
2018 වසරේ ඉරණම තීන්දු කිරීමේ වගකීම මූලික වශයෙන් ලෝක නායකයන් සිව් දෙනෙකු අත පවතින බව පෙනී යයි. ඒ අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ කිම් ජොං අන්, රුසියාවේ ව්ලැදිමීර් පුටින් හා චීනයේ ෂි ජින් පිං යන ලෝක නායකයෝ වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප් අද වන විට ලෝකයේ නිර්මාණය කර ඇති ප්‍රශ්න දෙස බලන කල ඔහු ඉදිරි වසරේදී ගෝලීය ස්ථාවරභාවය දැඩි අභියෝගයකට ලක්කරන බවක් පෙනීයයි. ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් හරහා මූලික අභියෝගයට ලක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. අද වනවිට ට්‍රම්ප් එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රාණ ඇපකරුවෙකු කරගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදෙයි. ජගත් සංවිධානය බිහිවු දා සිටම එහි කටයුතු මෙහෙයවීමේ වැඩි බරක් අමෙරිකාව සතු වුවද එය විවෘතව පෙන්නුම් කළ කාරණයක් නොවේ.
2017 වසරේ අවසන් ඉරිදාව මෙන්ම අවසන් දිනයද අදයි. හෙට දිනයේ සිට ලෝකය 2018 නව වසරට එළැඹෙන්නේ නව බලාපොරොත්තු හා යහපත් අනාගතයක් අපේක්ෂාවෙනි. ගෝලීය ප්‍රජාවගේ අවශතා ඉටු කිරිම හා ප්‍රශස්ත ගෝලීය ජීවන රටාවක් පවත්වාගැනීමේ පරම වගකීම රාජ්‍ය නායකත්වයන් වෙත පැවරෙයි. වත්මන් ලෝක නායකත්වය 2018 වසර තුල අන්තර්ජාතික ප්‍රජාව රැගෙන යනු ඇත්තේ කොතැනටද?? නව වසරේ උදාව ගැන සැළකිලිමත් වන සෑම දෙනාගේම සිත්තුල නැගෙන පැනය වන්නේ එයයි.
2017 වසර එළැඹෙද්දි ලෝකය හමුවේ කුතුහලය දනවන හා අනුමාන කළ නොහැකි විශේෂ ප්‍රශ්නයක් විය. ඒ එදා අමෙරිකාව හෙවත් ලෝක බලවතා මෙහෙයවීමේ මුල් පුටුව එසේත් නැත්නම් ලෝකයේ ප්‍රබලතම රාජ්‍ය නායක පදවිය සාම්ප්‍රදායික නොවන, එමෙන්ම හුරු පුරුදු දේශපාලනික චරිතයක් නොවු, එමෙන්ම කුමක් කරනු ඇත්දැයි අනුමාන කළ නොහැකි පුද්ගලයෙකුට හිමිව තිබීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ වනවිට 2016 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ලබා පාලනය භාරගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටි කාල වකවානුවයි. එවිට ඔහු දිව්රුම් දී ජනාධිපති පදවියෙහි වැඩබාරගෙන සිටයේ නැත. එසේ වුවද ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදි කළ කී දෑ මෙන්ම ලබාදුන් පොරොන්දු ගොන්නත්, අමෙරිකාව තුල මෙන්ම අන්තර්ජාතික තලය තුලද මතබේද රාශියකට තුඩුදෙමින් නිකුත් කර තිබු ප්‍රකාශ හා ට්විටර් පණිවුඩත් සැළකිල්ලට ගත් කළ ලෝකය මහත් විමතියකට හා ඇතැම් විට බිය මුසු අවිනිශ්චිත භාවයකට ගොදුරු වී තිබිණ. ට්‍රම්ප් එදා මැතිවරණ පොරොන්දු ලෙස ප්‍රකාශ කර තිබු කරුණු කාරනා සාමාන්‍යෙයන් අමෙරිකානු ජනාධිපතිවරයෙකු තම ජනතාවට ලබාදෙන්නා වු පොරොන්දු වලට වඩා වෙනස් මුහුණුවරක් ගත් කරුණු වීම මේ අවිනිශ්චිත භාවය වර්ධනය කළ තත්ත්වයකි. වසරක් ගතවු තැන එනම් 2017 ගෙවී ගොස් 2018 එළැඹෙන මොහොතේ මේ අවිනිශ්චිත