දින­කර දින හතය සොමි ළදැරි ළඟ තුරු | සිළුමිණ

දින­කර දින හතය සොමි ළදැරි ළඟ තුරු

අතිශය බලවත් යෝගයක්, සියලු දෝෂ දුරලන බලවත් පිහිටීම් සමඟ යෙදී ඇත. මෙම නැකත යෙදුණ වේලාව මෙම කවියෙන් නිශ්චය කර ගත නොහැක. උදාහරණයකින් පවසතහොත්, මේ දිනවල ගුරු කටක රාශියේය. කටක රාශිය උදාවන්නේ රාත්‍රී දහයට පමණ වේ. මෙම කවියෙන් කියවෙනුයේ ගුරු උදා වන බව මිස උදය කාලය ගැන නොවේ.ගුරු හා සඳුගේ පිහිටීම මත පමණක් නැකත යෙදුණ වසර ගැනවත් නොදැන මෙම නැකත කුමන වේලාවක යෙදී ඇත්ද යන්න පැවසිය නොහැකිය

එදා නැකැත්වලින් පල නෙළා ගත් හැටි සැබවින් ම විස්මය ජනකය. පොතපත ලියන විට රජ මැති ඇමතිවරුන් මුණගැසෙන විට ගොවිතැන් කරන විට වැට පුරන විට ආදී වශයෙන් ඉතා කුඩා කටයුත්තෙහි පටන් සියලු කටයුතු සඳහා ම නැකැත් භාවිතා කළ බව පෙනේ.

සැබවින් ම නැකැත්වලින් ගොවියාට ගත හැකි ප්‍රයෝජනය ඉමහත් ය. නිවැරදි කරණයකින් වැට පිරීම බීජ වැපිරීම මඟින් වගාවට හානි කරන සතුන්ගෙන් වගාව බේරා ගත හැකි වේ.

සැලලිහිණි සන්දේශ කෘතියෙහි සැලලිහිණියාට පිටත් පන්නට දෙන නැකත අපි මදක් විග්‍රහ කර බලමු. සැළලිහිනි සන්දේශයේ පහළොස්වන සහ දහසය වන කවිවලින් මෙම නැකත ගැන තොරතුරු අපට ලැබේ.

උදේ සැපත්

සුරගුරු අලුකර අවට

ස‍ඳේ මුදුන්පත

අස්විද නැකත සිට

නදේ සිතින් තම

කුල දෙවිය සිහි කොට

යෙදේ ගමන් සුමිතුර මෙපුරෙන් තොපට

සැලලිහිණියා පිටත් වන නැකත යෙදී ඇති වේලාව මෙම කවියේ සඳහන් නොවේ. මෙහි සඳහන්ව ඇත්තේ නැකත උදාවන විට පිහිටා ඇති ග්‍රහ පිහිටීම හෙවත් ලග්නය, නැකත හා සඳුගෙන් හා ගුරුගේ පිහිටීම පමණි. වේලාව තීරණය කර ගත යුතු වනුයේ දහසය වන කවියෙනි.

බ්‍රහස්පතී තාරකාව හාත්පස ආලෝකමත් කරමින් උදා වන විට සඳු අස්විඳ නැකතේ දශ වැන්නේ සිටිය දී, සතුටු සිතින් තම කුල දෙවියන් සිහි කරමින් මිතුර මෙපුරෙන් පිටත් වීම යහපත් වේ.

මේ කවියෙන් කියවෙන ජ්‍යෝතිෂ සිද්ධාන්ත දෙස බලමු. මේෂ රාශිය දශවැන්න බව අපට කියනුයේ සඳු අස්විඳ නැකතේ බව පවසමිනි. අස්විද නැකත පවතිනුයේ මේෂ රාශියේය. සඳු මුදුන් පත් වන බව යනු සඳු දශ වැන්නෙ වීමයි. කේන්ද්‍රයේ මුද්‍රිත යනු දශ වැන්නයි.

දශ වැන්න මේෂ රාශිය වන විට ලග්නය නිතැතින් ම කටක රාශියයි. සුරගුරු අවට ඒකාලෝක කරමින් උදාවන බව පවසයි. මේ පවසනුයේ බ්‍රහස්පතී තාරකාව හෙවත් ගුරු ලග්නයේ බවයි. ගුරු උදාවන රාශියේය. කටක රාශියේදී ගුරු උච්චය. ගුරු උච්චම ලග්නයේය. ලග්නාධිපති දශ වැන්නේය.

