මුහුද නුඹ | සිළුමිණ

මුහුද නුඹ

ලස්සනයි....හැන්දෑව ඉර බැහැගෙන යන වෙලාවට බලාගෙනම ඉන්න හිතෙනවා...ඇත්තටම දැන් නම් නුඹ දැක්කම....මගෙ තුන් හිතම සැනසෙනවා....

අනේ ඒත් කොහොමද අච්චර ලොකු විනාශයක් කරලා....දැන් කිසිම දෙයක් නොවුණ වගේ ....මේ විදියට ඉන්නේ...? මුහුද ...මට වෙලාවකට නුඹ ගැන හරි පුදුමයි...

ලක්ෂ ගණනක් දෙමවුපියන්ට තමන්ගෙ දරුවන්ව අහිමි කරලා ..., ලක්ෂ ගණණක් දරුවන්ට තමන්ගේ දෙමවුපියන් අහිමි කරලා...ලක්ෂ ගණනක් බිරින්දෑවරුන්ට තමන්ගේ ස්වාමිවරුන් අහිමි කරලා...,එකම එක රුපියලකටවත් ලෝකයාට අත නොපා .., හරි ලස්සනට ජීවත් වුණු අහිංසක මිනිසුන්ව අවතැන් කඳවුරු වලට යවලා..., අවුරුදු ගණනාවක් තිස්සේ උන් මහන්සියෙන් හම්බ කරගත්ත ...ගොඩනගා ගත්ත සකල මනාවම ...තප්පර ගණනකදි විනාස කරලා දාලා ..දැන් උඹ ඒ මුකුත්ම දන්නෙ නෑ වගේ ලස්සනට ඉන්න අපුරුව...!!!

නුඹට අමතකයිද හරියටම මීට අවුරුදු දහ තුනකට කලින් උදා වෙච්ච ඒ මූසල දවස...? නැත්තම් හරි අමාරුවෙන් අමතක කළාද ...? අනේ මුහුද ....එදා නුඹේ ඔය මහ‍ ලොකු ලස්සන කොහෙද තිබ්බෙ....? එදා නුඹට අමතක වුණාද ඒ මිනිස්සු නුඹට කොයි තරම් ආදරේ කළාද කියලා...? නුඹ දිහා බලාගෙන ඉඳලා ...උන් කොච්චර සතුටු වුණාද කියලා, නුඹට එක මොහෙ‍ාතකටවත් දැණුනේ නැද්ද...? අනේ මට ඇත්තම කියපං...මම කාටවත්ම කියන්නෙ නැහැ....නුඹ අද පසුතැවෙනවා නේද, එදා ඒ තරම් නපුරු වුණාට ...? නොදැනුවත්වම වුණ වරදට නුඹ එදා ඉඳන් අද වෙනකම්ම....මේ මිනිස් සංහතියෙන්ම සමාව අයදිනවා නේද....???

එක අතකට නුඹ හරි...වැරැද්දක් වුණා ....නැත්තෙ නැහැ...ලොකු වරදක් වුණා ....ඒත් ඊට පස්සෙ වැරැද්ද තේරුම් අරගෙන.., නුඹ ඒ වරද හදාගත්තා ...ඒකයි නුඹ එදා ඉඳන්ම නිහඬ වුණේ .... නුඹ දන්නවද මුහුද ...මිනිසුන් එහෙමයි ....මිනිස්සුන් වෙලාවකට එක එක විදියයි...වෙලාවකට කරුණාවන්තයි ...වෙලාවකට නපුරුයි...වෙලාවකට සංවේදියි...වෙලාවකට ආවේගශීලියි ...වෙලාවකට අහිංසකයි....ඒ වගේම සමහර වෙලාවට හරිම දරුණුයි...ඉතිං...නුඹත් ඒ වගේමයි... මිනිස්සුන්ට වගේම පණ තියෙන සියලුම සත්ත්වයන්ට පොදු වුණ ඒ සදාතන ධර්මතාවෙ...ස්වභාව දහමෙ වස්තූන්ටත් පොදුයි කියලා ...අපිට අමතක වුණා...නුඹටත් අපිට වගේම හැමදාමත් එකම විදියට ඉන්න බැරි බව අමතක වෙලා...අපි නුඹට හොඳටම බැන්නා ....

එක අතකට බලනකොට ...හිතක් පපුවක් ති‍යන අච්චර පුංචි මිනිස්සු කොච්චර ලොකු වැරදි කරනවද ....? එහෙම එකේ හිතන්න පතන්න හිතක්වත් නැති මෙච්චර විශාල නුඹ අතින් කොච්චර ලොකු වරදක් වුණත් වෙන්න පුළුවන්ද ..? හැඟිම් දැනීම් තියන ..., හිතන්න පතන්න, තීරණ ගන්න...හොඳ බුද්ධියක් ලැබිලා තියන....අපේ මිනිස්සු හැමදාමත් දැන දැනම එකම වරද කරන අතරෙ....හැඟීම් නැති ....හිතන්න පතන්න, තීරණ ගන්න බුද්ධියක් නැති නුඹ ...නුඹේ වරද තේරුම් අරන් නිහඬ වුණා ...ඒ අතින් මුහුද නුඹ ඉන්නෙ...මිනිස්සු වෙලා ඉපදුණු අපිට වැඩියෙන් හුඟා...ක් ඉස්සරහින්....

ඒත් ගොඩා..ක් වෙලාවල්වලට මිනිස්සු නපුරු වෙන්නෙත්...දරුණු වෙන්නෙත් ..., අකාරුණික වෙන්නෙත්.....හේතුවක් ඇතුව...මොකක් හරිම හේතුවක් ඇතුව...දිගින් දිගටම තමන්ට ලොකුම ලොකු අසාධාරණකම් වෙනකොට ....තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති කොට...තමන්ට සවන් දෙන්න කෙනෙක් නැති කොට...ඒ දේවල් ඉවසලා දරාගන්න අමාරුම වුණ තැනදී ...මිනිස්සු හරි නපුරු වෙනවා....ලෝකෙ ඉස්සරහ කියාගන්න බැරි වුණාට ...නුඹටත් එහෙමම වෙන්න ඇති...අවුරුදු ගණනාවක් තිස්සේ ලෝකෙන් හංගගෙන හිටපු...ලෝකෙට හොර රහසේම දරාගෙන හිටපු ලොකු වේදනාවක් ...ලොකු පිඩනයක් තවත් දරාගෙන ඉන්න බැරිම වුණ තැනදි....මහ නපුරු විදියට නුඹ පිට කරලා දාන්න ඇති. ..ඉතිං මිනිසුන්ගේ පැති වලින් බලනකොට ...උනුත් සමහර වෙලාවට හරි වගේම ...නුඹ පැත්තෙනුත් මුහුද ...නුඹ හරි සාධාරණ වෙන්න ඇති.....

අපේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න බලපං...උන්ගෙ අතින් නුඹටත් වැරදි වෙන්න පුළුවන් ඉස්සරහට ...ඒත් නුඹ ඉවසපං පුළුවන් තරම් ...අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරලා දීපං ...අපේ රට ආරක්ෂා කරලා දීපං ...එච්චරයි මුහුද මම නුඹෙන් ඉල්ලන්නෙ....!

Comments