
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියෝ ගිහිකලැ සිට මැ ගොඩිගල් චරිතයකටැ හිමිකම් කීවෝය. එයින් මගේ ජාතියටැ - භාෂා සාහිත්‍යයටැ වැඩක් මිසැ අවැඩක් සිදු වූයේ නැත. උපතින් මැ එක ඇසක් අහිමි එතුමෝ ඉපදුනෝ පොළොන්නරු යුගයේ අගභාගයේ ය. ඔහුට අවුරුදු තිහක් පමණ වෙද්දී එවකැසිටි උගත් අයෙක් ගුරුළුගෝමී යනැ රූඪියෙන් “අමා වතුර” නම් පොතක් ලිවී.
දීප චක්‍රවර්‍තති දෙවැනි පරාක්‍රමබාහු නරේන්ද්‍රයාණන් දවසැ සිංහලය ආර්ථිකමය වශයෙන් මහත් පිබිදියාවෙකැ පැවැතිණි. ඒ පාදක කැරැගෙනැ භාෂා - සාහිත්‍යය, ආගමික, සාමාජික, සංස්කෘතික පරිසරය සමස්ත සිංහලය පුරා වැ මහත් ප්‍රබෝධයට පත්වැ තිබිණ. මේ තත්ත්වය නිසා වඩාත් උදම්වූවෝ මහරජතුමාණන්ගේ අගමැති දේවපතිරාජයාණෝයැ. හේ කෙතරම් උද්දාමයකටැ පත් වූයේ ද යත්; මෙවන් අදහසෙක් ඇති කැරැගෙනැ තිබිණ. “අනේ! අපේ මහරජතුමාණන් මොන තරම් ශ්‍රේෂ්ඨ ද? එතුමා නිසා මැ තමයි සිංහලය පුරහාමැ වාරි කර්මාන්තය දියුණු වෙලා, ගොඩ - මඩ සරුසාර වෙලා, රටේ හැම දෙනාම ඉතා ප්‍රීතියෙන් කාලය ගත කරන්නෙ. ඒ විතරෙක්යැ. විසුද්ධිමග්ගය බණ පොතට සන්නයකුත් ලිව්ව මෙච්චර මේ වැඩපළ අතරතුර. ඒක නිසා උන්වහන්සේට බුදු බව ප්‍රාර්ථනා කරන්න කියලා ආරාධනා කරන්න ඕන.”
මෙසේ සිතාගත් දේවපතිරාජ අගමැතිතුමෝ දිනක් දෙවැනි පැරකුම්බා නරපතීන් වෙතැ එළැඹියෝ යැ. එළැඹ රජුට වැඳ නමස්කාර කොටැ සුදුසු අස්නෙකැ අසුන් ගති.
“ආ....! දේවපතිරාජය, කොහොමද රටේ තොටේ වාස දේසෙ කාරිය”
“දේවයන් වහන්ස, කියන්න දෙයක් නෑ! රටේ - තොටේ හැම දෙනාම ඉතාම ප්‍රීතියෙන් ඉන්නවා. ඒ අය හැමෝම ඔබ වහන්සේට පින් දෙනවා. බොහොම සතුටු දායකයි.”
“ප්‍රීතියි! ප්‍රිතියි!! දේවපතිරාජයාණෙනි, බොහොම ප්‍රීතියි. ඒත් ඇයි මේ තකහනියක් මාව බලන්න ආවෙ?”
“දේවයන් වහන්ස, මා ඔබතුමාගෙ අගමැතිතුමා! ඒ නිසා රටේ ජනතාව ඔබ වහන්සේ ගැන දරන අදහසක් ඔබතුමාට දන්නන්නයි මං මේ අද ආවෙ.”
“මොකක් ද මහ ඇමති මොකක් ද? මා එය දැන ගැනීමට සතුටුයි.”
“දේවයන් වහන්ස, ඔබ වහන්සේ මහත් කැළැඹීමකට පත්වෙලා තුබූ සිංහලේ එක් සේසත් කළා! ඒ කරල වැව් - අමුණු අලුත්වැඩියා කරවලා, අමුතුවෙන් වැව් අමුණු හදවලා රට බත බුලතින් සරුකළා. ඒ නිසා ම විවේක පාඩුව ඇති ජනතාව; භාෂා සාහිත්‍යය, ආගම දහම, සමාජ පරිසරය, සංස්කෘතික පරිසරය අභිවර්ධනයට පෙලැඹිලා. ඒ නිසා ම ඔබවහන්සේ ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කළොත් හොඳයි කියලයි ජනතාව කියන්නෙ. ජනතාවගෙ විතරක් නෙවෙයි මගෙත් අදහස එයමයි. මොකෝ ඒ තනතුර ප්‍රාර්ථනා නොකර ලබාගන්න පුළුවන් එකක්යැ. ඒ නිසා ඒ පිණිස ආරාධනා කරන්නයි මං ආවෙ.”
