හද­ව­තට දැනෙන චරිත මවන සෝම­වීර සේනා­නා­යක | සිළුමිණ

හද­ව­තට දැනෙන චරිත මවන සෝම­වීර සේනා­නා­යක

පුවත්පත් කලාව ග්‍රන්ථකරණය ටෙලි හා සිනමා තිර රචනය ආදී ක්ෂේත්‍ර ගණනාවක දශක පහකට අධික කාලයක් මුළුල්ලේ සිය ප්‍රතිභාව කිසි දා මැකී නොයන සේ සලකුණු කළ සාහිත්‍යවේදියකුට අද අපි පැහැසර හමුවට ආරාධනය කළෙමු. උසස් වින්දනීය ටෙලිනාට්‍ය කලාවක් ගොඩනැඟීම සඳහා පුරෝගාමී මෙහෙවරක පෙරමුණේ ගමන් කරුවකු වූ ඔවුහු නම් සෝමවීර සේනානායකයෝ ය.

උපන් දිනය?

1944 නොවැම්බර් 25

* උපන් ගම?

අවිස්සාවේල්ල, බැලවාන.

* උප්පැන්නයේ නම?

සෝමවීර සේනානායක

* දෙමවුපියෝ?

පියා මාටින් සේනානායක මව ලීනියකුමාරගේ ලිනී නැන්සලින් පෙරේර‍ා.

* සහෝදර සහෝදරියෝ?

නංගිලා දෙදෙනයි මල්ලිලා දෙන්නයි. මා පවුලේ වැඩිමලා.

* මුලින් ම අකුරු කළේ?

අවිස්සාවේල්ල සීතාවක මහ විදුහල.

* පසුව?

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය

* උසස් අධ්‍යාපනය?

ශ්‍රී ලංකා විද්‍යොදය විශ්ව විද්‍යාලය

* ඇතුළු වුණේ?

1963

* ඔබ හා සැබඳෙන ප්‍රධාන කාරණයට එළැඹෙන්න කැමැතියි ඔබ ලේඛන කලාවට ප්‍රවේශ වෙන්නේ?

ඒක දිග කතාවක්.

* කියන්න?

මගේ සීයා එතකොට නාට්‍යය ශිල්පියෙක්. වයස 6 – 7 ඉඳලා මා සීයගෙ නාට්‍ය කණ්ඩායමේ නළුවෙක් විදිහට සිටියා.

* එතරම් කුඩා අවධියේ?

‍ඔව්! ඒ වගේ ම මගේ සීයා හරියට පොතපත කියවන කෙනෙක්.

* ඔබේ පවුලේ ලේඛන කලාව කරපු අයත් සිටියද?

න‍ෑ! කවුරුවත් න‍‍‍‍ෑ! සීයගෙ පොතපත කියවීම නිසා මා කියවීමට තදින් හුරුවුණා. කෙතරම් හුරු වුණා ද කිව්වොත් මට අවුරුදු දහය වෙන විට පන්සිය පනස් ජාතක පොත කියවා අවසන්!

* හරි පුදුමයි?

‍ඔව්! අවුරුදු දහය වෙන විට පන්සිය පනස් ජාතක පොත කියවලා අවසන් කරපු තවත් අය ඉන්නවද මා දන්නේ නෑ.

* කියවීමේ පුරුද්ද සීයගෙන් ලිවීමේ පුරුද්ද?

එය ඇති වෙන්නේ රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයෙන්.

* ඒ කොහොමද?

ලේඛනයේ යෙදුණු ගුරුවරු දෙදෙනෙක් එහි සිටියා. ඒ අයගේ ලිවිල්ල මට උත්තේජනයක් වුණා.

* රුවන්වැල්ලේ මධ්‍ය විද්‍යාලයේ සිටියදී ඔබේ ලියවීම ආරම්භ කළා?

‍ඔව්! මා ලේක්හවුස් ආයතනයේ නවයුගය සඟරාවට වගේ ම සිළුමිණටත් ලිව්වා.

* ‍ඔබ ලියපුවා පළවුණා?

නෑ! කාලයක් යනතුරු පළවුණේ නෑ. මේ නිසා මා මිතුරන් අතර ලජ්ජාවටත් පත් වුණා. ඒත් ලිවීම නතර කළේ නෑ!

