මිතු­රෙකු වෙනු­වෙන් දිවි පිදු දුම්බර රජ්ජු­රුවෝ | සිළුමිණ

මිතු­රෙකු වෙනු­වෙන් දිවි පිදු දුම්බර රජ්ජු­රුවෝ

“වන බඹරා වන බඹරා රොනට වනි -

මල නොතළා පැණි උරලා ගියසෙ වැනි”

 

කුමාර ධාතුසේන නොහොත් කුමාරදාස නමින් ද හඳුන්වන මිතුරෙකුගේ දැල්වෙන චිතකයට පැන මිතුරා වෙනුවෙන් දිවි පිදු වෙනත් රජ කෙනෙකු ලෝක ඉතිහාසයෙහි සඳහන්ව නැත. මේ රජතුමා ක්‍රි.ව. 512 – 520 අතර රජකල සිංහල රාජාවලියේ අසු එක්වන (81) රජු බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති රාජාවලිය සඳහන් කරන අතර මහාවංශය සඳහන් කරන්නේ රජතුමා අපේ හැත්තෑ දෙවැනි (72) රජු බවය. ලංකා විශ්ව විද්‍යාලයේ “ලංකා ඉතිහාසය”විද්‍යාලංක‍ාර විශ්ව විද්‍යාලයේ සිංහල පරිවර්තනය රජතුමා ක්‍රි. ව. 508 – 516 කාලය අතර රජ කළ බව සඳහන් කරයි. මොහු පළමුවන මෞර්යය නොහොත් ලැමණි පරපුරට අයත් මුගලන්ගේ පුතාය. බිසව එම පරපුරටම අයත් කස්සප රජුගේ දු කුමරියයි. ලංක‍ාවේ මෙම පරපුර අද උඩුදුම්බර නොහොත් පුරාණ මිනිපේ ප්‍රදේශයෙන් පැවත ආවේය. අද එම පුරාණ ගම් රන්දෙණිගල - වස්ගමුව රක්ෂිතයට අයත්ව වල් බිහි වී ඇත. සිරිසඟබෝ ඇතුළු සහෝදරයින් එහි සිට අනුරාධපුරයට ගියේ මහවැලි ගඟ හරහාය එහි ඇති ශිලා ලේඛනයෙහි මේ බව සඳහන්ය. මෙම පිරිස ධර්මාශෝක අධිරාජ්‍යයා මෙරටට එවු ආකාරය පැරකුම්බා සිරිත මෙසේ විස්තර කරයි.

දහම් සෝ රජ සසිරි මා බෝ දකුණු සාකා

එවන මෙලකට

උතුම් තම කුලනෙව් සුමිතුරු කුමරු සමඟින්

කුලන් දහඅට

දකිම් නී උන් දෙවන පෑතිස් ලකිසුරා පෙර ගමන් කොට

වැඩුම් කර ඒ දුමිදු අනුරපුර වෙතේයි පුද පෙරහරින් තුට

කාව්‍ය ශේඛරයේද එම පරම්පරාව මෙසේ හඳුන්වා දෙයි.

සිරි සඟබෝ නිරිඳු

විකුම් වැඩි මහසෙන් රදු

බුජස් මහ නම් කුමරදස් රදු

මෙම කාල සීමාව තුළ ලංකාවේ උසස් ශාස්ත්‍රීය දියුණුවක් තිබුණි. සංස්කෘතික එළු පාලි සකුම මගද වංග තෙලිගු භාෂාවන්ද සිංහල භාෂාවට දියුණු තත්ත්වයකින් මෙන්ම භාවිත භාෂාවන් විය.

එමෙන්ම ජ්‍යෙතිෂය, ආයුර්වේද ගුප්ත විද්‍යා යන්ත්‍ර මන්ත්‍ර ආදිය පිළිබඳව ද හසල දැනුමක් අපේ පෙර රජවරුන් මෙන්ම ප්‍රභූ පිරිස්ද ලබා සිටියහ.

කුමාරදාස රජතුමා අස්ථාන ගතව තිබු සංස්කෘතික භාෂාවෙන් රචිත ජානකීහරණය වැනි විශ්ව සාහිත්‍ය කෘතියක් මතකය අවදි කරවමින් නැවත ලියා තබන්නට තරම් අනුස්මරණ ශක්තියක් මෙන්ම භාෂාන්තර ඥනයක්ද තිබු පඬිරුවනකි.