“පිස්සු ද මහ ඇමති දේව පතිරාජ, ඔබට පිස්සු ද? මා ඔය කියන තරම් සේවයක් කරලත් නැහැ. ඊටත් මා වගේ සේතවස්ත්‍ර ධාරි, ඕලාරික, අඹු දරු පෝෂණයේ යෙදෙන අයෙක් ඒ වගේ උතුම් ප්‍රාර්ථනයක් කරන්න සුදුසු ද? ඒක නිසා ඔය අදහස අත්හැර ගන්න!”
“නෑ! නෑ!! දේවයන් වහන්ස, ඒ ප්‍රාර්ථනය කරන්න ඔබවහන්සේ ඉතාමත්ම සුදුසුයි. ඒ නිසා අපට අනුකම්පා කරල උතුම් සම්මා සම්බුදු පදවිය ප්‍රාර්ථනා කරන සේක්වා.”
“නැහැ! මහ ඇමතිය, නැහැ! මා සම්මා සම්බුදු පදවිය ප්‍රාර්ථනා කරන්නට තරම් සුදුසු අයෙකු නොවෙයි. ඒක නිසා මින් මනත මට ඔය අදහස ඉදිරිපත් කර කරදර කරන්න එපා!”
මහරජතුමා සම්මා සම්බුදු බව ප්‍රාර්ථනා කිරීමටැ නො කැමැතිව තම අදහස් ප්‍රකාශ කළත් ඉන් පසු බැස්මකට පත් වූවෝ දේව පතිරාජ අගමැතිවරයාණෝ නොවේ! හේ. ගෙදර ගියේය. මේ සඳහා කුමක් කළ යුතු දැයි කල්පනා කළේ ය. ටික වේලාවෙකින් ඔහුට මෙ බඳු අදහසෙක් පහළ විය.
“අපේ රටේ කොච්චර උගත් හාමුදුරුවරුන් ඉන්නවද? උන් වහන්සේ ලවා බුද්ධත්වයේ තියෙන උත්කෘෂ්ට ආශ්චර්යවත් බව ප්‍රකාශ කෙරෙන පොතක් ලියවාගෙන අපේ මහ රජතුමාණන්ට පිළිගැන්නුවොත් හරියයි. ඒකට ආරාධනා කරන්න ඕන කොයි හාමුදුරුවන්ට ද? මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හාමුදුරුවොත් හොඳයි! ඒත් උන්වහන්සේ එක ඇහැක් පේන්නෙත් නැහැ. ඊටත් හුඟක් ම නාකියි. මහලුයි. ඒක නිසා පුළුවන් වෙයි ද දන්නෙ නෑ. කොහොම වුණත් ඉස්සෙල්ලා ම ධර්‍මසේන හාමුදුරුවන්ට ආරාධනා කරල බලන්න ඕන. උන්වහන්සේ කුඩා ළමයෙකුට වුණත් තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන විධියට ගමේ ගොඩේ වචනවලින් බොහොම අපූරු උපමාන - උපමේය යොදාගෙනයි ලියන්නෙ. කියවන්නත් ආසයි! ඊටත් අපේ මහරජතුමාගේත් මහත් ප්‍රසාදයට පත් වෙච්ච හාමුදුරුනමක් නෙ. ආරණ්‍යයගතව බණ භාවනාවලටම වෙන් වෙච්ච ජීවිතයක් ගත කළත් මං ආරාධනා කළාම මගේ අදහසට ගැළැපෙන අපූරු පොතක් ලියල දෙයි. ඇයි උන්වහන්සේ ලියාපු “සද්ධර්ම රත්නාවලිය” මොන තරම් අපූරු පොතක් ද? යන්න ඕන උන්වහන්සෙ මුණ ගැහිලා මා බලාපොරොත්තු පොත ලියව ගන්න පුළුවන්වේ ද කියල බලන්න”