* මුලින් ම ලිපියක් පළ වුණේ?

1959 වසරේ නවයුගය සඟරාවෙයි. එය එතකොට ද්විමාසික සඟරාවක්.

* එදා ඇතිවූ හැඟීම?

කියා නිම කරන්න බෑ! විශාල සතුටක් වගේ ම ආඩම්බරයක් ලැබුවා.

* ගෙවීමක් ලැබුණද?

ඔව්! ලේක්හවුස් ආයතනයෙන් රුපියල් දහයක චෙක්පතක් එවා තිබුණා. මා එතකොට චෙක්පත් ගැන දැන සිටියේ නෑ. එය රැගෙන මා තැපැල් කාර්යාලයට ගියා මාරු කරගන්න.

* ඉතිං?

පෝස්ට් මාස්ටර් මට බොහෝම දයාවෙන් කරුණු පහදල දුන්න‍. පසුව මා ටවුමේ මුදලාලි කෙනෙක් ළඟට ගිහින් එය මාරු කරගත්තා.

* ඒ මුදල්වලට මොනවද කළේ.

රුපියල් හයයි පණහක් දී ‘ඔක්ස්පර්ඩ් ඩික්සනරියක්’ මිලදී ගත්තා. තව රුපියල් තුනක් වියදම් කැර පන්තියේ තිස් දෙනාට පාටියක් දුන්නා.

* රුපියල් තුනකින්?

ඔව්! ප්ලේන්ටි එකක් ශත පහයි. වඩේ එකක් ශත පහයි. එක්කෙනෙකුට ශත දහයයි තිස් දෙනාට රුපියල් තුනයි.

* ඉන් පසුව?

වරින් වර මගේ ලිපි පළවීම සිදුවුණා. එතකොට මා පාසලේ ජනප්‍රිය චරිතයක්. 1962 වසර මට සුවිශේෂ වසරක්.

* ඇයි?

එතකොට මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ.

* මොකක්ද සුවිශේෂි බව?

සමස්ථ ලංකා කෙටි කතා තරගයකින් මා ප්‍රථම ස්ථානය ලබනවා. ඒ නිසා මුළු පාසලම මට උපහාර උලෙළක් පවත්වනවා. පසුව එම කෙටි කතාව ඇතුළත් කෙටි කතා පොතක් ද නිකුත් වුණා.

* විශ්ව විද්‍යාල ජීවිතය?

මගේ ලිවී‍මට විශාල ලෙස බලපෑවා. ඒ අපට ආදර්ශ චරිත ගුරුවරු ලෙස ලැබුණු නිසා.

* කවුද ඒ?

බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය හිමි, ඒ.වී. සුරවීර, නන්දසේන රත්නපාල, මැන්දිස් රෝහණධීර වගේ මහාචාර්යවරු අපේ ගුරුවරු වුණා.

* විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්නේ?

1966 විශ්වවිද්‍යාලයෙන් පිට වූ දාට පසු දා මට ලේක්හවුස් හි රැකියාව.

* ඒ කොහොමද?

මා එතකොට ලේඛකයෙක් හැටියට ටිකක් ප්‍රසිද්ධියට පත්ව සිටියා.

* පළමු පත්වීම ලද පත්‍රය?

නවයුගය සඟරාවයි. එතකොට එහි කර්තෘ විමලසිරි පෙරේරා මහතායි.

* එතකොට වැටුප?

රුපියල් එකසිය අසූවක් වගේ මතකයි.

* ඔබ අතිශය ජනප්‍රිය වුණ චිත්‍ර කතාත් ලිව්වා?

මගේ පළමු චිත්‍ර කතාව වුණේ ‘පෙතිගෝමර’ එය බන්දුල හරිස්චන්ද්‍ර ඇන්දේ පළවුණේ සිළුමිණේ. ඒ 1975 වසරේ එතකොට මා සිළුමිණේ උප කර්තෘ කෙනෙක්.

* ඔබේ ප්‍රථම ටෙලිනාට්‍ය රචනය?

‘වෙසක් පහන’ ඒකාංගික ටෙලිනාට්‍යය. විකාශය වුණේ 1983.

* පළමු මාලා නාටකය?

‘පළිඟුමැණිකේ’ 1984.

