වෙසක් පෝය අප්‍රේල් මාසෙට වැටි­ලද? අප්‍රේල් මාසේ වෙසක් මාසෙට වැටි­ලද? | සිළුමිණ

වෙසක් පෝය අප්‍රේල් මාසෙට වැටි­ලද? අප්‍රේල් මාසේ වෙසක් මාසෙට වැටි­ලද?

වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් සිදුවන්නේ නියමුවන් පිරිසක් හැදීමට වඩා අනුගමනය කරන්නන් හැදීමයි. ප්‍රශ්න නොකරන්නන් හැදීමයි. ප්‍රශ්න කළත් වැඩක් නැති ප්‍රශ්න කරන්නන් හැදීමයි. වෙසක් පෝය අප්‍රේල් මාසයට එන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම එවන් වැඩක් නැති ප්‍රශ්නයකට උදාහරණයකි. අප වැනි රටවල අධ්‍යාපන ක්‍රමය මගින් හදන්නේ නිෂ්පාදකයන්ට වඩා පාරිභෝගිකයන් යැයි කිව හැකිය. නිර්මාණකරුවන්ට වඩා අනුන් හදන දේ මිල දී ගන්නන් හැදීම යැයි ද කිව හැකිය.

2018 අවුරුද්දේ වෙසක් පෝය අප්‍රේල්් මාසයට වැටී තිබේ. මෙය අනෙක් පැත්තටත් ගැනීමට පුළුවන. එනම් අප්‍රේල්් මාසයත් වෙසක් මාසයට වැටී තිබේ කියාය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන විට ජනවාරි ආදී මාස ක්‍රමය තිබුණේ නැත. ඒ නිසා මෙය ගැටලුවක් කරගත යුතු නොවේ. එහෙත් ප්‍රශ්න නැති අයට මේවාත් ඉතා විශාල ප්‍රශ්නය. බොහෝ විට ප්‍රශ්න මතුවන්නේ උගත්කමටත් වඩා නූගත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි. අපේ රටේ වැඩි එවන් ප්‍රශ්නය. එයට අමතරව අපේ රටේ සමහර විට උගත්කමත් නූගත්කමක් වේ. කෙසේනමුත් උගත් කමත් නූගත්කමක් වීම වර්තමානයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් ද නොවේ. පණ්ඩිතයාට ඒදණ්ඬේ යන්න බෑ යන්න තරමක් පරණ කියමනකි. මෙහි දී පණ්ඩිතකම මෝඩකමක් වී ඇත. නැතිනම් නුගත්කමක් වී ඇත.

මෙහි අනෙක් තේරුම නම් මෝඩයෙකුට වුවත් උගත්කම අත්කරගත හැකි බවය. පොතේ උගතුන් ගිරව් ආදී වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙවන් වර්ගයේ මෝඩයන්ය. මෙහි තේරුම නම් බුද්ධිමතුන් ලෙස රංගනයේ යෙදෙන බොහෝ දෙනා සැබවින්ම මෝඩයන් විය හැකි බවය. පොතේ උගතුන් නිසා ප්‍රශ්න ව්‍යාකූල වූ තැන් නැති ප්‍රශ්න ඇති වූ තැන් ඇත්තේ එකක් දෙකක් නොවේ. පොතේ උගතාට නැති ම නුවණ තැනට සුදුසු නුවණ යැයි ද කිව හැකිය. එනම් පොතේ උගතා බොහෝ විට කරන්නේ පොතේ ඇති දෙය සෑම තැනකටම යෙදීමයි. පොත් කට පාඩම් කරගැනීම විනා තැනට අවශ්‍ය පරිදි නුවණ මෙහෙයවීමේ පුරුද්දක් ඔහු නොලබා තිබීම එයට හේතුවයි.

