1817 – 18 ඌවේ විමුක්ති සටනේ පුරෝ­ගා­මියා කිවු­ලේ­ගෙ­දර මොහො­ට්ටාල | සිළුමිණ

1817 – 18 ඌවේ විමුක්ති සටනේ පුරෝ­ගා­මියා කිවු­ලේ­ගෙ­දර මොහො­ට්ටාල

1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන ලද සිංහල - ඉංග්‍රීසි ගිවිසුමෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් ලෙසට ප්‍රකාශ කරන ලදී. මේ නිසා උඩරට පාලන ක්‍රමයේ වෙනස්කම් රාශියක් ඇති විය. උඩරට රදළවරුන්ට අවශ්‍ය වූයේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමයි. එහෙත් සිදුවූයේ එංගලන්තයේ රජු ලංකාවේ ද රජු වීමයි.

එංගලන්තයේ සිටි III වෙනි ජොර්ජ් රජුට දෘශ්‍යමාන රජෙකුගේ තැන ගැනීමට නොහැකි විය. මහනුවර වැසියාට වුවමනා වූයේ බැහැ දැකගත හැකි රජෙකි. රජු ඉදිරියේ සිය දුක්ගැනවිලි කියා පා වැඳ වැටී තීන්දු ලබාගැනීමට ඔවුන්ට රජෙකු අවශ්‍ය විය. එතෙර සිටින රජෙකු කෙසේ ලංකාව පාලනය කරාවි දැයි ඔවුන්ට සිතා ගත නොහැකි විය.

මේ අසහනය වඩාමත් පැතිර ගියේ ඌව වෙල්ලස්සේ ය. මහනුවර රජුන් දවසද ඌව වෙල්ලස්ස මහනුවර රාජධානියේ හුදකලා ප්‍රදේශයක් ලෙසින් පැවැතුණි. රජුගේ පාලනය මේ ප්‍රදේශ කෙරේ බලපෑවේ ඉතා සුළු වශයෙනි. එහෙත් එහි වැසියෝ දැඩි රාජපාක්ෂිකයෝ වූහ. 1815 දී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ වැසියන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී නොසිටීය. නමුත් මෙම ප්‍රදේශ නියමාකාරයෙන් යටත් නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය හේවායෝ වැසියන්ගේ දේපළ කොල්ල කෑහ. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකි වූ බැවින් ගම්මුලාදෑනි කෝපයට පත්වූහ.

මේ අතර ඌව - වෙල්ලස්සේ යෝනක ජනයා බ්‍රිතාන්‍යයට ළැදි වූහ. වෙරළබඩ ප්‍රදේශ සමඟ ගෙන ගිය රෙදි සහ ලූණු වෙළෙඳාම සම්පූර්ණයෙන් ම පැවැතියේ යෝනකයන් අත ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ ඔවුන්ගේ කාර්ය වූ‍ෙය් රජුගේ ගබඩාවට බඩු ඇදීම ය. මේ නිසා ‘මැදිගේ’ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් සමන්විත වූහ. එහෙත් ‘මැදිගේ’ ලේකම් වූයේ සිංහලයෙක් යෝනකයන් සුළු මුලාදෑනි තනතුරු දරන ලද නමුත් ඔවුන්ගේ ප්‍රදේශයේ දිසාවේ සහ අන් ප්‍රධානීන්ගේ පාලනයට යටත් වූහ. මේ නිසා ඔවුන් ගෙන ගිය බඩු සිංහල ප්‍රධානීන් කැමැති මිලකට ගන්නා ලද අතර සමහර විටෙක නොමිලයේ ද ගත්හ.

මෙයින් අප්‍රසාදයට පත්ව සිටි යෝනකයන් ඔවුන්ට ද මුහන්දිරම් තනතුරක් ලබාදෙන ලෙස බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ‘හජ්ජි’ නම් අයෙක් වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කළේ ය. මෙය සිංහලයන් කුපිත කරවන සිද්ධියක් විය. මුස්ලිම්වරුන් ද තමන්ට අත්වූ බලයෙන් ප්‍රමුදිත වූවාහු සිංහල අදිපතිවරුන්ට පෙර මෙන් සැලකිලි නොකළහ.

මේ තත්වයෙන් වඩාමත් ප්‍රකෝපයට පත් ව‍ූයේ එදා වලපනේ දිසාවට අයත්ව තිබූ වියලුවේ උපන් කිවුලේගෙදර මොහොට්ටාල ය. වර්තමානයේ කිවුලේගෙදර වියලුව ඡන්ද කොට්ඨාසයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. එහි ප්‍රභූ පවුලකට අයත්ව සිටි බණ්ඩාර වැද්දාගේ පරපුරේ අයෙක් ව‍ූ කිවුලේගෙදර මොහොට්ටාල උගත්, බුද්ධිමත්, ප්‍රඥාවන්ත අයෙක් බව ඉංග්‍රීසීන් පවා පිළිගෙන ඇත. සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳව මනා අවබෝධයකින් යුතු වූ හෙතෙම ලේඛන කලාවට හා කවියට ද සූරයෙක් වූ අතර උඩරට රාජකීය කවි මඬුවලට නැතිවම බැරි අයෙක් වූයේ ය‍. එසේ ම ඔහු රණශූරයෙක් ද විය.

