එදා අපි මිනීපෙට්ටි සාප්පුකාරයන්ට සිනාසුණෙමු. එහෙත් අද බොහෝ ටීවී හා රේඩියෝ චැනල් මිනීපෙට්ටි සාප්පුකාරයන්ගේ තත්ත්වයටපත් ව තිබේ.
මිනීපෙට්ටි සාප්පුකාරයන්ට නොඑසේනම් ඔවුන්ගේ තැරැව්කරුවන්ට මිනීකාක්කන් යැයි කියනු ලැබේ. එනම් මහ ඉස්පිරිතාලවල ලෙඩුන් මියයන තුරු රැක සිටින බැවිනි. ඔවුන්ගේ හුස්ම වැටෙන්නට පටන් ගන්නේ තවකෙකුගේ හුස්ම යනවිටය. අද බොහෝ චැනල්වල ද තත්ත්වය එයමය. කෙසේ වුවද මෙය චැනල්වල පමණක් නොව ජනතාවගේ ද ආශාව බව කිව හැකිය. චැනල් විසින් ඉටුකරන්නේ ජනතාවගේ ආශාවය. එසේ ද වුවත් ජනතාව ද මිනීකාක්කන් බවට පත් කළේ චැනල් විසින් යැයි තවත් අතකට කිව හැකිය.
පොඩි ප්‍රහේලිකාවක් බවට ද පත්ව ඇති මේ කතාටික දැන් විසඳිය යුතුය. මිනීපෙට්ටි සාප්පුකාරයන් බලාසිටියේ තමාගේ මඩිය තර කරගැනීමට කවුරු හෝ මිය යනතුරුය. එසේම අද ටීවී චැනල් හදිසි අනතුරු ආදිය වෙනතුරු ඉමහත් ආසාවෙන් බලා සිටින්නේ තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශය හැඩවැඩ කර ආකර්ෂණිය කරගැනීමටය. අපරාධ සිදුවන තුරු බලාසිටින්නේ තමන්ගේ නරඹන්නන් වැඩිකර ගැනීමට එය උපකාරී වන බැවිනි.
පසුගිය කාලයේ චැනල්වල හැසිරීම දකිනවිට සුළි කුණාටුවක් එනතුරු චැනල් ආශාවෙන් බලා සිටියේ යැයි සිතේ. චැනල් පමණක් නොව ජනතාව ද ආශාවෙන් සිටි බවක් දැනේ. මුහුදේ හත් ගව්වක් එහා ඇති සුළි කුණාටුව දැන් දැන් ළඟා වෙතැයි ජනතාව හා චැනල් ආශාවෙන් බලා සිටි බවක් සමහරවිට අපට හැඟිණි. හොඳ දේ වෙනුවට විපත් සිදුවන තුරු බලා සිටින ජනතාවක් බවට ටීවී චැනල් විසින් අප පත්කර තිබේ ද?
තමන්ට නොව අනුන්ට විපතක් සිදුවනු දැකීමට සෑම විටම මිනිසෙකු තුළ සැඟවුණු ආශාවක් ඇත. බොහෝ ටීවී චැනල් මේ සැඟවුණු ආශාව මත ‘රන්වෙන’ බවක් දුවන බවක් හැඟේ.
කෙසේ වුවත් මාධ්‍යවලට වගකීමක් ඇත්නම් කළ යුත්තේ එවන් ආශා මත රන්වීමෙන් දිවීමෙන් වැළකීමය. එහෙත් ඒ වගකීම් දැන් අතීත කතාවකි. දැන් ඇත්තේ ජනතාවත් සමඟ දුවන මාධ්‍ය සංස්කෘතියකි. ජනතාවටත් ඉස්සරහින් දුවන මාධ්‍ය සංස්කෘතියකි. දුවන්නට සූදානම් ජනතාව නවතන ඔවුන්ට මඟ පෙන්වන මාධ්‍ය සංස්කෘතියක් නොවේ. මෙය දේශීය මට්ටමින් පමණක් නොව ලෝක මට්ටමෙන් ද එසේ විය හැකිය.
