සිකුරුගේ කෙරුවාව | සිළුමිණ

සිකුරුගේ කෙරුවාව

කාවින්ද 1977 සැප්තැම්බර් 14 දින කුම්භ ලග්නයෙන් තුලා නවාම්ශකයෙන් ඉපදී ඇත. මේ අනුව සදු 2 වැන්නේත්, කුජ 3 වැන්නේත්, ශනි /කේතු 5 වැනනේත්, රවි 7 වැන්නේත්, බුධ 8 වැන්නේත්, සිකුරු 09 වැන්නේත්, රාහු 11 වැන්නේත්, ගුරු 12 වැන්නෙත් ඇතිව බුධට හිමි රේවතී නැකතින් ශේෂව පවතිද්දී ඉපදී ඇත.

උපතින් ඉඩකඩම් දේපළ යමක් කමක් තිබුණ එහෙත් බුධගෙන් ලැබිය යුතු ඉගෙනීම් කටයුතු නිසි ලෙස සඵල වීමට එයින් පිටිවහලයක් ලැබුණේ නැත. කාවින්ද ගේ ජන්ම පත්‍රයේ බුධ ස්වක්ෂේත්‍ර ගතව ඉතා සුබ තත්වයෙන් පිහිටා ඇත. එනම් බුද්ධිය සහිත බවයි. එහෙත් වයස 9 දී පමණ උදා වූ කෙතුගේ දශා කාලය ඔහුව ඉගෙනීම අතින් අලසයකු කිරීමට බල පෑවේ 5 වැන්නේ සෙනසුරු සමඟ යෝග වීම බව අනුමාන කළ හැකිය.

කාවින්ද කලබලකාර නොවන බොහෝ නිවුන චරිතයකි. තරුණ විය එළඹුණු පසු තමා උගත් පාසලේ මුරකාර රැකියාව ලැබුණේ ද පාසලේ විනයක් හිකමීමක් ඇතුව සිටි නිසා විය හැකිය. එම සුළු රැකියාවෙන් පමණක් නොසෑහුණු කාවින්ද නව ව්‍යාපාරයක් ද ආරම්භ කිරීමට ද පිඹුරුපත් සකස් කළේ වයස 16 දී පමණ සිටය.

සිය ජන්ම පත්‍රයේ සදු 2 වැන්න හෙවත් ධනස්ථානයේ තැන්පත්ව සිටීම හා අයස්ථානය වන 11 වැන්නේ රාහු තැන්පත් වීම ඔහුගේ මුදල් අරමුණ කොතරම් ද යන වග පෙන්වන හොඳ සාක්ෂියකි. කුජ තුන් වැන්නේ බැවින් තම වික්‍රමයෙන් ධෛර්යෙන් ගොඩ නැඟෙනවා යන අධිෂ්ඨානය නිතර මනසේ ක්‍රියාත්මක වන එහෙත් රාහු 11 වැන්නේ බැවින් ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදය හොඳම වියයුතු යැයි නිගමනයක් ඔහුට නැත. කෙසේ වෙතත් කලක් ඇවෑමෙන් වයස 16 දී පමණ ඔහුට සිකුරු මහ දශාව උදා වූ වේ තම ධෛර්ය අධිෂ්ඨානයට උදව් දෙන ලීලාවෙනි.

ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා තුලා රාශි ගත වෙමින් පෙර පින ගැන කියැවෙන 09 වැන්න වන ධර්මස්ථාන යේ තැන්පත්ව ඇති අතර 4 හා 9 අධිපතිවෙමින් කුම්භ ලග්නයට යෝග කාරකත්වය ලබා ඇත. එහෙව් සිකුරුගේ දශාව කාවින්දට ඉදිරි දියුණුවට, අපේක්ෂා ඉටු වීමට පිටුබලය සපයන බව ඔහු දන්නේ නැත. කාවින්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුගේ ව්‍යාපාර අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මානසිකත්වය හා බාහිර පරිසරය ගොඩනැඟීගෙන ආවේ සිකුරු දශව ආරම්භයත් සමඟම ය.

