හිත මහ පුදුම තැනක් | Page 2 | සිළුමිණ

හිත මහ පුදුම තැනක්

මා මෙතෙක් අයිති කරගත් සියල්ලෙන් මට ලැබුණේ දුකක්, පශ්චාත්තාපයක් පමණක් ම නොවේද? ජීවන පරිඥානය සමඟ මා අත්හරින දේ මට සැහැල්ලුවක් ගෙන ආවා නොවේද?

මම වෙල මැදින් ඇති ගුරුපාර දිගේ හෙමින් හෙමින් ඇවිද යන්නෙමි. බැස යන මළ හිරු දීප්තිමත් රත් පැහැයක් අහස් කොන විසිරුවා තිබේ. ඒ මලානික හිරු කිරණ, කපා ගත් ගොයම නිසා පාළු වූ ඉමක් කොනක් නොපෙනෙන වෙල්යාය මත අඳුරු සෙවණැලි විසිරුවයි. බැස යන හිරු සමඟ නිවහන බලා යන කොක් රෑන රක්තවර්ණය යටින් ශ්වේත වර්ණ විසිතුරු රටාවක් මවයි. මේ කුරුලු කැල විඳින නිදහස අපේ ජීවිතවල තිබේද?

අයිති කර ගැන්ම හා නිදහස අතර ඇති සම්බන්ධය කවරාකාරද? බොහෝ දෙනෙක් ඕනෑම දෙයක් තමන් සතු කර ගන්නාතාක් ඊට ආදරය කරති; එය අයිති කර ගැන්මේ නොතිත් අරගලයක නිරත වෙති. අවසන එය අත්පත් කරගත් පසු ටිකෙන් ටික එය සිතෙන් ගිලිහෙයි.

 

හිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතළ වතක්
විටෙකදි නොනිමි දුකක්
හිත මහ පුදුම තැනක්

නවතින්නයි කී විට හිත
නිනව් නැතිව දුවනවා
ඉක්මන රිසි වූ විට හිත
නැවතුණ තැන ඉන්නවා...

 

බන්ධුල නානායක්කාරවසම්ගේ පද රචනයෙන් සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීය සිත සහ අයිති කරගැනීම පිළිබඳ කියැවෙන සදාතනික සත්‍යය නොවේද? වග වලසුන් පිරි වනදහනකට සිග්මන් ෆ්‍රොයිඩ් සිත උපමා කරන්නේ එබැවින් විය යුතුය. මජ්ඣිම නිකායේ දන්තභූමි සූත්‍රයේ සිත උපමා කරන්නේ වනයේ සිටින හීලෑ නොකළ වන ඇතකුට ය. සිත දමනය කර ගැනීම එක්තරා අන්දමකට ආශාවන්ගෙන් ඈත්වී සිටීමත්, ආශා ප්‍රහීන කිරීමත් නොවන්නේ ද? සිත අල්ලා ගන්නා වස්තූන් නිසා අප කොතෙක් නම් පීඩාවට පත් වන්නේ ද?

මට පාවුලෝ කොයියෝගේ onze minutos (ආනන්ද මහපටුනගේ විසින් මේ කෘතිය ‘විනාඩි එකොළහ’ නමින් සිංහලට නඟා තිබේ) හි මරියා තමන්ගේ දිනපොතේ මෙසේ සටහන් තැබූ බව සිහිපත් වේ.

“සමහර දේවල් බෙදා හදාගන්න බැහැ. අපිට අපේ ම කැමැත්තෙන් පනින්න පුළුවන් සාගරවලට අපි බය වෙන්න ඕන නැහැ. බය හින්දා වෙන්නේ හැම කෙනකුගේ ම සෙල්ලම හිර වෙන එක. මිනිස්සු අපාය තරණය කරන්නේ මේ දේ තේරුම් ගන්නයි. එකිනෙකාට ආදරය කරන්න; ඒත් එකිනෙකාව අයිති කරගන්න උත්සාහ නොකර ඉමු. මගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න මේ මිනිහට මම ආදරෙයි. හේතුව මම එයාව අයිති කරගෙන නැහැ. ඒ වගේම එයත් මාව අයිති කරගෙන නැහැ. අපි එකිනෙකා දමනය කරගෙන යටත් කරගෙන ඉන්න එකෙන් නිදහස්.”

මරියා හා රැල්ෆ් අතර බැඳීම ඇති වන්නේ අයිති කරගැනීමේ කොන්දේසිය නැතිවයි. මෙය ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් ලද ආලෝකයේ ප්‍රතිඵලයක් බව කොයියෝ බොහෝ සංයමයෙන් යුතුව පෙන්වා දෙයි.

කොයියෝගේ ‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියේත් මේ ආලෝකය පිළිබඳ ඉඟි කරයි. ඇත්තෙන් ම කුමක්ද මේ ආලෝකය. එය ජීවන යථාර්ථය පිළිබඳ අවබෝධයෙන් ගොඩනැඟෙන ආලෝකයක් යැයි සිතේ. බ්‍රසීල ජාතික කොයියෝ මේ ස්පර්ශ කරන්නේ බෞද්ධ දර්ශනය නොවේද?

වෙල්යායෙන් හමන මඳනල සුමුදු සනීපවත් බවක් ගතට පමණක් නොව සිතට ද එක් කරයි. මේ ආයාසකර දිවි ගමනේ නිවනක් ඇති වීමට නම් මේ තාවකාලික සුවය ප්‍රමාණවත් නැත.

මා මෙතෙක් අයිති කරගත් සියල්ලෙන් මට ලැබුණේ දුකක්, පශ්චාත්තාපයක් පමණක් ම නොවේද? ජීවන පරිඥානය සමඟ මා අත්හරින දේ මට සැහැල්ලුවක් ගෙන ආවා නොවේද?

හාත්පස සැදෑ අඳුර විසින් ඇති කරන ලද මලානික ශාන්ත බව මේ සිතිවිල්ල තව තවත් තීව්‍ර කරයි. හමා යන මඳනල පවා සිතේ අරුම පුදුම ස්වභාවය පිළිබඳ නැවත නැවතත් සිහිපත් කරවයි. අප මේ ඉවක් බවක් නැතිව දිව යන්නේ කුමකට ද? මඳක් නවතින්න, නැවත සිතා බලන්න. අහසේ පියඹා ගිය කුරුලු රෑන මෙන් නිදහස් වන්නට නම් ඇලීමෙන්, අත්පත් කරගැනීමෙන් සිත මුදාගත යුතු නොවේද?

Comments