ගිරිකුළු මහිම | සිළුමිණ

ගිරිකුළු මහිම

ශ්‍රී ලංකාව තුළ විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ කඳු ශිඛර සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින බව සමීක්ෂණයකින් හෙළි වී ඇත. මෙරට උසම කඳු ශිඛරය ලෙස සැලකෙන මීටර් 2524 ක උන්නතාංශයකින් යුත් පිදුරුතලාගල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටියේය. ශ්‍රී ලංකාවේ වැඩි උන්නතාංශයකින් යුත්, ප්‍රසිද්ධ කඳුවැටි සමුදායක් දිස්ත්‍රික්ක 11ක් පුරා පැතිරී පවතී.

(දෙසැම්බර් 11 ට යෙදෙන අන්තර්ජාතික කඳුකර දිනය නිමිත්තෙනි.)

2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින්, සෑම වසරකම දෙසැම්බර් 11 වන දින ජාත්‍යන්තර කඳුකර දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිණි. අන්තර්ජාතික කඳුකර දිනය සංකේතවත් කිරීම උදෙසා සුවිශේෂී ලාංඡනයක් ද නිර්මිතය. එකිනෙක හා යාවූ කළු පැහැ ත්‍රිකෝණ තුනකින්, කඳු වැටි සංකේතවත් වන අතර, පළමු කඳු සිරස නීල දියමන්තිය පිරිසිදු දිය උල්පත් සංකේතවත් කරයි. දෙවැනි කඳු සිරස තැඹිලි පැහැය බල ශක්තිය සහ ඛනිජ සම්පත් නියෝජනය කෙරේ. තෙවන කඳු වැටියේ කොළ පැහැය අහර සහ සමතුලිත දේශගුණයක් සපත කරවයි. මෙම දිනය සැමරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කඳුවැටිවල තිරසාර සංවර්ධනය උදෙසා, වසරින් වසර කිසියම් නව තේමාවක් ප්‍රකාශයට පත් කිරීම ද සම්ප්‍රදායක් ව පවතී. ‘‘දේශගුණය, කුසගින්න සහ සංක්‍රමණයෙහි ලා කඳු වල භූමිකාව” මෙම වසරේ ජාත්‍යන්තර කඳුවැටි දින තේමාව ලෙසින් ප්‍රකාශිතය. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කඳු මතුපිට වන වැස්ම විනාශයට පත් වීමෙන්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුවේ. මෙමඟින් අහිතකර දේශගුණික විපර්යාසයන්ට මඟ සැලසේ. නාය යාම වන් විවිධ ස්වභාවික ව්‍යසනයන් සිදුවේ. පර්වත කොටස්, පස්, කඳු පාමුල දක්වා විසිර යාමෙන්, මානව ජනාවාස සහමුලින් ම විනාශයට පත්වේ. මානව වර්ගයා ගේ තිර පැවැත්මට අත්‍යවශ්‍ය ජලය, ආහාර සහ බලශක්ති ප්‍රභවයේ මූලික කේන්ද්‍රස්ථානය වන්නේ කඳුවැටි පද්ධතියයි. කඳුකර පරිසරය සංචාරක ව්‍යාපාරයන්ගේ තෝතැන්නක් ලෙසින් ද සැලකිය හැකිය. කඳු වැටි, විවිධ විනෝදාස්වාදයන් සලසන සුවි‍ශේෂී ස්වභාවික භූවිෂමතා අඩවියක් ලෙසින් ද ජනතාව‍ ගේ නොමද සම්භාවනාවට පාත්‍රවේ.

අන්තර්ජාතික කඳුකර දිනයේදී, කඳු සංස්කෘතියේ විවිධත්වය සහ සශ්‍රීක බව අවධාරණය කිරීම, ඔවුන්ගේ අනන්‍යතාව පුළුල් පරාසයක් තුළ ප්‍රචලිත කර ඒවාට පිළිගැනීමක් ලබා දීම ආදී පරමාර්ථ සපුරා ගැනීමේ අභිප්‍රායෙන් ලොව පුරා විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන දීර්ඝකාලීන භූ චලනයන ගේ බලපෑමෙන්, කඳු පන්ති නිර්මාණය වන බව භූවිද්‍යාත්මක මතයයි. පෘථිවියෙහි මුළු බිම් ප්‍රමාණයෙන් 27%ක් පමණ ප්‍රදේශයක් පුරා කඳු ව්‍යාප්තව පවතී. කඳු ආශ්‍රිත ප්‍රදේශවල මිලියන 720ට ආසන්න ජන සංඛ්‍යාවක් වාසය කරන බවද හෙළිවේ. ගිරිකුළු, ගගනත නිදැල්ලේ පාවී යන වලාවන් නිතැතින්ම තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට සමත් වේ.

