
දැනට මොරගහකන්ද ජලාශයට යට වී ඇති භූමිය තලාතු මිනිරන් බහුලය. ඒවා එකතු කළ උදවිය මාතලේ යටවත්තේ ලාකඩ කර්මාන්තකරුවන්ට විකිණීමට පුරුදුව සිටියහ. කබරව විජේරත්න නිෙවසේ නැවතී ලග්ගල ඡන්ද සටනේ නිරතව සිටි අපගේ කණ්ඩායමේ සිරිපාල දිසාසේකර සහ සෝමපාල හෙට්ටිආරච්චි ගුරු වෘත්තියේ නිරතව සිට දැන් විශ්‍රාමිකව සිටිති. ආචාර්ය ධම්මික බිබිලේ පසුගිය දා අභාවප්‍රාප්ත විය. ඇතැම් දිනවල මොන්ටිගේ බිරිය අපට කැවිලිපෙවිලි ගෙන ආවාය. ඈ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ දියණියයි.
මොරගහකන්ද ජලාශය පිළිබඳව යළි මතකයට නැඟේ ඒ සටහන් පොත ඔස්සේ ය.
මොරගහකන්ද අවට ප්‍රදේශ රැසක් එදා ලග්ගල ආසනයට අයත් විය. ලංකාවේ නොදියුණුම ප්‍රදේශයක් ලෙස ද, ගමනාගමනය අතින් ඉතාම අපහසු ප්‍රදේශයක් ලෙස ද ලග්ගල ආසනය සැලකිණ. තවලම් ගමන් පාවා දක්නට ලැබුණි.
1970 මහ මැතිවරණයේ දී ලග්ගල අසුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කෙළේ මොන්ටි ගොපල්ලවය. මොන්ටි ගොපල්ලව නමින් ජනප්‍රිය වුවද, ඔහුගේ සම්පුර්ණ නම මොහිත්‍ර කුඩා බණ්ඩා ගොපල්ලවය. ඔහු එවක අග්‍රාණ්ඩුකාර තනතුර දැරු විලියම් ගොපල්ලව මහතාගේ පුත්‍රයාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංවිධාන අංශයේ නායකයකු ව සිටිය නිසා දේශපාලන උණ සැදී තිබුණු ශිෂ්‍යයෝ රටේ සිව්දිගින්ම පැමිණ ලග්ගල කඳවුරු බැද ගත්හ. ගොවිගෙවල පදිංචිව මොන්ටි දිනවීමට ක්‍රියා කළහ.
දඩුල්ලේ සිට නාඋලට ගොස් වමට හැරී ඇළහැර පාරේ ගොස් කෝන්ගහවෙල කබරව යන ප්‍රදේශයන්හි අපි වාඩිලා සිටියෙමු. එකල නාඋල නගරය කුඩා කඩ පොළකි. නගරය මැද අම්බලමකි. මහ වනයෙන් කැලෑ බෙහෙත් එකතු කරන්නෝ අරළු, බුළු, නෙල්ලි, බිම්කොහොඹ එකතු කර නාඋල ‘නගරය’වෙත ගෙන ආහ. අඹන ප්‍රදේශය පතෝල, වැටකොලු ආදී දේශිය එළවළුවලින් පොහොසත්ය. නාඋල හන්දිය අවටම ගොරකා තක්කාලි වගා තිබුණි. කෝන්ගහවෙල ප්‍රදේශයේ මැණික් ගරන්නෝ වුහ. වැඩියෙන්ම ලැබුණේ මල් රබසි නම් රතු පැහැති ගල් වර්ගයයි. මැණික් මිලට ගැනීමට මාතලේ සිට වෙළෙන්දෝ පැමිණියහ.
දැනට මොරගහකන්ද ජලාශයට යටවී ඇති භූමිය තලාතු මිනිරන් බහුලය. ඒවා එකතු කළ උදවිය මාතලේ යටවත්තේ ලාකඩ කර්මාන්තකරුවනට විකිණීමට පුරුදුව සිටියහ.
කබරව විජේරත්න නිවසේ නැවතී ලග්ගල ඡන්ද සටනේ නිරතව සිටි අපගේ කණ්ඩායමේ සිරිපාල දිසාසේකර සහ සෝමපාල හෙට්ටිආරච්චි ගුරු වෘත්තියේ නිරතව සිට දැන් විශ්‍රාමිකව සිටිති. ආචාර්ය ධම්මික බිබිලේ පසුගිය දා අභාවප්‍රාප්ත විය. ඇතැම් දිනවල මොන්ටිගේ බිරිය අපට කැවිලිපෙවිලි ගෙන ආවාය. ඈ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ දියණියයි.
පළමුවන පළාත් සභා මැතිවරණ සමය වනවිට ලග්ගල මාතලේ දැඩි භීෂණය රජ කෙළේය. මොරගහකන්ද ජලාශයට යටවු ගල්තලාවක් මත තරුණ මළ සිරුරු 15ක් ගොඩගසා තිබුණි.
දිනමිණ පත්‍රයේ පාසලෙන් පාසලට නම් විශේෂංගය සඳහා එහි විශේෂාංග කර්තෘ තිස්ස එදිරිසිංහ මේ ප්‍රදේශයේ සංචාරයට යන විට මා ද කැටිව ගියේය. ආරියරත්න ගණේගොඩ සහ බන්දුල අලහකෝන් සෙසු සගයෝය.