බව තවත් වැඩිවී එනම් දෙගුණ තෙගුණ වී ඇතැයි යන්න සදහන් කළ හොත් එය අතිශයෝක්තියක් නොවේ. අදත් ලෝක ප්‍රජාව අතින් නැගෙන මුලික ප්‍රශ්නයක් වන්නේ ට්‍රම්ප් ලෝකය හමුවේ කුමකින් කුමක් කරනු ඇද්ද යන්නයි. ඔහු අමෙරිකානු ජනාධිපති පදවිය ලබා ගතවු වසරක කාලය තුළ ඉතිහාසයේ අන් කිසිදු අමෙරිකානු නායකයෙක් සිදු නොකළ ආකාරයේ මතබේද කාරී ක්‍රියාකාරකම් වල යෙදෙමින් හා අතිශයින් අත්තනෝමතික වු ස්වභාවයක් පෙන්නුම් කරමින් මෙන්ම අමෙරිකාව හමුවේ මෙන්ම අනෙකුත් රටවල් හමුවේ එක්තරා ආකාරයක අධිකාරිවාදී ස්වභාවයක් පෙන්නුම් කරමින්ද හැසිරීම මේ අවිනිශ්චිත භාවය ඉහළ නැංවු සාධකයකි. 2018 වසරේ ගෝලීය භූ දේශපාලනික රටාව සැකසීමේදි මුලික භූමිකාවක් ට්‍රම්ප්ට පැවරේ. ඔහු පාලනය මෙහෙයවන රටාව අනුව ලෝකය නව අර්බුදකාරී මාවතකට යොමුවීමේ අවදානමක පවතින බව සක් සුදක් සේ පැහැදිළි කාරණයකි.
2018 වසරේ ඉරණම තීන්දු කිරීමේ වගකීම මුලික වශයෙන් ලෝක නායකයන් සිව් දෙනෙකු අත පවතින බව පෙනී යයි. ඒ අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ කිම් ජොං අන්, රුසියාවේ ව්ලැදිමීර් පුටින් හා චීනයේ ෂි ජින් පිං යන ලෝක නායකයෝ වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප් අද වනවිට ලෝකයේ නිර්මාණය කර ඇති ප්‍රශ්න දෙස බලන කල ඔහු ඉදිරි වසරේදී ගෝලීය ස්ථාවරභාවය දැඩි අභියෝගයකට ලක්කරන බවක් පෙනීයයි. ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් හරහා මුලික අභියෝගයට ලක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. අද වනවිට ට්‍රම්ප් එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රාණ ඇපකරුවෙකු කරගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදෙයි. ජගත් සංවිධානය බිහිවු දා සිටම එහි කටයුතු මෙහෙයවීමේ වැඩි බරක් අමෙරිකාව සතු වුවද එය විවෘතව පෙන්නුම් කළ කාරණයක් නොවේ. එමෙන්ම අමෙරිකාවේ ක්‍රියාකාරිත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්මට බාධාවක් නොවීය. එහෙත් අද වනවිට ජගත් සංවිධානය සෘජුවම අමෙරිකාවේ තර්ජනයට ලක්ව තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතය වන්නේ ජගත් සංවිධානය තුල සිදුවිය යුත්තේ අමෙරිකාවට අවශ්‍ය, අමෙරිකාවේ අභිලාෂයන්ට හානිකර නොවන හා අමෙරිකාවේ අභිමතයට පටහැනි නොවන ක්‍රියාකාරකම් පමණක්මය යන්නයි. ජෙරුසලමේ අයිතිය මැදපෙරදිග අමෙරිකානු බලයේ නියෝජිතයා වන ඊශ්‍රායලයට පවරා දීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලින් විරෝධයක් එල්ල වීම වැළැක්වීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප් සාමාජික රටවලට විවෘත තර්ජනයක් කළේ අමෙරිකාවේ මතයට විරුද්ධවන රටවලට අමෙරිකානු ආධාර ලබාදීම නවතන බවටයි. ජෙරුසලම පිළිබද ජන්දයේදී අමෙරිකානු මතයට විරුද්ධ වන රටවල් ලේඛණ ගත කිරිමටද ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපතිනී නිකී හේලි වෙත දැනුම් දී