* එහි සූරසේනගේ නිතර කටේ තිබුණ ‘පට් පට් ගාලා සම්තිං හොයන්න ඕන’ කියන වචන පෙළ බොහෝ සෙයින් සමාජය තුළ ජනප්‍රිය වුණා?

ඔව්! සූරසේන කියන්නෙ කෙසේ හෝ මුදල් සොයපල්ල කියන චරිතයක්! ඔහු වගේ චරිතයකට ‍උචිත දෙබස් කාණ්ඩයක් තමයි මා නිර්මාණය කළේ.

* ඔබේ නවකතා තමයි මුල් කාලයේ ටෙලිනාට්‍ය බවට පත් වෙන්නේ?

1972 මවකගේ ගීතය 1978 යශෝරාවය 1983 මැණික් නදිය ගලා බසී. ඒ ඒ වසරවල රාජ්‍ය සම්මාන ලැබුවා. පසුව මා එම නවකතා ටෙලිනාට්‍යයට රචනා කළා.

* එතෙක් මෙතෙක් ඔබ රචනා කළ ටෙලිනාට්‍ය සංඛ්‍යාව?

මාලා නාටක තිහකට අධිකයි. ඒකාංගික ටෙලිනාට්‍ය දෙසිය විස්සකට අධිකයි.

* රූපවාහිනි වාර්තා වැඩසටහන් ද ඔබ රචනා කළා.

ඔව්! දහඅටක් පමණ.

* ඔබ රචනා කළ ටෙලිනාට්‍ය කීපයක් මතක් කරන්න?

පළිඟුමැණිකේ, අසල්වැසියෝ, යශෝරාවය, කන්දෙගෙදර, දූ දරුවෝ, නෑදෑයෝ, ගිරය.

* සිනමා තිර රචනයේද ඔබ කැපී පෙනෙන චරිතයක් වුණා.

සිනමා පට දහයකට පමණ මා තිර රචනා කළා. අවසන් වශයෙන් තිර රචනා කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ගේ ‘වෑකන්ද වලව්ව’ හා ‘අම්මාවරුනේ’ චිත්‍රපටවලට.

* ඔබ මේ සියල්ල කිරීමට රැකියාවෙන් ඉවත් වී ගෙදර එනවා?

ඔව්! මා 1986 දී ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වෙනවා.

* කු‍ඩා දරු දෙදෙනකුගේ පියෙක් හැටියට ස්ථිර රැකියාවෙන් ඉවත්ව ගෙදර ඇවිත් ලේඛන කටයුතු කිරීම ආර්ථික වශයෙන් ඔබට බියක් දැනුණේ නැද්ද?

මාටින් වික්‍රමසිංහයන් හා ජී.බී. සේනානායකයන් යන මහ ගත් කතුවරුන් දෙදෙනාම ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා‍.

* ඉතිං!

ඒ දෙදෙනාත් ලේක්හවුසියෙන් ඉවත්ව මේ කාලයේ ලේඛනයේ යෙදී සිටියා. ඒ දෙදෙනාගේ බලපෑමත් මගේ තීරණයට හේතු වුණා.

* බිරිය?

ඇයට මගේ තීරණය කිව්ව ගමන් ඈ එයට කිසිම ප්‍රශ්නයක් නැතුව එක පයින් හා කිව්වා.

* එදා ගත් තීරණය හරියට හරි?

... සිනා ඔව්! මා එදා ඇවිත් ලියන්න පටන් ගත් පුටුවේ මේ දැනුත් වාඩි වී ඔබ සමඟ කතා කරන්නේ.

* රචනා කැර ඇති පොත් සංඛ්‍යාව?

තිස් පහක් පමණ

* මොනවද ඒ?

නව කතා දොළහක් ළමා පොත් අටක් කෙටිකතා එකක් විචාර පොත් පහක් ධර්ම ග්‍රන්ථ හතරක් ආදී වශයෙන්.

* අද නව කතාව ගැන යමක් කියන්න?

අද නව කතාව විවිධත්වයට පත්වෙලා ඒ අතර උසස් නවකතා වගේ ම බටහිර අනුකරණත් දකින්න පුළුවන්.

* ප්‍රමාණාත්මකවත් අද නවකතා රචනාවීම වැඩි වී තිබෙනවා?

