
තේරී මේ ලිපිය ලියන අවස්ථාවේ මම සිටින්නේ රෝහල් ඇඳක් මතය. මගේ සිතට සිය දහස් වරක් ඔයාව මතක් වෙනවා. ඒත් දුරකථන ඇමැතුමක් දීමටවත් මට හැකියාවක් නැත. අද මා කාත් කවුරුවත් නැතුව තනිවෙලා. මරීනා එයාගේ දරුවන් සමඟ පිටරට ගියා. අයිවන් එයාගේ දරුවන් සමඟ ලංකාවේ ඈත කෙළවරටම ගියා. සරීනා නැතු වුණාට පස්සේ මට හිටියේ දෙවියන් විතරමයි. මම දවස් ගෙවා ගන්නේ හරිම අමාරුවෙන්. ජීවිතේ වැඩි හරියක් ඉස්පිරිතාලේ. මේ කාලේ මස්කෙළියට හරිම සීතලයි. උදේ කාලයට ගස් වැල් සොයා ගන්න බැරි තරමට මීදුමෙන් වැසිලා. මට මතකයි. ඔයත් මාත් මුණ ගැහුණු දවස. ඒ දවසත් අද වගේම සීතල දවසක්. මම අපේ ඉස්කෝලේ ළමයි ටිකත් අරන් මැච් එකට ආවා. ඔයාත් ඔයාගේ ළමයිත් අරන් මැච් එකට ආවා. ඔයා ඇඳලා හිටියේ රෝස පාට සාරියක්. ඒ සාරියේ රතු පාට බීක්කු බීක්කු තිබුණා. ඔයා යන්තමට මාත් එක්ක හිනා වුණා. මාත් හිනා වුණා. අපේ ඉස්කෝල දෙක අතර මැච් එක පටන් ගන්න තිබුණේ විනාඩි පහළොහක් විතරයි. අපේ කොල්ලෝ කෑගහලා කිවුවා අපි දිනනවා කියලා. ඊට එහා ඔයාගේ කොල්ලොත් කිවුවේ ඔයාලා දිනනවා කියලා. කොහොම වුණත් ඔයාගේ ඉස්කෝලේ කොල්ලෝ දිනුවා. මං ඔයා දිහා හිනාවෙලා බැලුවාහ ඔයා ආඩම්බරයෙන් බිම බලාගත්තා. මට ටිකක් ලැජ්ජ හිතුණා. ඒත් කමක් නෑ. ඔයාගේ ඉස්කෝලේ කියන්නේ ඔයා, මං හිතුවේ එහෙමයි. කාලය ගෙවී ගිය ඉක්මන්. ආයිත් වාතාවක් අපි මුණ ගැහුණේ පාසල් පර්ෂද ගුරු සම්මාන උළෙලෙදී. එදා ඔයා දක්ෂම ක්‍රීඩා ගුරුතුමිය ලෙස සම්මාන ලැබුවා. මිස්ගේ නම මොකද්ද?
මම තේරී අචලා දිතේන්ද්‍රි. මගේ අම්මා සිංහල, තාත්තා දෙමළ. අපිට භාෂා දෙකම පුළුවන්. ඔයා මං ඇහුවටත් වඩා කිවුවා. අහන ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්න ඉස්කෝලේ පුරුදු කළේ නැද්ද? මම හිනාවෙලා ඔයාගෙන් ඇහුවා. කියාලා දීලා තියෙනවා. ඒත් මට හිතුණා ඔයා ප්‍රශ්න වැලක් අහවි කියලා. අන්තිමේදී ලැජ්ජ වුණේ මමයි. ඒත් මගේ හිතේ ඔයා ගැන ඇඳුන සිත්තම කවදාවත් බොඳ වුණේ නැහැ.
ඔයයි මායි ළංවුණත් දෙමව්පියෝ ඒකට කැමැති වුණේ නැහැ. මං දෙවියන්ගෙන් කොච්චර ල්ලුවද ඔයා මට දෙන්න කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. තේරී පුළුවන් නම් ඔයා මාව බලන්න එන්න.
