණ මුහුණ දුන්නා. කොහොම හරි නාට්‍යානු සාරයෙන්ම වැඩේ ගොඩ දා ගත්තා.
• රුසියාවේ සිද්ධ වූ නිසා මෙය ඒ අයට තේරෙන්න නැතිව ඇති ?
නෑ ! ලුමුම්බා සරසවියේ ඉගෙනු ලබන ලංකාවේ සිසුන් විශාල පිරිසක් එහි ඇවිත් සිටියා. ඔය වගේ සිදුවීම් වෙනවා. (සිනා)
• ඔබ තරුණ සේවා සභාවෙන් ඉවත් වෙනවා ?
ඔව් මා කල්පනා කළා රජයේ සේවයේ ඉදිමෙන් ඵලක් නෑ මගේ ම දෙයක් පටන් ගන්න ඕනෑ කියලා ඒ අනුව මා සව්සිරිපායේ බුදවත්ත රංගායතනය පටන් ගන්නවා.
• සිසුන් කොපමණ සිටියද ?
හැටක් හිටියා ! එහි ප්‍රථම ශිෂ්‍යාව වූණේ ප්‍රවීණ නිළි මාලනි ෆොන්සේකා.
• ඔබ රාජ්‍ය නැටුම් කණ්ඩායමටත් සම්බන්ධ වෙනවා එහි ප්‍රධානියා විදිහට.
මා ඔබට එහිදි සිදු වූ කතාවක් කිව යුතුයි.
• කියන්න ?
රාජ්‍ය නැටුම් කණ්ඩායමේ 19 දෙනෙකුට විදේශ ප්‍රසංගයක් සඳහා යා යුතුව තිබුණා. පසුව මේ පිරිස 15 ක් වෙලා ඒ වෙනුවට රජයේ නිලධාරීන් හතරක් ආදේශ වෙලා.
• ඉතිං ?
මා තදබල ලෙස විරෝධය පළ කළා මා කිව්වා ඒ හතර දෙනාට ගිහින් මේ ප්‍රසංගය කරලා එන්න මා යන්නේ නෑ කියා.
• ඊට පස්සේ මොකද වුණේ ?
මා මගේ විරෝධය ඇමතිතුමා දක්වා රැගෙන ගියා.ඇමතිතුමා ඒ පිරිස නැවැත්තුවා.
ඔන්න නිලධාරින් කරන දේවල් නැටුම් ශිල්පීන් හතර දෙනකුගේ අවස්ථාව කූඨ ලෙස පැහැර ගන්න ගියා.
• අප අසා ඇති පරිදි ඔබ එවැනි අකටයුතුකම් වෙනුවෙන් නිර්භිතව පෙනි සිටි තිබෙනවා.
මා එසේ කළා නම් කළේ මේ රටේ නර්තන කලාව වෙනුවෙන් හා නර්තන ශිල්පියා රැක ගැනිම සඳහායි.
• ඔබේ සිනමා සම්ප්‍රාප්තිය පිළිබඳවත් මතක් කරන්න ?
මා චිත්‍රපට කිහිපයක නර්තනයන් ඉදිරිපත් කර තිබෙනවා.
• නැ ! නැටුම් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ?
හැත්තෑ පහකට අධිකයි.
• කිපයක් මතක් කළොත් ?
කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මුවන් පැලැස්ස.
• ඔබේ ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කෙරෙන්නේ ඔබ හිරිමල් යෞවනයකුව සිටි අවධියෙයි ?
ඔව් ! ඒ 1974 සැප්තැම්බර් මාසයේ.
• ප්‍රථම සංචාරයම සුවිශේෂි වෙනවා ?
ඔව් ! අප කණ්ඩායම ඉදිරිපත් කළ ප්‍රසංගය නැරඹීමට පකිස්ථාන අගමැති අලි භූතෝ මහතා සහ ශ්‍රී ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැමිණියා. ප්‍රසංගය පැවතියේ රාවල් පිණ්ඩි නුවරයි. මේ ප්‍රසංගය ඔවුනගේ ඇගැයුමට ලක් වුණා.
