
පසුගියදා මහනුවර පැවැති අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයකදී ඊට අනුගතව පැවැති සාහිත්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් පළ කළ විද්වතකු කියා සිටියේ මහාවංශය ප්‍රබන්ධයක් බවයි. අප කරන කවර හෝ කෘතියක් ප්‍රබන්ධයක් ලෙස හැඳින්වීම ද කළ හැකි වෙතත් ඒ මහතා අදහස් කළේ මහාවංශය ඓතිහාසික ලේඛනයක් නොව හුදු නිර්මාණයක්ය යන අදහසයි.
මහාවංශය ජනගත කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මහාවංශ සම්පාදක කාර්යාලය විධිවිධාන යොදා ඇති බව දැන ගැනීමට ඇත. ඉතාමත් වැදගත් කටයුත්තක් බව සඳහන් කළ යුතු ය. එහෙත් මෙහිදී මතක් කළ යුතු විශේෂ කරුණු කිහිපයක්ම ඇත. මෙම සම්මන්ත්‍රණ ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස මහාවංශයේ ඇති වැදගත්කම විමසා බැලීමට හා ඉතිහාසය ගැන නොදන්නා වත්මන් පරපුරට අපේ ඉතිහාසයේ වැදගත් අවස්ථා ග්‍රන්ථාරූඪ කර ඇති ආකාරය පෙන්නා දීමට කරනු ලබන්නක් විය යුතු යි. එසේ නැතිව මහාවංශය අල්ලලාවත් නැතිව, ඒ ගැන කිසිම විමසීමක් නොකර එය හුදු ප්‍රබන්ධයක් යයි අදහස් දක්වන පිටරට වුවමනාවන්ට අනුව අෙප් ඉතිහාසය විග්‍රහ කිරීමට වැර දරන අයට අවස්ථාවක් ලබාදීම නොවිය යුතු ය.
මා එසේ සඳහන් කරන්නේ පසුගියදා මහනුවර පැවැති අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයකදී ඊට අනුගතව පැවැති සාහිත්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් පළ කළ විද්වතකු කියා සිටියේ මහාවංශය ප්‍රබන්ධයක් බවයි. අප කරන කවර හෝ කෘතියක් ප්‍රබන්ධයක් ලෙස හැඳින්වීම ද කළ හැකි වෙතත් ඒ මහතා අදහස් කළේ මහාවංශය ඓතිහාසික ලේඛනයක් නොව හුදු නිර්මාණයක්ය යන අදහසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙකැයි සඳහන් කළ අතර එතුමා කළ වැරැදි නිවැරැදි කිරීමට අනුලා බිසවට ද්‍රවිඩ ස්වාමිවරු කීප දෙනෙක් ම තබා ගැනීමට සිදුවූ බව ද සඳහන් කළේ ය.
මෙම විද්වතා ලියා ඇති ඓතිහාසික නවකතාවල අපේ ඉතිහාසය කැත විදියට විකෘති කර ඇත.
ඓතිහාසික නවකතා ලිවීමේදී නවකතා කරුවන් ඓතිහාසික සිද්ධියක් ගෙන ඒ වටා ප්‍රබන්ධ ගෙතීමෙන් නවකතාව ගොඩ නගනු ලැබේ.
එහෙත් එම ප්‍රබන්ධ වලින් ඓතිහාසික කරුණු විකෘති නොවිය යුතු ය. ‘රෝහිණී’ නවකතාව ලියන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන චරිත දෙක වන අතුල හා රෝහිණී ඓතිහාසික චරිත නොවේ. ඒවා දුටුගැමුණු පුවතට රිංගවා ගෙන ගොඩ නගන නිර්මාණයෙන් ඓතිහාසික කරුණු උද්දීපනය වනවා විනා කිසිම විකෘති වීමක් නොවේ.
ඩබ්.ඒ. සිල්වා මහතාගේ දෛවයෝගය, විජයබා කොල්ලය අවිචාර සමය වැනි කෘතීන් ද ඉතිහාසය පත පොවනවා විනා විකෘති කිරීමක් නොකරයි. ජේ.බී. සේනානායක මහතාගේ මේධා, චාරුමුඛ වැනි කෘතීන් එදා දඹදිව සමාජ තත්ත්වය විවරණය කරනවා විනා විකෘති නොකරයි.
