ඉන්දි­යා­වට රත්ත්‍රන් කුරුල්ලා වූ රටට මේ මොකද වුණේ? | සිළුමිණ

ඉන්දි­යා­වට රත්ත්‍රන් කුරුල්ලා වූ රටට මේ මොකද වුණේ?

(ඉකුත් සතියේ පළ වූ ‘වික්ටෝරියානු සදාචාරයෙන් වැසීගිය ඓතිහාසික පෞඪත්වය‘ ලිපියේ ඉතිරි කොටස)

අමෙරිකාව වැනි රටවලට ට්රැක්ටර් නිපදවීමට අවශ්‍ය වූයේ ඔවුන් සතු විශාල භූමිභාගවල වගාකටයුතු පහසු කර ගැනීම සඳහාය. නමුත් අප සතුව පැවතියේ සාරවත් වූ කුඩා භූමිභාගය. මෙම කුඩා භූමිභාගවල සිදු කළ වගාකටයුතු ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයක වැදුම්ගෙය විය. කලකට ඉහත ගැමි නිවසක අටුවක් තිබුණි. මෙම අටුව අතගෑවිට සතියකට හමාරකට (මසකට) අවශ්‍ය කරන ආහාර ගබඩා වී පැවතුණි. සමකයට ආසන්නව පිහිටි හෙයින් ස්වභාවිකව ලැබෙන හිරු එළියෙන් ප්‍රයෝජන ගත් ජනතාව අතිරික්ත ආහාර වියලා තබාගත්තේ මේ අටුවෙහිය. දඩමස්, අටුකොස්, දෙල්අටුවා, කොස් ඇට, ලුණු දෙහි, වැව් කරවල...ආදී නොයෙක් ආහාර මෙහි විය. අටු කොටු පුරවා නැකැත් කෙළිය (අලූත් අවුරුද්ද) පැවැත්වීම ගම්මුන්ගේ සිරිතය. නමුත් පසුකාලීනව ආනයනය කළ ශීතකරන භාවිතය නිසා බොහෝ ආහාර ශීත කර තබා ගැනීමට ජනතාව හුරු විය. මෙනිසා අපට ශීතකරණය පණගන්වා තැබීමට විදුලිය සඳහා පිරිවැයක් දැරීමට සිදු වූවා පමණක් නොව නැවත ඒවා ආහාරයට ගැනීමට පෙර උණුසුම් කිරීම සඳහාද පිරිවැයක් දැරීමට සිදු විය. මේ හේතුවෙන් ආහාරවල රැඳි ගුණාත්මක බවද ශේෂ වූ අතර ශීත කළ ආහාර කෑමට ගැනීම හේතුවෙන් සෙම් රෝග ද වර්ධනය විය. මෙලෙස කෘත්‍රිම ලෙස සැකසූ ආහාර පාන වර්ග කෑමට හා බීමට හුරු වීම නිසා අනාගත පරපුරේ ආයු කාලයද වසර තිස්පහ දක්වා අවම වනු ඇති බවට මේ වන විටත් වාර්තා පළවී තිබේ. තමනට නොගැලපෙන දේ අනුකරණයට යෑමෙන් අපට අත් වී ඇති විපත මෙමගින් මනාව අවබෝධ වේ. මෙනිසා අප සතුව පැවති වටිනා ආහාර සංස්කෘතියද අහිමිව ගියේය.

තාක්ෂණය හා වාරි කර්මාන්තය දියුණු ව පැවතියද මෙරට වෛද්‍ය ක‍්‍රමය ඉතා දුර්වල තත්වයක පවතින බව බොහෝදෙනාගේ විශ්වාසය වී තිබේ. යුරෝපය තුළ ආරෝග්‍ය ශාලා ඉදිවීමට ප්‍රථම මේ බිමේ ආරෝග්‍යශාලා තිබූ බවට සාක්ෂී ඕනෑතරම් අපට තිබේ. බුද්ධදාස වැනි රජකු සතුන්ට පවා ප්‍රතිකාර කර ඇති බව ඉතිහාසය අපට කියාදී තිබේ. ‘සාර්ථක සංග්‍රහය’ වැනි අගනා පරිපූර්ණ වෛද්‍ය කෘතියක් සම්පාදනය වී තිබීමෙන් ඒ බව තවත් නම් කියනු කුමටද? මොනයම් හෝ ජන කණ්ඩායමක් ශිෂ්ටාචාරගත වෙමින් ඉදිරියට ආයේ නම් ඔවුන්ගේ එක් දෙයක් පහළට ගමන් නො කරති. මන්ද සෞඛ්‍යය අතින් දුර්වල ජාතියකට තාක්ෂණය අතින් මේ තරම් ඉහළට ඒමට නොහැකි බැවිණි. ශිෂ්ටාචාර ගතවීමේදී මිනිස් මොළය වර්ධනය වන්නේ එක් අංශයක් පමණක් නොවේ. මොළය දියුණු වනවිට තාක්ෂණය, වෛද්‍ය ක්‍රමය, කලාව හා සාහිත්‍යය මේ ආදී සියල්ලක්ම ඉතාමත් ඉහළට පැමිණේ. දියුණු සමාජවල කලාව හා සාහිත්‍ය ඉතා උසස් මට්ටමක පවතින බව අද මුළුමහත් ලෝකයම පිළිගෙන තිබේ. උදාහරණයක් ලෙස රුසියාව, චීනය, කොරියාව (උතුරු/දකුණ), ඉන්දියාව...දැක්විය හැකිය. එවන් ජාතියක්ව සිටි අපට අද සිදු වී ඇත්තේ කුමක්ද?

