
ලිබියනු ජාතිකයන් පිරිසක් වහලුන් ලෙස වෙන්දේසි කිරීමේ වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වීමෙන් පසු අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාට චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ වීඩියෝ පටවලට අනුව තම රට තුළ පැවති කැරලි කෝලාහල හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා යුරෝපයට පලා ගිය ලිබියානු ජනතාව කිසියම් පිරිසක් විසින් අතරමගදී අල්ලා ගනිමින් වහලුන් ලෙස අලෙවි කිරීමේ නිරත වී තිබේ. මෙවන් මිනිස්කමට නිගා දෙන ක්‍රියා සිදුවීමට හේතුව ලිබියාවට අමෙරිකානු හමුදා යැවීමට අණ දුන් එවකට අමෙරිකානු ජනාධිපති ඔබාමා බැවින් මේ සිදුවීම්වල වගකීම් ඔහු විසින් බාර ගත යුතු වන්නේ යැයි ජනතා මතයක් ඇතිවී තිබේ. 2011 වසරේදී එවකට අමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ඔබාමා ලිබියාවට අමෙරිකානු හමුදා යැවීමට කටයුතු කළ අතර යුරෝපය නියෝජනය කරමින් නේටෝවද එ් සඳහා එක් විය. එම ප්‍රහාර එල්ල කරමින් ඔවුන් උත්සාහ කරනුයේ ආඥාදායක මුවම්මර් ගඩාෆි ලිබියානු පාලක අසුනින් ඉවතට ඇද දැමීම බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ විය. අවසානයේ එම උත්සාහය සාර්ථක වූ අතර ගඩාෆි මරා දමනු ලැබීය.එහෙත් ඒ සමගින් ලිබියාව අරාජික වූ අතර ජීවිතාරක්ෂාව පතා දහස් ගණන් ලිබියානුවන් යුරෝපයට සංක්‍රමණය වන්නට වූහ. තම ගමන අතරමගදී වහලුන් ලෙස අලෙවි වන්නට සිදුවූයේ එලෙස සංක්‍රමණය වූ ඇතැම් ලිබියානුවන්ටය. මේ සඳහා වහල් වෙන්දේසි පැවති බවද දැන් අන්තර්ජාලයට එක්ව ඇති වීඩියෝ පට අනුව පැහැදිලි වී තිබේ.
අමෙරිකානු හමුදා ලිබියාවේ කළ මෙහෙයුමට අනුව ගඩාෆි පාලනයෙන් ඉවත් කර දැමීමට හැකි වුවද ලිබියාවට බලාපොරොත්තු වූ යහපතක් නම් ඉන් ඉටු වූයේ නැත. ඒ වෙනුවට සිවිල් සමාජය අස්ථාවර වූ අතර එහි අතුරු ප්‍රතිඵල වූයේ මෙලෙස ජනතාව රට හැර පළා යෑමය.
සීඑන්එන් පුවත් සේවය සිදු කළ සමීක්ෂණයකට අනුව ලිබියානු ජාතිකයන් වහලුන් ලෙස අලෙවි වීමේදී නියමවී ඇත්තේ ඉතාම අඩු මිලක් වන අතර එය ඩොලර් 400කි. මේ අලෙවිය සිදු කර ඇත්තේද වෙන්දේසි දැමීම මගිනි. ජීවිතාරක්ෂාව පතා රට හැර ගිය ලිබියානු ජාතිකයන් දහස් ගණනින් මෙලෙස වහලුන් ලෙස අලෙවි වන අතර තවත් දහස් ගණනක් මරුමුවට පත්ව ඇති බවද වාර්තා වී තිබේ. ඒ නුව 2011 සිට 2014 දක්වා යුරෝපයට පලා යන අතර මිය ගිය ලිබියානුවන් සංඛ්‍යාව 22500ක් බවද වාර්තා වී තිබේ. මේ සියලු දේ හෙළිදරවු වීමෙන් පසු හිටපු ජනාධිපති ඔබාමාට චෝදනා එල්ල වී ඇත්තේ ලිබියානු ජාතිකයන්ට මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවූයේ ඔහු සිදු කළ හමුදා මෙහෙයුම් නිසාවෙන් වන බැවිනි. කෙසේ වුවද මේ වන විට ඔබාමා විශ්‍රාම සුවයෙන් පසු වන අතර ඔහුට විරුද්ධව නඩු පැවරීමක් නම් සිදු වන බවට ඉඟියක් හෝ නැති බවද සඳහන් කළ යුතුමය.