එකල තිබුණේ ගලතුරු මුල පිරිවෙන ඉරුගල් කුලතිලක පිරිවෙන විජයබා පිරිවෙන, සුනේත්‍රා දේවි පිරිවෙන, වීදාගම පිරිවෙන, කෑරගල පත්මාවතී පිරිවෙන ආදි ශාස්ත්‍ර මුලස්ථානය, කෑරගල පත්මාවතී පිරිවෙනෙහි අධිපතිවුයේ ද තවත් දුම්බර වැසියකු වු තුනයම හා විජය ඈපාවරුන‍්ගේද සහෝදර වනරතන මාහිමිපාණන්ය. පසු කලෙක උන්වහන්සේ ද කෝට්ටේ සංඟරාජ පදවියෙන් පුදනු ලැබ වත්තල මහා වෙහෙරෙහි වැඩ විසීය.

මෙම ශාසන මුලස්ථානවල කීර්තිය භාරතයේ පවා පැතිර තිබුණ පමණක් නොව එම රටවල ශාස්ත්‍රලාභීන්ද මෙම මුලාස්ථාන පිරිවෙන් වෙතින් උගත්හ. රාමචන්ද්‍ර, භාරතී, අශ්වඝෝෂ, බුද්ධඝෝෂ, වැනි භාරතීය උගතුන්ද මෙරටට පැමිණ අපට ශාස්ත්‍රාඥණය ලබා දෙමින් අපේ රටේ ඉතිහාසය කලා ශිල්ප සංස්කෘතිය ආදිය පිළිබඳව දැනුමක් ලබා ගත්තෝය.

කලිදාස භාරතීය මහා කවියාද මෙම අවස්ථාව වනවි‍ට අප රටට පැමිණ සිටියේ රජු‍ගේ මිත්‍රයකු මෙන්ම රාජකීය අමුත්තකු වශයෙනි.මේ මිතුරන් දෙදෙනාම එකල සමාජ පිළිගැනීමට ලක්ව තිබු ගණිකා වෘත්තියෙහි නියැළි ගණිකාවකගේ පහස ලැබීමට ගිය බව සඳහන්ය. සිද්ධිය වුදා ගණිකාව වෙත ගොස් ඇත්තේ කුමාරදාස රජතුමා පමණය.

තමා කලින් පැමිණි බව තම මිත්‍රයාට ඇඟවීමට මෙන් මුලින් සඳහන් කවියේ දෙපදයක් ලියා තබා ඉතිරි දෙපදය සම්පුර්ණ කරන්නෙකුට තෑගි ලබා ‍දෙන බවට ප්‍රකාශ කළ රජතුමා ආපසු මාලිගයට පැමිණ ඇත. කලිදාස මහා කවියා ඉතිරි දෙපදය බිත්තියෙහි ලියා සම්පුර්ණ කළේ එහි අර්ථ රසය ඔප ගන්වමිනි. එම වෛශ්‍ය කාන්තාව කලිදාස කවියා මරා දමා මාලිගයට ගොස් තමා කවියේ දෙපදය සම්පුර්ණ කළ බව රජතුමාට දන්වා පොරෙ‍ාන්දු වු පරිදි ත්‍යාගය ඉල්ලා සිටියේය.

සිදුව ඇති දෙය තේරුම් ගත් ර‍ජතුමා එම ස්ථානයට යන විටත් මාතර හත් බෝධිය අසල තැනක චිතකයක කාලිදාස මහා කවියාගේ දේහය ගිනි ගනිමින් තිබිණි. රජතුමාද චිතකයට පැන තම මිත්‍රයා වෙනුවෙන් දිවිපිදු සිද්ධිය මෙසේ ඉතිහාසයට එක්විය.

 

වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහවැව් බැඳි

වසර එකදා බිසවු අබිසෙස් මහණවම් තෙමඟුල් යෙදි

ඇජර කිවියර පිණින් ජානකි හරන නම් මහ කවි බැඳී

කුමර දස් රජ කාලිදස් නම් කිවිඳුහට සියදිවි පිදී 

 

Comments