ඡන්දය දැමීම වගකීමක් | සිළුමිණ

ඡන්දය දැමීම වගකීමක්

ළඟ එන මැතිවරණයේද ඡන්ද දායකයන්ට තම ඡන්දය පාවිච්චි කිරීමට නම්, ඡන්ද නාම ලේඛණයේ තම නම ලියා පදිංචි වී තිබීමට අමතරව පිළිගතහැකි හැඳුනුම් පතක්ද තමා සතු වීම අනිවාර්ය වනු ඇත. මෙමගින් අපෙක්ෂා කරනුයේ කෙනෙකුගේ ඡන්දය වෙනත් අයෙකු දැමීම, එකම කෙනෙකු ඡන්දය එක් වරකට වඩා දැමීම හා පුරවැසියකු නොවන අයෙකු ඡන්දය දැමීම වැලක්වීමය.

මෙම කාරණා 03 ඉටුකර ගැනීමට පහසුම ක්‍රමය වන්නේ පැය 09 ක් තුළ ඉවත් කළ නොහැකි ගුණාත්මක ‘නොමැකෙන තීන්ත ‘ වර්ගයක් නිශ්චිත ඇඟිල්ලක ආලේප කිරීමය. එවිට කිසි කෙනෙකුට තම ඡන්දය එක් වරකට වඩා පාවිච්චි කළ නොහැකි නිසා වෙනත් අයකුගේ ඡන්දය දැමීමට යොමුවන අවස්ථා ඉතා විරලය.

අනෙක් අතට අප අවධාරණය කරන්නේ ඡන්ද දැම්මේ ප්‍රතිශතය 80% කට වඩා අඩු රටක, අවුරුදු 18 ක් සම්පූර්ණ කළ අයෙකුට ඡන්ද නාම ලේඛනයේ නම නොතිබීම හා/හෝ හැඳුණුම් පතක් නොතිබීම නිසා ඡන්දය එක හෙලා අහිමි කිරීම සාධාරණ නොවන බවය.

ශ්‍රී ලංකාවේ යම් මැතිවරණයකදී භාවිතා නොවුණු ඡන්ද සංඛ්‍යාව සැලකිල්ලට ගතහොත්, එයට ඡන්ද ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට හැකියාවක් ඇති බව කාටත් පෙනී යන සත්‍යයකි. උදාහරණයක් වශයෙන් 2015 ජනාධිපති මැතිවරනයෙහි දී ජයග්‍රහකයා ලබාගත් වැඩි චන්ද සංඛ්‍යාව 449,072 ක් වූ අතර භාවිතා නොවුණු ඡන්ද සංඛ්‍යාව 2,780,113 ක් විය! මෙම සංඛ්‍යාවට උදාසීන අය, පිට රට වසන අය, ආබාධිතයන් හා රෝගීන් මෙන්ම හැඳුනුම් පත් නොමැති අයද ඇතුළු වූවත්, ඡන්ද නාම ලේඛනයේ නම ඇතුලත් නොවූ නිසා ඡන්දය අහිමිවූ විශාල ඡන්ද දායකයන් සංඛ්‍යාවක්ද සිටින බව ඒකාන්තය.

මෙවන් තත්වයක් තුළ ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද දායකයන් හැකි තරම් යොමු කිරීම මැතිවරණ නිලධාරීන්ගේ වගකීම නොවේද? ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ඡන්දය භාවිතා කිරීම අනිවාර්යය. ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ නිලධාරීන් නීති පොත පෙන්වමින් ඡන්ද දායකයාට දොස් පවරා ඡන්දය භාවිතා කිරීම වළක්වති!

සාමකාමී මැතිවරණ පරිසරයක් පවතින නිසා සෑම ඡන්ද මධස්ථානයකම අදාළ පක්ෂ නියෝජිතයන් රැදී සිටින හෙයින් ප්‍රදේශයේ ඡන්ද දායකයන් හඳුනා ගැනීම අසීරු නොවේ.

අවුරුදු 18 සම්පුර්ණ නොමැති බවට හෝ පිට රැටියෙකු බවට හෝ සැක සිතෙන අවස්ථාවන්හී පමණක් වලංගු හැඳුනුම්පතක් ඉල්ලා සිටීම ප්‍රමාණවත්ය. නොමැකෙන තීන්ත භාවිතයෙන් ඡන්ද දැමීමේදී සිදුවිය හැකි අනෙකුත් අක්‍රමිතා සියල්ලම පාහේ මග හරවා ගත හැක.

ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේදී සිදුවිය හැකි යැයි කියැවෙන‘ඡන්ද පත්‍රිකා මිටි වශයෙන් ඇතුලත් කිරීම’(vote- stuffing/ rigging) වැනි වංචනික හා තාක්ෂණික ක්‍රියාකාරකම් පිළබඳව මා හට විශේෂ යමක් පැවසිය නොහැක.

සීල් තබන ලද ඡන්ද පෙට්ටි මනා ලෙස ආරක්ෂා කිරීම හා පක්‍ෂ හිතකාමී නියෝජිතයන් වැඩි පිරිසක් රැදී සිටීම තුළින් එවැනි ක්‍රියාකාරකම් වැලක්විය හැකි යැයි හැඟේ.

අවධානයට ලක්විය යුතු තවත් කාරණයක් නම් අවුරුදු පතා විශාල වියදමක් දරමින් ඡන්ද නාම ලේඛනයන් යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍යද යන්නය. උතුරු හා නැගෙනහිර පලාත්වල සාමකාමී වාතාවරණයක් දැන් උදාවී ඇති නිසා ජාතික ජනසංගණනය නිසිලෙස පැවත්විය හැක.

මැතිවරණ සැම වර්ෂයකම නොපැවෙත්වන බැවින් විටින් විට අවශ්‍ය සියලුම දත්ත සංගනණ දෙපාර්තමේන්තුවෙන් පහසුවෙන් ලබා ගත හැක.

යම් අවස්ථාවන්හිදී මිය ගිය අයගේ හා වයස සම්පූර්ණ වූ අයගේ විස්තර නියමිත දිනටම යාවත්කාලීන කිරීමට නොහැකිවීම, දරන වෑයමේ වියදමට හා ඡන්දය භාවිතා නොකරන සංඛ්‍යාවට සාපේක්ෂව බලන කළ තීරණාත්මක සාධකයක් නොවේ. අරමුණ විය යුත්තේ ඡන්ද පොලට පැමිණෙන අය හරවා යැවීම හැකි තරම් අඩු කිරීමය.

මෙම කරුණු ක්‍රියාත්මක කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට වඩාත් පලදායි මැතිවරණයක් පවත්වන අතර තුර, අවුරුදු පතා සුවිශාල මුදලක් හා වටිනා කාලයද ඉතිරි කළ හැක.

Comments