රැකි­යා­වක් නොලැ­බුණ කොලෙට් සමා­ග­මක හිමිකාරිය වෙයි | සිළුමිණ

රැකි­යා­වක් නොලැ­බුණ කොලෙට් සමා­ග­මක හිමිකාරිය වෙයි

නවීන පහසුකම් ලබා ගනිමින් දිනෙන් දින ජනතා ප්‍රසාදය වැඩි කර ගත් කොලෙට් නිෂ්පාදන එක්සත් ජනපදයේ විශාලතම වෙළෙඳපොළ ජාලයෙන් එකක් සමග නව ගිවිසුමකය එළඹීය. ඔවුන් සතුව ඇමෙරිකාවේ වෙළෙඳපොළ 2300කට වැඩි ප්‍රමාණයක් තිබේ. මෙය රට පුරා වෙනත් ප්‍රාන්තවලටද ව්‍යාප්ත කිරීමේ සාකච්ඡාවල යෙදී සිටින කොලෙට් එමගින් ආබාධිතයන් දහස් ගණනකට රැකියා අවස්ථා සලසා දීමට අපේක්ෂා කරන්නීය.

කොලෙට් ඩිවිටො රැකියා වලට අයදුම් කළෙත් සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වූයේත් වරක් දෙවරක් නොවේ. එහෙත් ඒ සියල්ල කිසිදු බලාපොරොත්තුවක් නොදී ඇගෙන් ඈතට ගියේය. වසර තුනක් පුරා කොලෙට් මුහුණ දෙන සම්මුඛ පරීක්ෂණවලින් පසු ඇයට එම ආයතනවලින් අනිවාර්යයෙන්ම ඊ මේලයක් ලැබිණ. " කොලෙට්, ඔබ හමුවීම සතුටක්. එහෙත් මේ අවස්ථාවේ අප ආයතනයට ඔබ සුදුසු නොවන බව අප සිතන්නෙමු" . කොලෙට් ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයේ ලයිෆ් පාඨමාලාවේ උපාධිය ලැබීමෙන් පසු හරියටම වසර තුනක් දිනපතා රැකියාවක් සොයා ගැනීමේ ප්‍රයත්නයේ නිරත වූවාය. ඇය පමණක් නොව ඇගේ මව්පියන් මෙන්ම හිත මිතුරන් ද ඇයට සහය වූවාය.

ඒ පිළිබඳව කොලෙට්ට වඩා හිත් අමාරු කර ගත්තේ ඇගේ මව්පියන්ය. ඇයට නොදැනුනාට ඒ මවටත් පියාටත් කොලෙට් විශේෂ තැනැත්තියකි. සමාජයට ඇය විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තියකි. ඩවුන් සින්ඩ්‍රෝම (මනස සෙමින් වැඩෙන) දරුවකු ලෙස උපන් තම දියණියගේ අනාගතය පිළිබඳව ඔවුන් සිහිපත් කළේ කඳු‍ළු සමගය.

කොලෙට් තමන් ගේ ප්‍රමාණයට වඩා කල්පනා කළාය. රැකියාවක් සඳහා ඉල්ලුම් පත් යොමු කරන, සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වන ආයතනවලින් නිරන්තරයෙන් තමන් වෙත ලැබෙන ඊ මේලය පවසන්නේ කුමක් දැයි ඇය වටහා ගත්තාය.

"මම තේරුම් ගත්තා ඔවුන් පවසන්නේ මොකක්ද කියලා. ඔවුන්ට මාව අවශ්‍ය නොවන්නේ මගේ ආබාධිත බව නිසයි. මම ස්වේච්ඡාවෙන් වැඩ කළා. ටික දවසකින් මාව පූර්ණ කාලීනව සේවයට බඳවා ගන්න කියලා මම ඉල්ලා සිටියා. අවුරුද්දක් විතර වැඩ කරලා මට වැඩ කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා මම ඇහුවා මට ගෙවීමක් කරන්න පුළුවන් ද කියලා. එතකොට ඔවුන් කිව්වේ තව දුරටත් මගේ සේවය අවශ්‍ය නොවන බවයි" කොලෙට් තම අත් දැකීම් විස්තර කරන්නීය.