මහ ඇමතිතුමෝ සූදානම් වූහ. ලක ලෑස්ති කැරැගත් බුලත් අත ද ගත්තේ ය. පා ගමනින් ම ධර්‍මසේන මාහිමියන් වැඩ සිටි ආරණ්‍යය සේනාසනය වෙතැ පිය මැන්නෝ ය. හේ ආරණ්‍යය සේනාසනය වෙතැ යද්දී ධර්‍මසේන මාහිමියෝ වැඩ සිටියෝ මළු පෙත්මන් අමදිමිනි. “ආ....! මහ ඇමතිතුමනි, ආවාස කුටිය පැත්තට යන්න. මා මේ ටිකත් ඇමදල, කුණු රොඩු ටික අරන්දාල මුස්න තියල එන්නම්”
“හොඳමයි! අවසර, හොඳමයි!” හිස නමා ආචාර කළ අගමැතිතුමෝ ආවාස කුටිය වෙතැ ගොස් බිම පැදුරක් එළාගෙන වාඩිවැ වට පිට සිරි නරඹන්නට වූ. ගත වූයේ ස්වල්ප වේලාවකි. ධර්‍මසේන මාහිමියෝ කුටිය වෙත වැඩම කොටැ අසුන් ගතූ. දේවපතිරාජතෙමේ නැඟිට්ටේය, බුලත් අත පිළිගැන්වීය. දෙ දණ - දෙ වැලමිට - නළල බිම තබා වැන්දේය. “සුවපත් වේවා! මහ ඇමති තුමනි අසුන් ගන්න කෝ”
“හොඳමයි! අවසර”
“මහ ඇමතිතුමා මේ හැන්දකොරේ මොකද මේ පැත්තෙ”
“අවසර, අපේ හාමුදුරුවනේ, මං ඔබවහන්සෙ හම්බවෙන්න ආවෙ ඔබ වහන්සෙ ලවා ලොකු වැඩක් කරව ගන්න”
“මොකක් ද අප්පා මා ලවා කර ගන්න තියෙන ලොකු වැඩේ!”
“පොතක් ලියව ගන්න”
“පොතක් ලියව ගන්න?”
“එහෙමයි! අවසර, එහෙමයි!”
“මොකක් ගැන ද?”
“ඔබ වහන්සෙත් අපේ මහරජතුමා ගැන හොඳ හැටිම දන්නවානෙ.”
“මොකෝ මං නො දන්නෙ? එතුමා තමයි මුළු මහත් සිංහලේ ම එක්සේසත් කරල, බත බුලතින් සරුකරල, පිරිවෙන්, පන්සල් දියුණු කරල, භාෂා සාහිත්‍යයට නව පණක් දීල කටයුතු කළේ, ඒ විතරක් යැ විසුද්ධි මාර්ගයට සන්නයක් ලියන්න ලේසි පාසු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් යැ. ඒකත් එතුමා කළානො. ඉතින් තවත් මොනව ද”
“අන්න හරි අවසර අන්න හරි”
“ඉතින්....!”
“මං ඊයෙ පෙරෙයිදා රජතුමා වෙත ගිහිල්ල, රජතුමාගෙ පාලනය ඇතුළු ඔක්කොම යහපත් වැඩ පිළිවෙළවල් ගැන මතක් කරල දීලා අප්‍රාර්ථිතව ලබා ගන්න බැරි ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන්න යයි ආරාධනා කරල ඉල්ලා හිටිය.”
“ඉතින්....!”
“එතුමෝ ගත් කටට ම මට පැහිදිලි කළා එතුමන් වගේ සේතවස්ත්‍රධාරී, අඹු දරු පෝෂණයෙහි යෙදෙන, ඕලාරික අයෙකුට ඒ ප්‍රාර්ථනය නුසුදුසු බව.”
“ඉතින්...!”
“මට ඕන අවසර, කොහොමහරි කරල රජතුමා ලවා ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරව ගන්න.”
“ඉතින්”
“ඉතින් අවසර බැරිද? අපේ රජතුමාගෙ හිත ඒ පැත්තට හැරිල බුදු බව ප්‍රාර්ථනා කරන්න පෙලඹෙන විදියෙ කරුණු ඇතුළත් කරල පොතක් ලියල දෙන්න.”
