විට­මින් මොන රහ­යිද? | Page 2 | සිළුමිණ

විට­මින් මොන රහ­යිද?

අපට මතක විදිහට තුනේ පන්තියේ දී තමයි අපි මුල්ම වරට ප්‍රෝටීන්, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, විටමින් කියන වචන දැන ගත්තේ. ඒ වෙනකල් අපි එහෙම ඇහැකින් කෑම දෙස බලන්න පුරුදු වෙලාහිටියේ නෑ. උදාහරණයක් හැටියට පොඩිකාලේ අපට අඹයක් කනකොට විටමින් තියෙනවද කියලා හිතුණේනෑ. හැබැයි විටමින්වලට වඩා වැඩිදෙයකුත් තියෙනවා කියලානම් හිතෙන්න ඇති. ඇත්තටම ඔයට නාන්න යනකොට ගෙදරින් ලුණුත් අරන් ගිහින් අතරමඟ පිල්ලෑවේ ගහෙන් අඹ කඩාගෙන කනකොට විටමින් විතරක් නෙමෙයි ලෝකේ තිබුණු සියලුම රස එතන තිබුණා. එතකොට පියාඹන කුරුල්ලන්ගෙයි අතු උඩ යන වඳුරන්ගෙයි අපෙයි වැඩි වෙනසක් තිබුණේනෑ. තිබුණා නම් තියෙන්න ඇත්තේ ලුණු.

ලිපිඩ නැත්නම් මේදය ගැන කියනවානම් කැවුම් කනකොට අපට මේදය නැත්නම් තෙල් මතක් වුණේනෑ. බත්කනකොට කාබෝහයිඩ්‍රේට් මතක්වුණේ නෑ. කිරිබතුයි ලුණුමිරිසුයි කනකොට අපි ප්‍රෝටීන් ගණන් කළේ නෑ.

ඒත් තුනට හතරට පහට හයට යනකොට මේ ප්‍රෝටීන, ලිපිඩ, විටමින් පාඩම හැම අවුරුද්දකම සෞඛ්‍ය විද්‍යා පාඩම්වලට උගන්නලා උගන්නලාම කෑමක් කනකොට ඒකේ ප්‍රෝටීන ප්‍රතිශත මතක් වෙන්නත් පටන් ගත්තා. සම්බෝලයි බතුයි කනකොට ඒකෙන් ඇඟට ලැබෙන පෝෂණය මොනවා වුණත් හිතට මන්දපෝෂණයක් දැනෙන්න වුණා. වැටකොළු, කැකිරි, පිපිඤ්ඤ, වට්ටක්කා කනකොට පෝෂණයක් නෑ කියලා හිතෙන්න වුණා. මස්මාළු ගැන ම හිතෙන්න වුණා. ප්‍රෝටීන් පාඩම් අපව නොදැනුවත්ම එතනට තල්ලූ කළා. තවමත් ඒ පාඩම් ඒ විදිහටම තියෙනවද කියලා හොයන්නනම් මට බැරිවුණා. හැබැයි පෙළපොත්වල මොනවා වුණත් සාමාන්‍ය මාධ්‍ය භාවිතය තුළ නම් මේ පණිවිඩ අද වන විට බොහෝ දුරට වෙනස් වෙලා. අද ඇත්තටම ගත්තොත් ප්‍රධාන මාතෘකාව ප්‍රෝටීන්වත් ලිපිඩවත් නෙමෙයි වසවිස.

අද අඹ ගෙඩියක් කනකොට හිතෙන්නේ විටමින් තියෙනවද කියලා නෙමෙයි කාබයිට් ගහලද කියලා. අවුරුදු තිහකට හතළිහකට රට වෙනස් වෙලා තියෙන්නේ ඒ අතට. එදා ප‍්‍රධාන මාතෘකාව ප්‍රෝටීන වුණත් අද ප්‍රධාන මාතෘකාව වසවිස වෙලා.

එපමණක් නෙවෙයි කැකිරිවල ප්‍රෝටීන් නැති වුණත් වකුගඩුවල නීරෝගීතාවය ආරක්ෂා කිරීමට ඉන් සිදුවෙන බලපෑම අද අපි දන්නවා. එදා පතෝලයා කිව්වත් අද පතෝල මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ආරක්ෂා කිරීමට සිදුවෙන මෙහෙය ගැන කතා වෙනවා. එදා ඒ කිසිවක් කතා නොවුණත් උණක් එහෙම හැදුණාම අම්මලා තාත්තලා අපට වැටකොළු එහෙම උයලා කන්න දුන්නා. හැබැයි සෞඛ්‍ය පාඩමටනම් උණක් හැදුණාම වැටකොළු කන්න කියලා ඉගැන්නුවේ නෑ.

මේ නිසා ඇත්තටම කියන්න තියෙන්නේ මොන පොතක තිබුණත් සමහරවිට ඉස්කෝලේ ඉගැන්නුවත් හොයලා බලලා විචාරශීලීව ඉගෙනගන්න එක තමයි හොඳම වැඬේ කියනඑක. සියල්ල දෙස විවෘතව විචාරශීලිව බලනඑක කොතනකවත් උගන්වන්නේ නෑ. ඒක අපි ම ජීවිතේ අත්දැකීම් සමඟ ක්‍රමයෙන් ඉගෙන ගන්න ඕනැ දෙයක්.

උදයසිරි 

Comments