බොහෝ දෙනා තමන් ප්‍රතික්ෂේප කිරීම කොලෙට්ට නොදැනුණා නොවේ. ඇය තම විනෝදාංශය දෙසට හැරුණාය. ඒ ඇයගේ කුකී සමාගමයි. කොලෙට් තමන්ගේම වට්ටෝරුවලට කුකී විස්කෝතු හැදුවේ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමටත් පෙරය. එවකට "අමේසින් කුකී" සහ "හෙල්දි බ්‍රෙක් ෆස්ට් කුකී" පවුලේ සාමාජිකයින් හා හිතවතුන් ගේ ඉහළ මනාපය ලැබූ කොලෙට් නිෂ්පාදන විය. කම්මැලිකමට, විනෝදාංශයට සැකසූ කුකී විස්කෝතු කොලෙට් ගේ ජීවිතයට මේ තරම් බලපෑම් කරනු ඇතැයි ඒ දිනවල කොලෙට් හෝ ඇයගේ මවුපියන් වත් සිතුවේ නැත.

කොලෙට් රැකියාවලට අයදුම් කිරීම නතර කළාය. එම කාලය ඇය වැය කළේ තම වට්ටෝරු වැඩි දියුණු කිරීම සඳහායි. සම්මුඛ පරීක්ෂණ සඳහා වැය කළ කාලය ඇය කුකී විස්කෝතු සෑදීමට වෙන් කළාය.

"මම ඉස්සර ඉඳලා කැමැත්තෙන් කුකීස් හැදුවා. ඒ නිසා මට ඒක අලුත් දෙයක් වුණේ නෑ. මම ඒවා හදලා විකුණන්න බොස්ටන් මාර්කට් එකට අරන් ගියා. වෙබ් සයිට් එකෙන් ඔන් ලයින් ඇණවුම් බාර ගත්තා‍"

විශේෂ කෙල්ලකගේ විශේෂ කුකීස් වෙළෙඳ පොළට එන්නේ එලෙසිනි. මේ වන විට 27 වැනි වියේ පසු වන කොලෙට් ආබාධිත තමන්ගේ පමණ පෙන්වීමට පටන් ගත්තා පමණක් නොව එවන් අපහසුතාවට පත් බොහෝ අයට රැකියා සැපයීමට ද සිතා ගත්තාය.

"අප සිටින්නේ කුකීස් සඳහා පමණක්ම නොවේ. ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා සැපයීමටත් ය" ඇය තම වෙබ් අඩවියේ මෙහෙවර ලෙස සඳහන් කර ඇත.

"2015 දී ආබාධිතයින් රැකියාවල නිරත වූයේ 17.5%ක් පමණයි. මගේ අභිප්‍රාය රට පුරා දහස් ගණනක්‍ෙවන ආබාධිත පිරිසට නිශ්පාදන පහසුකම් සලසමින් රැකියා අවස්ථා සලසා දීමයි" කොලෙට් පවසන්නීය. ඇයට අනුව ආබාධිතයින් බොහෝ පිරිසක් ජීවත් වන්නේ අන්ත දුගී තත්ත්වයකයි.

ඇය තම ව්‍යාපාරය වෙත කැප වෙන අතරතුර බොස්ටන්හි සීබීඑස් මගින් ඇයගේ කතාව ප්‍රචාරය කළේය. එමඟින් සැබැවින්ම ඇයගේ ජීවිතයට නව මං විවර කරනු ලැබීය.