තිබිණ. අමෙරිකාව ලෝක බලවතා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ මින් පෙර මෙවැනි ආකාරයක මස්පිඩු පුම්බා තර්ජනය කිරිමක් සිදුකර නැත. එපමණකින් නොනැවතී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන අමෙරිකානු මුල්‍ය දායකත්වය කප්පාදු කිරිමටද එනම් එක්සත් ජාතීන්ගේ වාර්ෂික අයවැයට අමෙරිකාවෙන් පිරිනැමෙන ඩොලර් මිලියන 285ක මුදලක් කපා දැමීමට උත්සුක විය. එය මෑත ඉතිහාසයේ අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පෙන්නුම් කළ වඩාත්ම ආක්‍රමණශීලි චර්යා රටාවයි. එය ඉදිරි වසර තුල එක්සත් ජාතින්ගේ සංවිධානයට මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගයයි. එය ආයතනයේ ස්වාධීනත්වය පිළිබද බරපතල ගැටලුවකි. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම මුල්‍ය දායකයා වන අමෙරිකාවේ අභිලාෂයන්ට විවෘතම නතුවීමට එම සංවිධානයට සිදුවේද? එසේත් නැත්නම් ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සදහා අමෙරිකාව සමග විවෘත ගැටුමකට යාමට සිදුවේද? ජගත් සංවිධානය හා එහි සාමජික රටවල් හමුවේ පවතින ප්‍රධානතම ගැටලුවයි.
අනෙක් අතට ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයට පවරාදීමට හෙවත් පලස්තීන හා සෙසු ජාතීන්ගේ අයිතීන් පසෙකට ලා ජෙරුසලම ඊශ්‍රායලයට පමණක් අයත් බව පිළිගැනීම තුළින් නිර්මාණය වී ඇති අර්බුදය ඉදිරි කාලයේ මැදපෙරදිග කලාපයේ ඉතා බහුල ලෙස ලේ වැගිරීම් සිදුවන තත්ත්වයක් නිර්මාණය කර තිබේ. එමෙන්ම අමෙරිකාවේ පදනම වූ සංක්‍රමණික ආගමනයට වැට බදිමින්, මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරමින් හා මෙක්සිකෝව ඇතුළු ලතින් අමෙරිකානු රටවල් සමග මතෙභ්ද නිර්මාණය කරගනිමින් ට්‍රම්ප් ගෙනයන පාලන රටාව තුල ඉදිරි වසරේ අමෙරිකාව හමුවේ ඇත්තේද ඉතා රළු පරළු ගමනකි.
2017 වසරේ වඩාත්ම අවධානයට ලක්වු රට උතුරු කොරියාවයි. එරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතා දියුණු මිසයිල තාක්ෂණයක් අත්කරගැනීමත් න්‍යෂ්ටික අවි තාක්ෂණය ඉතා දියුණු මට්ටමකට ගෙනඒමත් තුළ ගෝලීය වශයෙන් වඩාත් ප්‍රබල අභියෝගයක් බවට පත්විය. ඉදිරි වසර තුළ කිම් ජොං අන් ගන්නා තීන්දු තීරණ මත ආසියාවේ හා ලෝකයේ ආරක්ෂක තත්ත්වය පිළිබද සිතියම සැකසෙනු ඇත. දියුණු අවි තාක්ෂණය අත්කරගත් උතුරු කොරියාවේ ඊළග ඉලක්කය කුමක්ද? එය නැගෙනහිර ආසියාව පදනම් කරගත් ගෝලීය යුද උණුසුමක ආරම්භක අවස්ථාවද? යන ප්‍රශ්න ජගත් ප්‍රජාව හමුවේ මැවී තිබේ. මේ අතරවාරයේ උතුරු කොරියාව මෙල්ල කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අමෙරිකාව විසින් පනවනු ලැබ ඇති සම්බාධක නිසා දිගුකාලීනව උතුරු කොරියාව දුර්වල අඩියකට ඇදවැටීමේ ඉඩකඩ පවතී. විශේෂයෙන් දැනට ක්‍රියාත්මක ඛනිජතෙල් තහනම උතුරු කොරියාවේ ආර්ථිකයේ ඉරණම විසඳීමට මුල්වන මූලික සාධකයකි. මෙවැනි සම්බාධක නිසා ඉරාකයට අත්වු ඉරණමේ කටුක මතකයන් තවමත් අප තුල තිබේ.