ඔහුගේ නායකත්වයෙන් වෙල්ලස්ස ප්‍රදේශය ඉංග්‍රීසීන්ට විරුද්ධව යම් යම් කලි කලහ පැන නැගුණි. මේ අතර ඉංග්‍රීසි පාලනයට පක්ෂපාතව කටයුතු කළ කන්ද කැපූ උල්පත ගම්මැහැගෙරාල නැමැත්තා අභිරහස් ලෙස මරණයට පත් විය. මේ මරණය සම්බන්ධයෙන් කිවුලේගෙදර මොහොට්ටාල අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට විරුද්ධ නඩුව 1816 ජූලි 17 දින මහනුවරදී විභාගයට ගැනුණි. අධිකරණ මණ්ඩලය සමන්විත වූයේ මහනුවර ඉංග්‍රීසි උප ඒජන්ත වූ ජෝන් ඩොයිලි වෙල්ලස්සේ දිසාව වූ මිල්ලව නිලමේ වලපනේ දිසාව වූ දුල්ලෑවේ නිලමේ සහ කඩිගමුවේ ලේකම් නිලමේ යන අයගෙනි.

අධිකරණයේ කටයුතු දීර්ඝ කරමින් වියලුවේ හපන්ගමුවේ මොහොට්ටාල වැනි ඌව වෙල්ලස්සේ ඉංග්‍රීසි පාලන විරෝධීන් ද දඩයම් කිරීමට ඉංග්‍රීසි පාලකයන් සැරසෙන බව දුටු කිවුලේගෙදර මොහොට්ටාල හි‍රගෙයින් පලා ගොස් වෙල්ලස්සේ කැරැලි කරුවන්ට එක් විය.

1817 කතරගම දේවාලයේ පෙරහැර අවසාන වීමත් සමඟම උඩරටින් මහා සංඝයා වහන්සේලා පිරිසක් කතරගම දේවාලය කරා වැඩම කළහ. එම භික්ෂු පිරිස අතර සිටි තරුණ භික්ෂුවක් ‘හීන් හාමුදුරුවෝ’ ලෙස හැඳින්වූහ. ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඥාතියෙකු ලෙස දේවාලයේ භාර කරුවන්ට හඳුන්වා දෙන ලදී. නමින් ‘විල්බාවේ උන්නාන්සේ’ වූ හෙතෙම සිවුරු හරවා කිවුලේගෙදර මොහොට්ටාල විසින් පිරිනමන ලද රන් හුයෙන් නිම කරන ලද විචිත්‍ර වූත්, අනගි වූත් වස්ත්‍ර හදවා ‘දොරේසාමී’ නොහොත් ‘ශ්‍රී රාජසිංහ’ නමින් අභිෂේක කරවන ලදී.

මේ ලෙස යළිත් සිංහල රාජ්‍යයක් බිහි කිරීමේ අරගලය වෙල්ලස්සෙන් ඇරැඹීමත් සමඟම එය සැලවූ හජ්ජි මුහන්දිරම් කැරැලි කරුවන් අත්අඩංගුවට ගැනීමට ගියේ ය. ඔහු පසුපස ගිය කැරැලිකරුවන් හජ්ජි මුහන්දිරම් අල්ලා ගත්තේ ය. ඔහු බේරා ගැනීම සඳහා ගිය එවකට ඌවේ උපදිසාපති වූ මේජර් සිල්වෙස්ටර් විල්සන් ඊතනවත්ත දේවාලයට නුදුරු විල් තෙරදී ඊ පහරකට ලක්ව මරු මුවට පත්විය. මේ අතර පහළ ඌවේ වනගත පෙදෙස්වල ඉංග්‍රීසීන්ට විරුද්ධ සටන මෙහෙයවූ විල්බාවේ නොහොත් දොරේසාමී රජු සිය අනුගාමිකයන්ට තනතුරු දෙමින් සුද්දන් සියලුදෙනා මරා දැමීමට නියෝග නිකුත් කර තිබුණි. කැරැලිකාර පිරිස වෙල්ලස්ස, ඌව බිංතැන්න යන ප්‍රදේශවල ඉතාම බලවත්ව සිටින බව දක්නට ලැබුණි. මහ බදුලු ගමරාල, බූටෑවේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල ආදීහු වෙල්ලස්ස සහ වලපනේ ප්‍රදේශවල සටන් මෙහෙයවූහ.