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ මෙරට ආණ්ඩුකාරවරයාව සිටි රොබට් බ්‍ර්‍රවුන්රිග් ලංකාව පුරා සංචාරය කර, යටත් විජිත ලේකම්වරයාට මෙසේ පවසයි.”වෙල්ලස්සේ තියෙන කුඹුරු ටික ඇති ලංකාවටම කන්න දෙන්න, මුළු ලංකාවේම තියෙන කුඹුරු ටික ඇති දකුණු ඉන්දියාවටම කන්න දෙන්න”. මේ වාර්තාව අදත් ජාතික ලේඛනාගාරයේ පවතී) මේ ප්‍රකාශයෙන් පෙනීයන්නේ එකල මෙරට කෙතරම් සමෘද්ධියක් ඇතිව පැවතියේද යන්නය. එකල විදේශිකයින් මෙරට හැඳින් වූයේ ‘‘පෙරදිග ධාන්‍යාගාරය’’ ලෙසය. ඉන්දියානුවන් කීවේ ‘‘රත්තරන් කුරුල්ලා’’ කියාය. ඒ තරම් ඉහළ සෞභාග්‍යයක් අප සතුව පැවතිණි.

1505 දී පෘතුගීසින් මෙරටට ගොඩ බැස්සේ මේ රටේ සම්පත් කොල්ලකෑමට හා ඊට අවශ්‍ය කරන රාජ්‍ය බලය ස්ථාපිත කිරීම සඳහාය. මුලදී රජවරුන් වසඟයට ගෙන තම සිතැඟි ඉටු කර ගැනීමට මාන බැලුවද එය ව්‍යර්ථ වූ තැන යුද්ධයකට අවතීර්ණ විය. එනමුත් 1505 සිට 1815 දක්වා ලෝකයේ බලවත්(අවි බලය පැවති) ජාතීන් තුනකට වසර 310 ක් ඒ සඳහා මිඩංගු කරන්නට සිදු විය. ඒ කොළඹ සිට මහ නුවර දක්වා වූ හැතැක්ම 72ක පසු කර ඒම සඳහාය. මින් ගම්‍යවන්නේ අපගේ ශූක්ෂම සටන්කාමීත්වය හා ධීරවීර ගුණය නොවන්නේද? ඉන් අනතුරුවද 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇරුඹෙන්නේය. එය පළවෙනි විමුක්ති සටන ලෙස නම් කළ හැකිය. මෙම සටනේදී ඉංග්‍රීසීන් දරුණු පරාජයකට මුහුණ පෑවේය. පසුව රහස් ඔත්තුකරුවකු වූ ජෝන්ඩොයිලි යොදාගනිමින් සිංහල නායකයින් අතර භේද බින්න ඇති කර විවිධ කට කතා පතුරුවා කැරුල්ලේ බලය හීන කළේය. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දේශද්‍රෝහියකු ලෙස ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් තිදෙනා ඝාතනය කිරීම ඔස්සේ ජනතාව තුළ වෛරයක් ඇති නොකරන්න ඔවුන්ට උඩරට අල්ලා ගැනීම සදාකාලික සිහිනයක් වනු නියතය. මන්ද ශ්‍රී වික්‍රම රාජසිංහ යනු යුද්දෙට උපන් හපන් සමතෙකු වූ නිසාය. ඒ බව ගණනාථ ඔබේසේකර මහතා විසින් රචිත ‘නෙරපු රජ’ (THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RĀJASINHA) කෘතිය මඟින් මොනවට පෙන්වාදී ඇත.

රොබට් බ්‍රවුන්රිග් යටත්විජිත ලේකම්වරයාට යැවූ ලිපියේ මෙලෙස සඳහන්ව තිබේ.

1 සියලූ කෙත්වතු ගිනි තබනු

2 සියලූ වැව් අමුණු කඩා බිඳ දමනු

3 විශේෂයෙන් කොස්ගස ඇතුළු ආහාර සපයා ගතහැකි ගස් විනාශ කරනු.

4 මසට තබාගත හැකි ගවයන් හැර අනෙක් සියලූ ගවයින් ඝාතනය කරනු.