අතිශය බලවත් යෝගයක්, සියලු දෝෂ දුරලන බලවත් පිහිටීම් සමඟ යෙදී ඇත. මෙම නැකත යෙදුණ වේලාව මෙම කවියෙන් නිශ්චය කර ගත නොහැක. උදාහරණයකින් පවසතහොත්, මේ දිනවල ගුරු කටක රාශියේය. කටක රාශිය උදාවන්නේ රාත්‍රී දහයට පමණ වේ. මෙම කවියෙන් කියවෙනුයේ ගුරු උදා වන බව මිස උදය කාලය ගැන නොවේ.

ගුරු හා සඳුගේ පිහිටීම මත පමණක් නැකත යෙදුණ වසර ගැනවත් නොදැන මෙම නැකත කුමන වේලාවක යෙදී ඇත්ද යන්න පැවසිය නොහැක. එහෙත් මෙම යෝගය යෙදී ඇත්තේ සන්ධ්‍යා කාලයේ බව කවියා ඊළඟ කවියෙන් අපහට පැහැදිලි කරයි.

පෙරව සඳ කිරන පිපි කුමුදු මල් වටින්

පරව තඹර පෙති ගිලිදිය තලා පිටින්

තරව සිහි ඇතිව පරතෙරට යන අටින්

කරව පියාසර සකි කොන්ත ගං තොටින්

නැකත යෙදෙන වේලාව ගැන ඇති සියලු ගැටලු මෙම කවියෙන් විස‍ඳෙන අයුරු දැන් මැනවින් අධ්‍යයනය කරන්න.

කුමුදු මල් පිපී ඇති බව කවියා පවසනුයේ කුමුදු මල් සඳ කිරන පෙරවාගෙන සිටින බව පවසමිනි. කුමුදු මල් යායට සඳඑළිය වැටී ඇත. පරවුණු තඹර පෙති ගිලෙමින් පවතී. නොළුම් මල් පරවී යද්දී කුමුදු පිපෙන බව කවියා පවසනයේ අපට නැකත ද පෙන්වා දෙමින් මනහර කවි සිතුවිල්ලකිනි.

ඒ සමගම සැලලිහිණියාට අවවාදයක් කරන්නට ද‍ මෙය අවස්ථාවක් කර ගනී. සැලලිහිණියා දිවා සංචාරය කරන පක්ෂයෙකි. ඉර බැස යන වේලාවේ පිටත් වන බැවින් එතෙරට යන බලාපොරොත්තුවෙන්, එම බලාපොරොත්තුව කරව සිහියේ තබාගන කොන්තගංතොටින් පියාසර කරන්නට කියයි.

ඉර බැස ගොස් සිංහල පැයකින් පසු විජය යෝගය උදාවෙයි. එතැන් සිට තවත් සිංහල පැයක් මෙම ප්‍රශස්ත යෝගය පවතී. මේ අනුව සැලලිහිණියා ගමන් අරඹනුයේ විජය යෝගයෙන් විය හැක.

රාහුල හිමියන්ගේ පරිණත කවිත්වය හා පුළුල් ජ්‍යෝතිෂ දැනුම මෙම සැළලිහිණි සන්දේශයේ කවි දෙකින් මනාව පෙනේ. එහිමියන් ලියූ අනෙක් සන්දේශ කාව්‍ය වනුයේ පරෙවි සන්දේශයයි.

දිනකර දින හතය

සොමි ලදැරි ළඟ තුරු

පතවර නමැද තෙරුවන් සිතිනි පිවිතුරු

සිරිබර මෙනුවරින්

මනරම් ඉටු මිතුරු

සිහිකර යතුරු කර

කරතී මෙත් සුතුර

සැබවින්ම පෙර කවිවල රැඳී කාවිත්වය හෝ ජ්‍යෝතිෂමය වශයෙන් ප්‍රබල නැකතක් මෙහිදී අපට නොපෙනේ. ඉරිදා දිනයක, දියවක හා හත නැකත උදාව පවතින විට කන්‍යා ලග්නයේ බුධ සිටිය දී කරණීයමෙත්ත සූත්‍රය සිහිකර පිටත් වන්නට කියයි. පෙර කවියේ මෙන් සොයන්නට කිසිවක් නැත.

සියලු දේ, නැකත කවියෙන් ම පවසා ඇත. ඉරිදා දියවක සමග හත නැකත යෙදීම සූර්ය සිද්ධි යෝගයයි.

ඉරිදා හත නැකත අමෘත යෝගයකි. කන්‍යා ලග්නයේ බුධ ද භද්‍රා යෝගය උදා කර ඇත. පෙර විසූ ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන් අපට දායාද කළ මෙම විශිෂ්ට නැකැත් හදාරා, ඉන් ප්‍රයෝජන ගන්නට අපි දැන සිටිය යුතු වෙමු.

 

Comments