
කොලරා රෝගීන් නව ලක්ෂයක්, උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි හාරලක්ෂයක් හා වඩාත් දරුණු තත්ත්වයේ සිටින එක්ලක්ෂ පනස් දහසක් ළමයි මියයාමේ තර්ජනයක්, දරුණු ආහාර හිඟයකට මුහුණ දී සිටින 70 ලක්ෂයක් හා සාගතයට මුහුණ දෙන දෙකෝටියකට අධික ජනතාවක් වෙසෙන රටක්...
මේ කරුණු වලින් කියැවෙන රට ගැන ඔබ දැනුවත්ද? මින් පෙර මේ තොරතුරු අසා තිබේද? ඉන් කියැවෙන්නේ සෝමාලියාව හෝ කොංගෝව හෝ ඉතියෝපියාව වැනි සාගතයෙන් බැටකෑ අප්‍රිකානු රටක් ගැන නොවේ. තෙල් සල්ලි වලින් ආඩ්‍ය සුඛෝපබෝගී ජන ජීවිත පවතින බවට අපි අසා ඇති හා ලෝකයේ විවිධ රටවලින් දැසිදස්සන් ගෙන්වාගෙන සුකුමාර ජීවිත ගතකරන මිනිසුන් සිටින බවට ලෝකය අසා ඇති අරාබිකරයේ රටක් ගැන යැයි කීවොත් ඇතැම් විට බොහෝ දෙනා පුදුමයට පත්වනු ඇත. එහෙත් ඇත්ත එයයි. අද වනවිට යේමන ජනතාව තමන්ගේ රට හඳුන්වන්නේ මිහිපිට අපාය ලෙසයි. අපායේ පැහෙන නිරිසතුන් ලෙස ඔවුහු තමන්ව හදුන්වා ගනිති.
යේමනය යනු අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටි රාජ්‍යයකි. එය යුද ඉතිහාසයට පෙර සිටම හැඳින්වුයේ අරාබියේ දුප්පත්ම රට ලෙසයි. යේමනය දුප්පත් වුයේ එරට සම්පත් හිඟ නිසා නොවේ. පාලකයන්ගේ වැරැද්දෙනි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් වරෙක යේමනය හැඳින්වුයේ මැදපෙරදිග කෙම් බිමක් ලෙසයි. අනෙකුත් අරාබි රටවල මෙන් යේමනයේද ප්‍රධාන ආදායම ඛණිජතෙල් කර්මාන්තයයි. එය එරට ජාතික ආදායමෙන් සියයට 25ක් සපුරාලයි. එමෙන්ම බොහෝ අරාබි රටවලට නැති ඉතා හොද කෘෂිකාර්මික ප්‍රවණතාවක් යේමනය සතු වෙයි. අරාබි අර්ධද්විපයේ වඩාත්ම වැදගත් හා ක්‍රමෝපායයික අතින් බෙහෙවින් වැදගත් ඒඩන් වරාය අයත්වන්නේද යේමනයටයි. මේ අතින් බලන කල යේමනය කිසිදු අතකින් දුප්පත් වීමට හේතුවක් ප්‍රවණතාවක් නොපෙන්වයි. එරටට මේ අභාග්‍යය උදා වුයේ මුලික වශයෙන්ම දුෂිත පාලකයන් නිසාවෙනි. එපමණක්ද නොවේ. දිගුකාලීන දේශපාලන අර්බුද නිසා අද මේ රට බරපතල කඩාවැටීමකට ලක්ව තිබේ. එය අද මැදපෙරදිග ෂියා සුන්නි මුස්ලිම් බේදයේ දඩබිමකි. අසල්වැසි සවුදි අරාබිය මැදපෙරදිග බලවතා ලෙස ඉස්මතු වීමේ අභිලාෂයෙන් ක්‍රියාකරන අතරම යේමනයේ ඉතා බිහිසුණු යුද්ධයක පාර්ශවකරුවෙකුව සිටිමින් විනාශකාරි බලවේගයක් ලෙස හැසිරෙන බවට අන්තර්ජාතික ප්‍රජාව චෝදනා කරයි. මේ නිසා මැදපෙරදිග කලාපයේ ඉතා බිහිසුණු මානව ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතී. ප්‍රශ්නය වන්නේ තවමත් ලෝකය යේමනය හා එහි කණගාටුදායක ඉරණම ගැන අවධානය යොමු නොකිරීමයි. මේ නිසා දුකට පත්ව ඇත්තේ යේමනයේ ජනතාවයි. ඔවුනට අවශ්‍ය මානුෂිය සහනාධාර පවා නොලැබෙන ආකාරයට සවුදි අරාබිය නාවික හා වෙළෙඳ සම්බාධක ක්‍රියාත්මක කරවීම නිසා තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ.