" ඒ වැඩ සටහනින් දවස් කිහිපයක් ගත වෙද්දී මගේ එෆ්.බී ගිණුමට මිලියන 37.6 කට වැඩි පිරිසක් එක්ව තිබුණා. 160,00 ඇණවුම් ලැබුණා. දවස් දහයක් ඇතුළත ලොව පුරා ජනතාවගෙන් ලිපි 65,000 කට වැඩිය ලැබුණා. ඔවුන් මගේ උත්සාහය ගොඩක් අගය කළා. මගේ උනන්දුව තව තවත් වැඩි වුණා. සමහරු ඔවුන් ගේ අත්දැකීම් මා වෙත ලියා එව්වා. ඒ වගේම තවත් පිරිසක් තුටු පඬුරු විදියට ඔවුන් ගේ වෘත්තිය නිපුනතා මා වෙත ලබා දෙන්න සූදානම් බව ලියා එව්වා. ඒ ලිපි ප්‍රමාණය සියයකට වැඩියි"

කොලෙට් පිළිබඳ මාධ්‍ය අවධානය යොමු වන්නේ එම වැඩ සටහනින් පසුවය. සීබීස් නිව්ස්, ගුඩ් මොර්නින්ග් ඇමෙරිකා සහ තවත් බොහෝ වැඩසටහන්වල කාලය ඇය වෙනුවෙන් වෙන් විය. සෙල්ෆ් සඟරාව, බොස්ටන් විශ්ව විද්‍යාලය, දේශීය විශ්ව විද්‍යාල, කැනේඩියානු රේඩියෝව, පොප් ෂුගර් ඇගේ කතාව දිනපතා ගෙන ආවේය. ඒ සෑම අවස්ථාවක්ම කොලෙට් තමන් මෙන්ම ආබාධිත තත්ත්වයේ පසු වන පිරිස වෙත ලෝකයේ අවධානය යොමු කිරීමට උපයෝගී කර ගත්තාය.

නවීන පහසුකම් ලබා ගනිමින් දිනෙන් දින ජනතා ප්‍රසාදය වැඩි කර ගත් කොලෙට් නිෂ්පාදන එක්සත් ජනපදයේ විශාලතම වෙළෙඳපොළ ජාලයෙන් එකක් සමග නව ගිවිසුමකය එළඹීය. ඔවුන් සතුව ඇමෙරිකාවේ වෙළෙඳපොළ 2300 කට වැඩි ප්‍රමාණයක් තිබේ. මෙය රට පුරා වෙනත් ප්‍රාන්තවලටද ව්‍යාප්ත කිරීමේ සාකච්ඡාවල යෙදී සිටින කොලෙට් එමගින් ආබාධිතයින් දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරන්නීය. මේ වන විටත් බොස්ටන් හි ආබාධිතයින්ට කොලෙට් එම අවස්ථාව ලබා දී තිබේ.

මේ වන විට ව්‍යවසායකත්වය පිළිබඳ දේශනවලට ලැබෙන ඇරියුම් සඳහා ලබා දීමට කොලෙට්ගේ දින දර්ශනයේ දින ඉතිරිව නැත. ඇය සැම විටම ප්‍රමුඛත්වය ‍දෙන්නේ තම සිහිනය වෙතය. "මට තවත් ආබාධිතයින් අවශ්‍යයයි. ඔවුන් ගේ සේවය ලබා ගැනීමට හැකි වීම ඇත්තෙන්ම අපූරු දෙයක්"

"අම්මා කෙනෙක් දරුවාට යම් දෙයක් හෝ තෑග්ගක් දෙනවා නම් ලබා දිය යුත්තේ ශක්තියයි. එම ශක්තියෙන් ඇයට එක් දොරටුවක් වැසුණ විට තවත් දොරටුවක් සොයා ගෙන, එය විවර කර ගෙන විශිෂ්ටතම ගමන් මාර්ගයට අවතීර්ණ විය හැකියි"

කොලෙට් වෙත ඒ ශක්තිය ගෙන ආ අම්මා පවසයි. 

 

Comments