ප්‍රමාණාත්මකව බලන කොට ගුණාත්මකව වැඩි වී නෑ!

* වර්තමාන ටෙලිනාට්‍ය?

කියන්න කනගාටුයි!

* ඒ ඇයි?

ඉතාමත් පහළ මට්ටමට වැටිලා හර සුන් බොල් දෑ බහුලයි.

* ටෙලිනාට්‍ය සඳහා ප්‍රමිතියක් අවශ්‍ය නැති ද?

අවශ්‍යයි! පළමුවෙන්ම සියලුම නාළිකා නිෂ්පාදකවරුන්ට ඉහළ ගෙවීමක් කළ යුතුය. ඒ ගෙවීම්වලට ප්‍රතිපත්ති මාලාවක් සකස් කැර ගත යුතුයි!

* ඒ කියන්නේ?

අද අඩුම මුදලට ටෙලිනාට්‍ය මිලදී ගන්න නාළිකා පෙලඹිලා. ඉතිං අඩු වියදමකින් හරසුන් බොළඳ නිර්මාණය කැර අලෙවි කරනවා.

* රූපවාහිනිය පැමිණි මුල් යුගයේ ටෙලිනාට්‍ය අද හා සසඳා බලන කොට උසස් තත්ත්වයක තිබුණා?

ඔව්! එයට ම. ඉහත කිව්ව කාරණා බලපෑවා. එදා එක ටෙලිනාට්‍යයකට අනුග්‍රාහකයන් සිටියේ එක් කෙනයි. අද ටෙලිනාට්‍යයට අනුග්‍රාහක දැන්වීම් පණහක් පමණ දමනව.

* පැහැදිලි කළොත්?

එක නාට්‍යයකට එක් ආයතනයක් අනුග්‍රාහකයෙක් වෙන විට ඒ නාට්‍යය ඒ ආයතනයේ බවට පත්වෙනවා ඉතිං! ආයතනයක් ‍කැමැති වෙයිද කසි කබල් පෙන්වලා තමන්ගේ ව්‍යාපාරයේ කීර්තිනාමය නැතිකරගන්න.

* එදා තිබුණ වාතාවරණය එයයි?

ඔව්! ටෙලිනාට්‍යය කියන නම දැම්මේ ධම්ම ජාගොඩයි. ඒ අවස්ථාවේ මාත් එතන හිටියා.

* ඊට කලින් මේ මාලා නාටකවලට අපට නමක් තිබුණේ නෑ?

ඔව්! ඔහු ඒ නම දැම්මේ බොහෝම උසස් පරමාර්ථයෙන්. අද ටෙලිනාට්‍යය කියා පෙන්වන දේවල් දැකලා ධම්ම ජාගොඩ හිටිය නම් සියදිවි නසා ගන්නවා.

* මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද?

දේශපාලකයින් වගේ ම වගකීමෙන් තොර මුදල් මතම හඹා යන මාධ්‍ය ආයතනයි.

* අවසන් වශයෙන් ඔබේ පවුලේ තොරතුරු ටිකක් දැන ගන්න කැමතියි?

මගේ බිරිය රූපා ලාලනි බමුණුආරච්චි. ඇය බො‍රලැස්ගමුවේ අපේ විවාහය සිදුවුණේ යෝජනාවකින්!

* දරුවෝ?

දුවයි! පුතයි දුව මධුභාෂිණි. පුතා අකලංක. දෙදෙනාම විවාහකයි. දුවට දියණියන් දෙදෙනකු‍ත් පුතාට දුවකුත් පුතෙකුත් ඉන්නවා.

* මේ දිනවල ඔබ යෙදෙන නිර්මාණ කටයුතු පිළිබඳවත් කියන්න?

‘රන්බැඳි මිනිස්සු’ නාට්‍යයේ මේ දිනවල කටයුතු කෙරෙනවා. එහි නිෂ්පාදනය ගාමිණී සෝමරත්න. අධ්‍යක්ෂණය ලක්ෂ්මන් පුෂ්පකුමාර.

* එපමණක් ද?

නෑ! මගේ අලුත්ම තිර රචනාව ලියමින් ඉන්නවා. එහි නම ‘නාඉල්ලේ ගී රාවය.’ 

Comments