2018 ප්‍රඥාවේ සහ අධි­ෂ්ඨා­නයේ වසර | සිළුමිණ

2018 ප්‍රඥාවේ සහ අධි­ෂ්ඨා­නයේ වසර

හෙට - 2018 නව වසර උදා වන්නේය. ජ්‍යොතිෂය අනුව මේ තවත් සාමාන්‍ය දවසක් පමණි. දින දර්ශනය නම් අලුත් වෙයි. ඒ මිස මෙහි කිසිදු ජ්‍යොතිෂ සිද්ධාන්තයක් ක්‍රියාත්මක වන්නේ නැත. විශ්ව දින දර්ශනය පරිදි ලොව සිදුවන එකම අලුත් අවුරුදු උත්සවය වන්නේ බක් මහ සූර්ය මංගල්ලය පමණි. කෙසේ වෙනත් බහුතර සම්මතයට ගරු කරමින් 2018 ජනවාරි 01 දා ජ්‍යොතිෂ ඇසින් විමසමු. මෙදින ඉර උදාව පෙරවරු 06යි 17 ට සිදු වේ. කුජ හිමි මුවසිරස නැකතේ තුන්වැනි වැනි පාදයෙන් සඳුදා දා සඳු හෝරාවේ සඳු පංචම හෝරාවේ සඳු සූක්ෂම හෝරාවෙන් 2018 ජනවාරි 01 දා දවස උදා වන්නේ ගුරු හිමි ධනු ලග්නයෙන් වන අතර ගුරු ග්‍රහයා තමාගේම විසා නැකතේ විරාජමානව සිටී. සඳු මිථුන රැසේය.ගුරු යුක්තිය, සාධාරණය සහ ප්‍රඥාව නිවේදනය කරන ග්‍රහ‍යා ය. ජනවාරි පළමු වැනිදා විශ්වයෙන් මනු ලොවට ලැබෙන පළමු පණිවිඩය ගෙන එන්නේ ගුරු ග්‍රහයා ය. සැමතින්ම යුක්ති ගරුක විය යුතු බවත් සාධාරණ විය යුතු බවත්, ඒ සියල්ලටම වඩා ඔබ ප්‍රඥාවන්ත විය යුතු බවත් මෙයින් අවධාරණය කෙරේ.

රවි-ශනි -සිකුරු -ප්ලූටෝ ලග්නයේය. ප්‍රඥාව සහ ක්‍රියා ශූරත්වය මුල් කොට ගෙන ජය ලැබිය හැකි බව ‍එයින් යළිත් වරක් නිවේදනය කරයි. සියල්ල සම සිතින් දරා ගැනීම ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය වේ. සුබ ග්‍රහයන් සුබ දසාවලදී කිත්- පැසසුම්, වස්තු සම්පත් පොදි බැඳගෙන එන විට අපි සතුටින් පිනා යමු. අසුබ ග්‍රහයන් අසුබ දසා වලදී නින්දා- අවමන්, නැති-බැරිකම්, ආදියෙන් එක පිට එක පහර ගසන විට අපි කඳුළු පෙරමින් විලාප නඟමු. මේ චක්‍ර දෙකෙන් මිනිසාට කිසිදා ගැලවුමක් නො ලැබේ. එහෙත් දුක-සැප දෙක සම සිතින් දරා ගන්නට පුරුදු පුහුණු වුවහොත් "කිං කරිස්සති තාරකා?" ග්‍රහ තාරකාවන්ට කුමක් කළ හැකිද?

දුක සැප උපේක්ෂාවෙන්, සම සිතින් දරා ගනිමු. එවිට අසුබ ග්‍රහයාද සුබ පල දෙන්නේය.ප්‍රඥාවන්තයා විපත පවා සැපත බවට පෙරළා ගන්නේ එසේය. අපායට ගියත් උපාය දන්නෝ අමාරුවේ නො වැටෙති යැයි කියන්නේ ද මේකටය. නැඟ එන හිරු අපි සුබ දසුනක් ලෙස දකිමු. ඊට අරුණාලෝකය යැයි කියමු.බැස යන හිරු අසුබ යැයි සිතමු.ඊට මළ හිරු යැයි ද කියමු. එහෙත් හිරු උපන්නේ ද නැත.මළ ගියේ ද නැත. හිරු එතැනම ය.අපි පමණක් ඒ වටා කරකැවෙමු. ඇත්ත එයයි. එහෙත් අප ලෝකය දකින්නට පුරුදුව සිටින්නේ කණ පිටටය. මිනිසුන් බොහෝ විට අනෙක් මිනිසුන් දකින්නේ ද සැබෑ ස්වරූපයෙන් නොව කණ පිටට ය.සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් දකින්නේ ඒ නිසාය. ඒ ප්‍රඥාව නම් ආලෝකය මදි නිසා ඇතිවන විකෘතියකි.

 

Comments