මහාවංශය එවැනි ඓතිහාසික කරුණු ටිකක් අල්ලාගෙන කරන ලද නවකතාවක් වැනියයි සිතන කෙනෙකුට එය ප්‍රබන්ධයක් යයි කිවහැකි වෙනත් මහාවංශය ලිබා ඇත්තේ අවුරුදු 2500 කට අධික ඉතිහාසය තුළ සිදුවූ සිදුවීම් ඉතා සැලකිල්ලෙන් වාර්තා කිරීමටය. මහාවංශයේ ප්‍රථම භාගය ලියන්නේ ක්‍රි.ව. 5 වැනි සියවසේ මහානාම රජු දවසය. එනම් ක්‍රි.ව. 412 – 434 කාලයේය.
මහාවංශයෙන් විස්තර වන්නේ මහසෙන් රජු දක්වා පමණ පොත ලියන කාලය වනවිට මහසෙන් රජු ද මිය ගොස් වසර 100 ක් පමණ ඉක්ම ගොස් ඇත. එම නිසා මහාවංශ කතුවරයා ඇස් පනාපිට දුටු කිසිවක් මහාවංශයේ නැත. සියලු තොරතුරු පූර්ව ලිඛිතය හා ඉතිහාසානුගත කතා ද ආශ්‍රයෙන් සපයාගෙන ඇත.
මහානාම හිමියන් අයත් වන්නේ ථෙරවාදී භික්ෂු පරම්පරාවට ය. එම නිසා මහාවංශය බුද්ධෝත්පත්තියේ සිට ආරම්භ කොට විජයාගමනයෙන් ලංකාවේ ඉතිහාසය පටන්ගෙන මහසෙන් රජු දක්වා තොරතුරු විස්තර කරයි.
මෙහිදී ථෙරවාදී පක්ෂයට උදව් කිරීම රජවරුන් ගැන වැඩිපුර වර්ණනා කොට ඇති බව ඇත්ත ය. එහෙත් ථෙරවාදයට පමණක් නොව බුද්ධාගමට පවා විශුද්ධ වූ අය ගැන තොරතුරු ඇතුළත් කිරීම අත්හැර නැත. අඛණ්ඩව සියලු තොරතුරු ඇතුළත් කළ යුතු වූ නිසා එවැනි අවස්ථා කෙටියෙන් සඳහන් කරයි.
බුද්ධාගමට විරුද්ධව වැඩ කළ එළාර ගැන සඳහන් කිරීමේදී ඔහුගේ සියලු හොඳ ගති ගුණ සඳහන් කිරීමට මැළිවී නැත. එළාර ගැන සඳහන් කිරීම ආරම්භ කරන්නේ ඔහු හතළිස් හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා.
එළාර රජ්ජුරුවෝ නඩු විසඳන අවස්ථාවේ සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව තීන්දු දුන්නා යැයි සඳහන් කරමින් ය.
එසේ ම සිදුවන අසාධාරණයන් කීමට ඝණ්ඨාරයක් එල්ලා තිබූ බවත් එය ඇද එළදෙනකුන් කළ පැමිණිල්ලට රජු සිය පුතා කරත්ත රෝදයට යටකොට මැරවූ පුවතත්, කුරුළු පැටවෙකු අල්ලාගත් සර්පයෙකු මව් කිරිල්ලගේ පැමිණිල්ල මත සර්පයාගේ කුස පලවා පැටියා ඉවත් කොට පෙනය උලකින් විද තල් ගසේ එල්ලූ බවත්, මිහින්තලේ භික්ෂූන්ට දන් පිළිගැන්වීමට ගොස් එද්දී කරත්ත රෝදය වැදී මිහින්තලා ස්තූපයේ කොටස් කැඩී ගිය විට එම රෝදයෙන් ම තමාත් යට කරම් යයි මහ පාරේ දිගාවූ බවත් අකලට වට වැස්සකින් මැහැල්ලකගේ වී තෙමී ගිය විට ඇය කළ පැමිණිල්ලට රජු සත්‍ය ක්‍රියා කොට කලට වැසි වසින්නට සැලැස්වූ බවත්, ලෙසින් එළාර රජුගේ ගුණ බොහෝ සෙයින් දක්වා ඇත.
