
ඩයනා නීති රාමුවක කොටු වූයේ නැත. තම හිතට එකඟව කටයුතු කළා පමණි. ඇය පැවසුවේ හදවතට අනුව කටයුතු කරන බවයි. කේට් හෝ මේගන් තමන්ටම කියා අනන්‍යතාවක් මත කටයුතු කරන්නේද එසේත් නැත්නම් ඩයනාට අනුව කටයුතු කරන්නේ දැයි කියන්නට තවමත් කල් වේලා වැඩිය. කෙසේ වෙතත් ඩයනා අභිබවා කටයුතු කරන්නට හිතන්නේ නම් ඔවුන් තව තවත් සිතිය යුතු වන්නේ ඇය කිසි විටෙකත් ජනප්‍රියත්වය සොයා නොගිය බැවිනි.
එංගලන්ත රජ පවුලේ අමරණීය තාරකාව වන්නී ඩයනා කුමරිය, රාජකීය ලේ උරුමක්කාරියක නොවේ. චාර්ල්ස් ගෙන් වෙන් වූ, ඩොඩී හා ආදරයෙන් වෙළුණ ඩයනාට එරට ජනතාව මෙන්ම ලොව පුරා ජනතාව ගේ ඇති ආදරය තවමත් පවතින්නේ රජ පවුලට බොහෝ ඉදිරියෙනි. 'එංගලන්තයේ රෝස කුසුම' මිලින වී වසර 30 ක් ගත වෙද්දී පවා ඇය එදා මෙන්ම අදත් කිසිදු වෙහෙසකින් තොරව එම ජනප්‍රියත්වය පවත්වා ගෙන යෑම රජ පවුලේ ද අසහනයට හේතු වී තිබේ. රජ පවුලට ඇති ජනතා ආදරය රැක ගැනීමටත් පවත්වා ගැනීමටත් හැකි වූයේ ඒ පවුලට සම්බන්ධ වූ පිටස්තරයකු හරහා බව නොරහසකි.
ඩයනා ගේ හිස් තැනට පැමිණි කැමිලා ට ළඟා වීමට සිතන්නටවත් නොහැකි වූ තැන යන්තමින් හෝ හඳුනා ගත් කේට් තම නැන්දනිය අනුගමනය කිරීමට බොහෝ අවස්ථාවල උත්සාහ ගනු තවමත් දක්නට ලැබේ. ඩයනා මෙන්ම ඉහළ මධ්‍යම පන්තියේ උපත ලැබූ ඇය නිරන්තරයෙන් ජනතාවට සමීප වීම උත්සාහ ගන්නියකි. දරුවන් කෙරෙහි ඩයනා දැක් වූ ආදරය රැකවරණය ලබා දීමට උත්සාහ දරන්නියකි. කෙසේ වුවත් බොහෝ දෙනා සිතුවේ රජ පවුලේ ඩයනා ගේ හිස් තැන කේට් විසින් පුරවනු ඇති බවයි. එහෙත් මේ වන විට දක්නට ඇත්තේ ඇය යම් ආදරයක් ජනප්‍රියත්වයක් හිමි කර ගෙන ඇතත් ඒ ඩයනා තරම් නොවන බවයි.
මේ අතර තවත් එකියක කරළියට පැමිණ තිබේ. ඒ ඩයනා ගේ කනිටු පුත් හැරී හා විවාහ ගිවිස ගත් රැචෙල් මේගන් මාර්කල් ය. ඇය උපදින්නේත් හැදී වැඩෙන්නේත් බ්‍රිතාන්‍යයේ මායිමකවත් නොවන ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් හි වීම විශේෂ කරුණකි. කොටින්ම කියතහොත් ඇය ඇමරිකානු ජාතික යුවතියකි. පියා කොකේසියානු ජාතිකයකු බවත් මව අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාවක් බවත් මේගන් හෙළි කර තිබේ. ' මම භාගයක් සුදු වගේම භාගයක් කළු ජාතිකයෙක්'' මේගන් පවසයි. දන්නා තරමට රජ පවුලට මෙවන් මිශ්‍රණයක් සම්බන්ධ වන්නේ ද පළමු වරටය.