“මොන පිස්සුද බුදු බව කියන මහනීය තත්ත්වය ප්‍රාර්ථනා කරල මිසක් ප්‍රාර්ථනා කරවල සපුරා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. ඊටත් අපෙ රජතුමා වගේ උගත්, බුද්ධිමත් අයෙක් ලැබෙන ලාභ ලෝභ වලට පෙලැඹිලා බුදු බව ප්‍රාර්ථනා කරන්නට තරම් ළා බාල නෑ! ඒ නිසා ඔබතුමා දරන ඔය අදහස ඉවත් කර ගන්න.”
“බෑ! අවසර, බෑ! මං කොහොම හරි ගැළැපෙන පොතක් ලියවගෙන රජතුමාට ඔප්පු කරනවා! මට කොහොම හරි පොතක් ලියල දෙන්න”
“පොතක් නම් ලියල දෙන්න පුළුවන්! ඒත් ඔබතුමා දරන අභිමතාර්ථය සම්පූර්ණ කරන්න නම් මට පොතක් ලියන්න බෑ! එහෙනම් වෙන කා ලව්වවත් ඒ පොත ලියව ගන්න!”
මහ ඇමතිතුමා ධර්‍මසේන මාහිමියන් වැඳ ආරණ්‍යය භූමියෙන් නික්ම ගියේ ය. ඊට පසු දා බුලත් අතක් ගෙන මයුරපාද පිරිවෙනේ බුද්ධපුත්‍ර ස්වාමින් වහන්සේ හමුවට ගොස් වැඳ පුදා තම අදහස ප්‍රකාශ කෙළේ යැ. “අවසර මා මේ ආවෙ ඔබවහන්සේ ලවා අපේ මහරජතුමාගේ හිත බුදු බව ප්‍රාර්ථනා කරවීම තරම් බුදු රජාණන් වහන්සේ ලැබුව පුද පූජා පිළිබඳව පොතක් ලියව ගන්න ආරාධනා කරන්න.”
“මොන පිස්සුද අගමැතිතුමෝ බුදු බව කියන මහනීය තත්ත්වය ප්‍රාර්ථනා කරල මිසක් ප්‍රාර්ථනා කරවල සපුරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊටත් අපේ මහරජතුමා වගේ උගත් බුද්ධිමත් අයෙක් ලැබෙන ලාභ - ලෝභ වලට පෙලැඹිලා බුදු බව ප්‍රාර්ථනා කරන්නට තරම් ළාබාල නෑ! ඒ නිසා ඔබතුමා දරන ඔය අදහස ඉවත්කර ගන්න.”
“අපේ ධර්‍මසේන හාමුදුරුවොත් කිව්වෙ ඔය ටිකමයි.”
“මොනවා ධර්‍මසේන හාමුදුරුවො හම්බවෙන්න කලින් ගියා ද?”
“එහෙමයි! අවසර,”
“මොකද උන්වහන්සෙ කිව්වෙ?”
“ඒ පොත ලියන්න බෑ කිව්ව”
“ඇත්ත ද එහෙනම් මා ඒ පොත ලියල දෙන්නම්! හැබැයි ටික කලක් ගත වෙන්න පුළුවන්.”
“හා ඒකට කමක් නෑ! බොහොම විශාල උපකාරයක්. එහෙනම් අවසර මට අවසරයි! ගිහින් එන්නංකො”
“හා හොඳයි”
දේවපතිරාජ අගමැතිතුමා බුද්ධපුත්‍ර හිමියන් ගේ පා වැඳ මහත් සතුටු සිතින් පිරිවෙනෙන් ඉවත්ව ගියේ හිසේ මලක් පිපුණා බඳුවය.
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියෝ ගිහිකලැ සිට මැ ගොඩිගල් චරිතයකටැ හිමිකම් කීවෝය. එයින් මගේ ජාතියටැ - භාෂා සාහිත්‍යයටැ වැඩක් මිසැ අවැඩක් සිදු වූයේ නැත. උපතින් මැ එක ඇසක් අහිමි එතුමෝ ඉපදුනෝ පොළොන්නරු යුගයේ අගභාගයේ ය. ඔහුට අවුරුදු තිහක් පමණ වෙද්දී එවකැසිටි උගත් අයෙක් ගුරුළුගෝමී යනැ රූඪියෙන් “අමා වතුර” නම් පොතක් ලිවී. ඒ පොත ලිවීම සඳහා ඔහු තම ස්ථාවරය කර ගත්තේ “බුදුගුණ හැම කියත් නො පිළිවෙනින් බුදුන් නොදැමි පුරුෂයන් නවා, දමා අමා නිවන් දැක්වූ සැටිය කියමින් පුරුෂ දම්ම සාරථි බුණ ගුණය ගෙන” යන්නයි. එයට අභියෝගාත්මකව “හැයි හැම ගුණ කියත් නො පිළිවන් වන්නේ”යි පුළුවුස්නා සේ හැම බුදුගුණගෙනැ “බුත්සරණ” (අමෘතාවහ) පොත “විද්‍යා චක්‍රවර්‍තති” යනැ රූඩියෙන් ලියුවේය. පසුව “බුද්ධ පුත්‍ර” නමින් සසුන් ගතවැ මයුරපාද පිරිවෙන් පතිකම ද දැරූයේ ඒ ලේඛකයාම යැ.