මෙයින් පැහැදිලි වන්නේ මහානාම හිමියන් තොරතුරු සඳහන් කිරීමේදී අපක්ෂපාතව විස්තර කිරීමට උත්සාහ කර ඇති බවයි. මහා විහාරයට විරුද්ධව වැඩ කළ එහෙත් රටට මහත් වැඩ කොටසක් කළ මහසෙන් රජු ගැන කෙටියෙන් සඳහන් කර ඇතත් ඒ රජු කරවූ වෙහෙර විහාර ද, වැව් අමුණු ද ගැන ගාථා 12 කින් විස්තර කර ඇත.
ඔහු ගැන විස්තර අවසන් කරන්නේ “මේ ආකාරයෙන් මහසෙන් රජ්ජුරුවෝ අතිවිශාල වශයෙන් පිනුත් පවුත් රැස්කර ගත්හ” කියා ය. එසේ සඳහන් කරන්නට ඇත්තේ මුලින් ථෙරවාදීන්ට විරුද්ධව වැඩ කළ නිසා විය හැක.
ෙඑතිහාසික ලේඛන වල සත්‍යා සත්‍යතාවය විමසා බලන්නේ තත්කාලීන අභිලේඛනමය සාධක සමඟ සසඳා බැලීමෙනි. මහාවංශයේ සඳහන් කරුණු අභිලේඛන සමඟ සසඳා ඒවා ඓතිහාසික සත්‍යයන් බව පරණවිතාන මහතා පෙන්නාදී ඇත. රජගලින් හමුවූ ලිපියක ‘යෙ ඉමදිප පටමය ඉමියා අගතත ඉධික (තෙමෙ) හිඳ තෙහෙ තුමෙ” යන ලිපියෙන් කියන්නේ මෙම දිවයිනට ඍද්ධියෙන් පැමිණි ඉට්ඨිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන්ගේ ස්තූප’ කියා ය.
මෙම ලිපිය කෙසේ විග්‍රහ කළත් එහි සඳහන් ස්තූපය මහින්ද හා ඉට්ඨිය ධර්මදූතයන් වහන්සේලාගේ ධාතු නිදන් කොට සැදුව බව දක්වයි.
මෙහි සඳහන් ධර්මදූතයන් වහන්සේලා දෙනමගෙන් වැඩිමලා මහින්ද හිමි ය. උන් වහන්සේ අවුරුදු අසූවක් ආයු වලදා උත්තිය රජතුමාගේ අටවෙනි වර්ෂයෙහි පිරිනිවන් පෑ බව මහාවංශය කියයි. මෙම ලිපියේ ඉට්ඨිය හිමි මුලින් සඳහන් කර ඇත්තේ රජගල ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරය බාරව කටයුතු කර ඇත්තේ උන්වහන්සේ නිසා විය හැකි ය.
ක්‍රි.පූ. 44 – 22 කාලයේ කූටකණ්ණතිස්ස රජුගේ රාජ්‍ය කාලයට අයත් ලෙස පරණවිතාරණ මහතා හඳුන්වන මිහින්තලා ලිපියක මහිද තෙරහව භද්‍රසාල තෙරහව, ඉටික තෙරහව’ ආදී ලෙස ධර්මදූතයන් වහන්සේලා හතර නමකගේ ප්‍රතිමා ගැන සඳහන් වේ.
මෙම ලිපිවලින් මහින්දාගමනය ගැන මහාවංශයේ කරන විස්තර සත්‍ය බව ඔප්පු වේ. පරණවිතාරණ මහතාගේ පුරාවිද්‍යා පර්යේෂණ, සිංහලයේ වැනි ග්‍රන්ථයන් ගෙන් මහාවංශයේ සඳහන් බොහෝ තොරතුරු ඓතිහාසික සත්‍යයක් බව ඔප්පු කර ඇත.
මහාවංශය ලිවීමේදී ඇතැම් තැන් කෙටියෙන් කීමත් සමහර තැන් උත්කර්ෂයෙන් වර්ණනා කිරීමත් දක්නට ඇත. දුටුගැමුණු පුවත, මහින්දාගමනය ආදිය උත්කර්ෂයෙන් වර්ණනා කරන තැන් ය. එසේ වර්ණනා කළත් ඓතිහාසික සත්‍යයන්ට හානියක් වී නොමැත. මහාවංශයේ වැදගත්කම මෙවැනි මෙවැනි කෙටි ලිපියකින් විස්තර කළ නොහැකිය.
අවසාන වශයෙන් ද සඳහන් කළ යුත්තේ එය ප්‍රබන්ධයක් නොව ඓතිහාසික තොරතුරු තත්වාකාරයෙන් දක්වන ලේඛනයක් බවයි.