නික­වැ­ර­ටි­යෙන් හමු වූ ශාක්‍ය වංශි­කයෝ | සිළුමිණ

නික­වැ­ර­ටි­යෙන් හමු වූ ශාක්‍ය වංශි­කයෝ

බුදුමුත්තාව විහාරය අසල පින් මූකලාන නම් කැලයේ අක්කර පහක පමණ බිමක් පුරා පැතිර ගිය විශාල අත්තිවාරමක් දකින්නට ලැබේ. එය අතීතයේ මාලිගාවක් වශයෙන් තිබුණු ගොඩනැඟිල්ලක නටබුන් විය හැකි ය. ඒ ස්ථානයේ බිසෝ කොටුවක් සහ පොකුණක් තිබීමෙන් පෙනී යන්නේ දැදුරු ඔය හා රිදීබැඳිඇල්ල ව්‍යාපාරය හා සම්බන්ධ මේ ප්‍රදේශයේ වාරි කර්මාන්තය එකල දියුණු මට්ටමක පැවතුණු බව යැ යි ද බුදුමුත්තාව රජමහා විහාරාධිපති පුජ්‍ය තඹරොඹුවේ සුමනජෝති හිමියෝ පැවසුහ. 

සත් ‍කෝරළයේ ප්‍රධාන උප නගරයක් වූ නිකවැරටිය , කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔයට මායිම්ව පිහි‍ටා ඇති අතර, නිකවැරටියට සැතපුම් දෙකක පමණ දුරින් ඊට යාව පිහිටි බුදුමුත්තාව සහ දණ්ඩුවාව යන ගම් දෙකත්, අවට ප්‍රදේශයත් පුරා තත්ත්ව ගවේෂීන්ට ඉත‍ා වැදගත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් සපයා ගත හැකි ස්ථානයක් බව අප එහි කළ සංචාරයේ දී පැහැදිලි විය. ඒ අනුව ජනප්‍රවාදයට අනුව බුදුමුත්තාව සහ දණ්ඩුවාව බුදුරදුන් ජීවමාන කාලයේ දී ඉන්දියාවේ විසු ශාක්‍ය වංශිකයන් හා දැඩි සම්බන්ධතාවක් දක්වයි.

ඒ පිළිබඳව එහි ජනප්‍රවාදය මෙසේය.

සතර පෙරනිමිති දැක සසර ගැන කළකිරී ගිහිගෙය හැර යමි යි අදහස් කැර ගෙන උයන් කෙළි නවතා ආපසු මාළිගයට පැමිණෙන සිද්ධාර්ථ කුමාරයා දුටු කිසාගෝතමිය කුමරුට නිබ්බුත පද කීවාය. නිබ්බුත පද විසින් සසර විමුත්තිය සොයා යාමට තමා කළ අදහස දැඩි ලෙස සිතට පෙළඹවීම කරනු ලැබූ හෙයින් සිද්ධාර්ථ කුමාරයා සතුටට පත් වී තම ගෙළ බැඳි අගනා මුතුහර ගලවා කිසාගෝතමියට තෑගි කොට යැවී ය.

කිසාගෝතමිය එදා ලැබූ මෙම මුත්තාහරය (මුතුහර) ශාක්‍ය වංශිකයෝ ඉතා වැදගත් කුල පරම්පරාගත වස්තුවක් ලෙස සලකන්නට වුහ. සිදුහත් කුමරු බුද්ධත්වය ලැබු පසු මෙම මුතුහර ස්වකීය ශාක්‍ය කුල පරම්පරාවට ජීවමාන බුදුරදුන්ගෙන් ලැබුණු අගනා භෞතික වස්තුවක් ලෙස සලකා ශාක්‍යයින් විසින් මුතුහර ආරක්ෂා කර ගන්නා ලදී.

ශාක්‍යවංශික ඥාති සම්බන්ධයක් තිබූ ස්වකීය මෑණියන් ගේ පාර්ශවයේ ඥාතීන්ගෙන් තමාට සිදු වූ මදිපුංචිකමක් නිසා මේ කාලයේ දඹදිව විඩුඪභ කුමරු දුටු - දුටු ශාක්‍යයින් මරමින් ශාක්‍ය සංහාරක යෙදෙන්නට විය. කිසාගෝතමිය වෙතින් උරුමයෙන් මුත්තාභාරය ලැබූ තරුණ ශාක්‍ය සහෝදරයින් දෙදෙනෙක් විඩුඪභගේ යුද සේනාවට බියෙන් ජීවිත බේරා ගැනීමේ අදහසින් ආරක්ෂක ස්ථානයක් සොයා බියෙන් පළා යන්නට වුහ. ඔවුන් දෙදෙනා මුත්තාහාරය සඟවා ගෙන ගිය අතර වැඩිමහල් ශාක්‍ය සහෝදරයා තණ මිටක් ද, බාල සහෝදරයා දණ්ඩක්ද, අතින් ගෙන යන්නට වුහ.

