රකුසා පලවා පර­පුර රකිමු | Page 3 | සිළුමිණ

රකුසා පලවා පර­පුර රකිමු

අද වන විට අප රටේ දුම්වැටි භාවිතය ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩු වී ඇතත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යන බව සමීක්ෂණ වර්ථා පෙන්වා දී ඇත.

දුම්වැටි හා මත්ද්‍රව්‍ය ගැන කතාකිරීමේදී හා ලිවීමේදී ඉතාමත් ප්‍රවේසම් වියයුතුයැයි මා අදහස් කරමි. මක්නිසාද යත් මත්ද්‍රව්‍ය හා දුම්වැටි හඳුන්වා දීමෙන් පාසැල් වයසේ සිටින ළමුන් මේවා සම්බන්ධයෙන් කුතුහලයට පත්ව භාවිතා කර බැලීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එයින් වන්නේ දරුවන් ඒවාට ඇබ්බැහි වීමයි.

දුම්වැටි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳව ඇති අපෙක්ෂාවන් වෙනස් කිරීමෙන් ළමා පරපුර එයින් මුදාගත හැක.

ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ 104 වෙනි වාර්ෂික වාර්තාවේ පෙන්වා දී ඇත්තේ දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතා කරන්නන්ගෙන් 15.7% ක් වයස අවුරුදු 13-15 ත් අතර පිරිමි දරුවන් හා 4.1 % ක් ගැහැණු ළමයින් බවයි.

එමෙන්ම පහත සඳහන් හේතූන් මතද දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයට ළමයින් පෙළබෙන බව පෙන්වා දිය හැකිය.

1.අභියෝගාත්මක අත්දැකීමක් ලබාගැනීම.

2. මිතුරු බලපෑම්.

3. සමාජයේ පවතින ආකල්ප.

4.මාධ්‍යමගින් පෙළඹවීම.

5. පහසුවෙන් ලබාගැනීමට හැකිවීම.

අද මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය තුළින් දුම්වැටි හා නොයෙකුත් මත්ද්‍රව්‍ය රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්දීන් මෙන්ම රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපට තුළින්ද දුම්වැටි හා මධ්‍යසාර භාවිතා කිරීමේ දර්ශන දැකිය හැකිය .

මේ මාධ්‍ය ප්‍රචාරයන් තුළින් මත්ද්‍රව්‍ය සමාජ ගතවීමක් මෙන්ම ළමයින් දුම්වැටි හා මධ්‍යසාර කෙරෙහි යම් අපේක්ෂාවක් ඇතිකර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි.

ඉතාමත් කනගාටු දායක තත්ත්වයට පත්ව ඇත්තේ විවිධ මත්ද්‍රව්‍ය පාසැල් ළමුන් ඉලක්ක කරගෙන පාසැල් ආශ්‍රීතව ව්‍යාප්ත කිරීමේ ප්‍රයන්නයක සමහර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් යෙදී සිටීමයි.

දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන භායානක ප්‍රතිඵල පිළිබ ඳව සියලුම පාසැල් ළමුන් දැනුවත් කළ යුතුයි.

පිළිකා පෙනහළු රෝග හදවත් රෝග ඇතුළු නිදන්ගත රෝග රැසක් ඇතිවීමට ප්‍රධාන හේතුව දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයයි.

මෙයින් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කිරීම ඒ සඳහා වැඩමුළු පැවැත්වීම හා සමාජහානිය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයකිරී‍මට රජයටද සිදුවෙයි

දෙමව් පියන්ගේ මුලික වගකීම වියයුත්තේ ඔබගේ දුව හෝ ‍පුතා ගැන වඩාත් අවදානයෙන් සිටීමයි. මීට පෙර ඔබ දැක්වු අවදානයට වඩා වැඩි අවදානයකින් දුව, පුතා යන එන තැන් ඇසුරු කරන මිතුරන් මෙන්ම ළමයාගේ අධ්‍යාපන කටයුතු ළමයාගේ වෙනස් වීම් පිළිබඳවද දැඩි අවදානයෙන් සිටීම ඉතා වැදගත් ය.

එමෙන්ම පෞද්ගලික අධ්‍යාපන පන්ති යන දරුවන් කෙරෙහිද දැඩි අවදානයෙන් සිටිය යුතුයි.

ළමුන් කෙරෙහි අවදානය දැක්වීමේදී එය ක්‍රමවත්ව සුපරික්ෂාකාරීව රිදවීමක් නොවන අයුරින් කිරීමට දෙමව් පියන් වගබලා ගත යුතුයි.

යම් දරුවකු පාසල තුළදී හෝ පංතිකාමරයේදී හැසිරීම් රටාවේ යම් වෙනසක් ගුරුතුමා හෝ ගුරුතුමිය දකින්නේනම් ඒ බව දරුවාගේ දෙමව්පියන්ට පෞද්ගලිකව දැන්වීම වඩාත් සුදුසු වන අතර වෙනදාටත් වඩා ගුරුවරුන් පාසැල් දරුවන් කෙරෙහි අවදානයෙන් සිටින කාලය එළඹී ඇතැයි මා අදහස් කරමි.

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා සියලු ආගම්වල දහම් පාසැල් අධ්‍යාපනයෙන් ළමුන්ට දහම් දැන‍ුම මෙන්ම සාරධර්ම පිරි යහපත් සමාජයක් කරා යාමට මාර්ගයක් පෙන්වා දෙන බැවින් කුඩා කාලයේ සිටම දහම් පාසැල් අධ්‍යාපනය අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි. මෙයද දුම්වැටි හා මධ්‍යසාර භාවිතයෙන් වැලකීමට යම් පිටුවහලක් විය හැකිය.

මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය ව්‍යාප්ත කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි. මෙම උපක්‍රම සෘජු හා වක්‍රව සිදුකරන උපක්‍රම ලෙස පෙන්වා දිය හැක. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ කුඩා දරුවන් අනාගත පාරිභෝගිකයින් බවට පත්කර ගැනීමයි . එබැවින් අනාගතයේදී රට භාරගැනීමට සිටින බාල පරපුර මධ්‍යසාර දුම්වැටි ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමට කටයුතු කිරීම සියලු රට වැසියන්ගේ වගකීම විය යුතුයි. 

Comments