මීට විල්සන් අල්මේදා
අයියෝ විල්සන් මහත්තයා ඔය කකුල හොලවන්න එපා. දොස්තර මහත්තයා කොච්චර කියලා තියෙනවා. පරිස්සම් වෙන්න කියලා. මවෙතට ආ නර්ස් නෝනාගේ හඬින් මං පියවි ලොවට ආවේ ඉක්මන් වේගයෙනි.
''මගේ ටිකට් කපන්නේ කවදද?''
ලබන සතියේ අන්තිම විතර. ඒත් ඉතින් විල්සන් මහත්තයාට යන්න තැනක් තියෙනවාද?
''යන්න තැනක් නැහැ. ඒත්..... මේ නත්තල කොහේ හරි සමරන්න පුළුවන් වෙන්න කියලා මම දෙවියන්ගේන ඉල්ලනවා.''
''කොහේ හරි? ඒ කියන්නේ?''
''මං දන්නේ නෑ. ඉස්සෙල්ලා හිටිය වැඩිහිටි නිවෙසදිවත්. මං හැම නත්තලක්ම සමරන්න මගේ යාළුවෙක් එනකං බලාගෙන ඉන්නවා.''
''ඒ කියන්නේ?''
විල්සන් මහත්තයාගේ කතාවෙන් නර්ස් අන්දමන්ද වූවාය.
''මං මේ පාර නත්තලටත් එයාට එන්න කියාල මේ ලියුමක් ලිවුවා. පුළුවන් නම් මේක තැපැල් කරගන්න මට උදව් කරන්න.''
නර්ස් නෝනා ලිපිය අතට ගත්තාය. ඇගේ මුහුණේ තිබුණේ අඳුරු පැහැයකි. කළු වලාකුළක් එකෙනෙහිම ඇවිත් අහස වසා ගත් කලක මෙන් විල්සන් මහතාට දැනුණි.
''මහත්තයාගේ යාළුවා කවුද?''
''ඒක ඔය දරුවාට කියන්න බැහැ. මගේ යාළුවා මේ ලංකාවේ කොයි කෙළවරක හරි ඇති එයා දක්ෂ ගුරුවරියක්.''
''එයා ඒ කාලේ හරිම ලස්සනයි. හරියටම වලාකුළු නැති දවසට හඳ පායපුවම අහස කොච්චර ලස්සනද?
නෙළුම් කොළවලට පිනි බිංඳු වැටුණහම කොච්චර ලස්සනද? ඒවායේ තිබුණේ අමුතු ලස්සනක්. ඒවගේ තමයි එයත්. එයා හරිම අමුතුයි. ඒත් ඒ හැම සිතුවිල්ලක් හරිම ලස්සනයි. එයා පරාද වුණත් හිනා වුණා. දිනුවත් හිනා වුණා. එයාගේ හිනාව නතර කරන්න බැරි වුණා. ඒත් එකම එක දවසක් එයා හොඳටම ඇඬුවා. ඒ ඇඬුම නවත්වන්න කාටවත් බැරි වුණා.''
''ඒ ඇයි?''
විල්සන් මහත්තයා සුසුමක් හෙළුවේය.
''ළමයි සෙල්ලම් කරනකං එයා ග්‍රවුන්ඩ් එකේ අඹ ගහ යට වාඩි වෙලා කවි ලිව්වා. එහෙම ලියන හැම කවියකම මං හිටියා.''
''මොනවා?''
''මේ තියෙන්නේ එයා මට දුන්න අන්තිම කවිය''
තඹුරු පිපුණට
කමක් නෑ තව
ඔහේ තව තව පිපෙද්දෙන්
සුළං හැමුවට කමක් නෑ තව
අනේ රොන් සුනු ගෙනෙද්දෙන්
සිතූ සිතුවිලි පුරා අප හිත්
බැඳෙද්දෙන් තව බැඳෙද්දෙන්
එක්ව යා ගත නොහැකි මුත් සිත්
තවත් සවි වී තිබෙද්දෙන‍්
''මේ අකුරු මට හොඳට පුරුදුයි.''