මේඝයන් තුළ ගැබ් වූ සියුම් ජල අංශු, කඳු ශිඛර මත පැතිරී තුරු හිස් මත ස්පර්ශ වීමෙන් වැහෙන ජල බින්දු මිහිමත ඇද හැලෙන්නේ වර්ෂාවක් විලාශයෙනි. මේ කඳු පද්ධතියේ පවතින දැඩි ශීතල ස්වභාවය, සුළං කපොලු ඔස්සේ මිටියාවත වෙත රැගෙන එන්නේ අති සෞම්‍ය දේශගුණික තත්වයකි.

කඳු එසේත් නැත්නම් ගිරිකුළු මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය උදෙසා සැලසූ සලසන මෙහෙවර අතිමහත්ය. ලංකාවේ මුල්ම ආර්ය ජනාවාස පැතිර යන්නේ චිත්ත පබ්බත නොහොත් රිටිගල කඳු පියස ජන්ම කොට ගලා බස්නා මල්වතු ඔය ගංගාධාරය ඔස්සේය. මීටර 766 ක උන්නතාංශයකින් යුත් රිටිගල කඳු පද්ධතිය පිරිවරා පිහිටි වැද්දාකන්ද, ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උන කන්ද, ආඬියාකන්ද, අමරපති කන්ද, උල්පත් කන්ද ය සප්ත කඳු ශිඛර මතින් පැනනැගී දිය උල්පත්, මල් වතුඔය පෝෂණය කරනු ලබන්නීය. කඳුවැටි කපොල්ලක් තුළින් ගලා බස්නා ඇළ දොළ අවුරා, කපොල්ල වසා වේල්ලක් බැඳ, කඳුවැටි නෙරු දෙක එකට යා කර අප මුතුන් මිත්තෝ වැව් නිර්මාණය කළහ. සිංහල වාරි ශිෂ්ටාචාරයේ ප්‍රමුඛ වැව් පද්ධතිය බිහි වන්නේද මල්වතු ඔය ආශ්‍රයෙනි. නාච්චදූව, නුවරවැව, තිසාවැව, මහකනදරා වැව, අකතිමුරුප්පු වැව හා යෝධ වැව වෙත ජලය ගෙන යන්නේ මල්වතු ඔය මඟිනි. අතීතයේදී කදම්බ නදී නමින් ද ව්‍යවහාරිත මල්වතු ඔය කි.මී. 164 ක දිගු ගමන් මඟ අවසන් කරන්නේ ශිලාවතුරෙන් මහා සමුදුර වෙත සමීප වීමෙනි.

අපේ සමීපතම රට ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිහිවූයේ ද හිමාලය කඳු පියස ජීවය ලබා දුන් ඉන්දු ගංගා දෙගම්බඩය. බැබිලෝනියානු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පැතිරී යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දිය පෝෂණය කෙරෙන්නේ ද නැඟෙනහිර තුර්කි කඳු ආශ්‍රිතව පැනනැඟී උල්පත් මඟිනි.

ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාර මෙන් ම බෞද්ධ, හින්දු ආගම්හි ප්‍රභවය ද හිමාල කඳු පද්ධතිය ඇසුරෙන් නිපන් ගංගා යමුනා නදී නිම්න ආශ්‍රිත රාජධානි මුල් කර ගෙන සිදු විය.