යේමනය යනු වරෙක දෙකඩ වෙමින් යළි එක්වෙමින් හා නැවතත් දෙකඩවෙමින් පැවති රාජ්‍යයකි. ඉතිහාසය පුරා යුදෙව් අරාබි හා අප්‍රිකානු පාලනයන් යටතේ පැවති යේමනය පසුකාලීනව එනම් විසිවැනි සියවස මුල භාගයේදි බ්‍රිතාන්‍ය හා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයන් අතර බෙදී ගොස් තිබිණ. වර්තමානයේ අපි දකින එක්සත් යේමනය බිහිවන්නේ උතුරු හා දකුණු රාජ්‍ය අතර ඇතිකරගත් සම්මුතියක ප්‍රතිඵලයක් ලෙසින් 1990 දශකයේදීය. එහෙත් වර්තමානය වනවිට නැවතත් යේමනය නොනිල වශයෙන් දෙකඩ වී තිබේ. සනා අගනුවර ඇතුළු උතුරුදිග ප්‍ර දේශය ඉරාන ලැදි හුති කැරළිකරුවන් අතටත් ඒඩන් වරාය ඇතුළු දකුණු දිග පෙදෙස යේමන් රජය අතටත් පත්ව තිබේ. මේ නිසා තනි රටක් වුවද යේමනයට අගනුවරවල් දෙකකි. පාලන අධිකාරීන් දෙකකි. සියල්ලටම වඩා ඉතා දරුණු ලෙස එරට ෂියා සුන්නි වශයෙන් බල කදවුරු දෙකක්ද ස්ථාපනය වී තිබේ. මෙය මැදපෙරදිග කලාපයටම තර්ජනයක් එල්ල කරන තත්ත්වයකි.
යේමනයේ ගැටලු ආරම්භ වන්නේ 2011 අරාබි වසන්තයත් සමගයි. මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කළාපයේ බොහෝ රටවල් මෙන්ම යේමනයද අරාබි වසන්තයේ උද්ඝෝෂණ ව්‍යාපාර වලින් අකර්මණ්‍ය විය. ඊට හේතුසාධක වු කරුණු රැසක් පවතී. මුලික වශයෙන්ම යේමනයට වින කළේ දිගු කාලීන පාලක හා අධිකාරිවාදි පාලන රටාවක් ගෙන ගිය ජනාධිපති අලි අබ්දුල්ලා සලේ නිසාවෙනි. 1978 වසරේ සිට උතුරු යේමනයේ ජනාධිපතිවරයා ලෙසත් 1990 සිට 2012 දක්වා එක්සත් යේමනයේ ජනාධිපතිවරයා ලෙසත් පාලනය කළ අලි අබ්දුල්ලා සලේ, ප්‍රතිපත්තිමය වශයෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානය හා ලැදිව ක්‍රියාකළ නායකයෙකි. අලි අබ්දුල්ලා සලේ 2001 වසරේ සිට අමෙරිකානු ජනාධිපති ජෝරජ් ඩබ්ලිව්. බුෂ් යටතේ ක්‍රියාත්මක වු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ වැදගත් පාර්ශවකරුවෙකු විය. මේ නිසාම යේමනය අල්කයිඩා සටන්කාමීන්ගේ ඉලක්කයක් බවට පත්වු රටකි. 2000 වසරේ දී යු එස් එස් කෝල් නමැති යුද නැව යේමනයේ ඒඩන් වරායේදි බෝම්බ ප්‍රහාරයට ලක්වීම ඊට එක් උදාහරණයකි.