මෙසේ බියෙන් පළා යන ඔවුහු විඩුඪභ කුමරුගේ සේනාවට හසුවුහ.

“තෙපි ශාක්‍යයෝ ද?” විඩුඪභ කුමරු ඇසුහ.

“ශාක්‍යයෝ වෙමු” යි කියනු ලැබුවොත් මරණය නියත බව දෙදෙනා හොඳින් ම දනිති.

එහෙත් දිව එළියට ඇද දමා කපා මරණයට පත් කළ ද මාන්නාධික ශාක්‍යයන් බොරුවක් නොකියන අතර, බොරු කීම කුල පරම්පරාවට කරන නිග්‍රහයක් ලෙස සැලකෙන හෙයින් අපි ශාක්‍යයෝ නොවෙමු’ යි. කීමටද මැළිවුහ.

“තගේ නම කුමක්ද?” විඩුඪභ කුමරු වැඩිමහල් සහෝදරයාගෙන් යළිත් ප්‍රශ්න කළේ ය.

තණ මිට අතින් ගෙන ආ වැඩිමහල් ශාක්‍යයා “මම තෘණ ශාක්‍ය වෙමි” යි වහා පිළිතුරු දුන්නේ ය.

විඩුඪභගේ මව ශාක්‍යයකුට දාව දාසියක කුසින් උපන් තැනැත්තියක බැවින් විඩුඪභ “පිරිසුදු ශාක්‍යයෙක්” නොවී ය. “තෘණ ශාක්‍ය” යනු ශාක්‍යයකු වුවත් නියම ශාක්‍යයකු නොවන බවත් තමා මෙන් ම ශාක්‍ය වංශයට “යන්තම් නෑකම්” කියන්නකු විය හැකි බවත් සැලකූ කුමරු පළිගැනීම සඳහා තමා මරන්නේ මාන්නාධික නියම ශාක්‍යයින් ම පමණක් හෙයින් “තෘණ ශාක්‍යයට” ජීවිත දානය දී යන්නට ඉඩ හැරියේ ය.

“ තා කවරෙක්ද ?” දණ්ඩක් අතින් ගත් බාලයාගෙන් විමසනු ලදුව.

“මම දණ්ඩු ශාක්‍ය වෙම්” යි පිළිතුරු ලැබුණු කල්හි ඔහුව ද නොමරා යන දෙසක යන්නට ඉඩ දුන‍්නේ ය.

මරණ බියෙන් තැතිගත් “තෘණ ශාක්‍ය” සහ “දණ්ඩ ශාක්‍ය” සහෝදරයින් දෙදෙනා දකුණු ඉන්දියාවට පැමිණ එතැනින් රුවල් නැවක නැග ලංකාවට පැමිණෙන විට ඔවුහු මුත්තාහාරය ද රැගෙන ආහ.

පඬුවස්දෙව් රජු එකල ලංක‍ාවේ රාජ්‍යය කළේය. රජුගේ අග බිසව මුණ ගැසුණු දණ්ඩු ශාක්‍ය - තෘණ ශාක්‍ය සහෝදරයින් දෙදෙන ඥාති සම්බන්ධයෙන් ස්වකීය නැන්දණියක වූ රජ බිසවට කතා කර “නැන්දණියනි, අපි දඹදිව සිට මරණ බියෙන් තැතිගෙන ජීවිත රැක ගැනීම සඳහා මෙහි පැමිණි ශාක්‍යයෝ වෙමු. විඩුඪභ කුමරු දඹදිව ශාක්‍ය සංහාරයක් කරන්නේ ය. ශාක්‍ය වංශය නැතිවී යන්නට ඉඩ දිය නොහැකි ය. එහෙයින් ජීවිත බේර‍ා ගෙන මෙහි වාසය කිරීමට අවසර ලබා ‍දුන මැනැවැ” යි ඉල්ලූහ.