ශ්‍රී ලංකාව තුළ විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ කඳු ශිඛර සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. මෙරට උසම කඳු ශිඛරය ලෙස සැලකෙන මීටර් 2524 ක උන්නතාංශයකින් යුත් පිදුරු තලාගල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටියේය. ශ්‍රී ලංකාවේ වැඩි උන්නතාංශයකින් යුත්, ප්‍රසිද්ධ කඳුවැටි සමුදායක් දිස්ත්‍රික්ක 11 ක් පුරා පැතිරී පවතී. රත්නපුර දිස්ත්‍රික්කයේ මීටර් 2243 ක උසින් යුත් සමනල කන්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ මීටර් 2033 ක උසින් යුත් නමුණුකුල කඳු වැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ මීටර් 1862ක උසින් යුත් හුන්නස්ගිරිය කඳු පද්ධතිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මීටර් 798 ක උන්නතාංශ කින් යුත් බතලේගල කඳු වැටිය,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මීටර් 766 ක උසින් යුත් රිටිගල කන්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි මීටර් 478 ක් උසැති ගල්ගීරිය කන්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ මීටර් 666 ක් උසැති වඩිනා හෙළ කන්ද, ගාල්ල මීටර් 661 ක් උසැති රූමස්සල කන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීටර් 424 ක් උසැති වැඩිහිටි කන්ද, අම්පාර දිස්ත්‍රික්කයේ මීටර් 1038 ක් උසැති රාස්සගල කන්ද මෙරට ව්‍යාප්තව පවත්නා කඳු අතරින් ප්‍රමුඛත්වයක් ගනී. මහවැලි, කැලණි, කළු, වලවේ සිවු මහා ගංගාවන් සමනල කඳු සිරසින් තම ගමන් ආරම්භ කරත්. මීටර් 263 ක් උසැති, මෙරට උසම දිය ඇල්ල ලෙසින් සම්මානිත බඹර කන්ද ජීවය ලබන්නේ හපුතල කඳු පද්ධතිය ඇසුරිනි. මෙම කඳු ආශ්‍රිතව විවිධ ජන ඇදහිලි, ජන විශ්වාස, ජන කතා හා ජන කවි සාහිත්‍යයක් ගොඩනැඟී පවත්නා බැව් නිරීක්ෂණය වේ.

කිසියම් රටක දේශීය ජනතාවට ම ආවේණික වූ සංස්කෘතික උරුමයන්, ස්වාධීනත්වය සුරක්ෂණයෙහි ලා ද කඳු පවුරු බලපා ඇති අයුරු ඉතිහාසය අපට පෙන්වා දෙයි. මලය රටේ කඳු වළල්ල දුට ගැමුණු කුමරුට රැකවරණය සැලසීය. වළගම්බා, කාශ්‍යප වන් නිරිඳුනට රැකවරණය ලබා දුන්නේ ද මෙරට ගිරි දුර්ගය. ලංකාවේ වෙරළබඩ තීරය ඉතා පහසුවෙන් විදේශ ආධිපත්‍යයට නතුවෙද්දී, මධ්‍යම කඳුකරයේ කඳු වළල්ල ආරක්ෂක පවුරක් සේ විරාජමාන වෙමින් උඩරට රාජධානිය රැකගත් අයුරු මෙහිදී නිදසුනක් ලෙස දැක්විය හැකිය.

කඳු ශිඛර සෞන්දර්ය, නික්ලේශී උතුමන් ගේ විප්පසන්නවූ චේතනාවලට ආරම්මරණයක් වූ අයුරු පෙළ දහම අපට සිහිගන්වයි. බුදු සිරිතේ විශේෂ අවස්ථා බොහොමයක් සිදුව ඇත්තේ සොඳුරු කඳුකරය ආශ්‍රිතව ය. බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි, කඳුකරයේ අසිරිය සිත් කාවදින අයුරින් දේශනා කළ සේක. “ආනන්ද, වේහාර පර්වතයෙහි සප්තපර්ණි ගුහාව සිත්කලුය. එසේම ඉසිගිලි පර්වත පාර්ශ්වයෙහි වූ කාළ ශිලාව ද එබඳු ම ය. ....”

මහා කාශ්‍යප

තෙරුන්ගේ උදාන ගාථාවල, පර්වත විෂයෙහි සෞන්දර්යාත්මක භාවය මැනවින් මතුකොට දක්වයි. “බොහෝ සෙයින් වට ඇති රම්‍යවූ තලා ඇති, මොනරුන් විසින් මයුර ලෙස රැව් දෙන්වා වූ, ඍෂිවරුන් විසින් ප්‍රිය කරන ලද, ‘නග’ නම් පර්වතය මා සිත් ඇද බැඳ ගත්තේය.....”