රජ පවුලේ රාජ ඌෂ්ණය ටිකෙන් ටික පහව යන්නේ පරම්පරාවෙන් පරම්පරාවටදැයි සිතේ. විවාහට පෙර ඩයනා රැකියා කිහිපයකම නිරත වී ඇති අතර රජ පවුලට සම්බන්ධ වූවන් අතරින් විවාහයට පෙර එවන් අඩු වැටුප් රැකියාවක නිරත එකම තැනැත්තිය ඩයනා වූවාය.
ළදරු පාසලක සහායිකාවක ලෙස මෙන්ම බ්‍රිතාන්‍යයේ සිටි ඇමෙරිකානු පවුලක දරුවකු රැක බලා ගන්නා නැනී කෙනකු ලෙස ද ඇය සේවය කළාය. එවන් යුවතියක විවාහ කර ගත් චාර්ල්ස් රාජකීය සම්ප්‍රදායට පරිබාහිරව කටයුතු කළ ඩයනා ගේ ක්‍රියා කලාපය අනුමත නොකළ බව හෙළිදරව් වන්නේ ඔවුන් ගේ විවාහය දෙදරා යාමෙන් පසුය. ඩයනා විවාහ ගිවිස ගන්නා විට ඉතා ලාබාල තරුණියක් වූ අතර ඉතා ලජ්ජාශීලි තැනැත්තියක් ද වූවාය. චාර්ල්ස්ට වඩා වසර 13 කින් පමණ බාල ඩයනා විවාහ වන තුරු කන්‍යාවක වූ බව ඒ දින වල වාර්තා විය.
ඊළඟ පරම්පරාව මේ ක්‍රමය ද වෙනස් කරමින් තමන්ට වඩා වැඩි මහල් තරුණියන් හා සම්බන්ධ වනු දක්නට ලැබුණි. කේට් හා විලියම් අතර පරතරය මාස පහක් පමණ වුව ද මේගන් හැරී ට වඩා වසර තුනකින් වැඩිමහල් ය. ඇය වරක් විවාහ වූ තැනැත්තියකි. 2011 වසරේ දී ට්‍රෙවොර් එන්ගල්සන් සමග විවාහ වූ මේගන් 2013 වසරේ දී ඔහුගෙන් දික්කසාද වූවාය. මේගන් මුලින්ම නිදහස් විචිත්‍ර අක්ෂර කලාවේදිනයක් ලෙස රැකියාවක නිරත වූ අතර පසුව දහවල විකාශය වන ජෙනරල් හොස්පිට්ල් නම් දීර්ඝ නාට්‍ය මාලාවකට සම්බන්ධ වූවාය. තවත් කතා මාලාවල වැදගත් නොවූ ඉතා කෙටි චරිත සඳහා ඇයට අවස්ථා කිහිපයක්ම ලැබෙන්නේ ඉන් පසුවයි. කෙසේ වුවත් මේගන් ගේ වෘත්තීය ජීවිතයේදී ඇයට පහසුවෙන් වඩාත් හොඳ චරිත ලැබී නැත.
'' මම කළු චරිත සඳහා සුදුසු තරම් කළු නොවනවා වගේම සුදු චරිත සඳහා ප්‍රමාණවත් තරම් සුදු නොවේ" යැයි මේගන් 2015 වසරේ දී බොහෝ කණස්සල්ලෙන් ලියා තැබුවේ ඒ අතරමැදියකු ලෙස රැකියාවක් ලැබීමේ අපහසුතාව වචන වලට පෙරළමිනි. ඇය විවාහ වන්නේ ද නළුවකු සහ නිෂ්පාදකයකු ද සමගිනි. 2004 වසරේ ආරම්භ වූ ඔවුන්ගේ සබඳතාව 2011 ජැමෙයිකාවේ දී සිදු කෙරුණ විවාහය දක්වා දුර දිග ගියේය. එහෙත් ඒ විවාහය 2013 දී දික්කසාදයෙන් කෙළවර විය.
මේගන් හා හැරී සම්බන්ධතාවයට වැඩි කාලයක් ගත වී නැත. ඔවුන් පවසන පරිදි දෙදෙනා දැන හඳුනා ගෙන ඇත්තේ 2016 වසරේ ජූනි මාසයේ දීය. ඔවුන් දෙදෙනාගේම මිතුරෙකු මේ සම්බන්ධතාවයේ පසුබිම සකසා තිබුණි. ඒ වසරේ ඔක්තෝබරයේ සිටම මාධ්‍ය මගින් හැරී- මේගන් සබඳතාව හෙළි කරන්නට පටන් ගත්තේය.