අද ගුරුවරු, මඟ පෙන්වන්නන්, ආදර්ශවත් චරිත හෝ වීරයන් නැත. ආගාධය කරා දුවන්නන් සමඟ වඩාත් වේගයෙන් දිවීම වීරකමයි. බොරුකියන්නන් අතර ඇත්ත කීම අද වීරකම නොවේ. බොරු කියන විට ඇත්ත පෙන්වාදීමට එදා ගුරුවරු සිටියහ. වීරයෝසිටියහ. එබඳු අය අද වීරයන් හෝ ගුරුවරුන් වශයෙන් නොසැලකේ. බොරු කියන්නන් අතර වඩාත් හොඳින් බොරු කියන්නා අද ගුරුවරයකු වශයෙන් සැලකේ. බොරු කියන්නන් අතරින් වඩාත් හොඳින් බොරු කියන්නා අද වීරයකු වශයෙන් සැලකේ. බොරු කියන්නන් අතර හොඳම බොරු කියන්නා ආදර්ශමත් චරිතය වශයෙන් අද සැලකේ. මේ අනුව විනාශය කරා යන රැල්ලට ජනතාව සමඟ එක්වීම අද බොහෝ මාධ්‍ය විසින් කරන මෙහෙවරයි. ජනතාව නවත්වන ජනතාව වෙනත් දිශාවකට යොමු කරන විනාශය ගැන කතාකරන මාධ්‍ය කලාවක් අද නැත. අද ඇත්තේ ජනතාවටත් වෙළෙන්දන්ටත් අවශ්‍ය සියල්ල ඉටුකරන මාධ්‍ය සංස්කෘතියකි. ජනතාවට ඉදිරියෙන් සිටින නොව‘ජනතාව සමඟ’සිටින මාධ්‍ය සංස්කෘතියකි. ජනතාව සමඟ සිටින යනුවෙන් මෙහි දී අදහස් වන්නේ ජනතාවගේ මෝඩකම් සමඟ සිටින යන්නයි. වෙළෙන්දන් සිටින්නේ ම ජනතාවගේ මෝඩකම් සමඟය. ටීවී හා රේඩියෝ චැනල් ද එසේ ම ය. එයට හේතුව සෙසු ව්‍යාපාර සේ ම ටීවී හා රේඩියෝ ද ව්‍යාපාර වී තිබීම යැයි කිව හැකිය. ඒ අනුව මේ ව්‍යාපාර මාධ්‍ය වශයෙන් නිර්වචනය කළ හැකි ද යන ප්‍රශ්නය ද මතු වේ. මාධ්‍ය සතු යැයි කියන ජාතික වගකීම එය ලාභ ඉපැයීම ම අරමුණු කරගත් ව්‍යාපාරයක් වන විට සිදුවන්නේ ද යන ප්‍රශ්නය මතු වේ. මේවා ප්‍රශ්න පමණි. උත්තර නැත. තමන්ට හැකි පමණින් තමන් ම උත්තර සොයාගත යුතුය. මාධ්‍ය විසින් හෝ වෙනත් අයකු විසින් උත්තර සොයා නොදෙන බව වටහාගත යුතුය.
අද මුළු රටේම ගඩොල් මෝඩයන් පිරී සිටින්නේ යැයි කිව හැකිය. එදා තිබුණේ ළමයි ගොඩක් සිටින පොඩි ගෙවල්ය. අද ඇත්තේ ළමයි එක්කෙනෙක් සිටින මාළිගාය.
එදා දරුවන් තුන් හතර දෙනෙක් සිටින තනි තට්ටුවේ ගෙවල් බොහෝ වූ අතර අද දරුවන් එක්කෙනකු සිටින තට්ටු තුන හතරේ ගෙවල් බොහෝය. මොවුන් ගඩොල් මෝඩයෝ්ය. මෙවන් කරුණු ගැන කවදාවත් මාධ්‍ය මගින් සාකච්ඡාවක් ඇති නොවේ. එදවස මනම් පිටියෙන් වැලි ගොඩදාමින් මහවැලි ගඟේ පරිසරය විනාශකරන වැලිමාෆියාවක් ගැන ද කියැවිණි. ලංකාවේ ගංගා වනසන්නේ ගම්වල සිටින දුප්පත් මිනිසුන් නොවේ. මහවැලි ගඟේ හා අනෙක් ගංගාවල වැලි අද ගොඩ ගැසී ඇත්තේ කොළඹය. ඒ වැඩකට නැති සුවිසල් මාළිගා වෙනුවෙනි. ලස්සන කොන්ක්‍රීට් ගොඩකට වඩා ලස්සන රටක් වටින බව මේ අයට වැටහෙන්නේ නැත. පරිසර විනාශය හා සුඛෝපභෝගී ජීවන රටාවන් අතර පවතින සම්බන්ධයක් නොදැක විල්පත්තුව ගැන කතා කිරීමෙන් පමණක් පරිසර හිතෛෂී බව පෙන්වන්නෝ බොහෝය. මෙවන් කුහකකම් නඩත්තු කිරීමට ද පිම්බීමට ද ටීවී මාධ්‍ය මගින් සුවිසල් සහායක් ලැබේ.
දේශපාලනඥයන්ගේ වංචා දූෂණ කතා කිරීම සමහර විට අද යල් පැනගිය දෙයක් විය හැකිය.
මුළු මහත් ජනතාවම ‘වංචාවක් හා දූෂණයක්’ විමට ටීවී චැනල් හා සමාජ මාධ්‍ය ජාලා මගින් සුවිසල් කාර්යයක් ඉටුකරමින් තිබේ. මේවා මගින් සමහර විට දේශපාලනඥයන්ගේ වංචා දූෂණ ගැන කතාකරන්නේ ම තමන් කරගෙන යන මහාපරිමාණ‘වංචාව හා දූෂණය’වසාගැනීමට විය හැකිය. ඒ අනුව මේ සමහරවිට දේශාපාලනඥයන්ට එරෙහිව‘මාධ්‍ය‘සමඟ එක් වියයුතු මොහොතට ද වඩා දේශපාලනඥයන් සමඟ හෝ‘මාධ්‍යවලට’එරෙහිව එක් විය යුතු මොහොතකි.