කේන්ද්‍රයක 10 වැන්න රැකියා ස්ථානය යි. කුම්භ ලග්නයේ 10 වැන්න ජල රාශියක් වන වෘශ්චික රාශියට අයත් අතර එය කීට රාශි කි. එනම් ගොඩ සහ ජල දෙකොටසම අදාළ මඩ රාශි යයි. දැනට ආරම්භ වී ඇත්තේ සිකුරු මහ දශාව බැවින් සුන්දරත්වය , අලංකාරයට අදාළ මල්වර්ග, විසිතුරු ශාක වර්ග ආදියට මනස යොමුවීම සහේතුකය. ඒ අනුව සුරතල් මසුන් සදහා මඩෙහි සිටුවන ජලජ පැළෑටි වැවීමට සම්බන්ධ ව්‍යාපාරයක් වෙත කාවින්ද ගේ සිත යොමුවීම දෛවය විසින්ම ගළපාදුන්නේ ස්වභාවයක් ලෙස අර්ථ දැක්විය හැකිය. සිකුරු දශාවත් සමඟම මූල්‍ය පිරිවැය දැරීමට යහළුවෙක් ද හවුල් කරගත් කාවින්ද ඔහුටම අයත් පුරන් වූ කුඹුරක සුබ මොහොතින් නව ව්‍යාපාරය ආරම්භ කළහ.

නිෂ්පාදන සදහා ගැනුම්කරුවන් හිඟයක් නොවූ බැවින් ව්‍යපාරය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. එහි කිසිම කඩාවැටීමක් වූ වේ නැත. ජ්‍යෝතිෂය අනුව සිකුරු මහ දශාව වසර 20ක් පුරා පැවැතීම නියතයකි. එහි අතුරු දශා හෙවත් උප බෙදීම් 9කි. ඒවා පිළිවෙළින් සිකුරු, රවි, චද්‍ර, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු ලෙස බෙදී යයි. අතුරු දශා බෙදීම් එක සමාන කාල බෙදීම් නොවන අතර එයද මහ දශා බෙදීම් අනුපාතයටම අනුව වේ. සිකුරු ආරම්භයත් සමඟ කාවින්ද වසර 10 ක් පමණ ඉහත ව්‍යාපාරය සාමාන්‍ය පරිදි කර­‍ෙගන ගිය නමුත් කලක් ගතවූ විට කාවින්දටත් නොදැනීම සිකුරු ගේ සැබෑ ගතිය ඉස්මතු වන්නට විය.

එනම් සැපය උදෙසා කාවින්දට මුදල් ඉපයීමේ තණ්හාව ඇතිවීමයි. රාහු 11 වැන්න හෙවත් අයස්තාන ගත බැවින් සාරධර්ම, ආචාරධර්ම පිළිබද හැඟීමද ඒ සමඟම යටපත් විය. "සල්ලි ඇතිවිට පල්ලි කුමටද" යන කියමනද සනාථ කරමින් ඉල්ලන් සීට්‍ටුවක් හා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. මුල් කාලයේ සුලුවෙන් ඇරැඹූ එහෙත් කාසි ගලාඑන ආකාරය අනුව දියුණුව උදෙසා මෙයට වඩා ක්‍රමයක් තව කොහින්ද යැයි සිතා පොලියට මුදල් දීම සඳහා වඩා වැඩි ආයෝජනයක් සිදු කළහ.

කලක් ගත විය. දැන් කාවින්ද පොලී මුදලාලි කෙනෙක් කීවොත් වැරැදි නැත. පොලී කාවින්ද ගමේ නගරයේ ප්‍රසිද්ධ විය. සිකුරුගේ බුධ අතුරු දශාව ආරම්භ වීමත් සමඟ මංගල සීනුද නාද විය. එහෙත් පොළී ව්‍යාපාරය අත් නොහැර එය දිගටම කරගෙන ගිය කාවින්දගෙන් පොලියට මුදල් ඉල්ලීමට පූර්ණ කල යුතු එකම සුදුසුකම කතාබහේ දී ගොඩනැඟෙන විශ්වාසය පමණි. බුධ 22 වන දෙර්කාන අධිපති බව හෝ රැවටිලිකාරයා බව කාවින්ද නොදනී. තමා වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් මුදල් ඉල්ලීම සම්පූර්ණ කිරීම උදෙසා ප්‍රමාණවත් නොවූ තැන වටේ පිටේ දන්න කියන මුදලාලිලාගේ සහය පැතුවාය. ඒ නිකම්ම නොවේ. එයින් 4%ක වාසියක් මුදලාලිට ද ඇත. දැන් සේවා දායකයන් කාවින්ද සොයා පැමිණෙන්නේ මුදල් ඉල්ලීමට පමණක් නොවේ. අර්ථසාධකය ලබා ගත් අය, ගේ දොර විකුණූ අය මුදල් අතැතිව ද කාවින්ද සොයා පැමිණ ඒවා ඔහුට ලබා දෙයි. ඒ සියලු දෙනාට 4%ක ලාභාංශ ලබා දීමට කාවින්ද පොරොන්දු වෙයි.