උත්තරීතර බුදුදහම අප දැයට දායාද කෙරුණේ ද මිහින්තලා කඳු පියස මත බව අපට මෙහිදී සිහිපත් වේ. භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේ ගේ සිරි පතුල පිහිටුවා ලන්නට සමනල මුහුල තෝරා ගැනී‍ෙමන් ම, කඳු පාර්ශ්වයෙහි පවත්නා අති පාරිශුද්ධත්වය, නික්ලේශී ස්වභාවය මැනවින් ස්පුට වේ. ක්‍රිස්තු පූර්ව යුගවල මිනිසා හා පරිසරය අතර පවතින අන්තර් සබඳතාව, ඍග්වේදයේ දිව්‍යමය ප්‍රවේශයක් ඔස්සේ විග්‍රහ කළහ. වෛදික යුගයේ ජනතාව, ස්වාභාවික වස්තූන්ට ජීවයක් ආරෝපණය කර, ඒවාට වන්දනාමාන කළ අයුරු ඍග් වේද පාඨවලින් මැනවින් නිරූපිතය.

“පර්වත තිර ලෙස මිහි මත වැජඹේවා...

ගංගා හා ජලාශ අප ජීවනය පෝෂණය කෙරේවා...”

ඍග් වේදයේ, කඳුකරය මිනිස් සිත් සංයමයට පමුණුවමින්, සන්සුන් කරමින්, විශ්වයේ නිහඬ, නිසසල, සත්‍යයේ ගැඹුරු ඉසව්වකට යොමු කරලන බැව් පැවසේ.

ගිරි කුළු මානව සිත් සතන්හි සෞන්දර්යාත්මක හැඟුම් පුබුදුවාලීමෙහිලා ද මූලික වී ඇති සෙයක් හැ‍ඟේ.

අපේ පැරණි ජන කවියා, සංදේශ කාව්‍ය රචකයා, මෙන් ම නූතන සාහිත්‍ය ධරයන් ද ගිරි කුළු, කඳු හෙල් ආශ්‍රිත සෞන්දර්ය, ප්‍රතිභා පූර්ණ අන්දමින් ඉස්මතු කර දැක්වීමට සමත් වූහ. කඳු හෙල් හෙල් සිප රූරා ගලා බස්නා දිය ධාරාවන් සේම, කඳු හෙල් ආශ්‍රයෙන් නිපන් සෞන්දර්ය මිනිස් සිත් සතන් සනහාලන සුලුය.

ප්‍රවීණ ගීත රචක සුනිල් සරත්, නිසොල්මන් විමසිල්ලෙන් ගම දෙස නෙත් අයා සිටින රඹුක්කන් කඳු ශිඛරය දකින්නේ උපේක්ෂා සහගත සජීවී පුද්ගලයකු විලසිනි.

“ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස

ඔබ මා අතැර වෙන නුවරක ගිය දවස

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස...”

සජීවීමත්, සංවේදශීලී ඒ කඳු සිරස, මිනිස් දිවියේ අනුස්මරණීය අවස්ථා උපේක්ෂා ශීලීත්වයෙන් ග්‍රහණය කර ගන්නා අපූර්වත්වය මෙමඟින් කදිමට විචිත්‍රණය වේ.

කඳු පරිසරය අප දිවි පෙවෙතට කෙතරම් සමීප ද, ආස්වාදනීය ද?

සමතුලිත පරිසරයක් සහතික කිරීමේ ප්‍රබල දේශගුණික සාධකයක් ලෙසින් කඳු වැටි ඉටු කරන භූමිකාව කුමක්ද? කඳුකරය වසා ගත් වැසි වනාන්තර රැක ගැනීම උදෙසා, මිනිස් වර්ගයා වෙත පැවරී ඇති වගකීම කවරේද? මෙම විමසීම්, ජගත් කඳු වැටි දිනයේදී අප අවධානයට, සාකච්ඡාවට බඳුන් කිරීම අතිශයින් ම වැදගත් වනු නිසැකය. 

 

Comments