• වයස අවුරුදු හතේදී සිය පියා වෙතින් නැටුම් කලාවට අත් පොත් තබන ඔබට පසු කාලයෙත්හොඳ ගුරු පිරිසකගේ ඇසුර ලැබෙනවා ?
ඔව් !
• කවුද ඒ ගුරුවරු ?
ඩබ්.බී මකුලොලුව,චිත්‍රසේන,පණීභාරත, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණයන්
• ඔබ පැමිණි ගමන් මඟ ආපසු හැරී බැලුවොත්
ඉතාමත් සතුටුයි මගෙන් ඉගෙනගත් දරුවන් නර්තනයෙන් ඉහළ තැන්වල සිටිනවා.
• නම් කිහිපයක් සඳහන් කරන්න ?
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වෙන කරුණාරත්න බණ්ඩාර, රංජිත් ජයසිංහ ඒ වගේම ප්‍රකට නර්තනවේදි චන්දන වික්‍රමසිංහ වැනි අය.
• අද නර්තනය ගැන යමක් කියන්න ?
ඇතැම් අයගේ ක්‍රියා කලාපයන් ගැන කියන්න කනගාටුයි.
• ඇයි ඒ ?
නැටුම ‘මොඩර්න්’ කළ යුතුයි කියා අපේ ජීවය බඳු නර්තන කලාව විනාශ කරනවා.
• ඔබ කියන්නේ නැටුම නවීකරණය විය යුතු නෑ කියලද ?
නෑ ! එය විය යුත්තේ අපේ කම ඇතුළෙයි.
• ඒ කියන්නේ ?
නැටුම නවීකරණය කළ යුතුයි කියා අද කරන්නේ අපරදිග සංස්කෘතික ලක්ෂණ අපේ නැටුමට එක් කරන එකයි. ඒක ජාතියට කරන මහ අපරාධයක්
• ඔබට වේදනාවක් තිබෙනවා ?
ඔව් ! බරපතළ වේදනාවක් තිබෙනවා කෙටියෙන් ම කියනවානම් නැටුම නවීකරණය කරනවා කියා. නැටුමෙන් හිඟාකන පිරිසක් බිහි වෙලා.
• මේ පිරිසට ඔබට කියන්න යමක් ඇති ?
ඔව් ! මා ඔය කිව්ව තත්ත්වයට පත් නොවි අපේ සංස්කෘතිය ලෝකය තුළ සලකුණු කිරීමට උත්සුක වෙන්න කියන එකයි මා ඉතාමත් ඕනෑකමින් කියන්නේ.
• අවසන් වශයෙන් මා ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි ?
මා විවාහ වෙන්නේ 1986 දී . ඇය නේමාලි බුදවත්ත
• ප්‍රේම සම්බන්ධතාවක් ?
මා තුළ උපන් ප්‍රේමයක්
• ඒ කතාව කියන්න ?
පණිභාරත මහත්තයගේ “ගම්මානේ මල් පිපිලා” නාට්‍යයෙදී තමයි මා ඇය මුලින්ම දකින්නේ ඒ දුටුව දවසේම මට හිතුණා මට ගැළපෙන කෙනා මෙයා තමයි කියලා.
• ඇයි එහෙම හිතුණේ ?
කඩිසරයි - පිළිවෙළයි, දක්ෂකමයි මේ සියල්ල මා ඇය තුළින් දුටුවා.
• ඔබේ අදහස කිව්වා ?
ඔව් ! එයා කිව්වා දෙමවුපියන්ගෙන් අහන්න කියලා මා ඇසුවා ඉන් පසුව දෙපැත්තේ ආශිර්වාදය මැද ඉක්මනින් අප විවාහ වුණා.
• දරුවෝ ?
අපට ඉන්නේ එක පුතයි ඔහු රංගන රන්සිළු බුදවත්ත ඔහු විවාහ වී සිටින්නේ අශිනි දියණිය සමඟයි.
• පුතත් ඔබේ අඩි පාරේ යයිද ?
ඔහු තමයි රංගායතනයේ කළමනාකරණ කටයුතු කරන්නේ හැබැයි ඔහු ගුවන් නියමුවරයෙක් හැටියට අධ්‍යාපනය ලබා තිබෙනවා.
• බිරිය ?
ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නර්තනාචාර්ය වරියයි.