සිකුරු යෝගකාරක වී සුබස්ථාන ගතව සියලු සැපයන්ට අදාළ ප්‍රධාන මාර්ගයේ ගෙන ගිය ද අතුරු දශා අධිපති හෙවත් අතුරු මාර්ගයේ අධිපති බුධ 22 ව දශා අධිපති සිකුරුගෙන් 12 වැන්නේ හා කුම්භ ලග්නයට 8 වැන්නේ තැන්පත්ව කාවින්දව ඇදගෙන යන්නේ වෙනත් භයානක දිශාවකට ය. ඒ බව කල්තියා දැනගැනීමට ඔහුට වුවමනා නොවූ වේ සිකුරු ඒ තරමටම සැපයට ලොල්කර ඇති නිසයි. මේ වන විට කාවින්ද කෝටි එකහමාරක පමණ මුදලක් වටේ පිටේ මුදලාලිලාට, ව්‍යාපාරිකයන්ට ණය වී හමාරය. සිකුරු ලබා ඇති බැවින් ණයට බිය නැති කාවින්ද ඒ ලබාගත් මුදල් සියල්ල වචනයේ විශ්වාසයට පමණක් 10% පොළී අනුපාතයට වටේටම බෙදා අවසන් ය.

මේ අතර ඒ ආකාරයේම පොලී ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි ගුරුවරයකු වන රටේ ප්‍රභල චරිතයක් ජනතාව මුලාවේ දමා ඇති බවට පුවතක් රට පුරා පැතිරී ගියහ. අහු මුලු සිසාරා ඉතා වේගයෙන් පැතිරී ගිය එම පුවත ඇසීමෙන් කාවින්දට මුදල් ලබා දුන් මුදලාලිලා භීතියටත් කලබලයටත් පත්වූ වේ ය. එය කාවින්දගේ ක්‍රියා කලාපය තරමක් ව්‍යාකූල කරන සලෙු පුවතකි. එහි දී කාවින්ද නොසැලුණු එහෙත් ⁣බුධගේ අතුරු දශාවේ මැද භාගය වන විට මුදලාලිලා කාවින්දගේ නිවස වටකරන්නට වූ බැවින් තත්ත්වයේ ඇති භයානක කම කාවින්දට තරමක් දුරට දැනෙන්නට විය.

කාවින්ද වංචාකාරයෙක් නොවේ. ඒ බව ගමේ ද බොහෝදෙනා හොඳින් දනී. කේන්ද්‍රයේ රවි ග්‍රහයා ද ස්වක්ෂේත්‍ර ගතව 7 වැන්නේ තැන්පත් බැවින් අගෞරව විදීමට ඔහුගේ කැමැත්තක් නැත. මුදලාලිලා ද නොබියව ව්‍යාපාරයට හවුල් වූ වේ එබැවිනි . එහෙත් දැන් තත්ත්වය කණපිට පෙරළී ඇත. මුදලාලිලා එන විට අකමැත්තෙන් හෝ කාවින්දට සැඟවීමට සිදුවී ඇත. ඔහුගෙන් විශාල ප්‍රමාණයෙන් ⁣පොලියට මුදල් ලබාගත් බොහෝ දෙනා ඔහුගේම හිතවතුන් වෙති. එබැවින් දුන් මුදල් නැවැත ලබාගැනීම පහසු වේ යැයි ඔහු සිතන්නට ඇත. එහෙත් ඒ අයද කාවින්ද එනවිට හොරා පොලිස් සෙල්ලමේ යෙදුණේ මිත්‍රකමට වඩා කුහක කම ඉස්මතුකරමින් ය. ඔවුන්ට එය සෙල්ලමක් නමුදු තම අනාගත බලාපොරොත්තු, සිහින ⁣ඇස් පනාපිට බොඳවී යාම කාවින්දට නම් සෙල්ලමක් නොවීය. දිනපතා මුදල් ඉල්ලන පිරිස වැඩිවිය. කාවින්ද අතේ ඇති මුදල්ටික සමානව බෙදා දී හැකි උපරිමයෙන් ප්‍රශ්නය විසදා ගැනීමට උත්සාහ කළද මුදලාලිලා ඊට එකඟ නැත. ගෞරවය හානිකර ගැනීමට ද නොහැකි තැන කාවින්ද කාමරයක හුදෙකලාව කල්පනා කරන්කට විය. එහෙත් ක්ෂණික විසඳුමක් සිහියට එන්නේ නැත.