ජනාධිපති සලේගේ පාලනයට එරෙහිව නැගුණු මුලික චෝදනාව වංචාව හා දුෂණය ඉතා බරපතල ලෙස යේමනයේ ආයතනික ගතවීමයි. සලේ ජනාධිපතිවරයා ලොව මුල් පෙළේ ධනවතෙකු බවට පත්වුයේ ඔහුගේ දිගුකාලීන පාලනයේ ආනුභාවයෙනි. යේමනය අරාබිකරයේ දුප්පත්ම රට වුවද අලි අබ්දුල්ලා සලේ ජනාධිපතිවරයා ඩොලර් කෝටි 3200ත් 6000 අතර වටිනාකමකින් යුත් සැඟවුනු ධනයකට හිමිකම් කී බව එක්සත් ජාතීන්ගේ නිලධාරීහු 2012 වසරේ කළ විමර්ශණයකින් පසු ප්‍රකාශ කළහ. අබ්දුල්ලා සලේ ජනාධිපතිවරයා සතු ධනය ලෝකයේ රටවල් 20ක පමණ සඟවා තිබෙන බව කියනු ලැබේ. එලෙස අයථා ධනය ගොඩගැසු සලේ මේ මස 4 වෙනිදා සනා අගනුවරදී හුති කැරළිකරුවන්ගේ ප්‍රහාරයකින් මියපරලොව ගියේ ඒ කිසිවකට හිමිකම් නොකියමිනි. එය බුදුදහමේ අනිත්‍ය සංකල්පය සිහිගන්වන අන්තර්ජාතික සිදුවීමකි.
වර්තමානයේ මැදපෙරදිග කලාපයේ පවතින බරපතල ගැටලුවක් වන්නේ සවුදි අරාබියත් ඉරානයත් අතර පවති සිසිල් යුද්ධයයි. මේ නිසා කලාපීය අවි ගැටුම් ගණනාවක් මේ දෙරටේ සෘජු හා වක්‍ර දායකත්වයෙන් සිදුවෙයි. සිරියාවේ යුද්ධය, ලෙබනනය ආශ්‍රිත ගරිල්ලා ක්‍රියාකාරකම් හා යේමන යුද්ධය මේ අවි ගැටුම් අතරින් ප්‍රධාන තැනක් ගනී. 1979 ඉරාන විප්ලවයෙන් පසු ඉරානය ෂියා මුස්ලිම් ආගමික පාලනයකට නතුවීම කලාපීය බලවතා හා සුන්නි මුස්ලිම් ලෝකයේ ප්‍රබලයා වු සවුදි අරාබිය කෝප ගන්වන්නක් විය.
එහෙත් නව ඉරාන පාලකයන් එරටින් පලාගිය ෂා රජුගේ වත්කම් ඉල්ලා ටෙහෙරානයේ අමෙරිකානු තානාපති කාර්යාලීය කාර්යමණ්ඩලය ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලා ගැනීම හා ඉන් පසුව ඇතිවු අන්තර්ජාතික අර්බුදකාරි තත්ත්වයන් මත නව ඉස්ලාමීය ඉරානය හුදෙකලා වීම සවුදි අරාබිය සැනසීමට පත්කළ සිද්ධියකි. සවුදි අරාබිය හා ඇමෙරිකාව එක්ව කලාපයේ ප්‍රබල සුන්නි මුස්ලිම් නායකයෙක් වු ඉරාකයේ සදාම් හුසේන් ලවා 1981දී ඉරානය යුද්ධයකට පටලවා ගැනීම මේ ගැටුම්කාරී තත්ත්වයේ උග්‍රතම අවස්ථාවකි. වසර 9 කට අධික කාලයක් පැවති පර්සියානු යුද්ධයෙන් වඩාත් හානියට පත්වුයේ ඉරානය නොව ඉරාකයයි. පසුකාලීනව සවුදි අරාබිය අපේක්ෂා නොකළ පරිදි මැදපෙරදිග ෂියා මුස්ලිම් බලය වර්ධනය වන තත්ත්වයක් උද්ගත වුයේ 2002 වසරේදි අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර සදාම් හුසේන් පාලනය විනාශ කිරිමත් සමගයි. ඒ නිසා ඉරාකයේ පාලනය සදාම් යටතේ පැවති සුළුතර සුන්නිවරුන්ගෙන් බහුතර ෂියා වරුන් අතට පත්විය. නව ඉරාක පාලකයන් වඩාත් ඇල්මක් දැක්වුයේ අසල්වැසි ඉරානය සමග සම්බන්ධ විමට මිස සදාම් මෙන් සවුදි අරාබිය හා සම්බන්ධ වීමට නොවේ. එමෙන්ම සිරියාවේ අල් අසාද් පාලනය අලවයිට් නම් වු සුන්නි මුස්ලිම් ගෝත්‍රයකට නතුව තිබීමත්, ලෙබනනයේ ෂියා මුස්ලිම් සටන්කාමී පාර්ශ්වයක් වන හිස්බුල්ලා ගරිල්ලන් බලවත් වීමත්, සිරියානු යුද්ධයේදි සවුදි අරාබිය විසින් මෙහෙයවනු ලබන ඉස්ලාමීය හමුදාව නම් ගරිල්ලා සංවිධානය පරාජය වීමත්, උතුරුදිග ඉරාකයේ සුන්නි මුස්ලිම් බල ප්‍රදේශ අයි එස් කල්ලියට එරෙහි සටනින් පසු ෂියා මුස්ලිම් බලය සහිත මධ්‍යම රජයේ පාලනයට නතුවීමත් සවුදි අරාබිය කලාපීය බලවතා වශයෙන් වඩාත් කම්පාවට පත්කළ සිද්ධිය. අරාබි වසන්තයේදී බහරේනයේ ෂියා මුස්ලිම් පාර්ශ්වය බලවත් වීම වැළැක්වීමට සවුදි අරාබිය හමුදාමය වශයෙන් මැදිහත් විය.
ඉරානයට ලැදි හූති නමැති ගරිල්ලා සංවිධානයක් යේමනයේ බලවත් වීමත් හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ එම කණ්ඩායමට සහය දැක්වීමත් යන කරුණු අසල්වැසි සවුදි අරාබියට යේමනයේ හමුදා මැදිහත්වීමක් සඳහා මං පෑදීය. හූති කැරළිකරුවන්ට එරෙහිව දෙවසරකට අධික කාලයක් පුරා ගෙනයන යුද්ධයෙන් සවුදි අරාබිය බිහිසුණු ආක්‍රමණිකයෙකුගේ මුහුණුවර නියෝජනය කරයි. සවුදි ප්‍රහාර වලින් යේමනයේ 13500ක් මේ වනවිට මියගොස් තිබේ. ඉන් 5000කට අධික පිරිසක් සාමාන්‍ය වැසියන් බව සහන සේවකයෝ පවසති. පසුගිය මාස කිහිපය තුළ යේමනයට ආහාර බෙහෙත් හා ඉන්ධන රැගෙන ආ නෞකා 29ක් සවුදි අරාබිය විසින් ආපසු හරවා යවා තිබේ. යේමනයේ දරුණු ආහාර හිගයක් නිර්මාණය වීමට මෙය බලපා තිබේ. එමෙන්ම ඉන්ධන නොමැති වීමෙන් ජලපවිත්‍රකාරක යන්ත්‍ර ක්‍රියාකරවීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ නිසා ලෝකයේ වඩාත්ම බිහිසුණු කොලරා වසංගතය දැන් යේමනයේ පැතිර යයි. සම්බාධක අවසන් කරන ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම මැදපෙරදිග හිතවතා වන සවුදි අරාබියෙන් ඉල්ලා ඇත්තේ මේ මානව ඛේදවාචකය හමුවේ තවදුරටත් කට පියාගෙන සිටිමට ඇමෙරිකාවට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසාය. එහෙත් එය මේ දක්වා හුදු ප්‍රකාශයක්ම පමණක් වී තිබේ.
ඉරාන සවුදි අර්බුදය වඩාත් උග්‍ර අතට හැරෙන්නේ හූති කැරලිකරැවන් මේ සතිය මුලදී ඉරානයේ නිෂ්පාදිත මිසයිලයක් සවුදි අරාබියට පහරදීමට යොදාගැනීමත් සමගයි. මෙය යුද උණුසුම වඩාත් තීව්‍ර කරන්නකි. එහෙත් එයින්ද අවසානයේ බැටකන්නේ ඉරානයේ හෝ සවුදි අරාබියේ නායකයන් නොව අසරණ භාවයට පත්ව සිටින යේමන වැසියන් වීම මෙහි ඇති බරපතළම ඛේදවාචකයයි.