5 අවුරුදු 16ට වැඩි පිරිමින් ඝාතනය කරනු. (ජාතික ලේඛනාගාරයේ ලේඛන) මෙමඟින් ඔහු අදහස් කර ඇත්තේ කුමක්ද? මෙරට කෘෂිකාර්මික පදනම විනාශ කරන තුරු වෙල්ලස්සේ සටන පරාජය කළ නොහැකි බවයි. එනම් මෙරට පදනම වූයේ ගොවිතැනයි. එය විනාශ කර දැමීම අනිවාර්ය කොන්දේසියකි. 16 ට වැඩි පිරිමින් ඝාතනය කරන ලෙස සඳහන් කරන ලද්දේ වෙන කිසිවක් නිසා නොව පෙර පරම්පරාවේ තාක්ෂණික දැනුම හා සියලු ශාස්ත්‍රයන් රැඳී තිබුණේ ඔවුන් අත බැවිනි.

ඔවුන් ඝාතනය කළ විට සියලු ශාස්ත්‍රයන් හා තාක්ෂණය ඊළඟ පරම්පරාවට දායාද කළ නොහැකිය. ඔවුන්ගේ අවශ්‍යතාව එය විය. වැවෙහි මූලික අංගයක් වූ බිසෝකොටු කඩා බිඳ දැමූ අතර, සෙල්ලිපි ඇතුළු පුරාවිද්‍යා සාධක කඩා ඉවත් කළේය. පුස්කොළ පොත් ගිණි තැබූ අතර ඇතැම් ඒවා අදත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ‘තාරා දේවිය’ නමින් ප්‍රකටව සිටි දෙවඟනක මූර්තියක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අදත් ඇති අතර, ඇයව ඇදහූවේ කුමන හේතුවකටදැයි කවරුත් නොදනිති. ජාතියක්, ශිෂ්ටාචාරයක් මුළුමනින්ම විනාශ කරන ආකාරයට අප විනාශ කිරීමට තරම් ඔවුන් සැහැසී වූයේ මන්ද යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයකි.

කි‍්‍ර.ව 1500 වන විටත් ලෝකයේ නොදියුණු ජාතියක් වූ යුරෝපීයන්. එතෙක් ලෝකයේ ධනවත් රටක් (පෙරදිග ධාන්‍යාගරය ලෙස විරුදය ලැබූ) වූ අප රට ඔවුන්ගේ යටත් වැසි රටක් ලෙස වසර හාරසියකට වැඩි කාලයක් පැවතීම හේතුවෙන් ලෝකේ දිළිඳුම රටක් බවට පත් විය. අපව සූරාකනු ලැබූ ඔවුන් අද ලෝකයේ සිටින ධනවත්ම ජාතිය බවට පත්ව ඇත. අපට ඊනියා අපනයන ආර්ථිකයක් හිමි කරදුන් බවට පුරසාරම් දෙඩෙව්වද මේ වැවිලි ආර්ථිකය නිසා අපේ සෙසු කර්මාන්ත අභාවයට ගියේය. මේ වන විට වතු වගාව ආශ්‍රිතව විවිධ ගැටලු පැණ නැඟී ඇත. ඒ සඳහා විසඳුම් සෙවීමේදී විශාල වශයෙන් මුදල් වැය කිරීමටද අපට සිදුව ඇත. මෙරට කැලෑ හෙළි කර තේ, කෝපි , රබර් අපනයන ආර්ථිකය අද අපට ඉතිරි කර ඇත්තේ කුමක්ද?.

ක්‍රිස්ටීන් විල්සන් විසින් රචිත ‘තිත්ත කෝපි’ නව කතාවේ දැක්වෙන පරිදි කෝපි වගාව පවත්වාගෙන යන සුදු ජාතික වැවිලිකරුවකු කෝපි සුද්ද කර ඉතිරි වන පොතු ඇළකට දමන අතර, ඒවා එකතු වී ඇළ මාර්ග ඇහිරේ. ගොවියන් ඒ බව වැවිලිකරුගෙන් විමසති. “ඇයි ඔබ අපේ ගොවිතැන විනාශ කරන්නේ”.

එවිට වැවිලිකරුවා පවසන්නේ, “අපේ රටේ ඇයි ඔබ ඔහොම කියන්නේ, බලන්න අපි කැලෑ කපලා කෝපි වවලා, මුළු ලෝකය පුරාම යවනවා. ඒ මිනිස්සු ඒවා අගේ කර කර බොනවා. ඉතිං අපි මේ කරපු දේට ඔබට සතුටු නැද්ද”?

එවිට ගම් නායකයා සුද්දගෙන් අහනවා. “ඒකෙන් මේ රටේ ජීවත්වෙන මිනිස්සු වෙච්ච, අපිට ලැබෙන ලාභය මොකක්ද? මේ සියලූ දේ සාරය උරාගන්නේ ඔබලා” .

මෙවැනි දේ සිදු කිරීමෙන් අනතුරු ඔවුන් අපට කියන්නේ කුමක්ද? නුඹලා නොදියුණු සංවර්ධනය වෙමින් පවතින ජාතියක් බවය. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් හරහා සංවර්ධනය වී සිටි ජාතියක් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් බවට පත් කළේ කවුදැයි? අපි ඔවුන්ගෙන් විමසිය යුතුය. 

Comments