මේ සමඟ බුධගේ අතුරු දශාවේ රවිගේ විදශාව ආරම්භ විය. රාහු 12 වැන්නේ ගෝචර වෙමින් හැරයාමක් පිළිබඳව සලකුණු ද තබා ඇත. ඒ සමඟම 2 වැන්න හෙවත් ධනස්තානයේ අධිපති බ්‍රහස්පතිද 12 වැන්න හෙවත් වැයස්ථානයේ වෙමින් වැයවීම ම සලකුණු කර ඇත. 8 වැන්න හදිසි කරදර විපත්, හදිසි තීරණ සම්බන්ධ ඉඟි සපයන අතර එහි මොඩ ග්‍රහයා වන බුධ තැන්පත් වීම හදිසි මෝඩ ක්‍රියා සංකේතවත් කරයි . එම බුධ ගෝචරයෙන් ද 8 වැන්නට පැමිණීම හා ලග්නාධිපති ශනි ද 8 වැන්නේම ගෝචර වීම මගින් කාවින්දට විකල්ප අදහස් ගලා ඒම අවහිර කර ඇත. උපන් ජන්ම පත්‍රයේ රවි 7 වැන්නේ තැන්පත් අතර 2009 සැප්තැම්බර් මාසය උදාවත් සමඟ ඒ රවි ගෝචරයෙන් ද 7 වැන්න හෙවත් 8 වැන්නෙන් 12 වැන්න වන මාරකස්ථානයට පිවිස ඇත. විදශාවත් නම්බුවට කාරක රවිම ය.

හැරයාම සදහා වර්ෂය, මාසය අනිකුත් ග්‍රහයන් විසින් පූර්ණ කර ඇති පසුබිමක් කාවින්දට ඉතිරිව ඇත්තේ දිනයේ තීරක සඳුගේ පිහිට පමණි. ජීවිතය තණ අග පිනිබිඳු වැනිය යන කියමන ද සනාථ කරමින් සඳු 8 න් 8 වැන්න හෙවත් අයුෂ යේ මරණය වෙත සෙමෙන් පිය නැඟූහ. දිනය 2009/09/09 සටහන් විය. 9 ඉලක්කම් 3 ක් කැලැන්ඩර යේ සටහන් වීමද මූසල බවට සංකේතයකි. එදින උදෑසන ගමපුරා කාවින්දගේ නම කියැවිණි. " කාවින්ද වහ බීල ඉස්පිරිතාලෙ අරන් ගියා"එම ප්‍රචාරයයි. ජීවිතය මරණය අතර වරු එක හමාරක් පුරා පොරබැදූ නමුදු අවසානයෙ කාවින්දට පරාජය භාර ගැනීමට සිදුවීය. ජය කොඩිය ලෙළදුන් කාවින්ද⁣ගේ නිවස ඉදිරිපිට දැන් ලෙළදෙන්නේ සුදුකොඩියකි. සුන්දර ආරම්භකයා මහත් බොරුවක්, වංචාවක් කර ඇති බව ජීවිතය හැරයන තුරුම කාවින්දට නොවැටහුණි. අසුන්දර අවසානයත් එහිම සඟවා තිබුණි. සිකුරු ගේ කෙරුවාව නොදත්තෝ අවසානයේ ඔහුගෙන්ම බැටකනවාය යන්න තහවුරු කිරීමට සාක්ෂියක් ද ඉතිරිකර වයස 36 දී ම කාවින්ද ජීවිතයෙන් පලාගියේ තණ්හා අධික මුදලාලිලා සහ මිත්‍රයන්, සේවා දායකයන් ද තම මරණයට හවුල් කාරයන් බවට ඉඟියක් ද ඉතිරිකරමින් ය. මහ ගසෙන් ආවරණය වූ අනුශාක පිළිලයන් බව කාවින්ද ට නොවැටහුණේ සිකුරුගේ මත්කිරීම නිසාමය.

(නම මන:කල්පිත සත්‍ය කතාවකි) 

 

Comments