කෙසේ හෝ වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් හදන්නේ නියමුවන් පිරිසක් හැදීමට වඩා අනුගමනය කරන්නන් හැදීමයි. ප්‍රශ්න නොකරන්නන් හැදීමයි. ප්‍රශ්න කළත් වැඩක් නැති ප්‍රශ්න කරන්නන් හැදීමයි. වෙසක් පෝය අප්‍රේල් මාසයට එන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම එවන් වැඩක් නැති ප්‍රශ්නයකට උදාහරණයකි. අප වැනි රටවල අධ්‍යාපන ක්‍රමය මගින් හදන්නේ නිෂ්පාදකයන්ට වඩා පාරිභෝගිකයන් යැයි කිව හැකිය. නිර්මාණකරුවන්ට වඩා අනුන් හදන දේ මිල දී ගන්නන් හැදීම යැයි ද කිව හැකිය. සැබවින්ම පාරිභෝජනයෙන් අනුන් හදන දේ මිල දී ගැනීමෙන් ආඩම්බරයට පත්වීම අතින් අපේ රටේ අය බොහෝ ඉදිරියෙන් සිටී යැයි සිතමි.

පිටරටක සැදූ නවීන දුරකථනයක් අතේ තබාගැනීමට හැකිවීම ගැන ආඩම්බර වන්නෝ කොතෙක්ද? එහෙත් තමන්ට ඉතා කුඩා දෙයක් හෝ නිර්මාණය කරගැනීමට නොහැකිවීම ගැන ඔවුන් තුළ කිසිදු කණගාටුවක් නැත. අඩුම ගණනේ අමු වෙරළු කොච්චි දමා කොටා සාදාගැනීම වැනි දෙයක්වත් ඔවුන් දන්නේ නැත. එහෙත් ෆෝන් එකෙන් යම් කෑමක් ගෙදරට ම ඇණවුම්කරගැනීමට හැකිවීම මහත් උගත්කමක් සේ ඔවුහු සලකති. අපට සිටින්නේ මෙවන් පාරිභෝගිකයන්ය. ඉතාම නවීන මෝටර් රථයක් මගින් තමන්ගේ ප්‍රශ්නවලින් සියයට හැත්තෑවක් විසඳෙන බව සිතීමට තරම් ‘උගත්’ අය අපේ රටේ බොහෝය.

මේ නිර්මාණය වෙනුවට පාරිභෝජනයම උතුම් කොට සලකන, හැකියාව කොට සලකන, දක්ෂතාව කොට සලකන පිරිසක් සාදන අධ්‍යාපන ක්‍රමයක් යටත් විජිත නොඑසේනම් නව යටත් විජිත අධ්‍යාපන ක්‍රමයක් වශයෙන් සැලකිය හැකිය. එහෙත් අනෙත් අතට මේ යටත් විජිත නව යටත් විජිත ආදී වචන ද අපට උගන්වන ලද වචන වේ. මෙවන් වචන ඔස්සේ නිර්මාණශීලීවීමට අපට හැකියාවක් ලැබෙන්නේ ද යන්න ප්‍රශ්න කළ යුතුය. බොරු හා දීර්ඝ විශාල විග්‍රහ විශ්ලේෂණ කිරීමට විනා සුළු දෙයක් හෝ නිර්මාණය කිරීමට නොහැකි අය බිහි කිරීම ද පවතින අධ්‍යාපන ක්‍රමය මගින් සිදුකරන්නේ යැයි කිව හැකිය. මෙය සැබවින්ම අධ්‍යාපන ක්‍රමය ගැන ප්‍රශ්නයක් නොවේ. අපේ දූ දරුවන් ගැන ප්‍රශ්නයකි. අපේ දූ දරුවන් ගැන ප්‍රශ්නයක් යනු අපේ ප්‍රශ්නයකි. අප වෙතින් අපේ ම දූ දරුවන් වෙන් කිරීම අධ්‍යාපනය විසින් කරනු ලබන ප්‍රධාන කාර්යයක් බවට පත්ව ඇතැයි ද කිව හැකිය. මේවා අරගල කළ යුතු ප්‍රශ්න වේ.