ශාක්‍ය වංශික කුමාරිකාවක වූ රජබිසව රජතුමා මාර්ගයෙන් ස්වකීය ඥාතීන් දෙදෙනාට අවශ්‍ය පහසුකම් සපයා දී ඔවුන් දෙදෙනා පිළිබඳ ව සියලු පුවත් රජු‍ට සැල කළාය. රජු දණ්ඩුශාක්‍ය, තෘණ ශාක්‍ය කුමාරවරුන්ට දැදුරු ඔය අසබඩ වන්නි හත්පත්තුවේ ‘නිකවැරටිය’ (වන්නිය) භාර දුන්නේ ය. ඔවුහු වන්නියේ ජීවත් වෙමින් එම ප්‍රදේශය සංවර්ධනය කළහ. දණ්ඩුශාක්‍ය නිකවැරටියට යාබද ප්‍රදේශයක මාලිගාව සාදාගෙන පදිංචි වී ප්‍රදේශවාසීන් අවනත කරවා ගෙන ප්‍ර‍ාදේශීය නායකයකු ලෙස ජීවත් විය. දණ්ඩුශාක්‍ය විසු ප්‍රදේශ “දණ්ඩුවාව” නමින් හැඳින්වීමට පටන් ගත්තේ ය. නිකවැරටියේ දණ්ඩුවාව ගමට නම සැදුණු අයුරු දැක්වෙන ජනප්‍රවාදය එයයි.

දණ්ඩුශාක්‍ය කුමරුගේ මාලිගයට උළුකැට සෑදීමට පස් කැපු ස්ථානය විශාල වැවක් බවට පත් කර ඇතැ යි ජනප්‍රවාදයට අනුව කියැවේ.

අද එම වැව දණ්ඩුවාවේ “ උළුකැටගොඩ වැව” යනුවෙන් හැඳින්වෙන බව ප්‍රදේශවාසීහු පවසති. උළු කැටගොඩ වැව අදත් නිකවැරටියේ දක්නට ලැබේ.

දණ්ඩුශාක්‍ය සහ තෘණශාක්‍ය කුමාරවරු දෙදෙනා රැගෙන ආ මුත්තාහරය (මුතුහර) නිදන් කොට ප්‍රදේශයේ වෙහෙරක් කරවා එයට වැඳුම් පිදුම් කළහ. මේ වෙහෙරෙහි වූ මුත්තාහාරය බුදුන්ගේ (සිදුහත් කුමරුගේ) මුත්තාහාරය වූ නිසා බුදුන්ගේ මුත්තාහාරය යන අදහසින් “බුදුමුත්තා විහාරය” යන නම සෑදුණු බව ද එම විහාරය පිහිටි ගම “බුදුමුත්තාව”වූ බවද ජනප්‍රවාදයේ එයි.

තවත් ජනප්‍රවාදයට අනුව “බුදුන් මුත්තණුවන් වූ පිරිස විසින් කරවන ලද විහාරය” යන අර්ථයෙන් මෙම විහාරය “බුදුමුත්තා වෙහෙර” , “බුදුමුත්තා විහාරය” නමින් ව්‍යවහාරයට පැමිණි බවත් බුදුමුත්තා විහාරය පිහිටි ගම “බුදුමුත්තාව”වූ බවත් පැවැසේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශු‍රීන් පවසන්නේ “බදුවලින් මුක්තා වූ ප්‍රදේශය” යන අර්ථයෙන් ‘බුදුමුත්තෑව’ වී පසුව බුදුමුත්තාව යනුවෙන් සුඛෝච්චාරණය වූ බව යැ යි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ කථිකාචාර්ය පියතිස්ස සේනානායක මහතා අප සමඟ පැවසුවේය.

බුදුමුත්තාව විහාරය අසළ පින් මුකලාන නම් කැළයේ අක්කර පහක පමණ බිමක් පුරා පැතිර ගිය විශාල අත්තිවාරමක් දකින්නට ලැබේ.

එය අතීතයේ මාලිගාවක් වශයෙන් තිබුණු ගොඩනැඟිල්ලක නටබුන් විය හැකි ය. ඒ ස්ථානයේ බිසෝ කොටුවක් සහ පොකුණක් තිබීමෙන් පෙනී යන්නේ දැදුරු ඔය හා රිදීබැඳිඇල්ල ව්‍යාපාරය හා සම්බන්ධ මේ ප්‍රදේශයේ වාරි කර්මාන්තය එකල දියුණු මට්ටමක පැවතුණු බව යැ යි ද බුදුමුත්තාව රජමහා විහාරාධිපති පුජ්‍ය තඹරොඹුවේ සුමනජෝති හිමියෝ පැවසූහ.

නිකවැරටිය රෝහල අසල ඉඩමකින් බෝධිසත්ව කවන්ධ (හිස නැති) ප්‍රතිමාවක් ලැබුණු බවත්, එය අට වැනි ශත වර්ෂයට අයත් යැ’ යි විශ්වාස කරන බව සහ එම කවන්ධ ප්‍රතිමාව කොළඹ කෞතුකාගාරයට බාර දුන් බවත් පැවසු ‍සුමනජෝති හිමියෝ නිකවැරටිය ගංගොඩ කුඹුරකින් තවත් කවන්ධ බුද්ධ ප්‍රතිමාවක් ලැබී තිබෙන බව ද පැවසුහ.

බුදුමුත්තාව රජමහා විහාරයේ අතීතය පිළිබඳ ව විහාරාධිපති හිමියෝ අප සමඟ මෙසේ ද කීහ.

“නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ පාලන සමය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් බුදුමුත්තාවට තියෙනවා. පළමුවැනි රාජසිංහ රජු සංඝයා වහන්සේලා මැරීමට පටන් ගත් අවස්ථාවේ මේ පන්සල් පාළු වුණා. බුදුමුත්තාව පන්සල ගණින්නාන්සේලා විසින් පාළු වෙන්නට නොදී ආරක්ෂා කරගෙන තිබෙනවා. ගණින්නාන්සේලා කීවේ පන්සලේ සිටින අතරම කහරෙදි කඩක් හැඳගෙන හේන් කුඹුරු වපුරා ජීවත් වූ උපසම්පදාව නොමැති බෞද්ධ පිරිසක්. පසු කාල‍යකදී අසරණ සරණංකර මහා නාහි‍මියෝ සියම් රටින් මෙරටට උපසම්පදාව ගෙනාවා. ඒ අනුව නිකවැරටියට ආසන්නව කයිකාවල පන්සලට අටනමක් වැඩියා. ඉන් දෙනමක් බුදුමුත්තාවටත් වැඩම කරවා මෙහි උපසම්පදාව යළි ඇති කළා”

“කීර්ති ශ්‍රී රාජසිංහ රජු තඹ සන්නසක් මගින් බුදුමුත්තාව පන්සලට ඉඩම් පූජාකර තිබෙනවා.”

නිකවැරටිය, දණ්ඩුවාව හා බුදුමුත්තාව ගමත් බුදුමුත්තාව පන්සලක් පිළිබඳ විශේෂ අධ්‍යයනයක නියැළී සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ කථිකාචාර්ය පියතිස්ස සේනානායක මහතා කරුණු දක්වමින් මෙසේ කීවේ ය.

“පො‍ෙලාන්නරු යුගයේ මහලු විජයබා රජුගේ පුත් ජයබා කුමරුගේ අටවැනි රාජ්‍ය වර්ෂයේ දී බුදුමුත්තාවේ සෙල්ලිපි දෙකක් කරවා ඇත. ඉන් එක් සෙල්ලිපියක ‘කම්මාලර්’ නම් ග්‍රෝත්‍රිකයන්ට (කම්මල්කරුවන්ට) එකල සමාජයේ නොලැබුණු වරප්‍රසාද කිහිපයක් ලබා දෙන බව ප්‍රකාශ වෙනවා. අනෙක් ලිපියේ සඳහන් අන්දමට ඉන්දියාවේ ද්‍රවිඩ කුලෝත්තුංග රජුගේ දියණිය වූ චුන්දහ මල්ලියාවලර් කුමරිය ලංකාවේ සිටි පුද්ගලයෙකුගේ දියණියයි. එම සෙල්ලිපියේ පාණ්ඩියනාර්වීරපෙරු මාල් නම්බිරාට්ටියාර් යන පද වලින් දැක්වෙන අන්දමට,

“පාණ්ඩ්‍යයන්ට නායක වූ වීරපෙරුමාල්” යනුවෙන් අදහස් වෙයි.

“වික්‍රමශීලා” යනු නිකවැරටියට එකල භාවිත වු නමයි. බුදුමුත්තාව පන්සල සෑදු පසු කෝවිල අභාවයට ගොස් ඇත. බුදුමුත්තාව , දණ්ඩුවාව සහ නිකවැරටිය අවට ප්‍රදේශය පුරාතත්ත්ව ගවේෂින්ගේත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ රටේ ජාතියේ සංස්කෘතික වටිනාකම් අගයන ‍කොයි කාගේත් අවධානයට ලක්විය යුතු, සංස්කෘතික නිකේතනයක් වන බව අපට පැහැදිලිය.

ඉහත සඳහන් තොරතුරු ද සැලකිල්ලට ගනිමින් ‍‍ ඉතිහාසය සහ විද්‍යාත්මක සාක්ෂි සාධක ද තව තවත් මතු කරගෙන ගොඩනගනු ලබන සමස්ත ඉතිහාස චිත්‍රයේ සොඳුරු වූ මහරු හැඩතල ආස්වාදනය කරන්නට ලැබෙන්නේ නම් ‍ෙකාතරම් අගේ ද?

(තොරතුරු විමර්ශනයේදී මඟ පෙන් වූ සැමට තුති) 

Comments