ඊට පිළිතුරු වශයෙන් රාජකීය පවුලේ සන්නිවේදන ලේකම් විසින් මේගන්ට ඇඟිල්ල දිගු කරමින් විවේචනාත්මක නිවේදනයක් නිකුත් කෙරිණි. මෙහිදී ජාතිවාදය සහ අපහාස කිරීම් සියල්ල එල්ල වූයේ මේගන් වෙතය.
කෙසේ වුවත් 2017 සැප්තැම්බරයේ දී වැනිටි ෆෙයාර් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේගන් තමන් සහ හැරී අතර පවතින ආදර සම්බන්ධතාව පිළිබඳ හෙළි දරව් කළාය. එහිදී ඇය පැවසුවේ මාධ්‍යවලින් ඔවුන් පිළිබඳ කතා බහ කිරීමට මාස හයකට පමණ පෙර සිටම ඔවුන් එකිනෙකා හමු වූ බවයි. ඒ මාසයේම පසු දිනෙක ඔවුන් පළමු වරට ජනතාව ඉදිරියේ පෙනී සිටියේ ටොරොන්ටෝහි නිල රාජකීය ගිවිස ගැනීමත් සමගය. එය නොවැම්බර් අවසානයේ දී නිවේදනය කෙරෙන තුරු කිහිප විටක්ම මේගන්ට හැරී ගේ මිත්තණිය හමු වීමට සිදු විය. සුපුරුදු පරිදි සිය අවසරය ලබා දීම සඳහා දෙවැනි එලිසෙබෙත් රැජන විවිධ නීති රීති ගෙන එන්නට ඇත. 2018 මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත හැරී- මේගන් මංගලෝත්සවට පෙර බෞතීස්ම කර ඇය එංගලන්ත දේවස්ථානයේ සහතික කළ යුතුය. එසේම ඇය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිකම ද අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ විවාහයෙන් පසු ලන්ඩනයේ කෙන්සිංග්ටන් මාලිගා පරිශ්‍රයේම පිහිටි නොටින්ග්හැම් මන්දිරය ඔවුන් ගේ වාසස්ථානය වනු ඇත.
ඩයනා තරමට නොවූවද කේට් මෙන්ම මේගන් ද ජනතාව අතරට යමින් සිටී. කේට් වෙනමම අයුරකින්ද මේගන් තවත් අයුරකින් ද ඒ සඳහා කටයුතු කරන අයුරු දක්නට ලැබේ. කිසිදු තරගයක් නොමැතිව ඩයනා පැමිණ ඇති ස්ථානයට පැමිණීමට දෙදෙනාටම දැඩි තරගයක් දෙන්නට සිදු වී ඇත. කේට් කෙසේ වෙතත් මේගන් ගේ ගමන් මාර්ගය කෙසේ විය හැකි දැයි දැනටමත් ලෝකයා විමසිල්ලෙන් බලා සිටින්නේ ඇයගේ ක්‍රියා කලාපය නැන්දණියට වඩා බෙහෙවින්ම වෙනස් ආකාරයක් ගන්නා නිසාය.
ඩයනා නීති රාමුවක කොටු වූයේ නැත. තම හිතට එකඟව කටයුතු කළා පමණි. ඇය පැවසුවේ හදවතට අනුව කටයුතු කරන බවයි. කේට් හෝ මේගන් තමන්ටම කියා අනන්‍යතාවක් මත කටයුතු කරන්නේද එසේත් නැත්නම් ඩයනාට අනුව කටයුතු කරන්නේ දැයි කියන්නට තවමත් කල් වේලා වැඩිය. කෙසේ වෙතත් ඩයනා අභිබවා කටයුතු කරන්නට හිතන්නේ නම් ඔවුන් තව තවත් සිතිය යුතු වන්නේ ඇය කිසි විටෙකත් ජනප්‍රියත්වය සොයා නොගිය බැවිනි.
මේගන් ජනප්‍රියත්වය සොයා යන්නේ ද, ජනප්‍රියත්වය මේගන් සොයා යන්නේ ද මේ දෙකම නොවේ නම් මේගන් තමන් ගේ පාඩුවේ තමන් සොයා යන්නේ දැයි දන්නේ ඇයම පමණි. අවසානයේ හැරීට මේ සියල්ල දෙස බලා සිටින්නට පමණක් වේදැයි සැක සහිතය.