කෙසේ වුවත් බොහෝ විට සිතීම හා ක්‍රියාකිරීම යන දෙකම නිෂ්ඵල බවට පත්වීම ද සිදුවේ.

උදාහරණයක් වශයෙන් ගොවිතැන ජීවිකාව කරගත් ගොවි මහතෙකුට සිතීමට වෙලාවක් නැත. පැය විසි හතරම ජීවිකාව වෙනුවෙන් කය වෙහෙසවීමට සිදුවේ. කෘමිනාශක හා වෙනත් විෂ ද්‍රව්‍ය හා පොහොර බෝග වගාවන්ට යෙදීමට සුදුසු දැයි සිතසිතා සිටීමට කාලයක් ඔහුට නැත. නොසිතාම ඔහු ඒ දේ කරයි. මා ඔහුගේ ක්‍රියාකිරීම නිෂ්ඵල යැයි කීවේ ඒ අනුවය. එනම් ඒ ක්‍රියාකාරීත්වය මගින් වර්තමානයේ ප්‍රශ්න යම් තරමකට විසඳුණත් අනාගතය වෙනුවෙන් ප්‍රශ්න ගොඩගසන බැවිනි.

අප වැනි ගොවිතැන් නොකරන අයට සිතීම සඳහා වෙලාවක් ඇත. එහෙත් එය සිතීමක් පමණි. ක්‍රියාවක් නැත. රටට යෝග්‍ය ගොවිතැන් ක්‍රම හා කර්මාන්ත ක්‍රම අධ්‍යාපන ක්‍රම ගැන අපි සිතමු. ඒ සිතීම සඳහා අපට කාලයක් ලැබී තිබීම හා සිතීම අපේ රැකියාවේ ද කොටසක් වන නිසාය.

අනෙක් අතට රැකියාවල දී අපට සිතන්නට සිදුවන්නේ අලුත් වෙනස්කම් කිරීම ගැන නොව පවතින දේ දිගටම ගෙනයාම ගැනය. නඩුවක් දිනීම ගැන පෙරකදෝරුවාගේ තීක්ෂණ සිතුම්වලින් සමාජයේ කිසිදු වෙනසක් නොවේ. යම් භාණ්ඩයක් අලෙවිකිරීම ගැන අළෙවි කළමනාකරුවෙකුගේ නිර්මාණශීලී සිතුම්වලින් රට නව දිශාවකට යොමුවීමක් සිදු නොවේ.

භාණ්ඩය බොහෝ විට අලුත් භාණ්ඩයක් නොවන බැවිනි. නඩුවක් නැති වෙලාවට විනිසුරුවරයා රට ගැන හිතෙන දේ, රට නැංවීම ගැන හිතන දේ ඔහුගේ ප්‍රධාන ක්‍රියාකාරිත්වයට අතුරුපසක් තරම්වත් නොවේ. සිතීම විනෝදාංශයක් හෝ විලාසිතාවක් හෝ වී ඇත. ඒ අනුව අප ගෙනයමින් සිටින්නේ සිතීමත් ක්‍රියාකිරීමත් දෙකම අර්ථ විරහිත වූ රටාවකි.

මේ අනුව අද ඇත්තේ අකර්මණ්‍ය වූ සමාජයක් යැයි කිව හැකිය. කොම්පියුටර් ගේම්ස් සමාජ වෙබ් අඩවි ටෙලි නාට්‍ය හා ටෙලි තරු තරග ආදී සියල්ල මේ අකර්මණ්‍ය ව ඇති සමාජය නොසිතන සමාජය ක්‍රියාශීලී ගතික සමාජයක් බවට මතුපිටින් පෙන්වා දීම සඳහා අටවා ඇති ව්‍යාජයන් පමණක් බව කිව හැකිය.

මේ සියල්ල බිඳගෙන සිතන හා ක්‍රියාශීලී මිනිසෙකු විය හැක්කේ කෙසේද? මෙය තනි තනිව සිතිය යුතු ප්‍රශ්නයකි. 

 

Comments