හජ්ජි මුහන්දිරම් සහ විල්සන් මරා දැමීමෙන් පසු ඌවේ සාමය ඇති කරනු සඳහා එහි යවන ලද්දේ මොනරවිල කැප්පෙටිපොළ නිලමෙ තුමා ය. එහෙත් ඌවේ සටන් ව්‍යාපාරය පසුබිම හා වීරත්වය දුටු එතුමා ඉංග්‍රීසීන්ගේ අවි ආයුධ ආපසු යවා සිංහලයේ විමුක්ති සටනට එක් විය. එතුමා විල්බාවේ රජතුමා විසින් පිරි නැමූ සේනාධිනායක තනතුර බාරගෙන ඌවේ සටන් නායකයා බවට පත් විය.

1818 මැයි මාසය වන විට කැරලි කරුවන්ට දළදා මාලිගාවේ තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ පැහැර ගැනීමට හැකි විය. ඒ වාරියපොළ සුමංගල හිමි‍යන්ගේ උපකාරයෙනි. දන්ත ධාතූන් වහන්සේ යම් කෙනෙකු ළඟ වී නම් ඔහු උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල රජු වශයෙන් පිළිගැනීමේ සම්ප්‍රදාය අනුව කැරලිකරුවන්ගේ තත්ත්වය ඉතාමත් සතුටුදායක විය. මේ අනුව හඟුරන්කෙතදී විශාල ජනකායක් ඉදිරිපිට දී දොරේසාමි හෙවත් විල්බාවේ ‘වීර වික්‍රම ශ්‍රී කීර්ති’ නමින් උඩරට රජු වශයෙන් ඔටුනු පලඳන ලදී.

මේ නිදහස් සටනේදී වලපනේ ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන් ම රැදී තිබුණේ කිවුලේගෙදර මොහොට්ටාල අත ය. ඔහු අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් දරන ලද ප්‍රයත්න ව්‍යවර්ත වී ගියේ ය. ඔහුගේ හිස ගෙනා කෙනකුට රන් පගෝදි 500 ක් දෙන බවට ඉංග්‍රීසි රජය විසින් ප්‍රකාශ කළේ ය.

මේ අතර දොරේසාමි ලෙස පෙනී සිටි‍න්නේ නායක්කර් වංශිකයකු නොව සාමාන්‍ය පුද්ගලයකු බව දැන ගැනීමෙන් පසු කැරැලි නායකයන් අතර මත භේද ඇති විය. ඒ අතර ඉංග්‍රීසි රජය කැරැල්ල මැඬ පැවැත්වීමට අනුගමනය කළ ක්‍රෑර ක්‍රියා මාර්ග නිසා උඩරැටියන්ගේ ගරිල්ලා සටන් ක්‍රමය අඩපණ වී ගියේය. කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ අනුරාධපුරය අසලදී අත්අඩංගුවට ගත්හ. 1818 නොවැම්බර් වන විට කැරැල්ලේ නායකයින් බොහෝ දෙනෙක් ඉංග්‍රීසීන්ට අසුවී හෝ සටනේදී මරණයට පත් වී සිටියහ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කළ කිවුලේගෙදර මොහොට්ටාල බොහෝ අවස්ථාවල ඉංග්‍රීසි සේනාංකවලින් බේරී පලා ගොස් ඇත. ඔහු වෙනුවෙන් ප්‍රදානය කරන විශාල මුදලට කෑදර වූ පිරිසක් ඔහු ගැන සෙවිල්ලෙන් සිටියහ. අවසානයේ ලූණු වෙ‍ළෙඳන්ද දෙදෙනකු ලෙස වෙස් වලාගෙන සිටි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විසින් මහ වනයේ හේනක් මැද රෝගාතුරව දුර්වලව සිටි කිවුලේගෙදර මොහොට්ටාල සොයා ගන්නා ලදුව බදුල්ලේ ඉංග්‍රීසි ඒජන්තවරයා වෙත බාරදෙන ලදී.

1818 නොවැම්බර් 26 දින බදුල්ල යුද්ධාධිකරණයට පැමිණ වූ කිවුලේගෙදර මොහොට්ටාල වෙත මරණීය දණ්ඩනය නියම කරන ලදුව 1818 දෙසැම්බර් 18 දින බදුල්ලේදී එල්ලා මරණ ලදී. 1818 විමුක්ති සටනේ පුරෝගාමියා වූ කිවුලේගෙදර මොහොට්ටාලට ජනතාව කොතෙක් ආදරය කළේ ද යත් ඔහු මිය ගිය පසු ‘පුංචි අලුත්බණ්ඩාර දෙවියන්’ ලෙසින් දේවත්වයෙහිලා සලකා පුද පූජා පවත්වනු ලැබේ. 

Comments