මහලු වයසට පත් වැ සසුන් ගත වැ පිරිවෙන්පති කම දැරුව ද එතුමාණන්ටැ උපසම්පදා වීමේ භාග්‍යය අහිමි විය. මක්නිසාද යත්; උපතින්මැ එක ඇසක් අහිමිවැ විකලාංග අයෙකු වීම නිසාය. එහෙත් උන් වහන්සේ සමාජය විසින් මහත් හරසරින් ඉහළ මට්ටමකින් පිළිගනු ලැබිණ. උන් වහන්සේ දේව පතිරාජ අගමැතිතුමාගේ ආරාධනය පිළිගෙන ඉතිපිසෝ ගාථාවෙහි පැනෙනැ අරහං ගුණයෙහි අඩඬිගූ i රහසින් වත් පව් නොකරන ලද බව, ii සංසාර චක්‍රයේ කෙලෙස් ගරාදි හැම සුනු - විසුනු කළ බව, iii තුන් ලෝ වාසීන්ගේ ආමිෂ - ප්‍රතිපත්ති පූජාවන් විඳීමට සුදුසු බව යන කරුණු තුනෙන් තුන් වැනි කරුණ හෙවත් “තුන් ලෝ වාසීන් ගේ ආමිෂ - ප්‍රතිපත්ති පූජාවන් විඳීමට සුදුසු බව” යන නැගුණ ඛණ්ඩය ගෙන “පූජාවලිය” ය යි මහ පොත ලියා, ඒ ලියූ බව අගමැති දේව පතිරාජයනටැ දැන්වීය. එතුමෝ; නැකැත් වේලා සොයා බලා මහත් ශ්‍රී විභූති පෙරහැරකින් හස්ති රාජයෙකු පිටැ ඒ පූජාවලිය පොතත් දෝත මත තබා ගෙනැ ගරු සරු සහිතව ඒ බණ පොත රාජ මාළිගාවටැ වඩමවා දෙවැනි පරාක්‍රමබාහු මහේශාක්‍යාණන්ටැ පිළිගැන්වූ.
මේ ආසන්න කාලයෙකැ නගරාසන්න ගෙදොරෙකැ දානමය පින් කමක් වී. ඒ පිණිස වැඩම කරනුවට ආරණ්‍යය වාසී ධර්‍මසේන හිමියන්ට ද ඇරැයුම් කැරිණි. උන් වහන්සේ වැඩම කළහ. පිරිවෙන් සෙසු භික්ෂූන් හා සමඟ බුද්ධ පුත්‍ර හිමියෝ ද වැඩම කළහ. මේ දෙදෙනා අතරතින් වයසින් ජ්‍යෙෂ්ඨතමයා බුද්ධ පුත්‍ර හිමියෝ ය. පැවිදිකමෙන් ජ්‍යෙෂ්ඨතමයාණෝ ධර්‍මසේන මාහිමි පාණෝය. උන් වහන්සේ දන් පළේ දී බුද්ධ පුත්‍ර හිමියන් දැකැ ඔම්පාවට මෙන්
“පූජාවලි කණා
බත් කෙක්කක් තනා
ගැහැනුන් රවටනා
ඌ දන්නා බණා” යන සේ හිටිවන මේ පද හතරක් කීය. ඒ අසා සිටි බුද්ධපුත්‍ර හිමියෝ ඊට විරුද්ධව යමක් කීමටැ නැති නිසාත්; හා තමන් වහන්සේ ගොඩිගල් චරිත ලක්ෂණයෙන් යුතු නිසාත්;
තොප කියනා බණා
අහු මුලු වල වනා
අප කියනා බණා
වියන් යටින් යනා යනැ
ආඩම්බර සහිත පැදිය කියා නිහඬ විය.