''වෙන්න බැහැ. ඔය ළමයාට කොහේ පුරුදු වෙන්න ද?''
නර්ස් ගිය වහාම විල්සන් මහත්තයා නින්දට වැටුණේය. සති දෙකක් ඉක්මයාමෙන් පසු විල්සන් මහත්තයා නැවත වැඩිහිටි නිවාසයට පැමිණියේය.
''විල්සන් අද නත්තල් රෑ පුජාවට යන්නේ නැද්ද?''
''යනවා. යනවා.''
විල්සන් එකහෙළාම උත්තර දුන්නේය.
''මේ නත්තලටත් ඔයාගේ යාළුවා ආවොත්..''
ඇල්බට් හයියෙන් හිනා වුණේය.
''මේ නත්තලට නම් එනවාමයි.''
''විල්සන් කොහොමද එහෙම කියන්නේ ? දේව කැමැත්ත අපට වෙනස් කරන්න බැහැ. ඇත්තට අපේ යෝජනා නෙවෙයි දෙවියන් වහන්සේ ගේ යෝජනා.''
''ම්හ්. ඒත් මං ඉල්ලනවා. මේ නත්තලට හරි එයා එන්න කියලා. ඒක මගේ අහිංසක බලාපොරොත්තුවක් ඇල්බට්.''
''මං දන්නවා. මං දන්නවා. අපි උන්වහන්සේගෙන් ඉල්ලමු.''
''තරු පිරි අහස හරිම ලස්සනයි. හඳ තිබුණේ ඈත කෙළවරේ. ශාස්ත්‍රයන්ට මඟ කියූ තරුවත් එයාට මඟ කියනවා නම්. හරියටම ඇන්තනීස් දෙව්මැඳුර ළඟට රෑ පූජාවට එන්න කියල.''
විල්සන් ඇන්තනීස් දෙව් මැඳුර ළඟ බංකුවක් උඩ වාඩි ගත්තේය. සීතල දරාගන්න බැහැ. අසනීප වෙලා හිටිය අලුත නිසා තාමත් ඇඟපත එතරම්ම වාරු නෑ. ඒත් අද නම් තේරී එන්නම ඕනේ. දෙවියන් වහන්සේ අන්තිම මොහොතේ හරි මට ආශිර්වාද කරාවි. විල්සන් තමාට කියා ගත්තේය දරාගන්න බැරි නත්තල් සීතල විල්සන්ගේ සිරුර වෙළා ගත්තේය. විල්සන් ගල් බංකුව මත ඇල වුණේය. යන්තමට ඇස් පිය වුණි. ඒ සීතල කොහේදෝ ඈතකට විල්සන් අරං යන්නට සූදානම් ය.
''ආ.....ආ....''
විල්සන් බංකුව මත ඇල වි අනිත් පැත්තට හැරුණේය.
එකෙනෙහිම රතුපාට කාර් එකක් ඇවිත් දේවස්ථානය ඉදිරිපිට නතර කෙරුණි. ඉන් බැසගත් කාන්තාවක් සහ තරුණියක් විල්සන් සමීපයට පැමිණියහ.
''විල්සන්....'' . කාන්තාව කෑ මොර දුන්නාය.''
''අම්මා මේ පහු ගියදා අපේ හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කළ විල්සන් මහත්තයා.''
''අනේ දෙවියනේ මං පරක්කු වුණා.''
කාන්තාව කෑ මොර දී ඇඬුවාය
විල්සන්ගේ ගේ නෙත් යන්තම් විවර විය.
''තේරී..... තේරී....''
දෙවියන් අන්තිම තප්පරයේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කළා.