රුසියාව හා බටහිර ලෝකය අතර නිර්මාණය වෙමින් පවතින අභියෝගාත්මක නව සිසිල් යුද්ධය හෙවත් නිරවි යුද්ධය ගෝලීය ස්ථාවරභාවයට දැඩි තර්ජනයක් එල්ල කරන්නකි. ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා ලබන වසරේ මාර්තු මාසයේදී ජනාධිපතිවරණයට මුහුණ දෙයි. මේ වනවිට භූමියේ ඔහුට එරෙහි පැහැදිලි අභියෝගයක් එල්ල කිරිමට සමත් චරිතයක් නැත. ප්‍රධාන විපක්ෂ නායකයන් නිශ්ක්‍රිය කිරිමේ පිළිවෙත තුළ මෙන්ම පවතින පුළුල් ජනතා සහය මත පුටින් නැවතත් ජනාධිපතිවරයා වීමේ ගැටලුවක් දක්නට නොලැබේ. මේ වනවිට ඔහු බටහිර බලයට ප්‍රධාන විකල්පයක් සේ පෙනී සිටී. සිරියානු රජය බටහිර ආක්‍රමණයෙන් මේ දක්වා ආරක්ෂා කරගැනීම හා යුක්රේනයේ බටහිර ආධිපත්‍යයට අභියෝග කරන යුද්ධයක් නිර්මාණය කිරිම වැනි සාධක තුළ රුසියාව ඉතා ප්‍රබල අන්තර්ජාතික භූමිකාවක් නිරූපණය කරයි. 2018 වසර තුළ දැකිය හැකි යැයි අනුමාන කළ හැක්කේ රුසියාවේ ක්‍රියාකාරිත්වය හා ඊට විකල්ප ලෙස ක්‍රියාත්මක වන බටහිර බලවේගය අතර ගැටුම්කාරී තත්ත්වයන් ඉහල යෑමේ සාධකයයි.
චීන ජනාධිපති ෂී ජින් පිං 2017 වසර තුල මෑත ඉතිහාසයේ චීනයේ ප්‍රබලතම නායකයා බවට පත්වුයේ මහජන චීනයේ නිර්මාතෘ මා ඕ සේ තුං සහ වත්මන් ආර්ථික බලවේගයේ නිර්මාතෘ ඩෙං ෂියාඕ පෙං හා සමාන තත්ත්වයකට උසස්වීමක් ලබමිනි. ඔහු හදුන්වා දුන් එක මාවතක් එක තීරයක් වැඩපිළිවෙල ගෝලීය වශයෙන් තනි රටක සංකල්පයක් මත ක්‍රියාත්මක වන සාර්ථකම අන්තර්ජාතික සහයෝගිතා වැඩපිළිවෙළයි. ඒ හරහා ආසියානු අප්‍රිකානු හා යුරෝපා රටවල් 33ක සහයෝගිතාව දිනාගනිමිනි නව ආර්ථික වැඩපිළිවෙළකින් තුලින් ගෝලීය ආර්ථික ප්‍රබලයෙකු හා මෙහෙයුම් කරුවෙකුගේ තත්ත්වය දිනාගැනීමට චීනය සමත්ව සිටී. ඉන්දියාව හා ජපානය වැනි ආසියානු බලවතුන්ගේ අවධානය මෙන්ම අමෙරිකාවේ ආසියානු අභිලාෂයන් හා ගැටෙන අභියෝගාත්මක වාතාවරණයක් නිර්මාණය කරයි.
2018 වසර තුළද අන් වසරවලදී මෙන්ම ජනතාව අපේක්ෂා කරන්නේ වඩාත් යහපත් ජීවන රටාවකි. එහෙත් ලෝක නායකයන් හා ඔවුන්ගේ බල අභිලාෂයන් තුළ එය කොතරම් දුරට යථාර්ථයක් වේද? ලෝක ප්‍රජාව හමුවේ ඇති මූලික ගැටලුව එයයි