මොරගහකන්ද නුදුරුව ඉලුක්කුඹුර මුදලාලිගේ ව්‍යාපාරික ස්ථානයක් පිහිටියේය. ඕනෑම කෙනෙකුට “එව, කව, බොව,” කියන ජාතියේ මිනිහෙක් වු ඉලුක්කුඹුර මුදලාලි අප සියලු දෙනාට ආගන්තුක සත්කාර කිරීමට සැදී පැහැදී බලා සිටියේය. අඹන් ගගෙන් නාගෙන, රාත්‍රිය ඉලුක්කුඹුර කඩේ නැවතී උදේ පිටත්ව යමු. ප්‍රාදේශිය වර්තාකරු වෙලගෙදර ද අපට එක්විය.
දැඩි ශ්‍රීලනිප පාක්ෂිකයකු වු ඉලුක්කුඹුර මුදලාලි ඇලහැර අවට දිළිඳු ගම්වැසියනට සිය ධනය වැයකොට නිවාස රාශියක් ඉදිකර පරිත්‍යාග කෙළේය. එහෙත් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වුයේ නැත.
මොරගහකන්ද අවට ප්‍රදේශය වන සතුන්ගෙන් ගහණය. රාත්‍රි 7 වනවිට වල් අලි අඹන්ගසට බැස බෙරු නම් වනවැල් ආදිය කෑමට පුරුදුව සිටියහ. වලසුන් මෙන්ම දිවියන් ද ගැන ඉදහිට අසන්නට ලැබුණි. මාතලේ සහ කොළඹ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු සතු සංචාරක නිවසක් මෙහි පිහිටා තිබුණි. එම නිවස මුරකිරීමට දිවියෙක් කූඩු කර සිටියේය. මේ සංචාරක නිවස හැඳින්වුනේ ග්‍රීන් වුඩ් නමිනි.
ප්‍රබල දේශපාලනඥයෝද එදා එම සංචාරක නිවහනට ගොඩවැදුණි.
මේ ප්‍රදේශයේ කළ සංචාරයන්හි දී ඇලහැර, බකමුණ සහ මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳ බොහෝ කතා ද අපට සටහන් කර ගැනීමට අවස්ථාව ලැබිණි. ඩි. එස්. සේනානායක, සී.පී.ද සිල්වා ආදී පැරණි දේශපාලනඥයන් පිළිබඳ එබදු කතා රාශියකි.
ඇලහැර ආශ්‍රීත නව නගර බිහිවීම බලන්නට පැමිණි සේනානායක මහතා වත්මන් බකමුණ ප්‍රදේශයේ ඉදිවන නව ගම්මානය සඳහා සුදුසු නමක් තෝරා ගැනීමට සාකච්ඡා සභාවක් පැවැත්වීය.
සුදුසු නමක් යෝජනා කරන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටියද කිසිවෙකු කතා කෙළේවත් නැත. “නිකං බකමුණො වගේ ඉන්නෙ නැතුව කතාකරපල්ලා” ඩී. එස්. සේනානායක මහතා යළිත් කීවද කිසිවකු කතා කෙළේ නැත.
“මං පාරදිගේ එනකොටත් දැක්කෙ බකමුණෝ. මෙතන ඉන්නෙත් බකමුණෝ. ඒක හින්දා මේ කඩපොළට බකමුණ කියල නම දානවා යැයි ඩී. එස්. කීවද එයට ද කිසිවෙක් කිසිවක් කීවේ නැත. එදා සිට එම ස්ථානයට බකමුණ යන නම ලැබිණැයි අපට දැනගන්නට ලැබිණ.
එසේම ඩී.එස්. සේනානායක මහතා විසින් සිය අත් අකුරෙන් ලියන ලද ලිපියක් ගොවි නිවසක ඇතැයි අපට දැනගන්නට ලැබී අපි එය සොයා ගියෙමු.
එවැනි ලිපියක් හමුවිය. එහි ලියා තිබුණේ ගොවියාට දී තිබෙන ගොඩමඩ ඉඩම් වගා කරගෙන තම දු දරුවන්ද එම ප්‍රදේශවලම බින්න බැස්සවීමට කටයුතු කළ යුතුය යන අවවාදයයි.
ඇමති සරත් අමුණුගම මහතා විසින් සී.පී. ද සිල්වා මහතා ගැන ඉංග්‍රීසියෙන් පුවත් පතකට ලියන ලද ලිපියක් මා සන්තකයේ තිබේ. ඩී. එස්. සේනානායක මහතා අමුඩයක් ගසාගෙන වැව් බැම්මක වාඩිවී සිටිනු එහි දැක්වේ. සී.පී. ද සිල්වා, රොබට් සේනානායක සහ අයිවර් පලිපාන කොට කලිසම් ඇඳගෙන ඒ පසුපස කරට අතදමාගෙන සිටිති. ඡායාරූපය අරගෙන ඇත්තේ සී.පී. සමඟ එක පන්තියේ ඩඩ්ලි සේනානායක විසිනි.