
එදා මඟුලට මත් වතුර හෝ වෙනත් මත්වන සුළු දේ රැස් කළේ නැත. ඒවා රැස්කරන අය සිටියත් ඔවුන් වළක්වාලීය හැකි වැඩිහිටි ප්‍රභූවරු ගම්වල උන්හ. ‘මංගල සවාරිය’ යෑමේදී හා ‘මහගමන’ යෑමේ දී ඊට සහභාගීවන පිරිසට නායකත්වය දිය හැකි අය වුහ. එබැවින් කිසි අවුලක් අතවරයක් නො සිදු විය. දෙපාර්ශ්වයේ නෑයන් එකට හිඳගන්නට සලස්වා කරන ලද භෝජන සංග්‍රහය අතිශය වැදගත් වුයේ ඥාතීන්ට ඔවුනොවුන් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණු බැවිනි.
ගමේ ජීවත් වු අපට මංගල උත්සවය සොඳුරු අත් දැකීමක් විය. එක් ගෙදරක මංගල උත්සවය ගමේ හැම දෙනාට ම මංගල උත්සවයක් විය. මඟුල් මඩු හැදීම, මඟුල් මඩු සැරසීම ගමේ වඩු මහත්වරුත් ගමේ කලාකාරයොත් එක්ව ඉටු කළහ. ගමේ මනාලියට ගමේ කලාකරු තරුණයෝ එක්ව මංගල පෝරුව සෑදුහ. එයින් ඔවුන් ලැබු ප්‍රයෝජනය පෝරුව ලස්සනයි යනුවෙන් කළ ඇගැයීම පමණි. ඉහත කී කිසිම කටයුත්තක් සඳහා මුදල් වැය වුණේ නැත. උස් පහත් භේදයක් නැතිව කාටත් බුලත් දී මංගල්‍ය ආරාධනාව කොට සතුටින් මඟුල් කෑම කළහ. පැරැණි අමනාපකම් දුරහැර කවුරුත් එක්සත් වන අවස්ථාවක් ලෙස මංගල උත්සවය සැලැකිණි.
‘මංගල සවාරිය’ යැයි කීවේ මනමාලියක කැන්දාගෙන එම සඳහා පතිකුලයේ පිරිස මනමාලියගේ නිවෙසට යාම ය. මඟුල් දාට පසු දින දෑවැද්දත් පොදිබැඳගෙන මනමාලයාගේ නිවෙසට (පති කුලයට) මනමාලියගේ ඥාතීන් විශාල පිරිසක් (මහ පිරිසක්) යාම ‘මහගමන’ නම් විය. බුලත් සැපීම නිසා ඇතැම් අයගේ දත් අවපැහැ වී තිබුණත් දහයියා කුඩු ටිකක් හෝ දමා දත්මැද පැහැපත් මුහුණින් මඟුල් ගෙදර ගියහ.
ගෙදර හදාගෙන රා ටිකක් බොන වැඩිහිටියන් සිටියත්, ඔවුහු එයින් වැළකී මඟුල් ගෙදර ගියහ. පවුල් අතර යම් යම් අසමගිකම් අර්බුද පැවැතුණත් මඟුල් ගෙදර දී ඒවා අමතක කරන ලදි. ඒ යුග දිවි බැඳෙන නව යුවළට ඇති ආදරය නිසා ය. එදා මඟුලට මත් වතුර හෝ වෙනත් මත්වන සුළු දේ රැස් කළේ නැත. ඒවා රැස්කරන අය සිටියත් ඔවුන් වළක්වාලීය හැකි වැඩිහිටි ප්‍රභූවරු ගම්වල උන්හ. ‘මංගල සවාරිය’ යෑමේදී හා ‘මහගමන’ යෑමේ දී ඊට සහභාගීවන පිරිසට නායකත්වය දිය හැකි අය වුහ. එබැවින් කිසි අවුලක් අතවරයක් නො සිදු විය. දෙපාර්ශ්වයේ නෑයන් එකට හිඳගන්නට සලස්වා කරන ලද භෝජන සංග්‍රහය අතිශය වැදගත් වුයේ ඥාතීන්ට ඔවුනොවුන් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණු බැවිනි. මනාලියගේ නිවෙසේදීත් පතිකුලයේදීත් මංගල්‍ය උත්සව අවසානයේ පවත්වන ලද මංගල සභාව ද ඉතා වැදගත් විය. නව යුවළට අවවාද අනුශාසනා හා ආශිර්වාද ගොනුකොට පවත්වන ලද මංගල සභාව විවාහ අපේක්ෂක අනෙක් තරුණ පිරිස්වලට ද ඉතා වැදගත් විය.
නව යුවළට ඒ වැදගත් දිනයේ දී වැඩිහිටියන්ගෙන් ලැබෙන සාරගර්භ උපදේශ සිතෙහි තැම්පත් විය. මේ ආකාරයට වැදගත්කම් ඇතිව කළ මංගල උත්සවය අද මහා ඛේදවාචකයක් වී ඇති බව පෙනේ.
මේ තත්වය ඇති වුණේ විවෘත ආර්ථික ක්‍රමය මේ රටට හඳුන්වාදීමෙන් පසුව බව අපගේ මතකයයි. එම ආර්ථික ක්‍රමය ගැන වැටහීමක් නැති අය සිතන්නේ, වෙනස්වන විශ්ව ප්‍රවණතා අනුව අපත් ඉදිරියට යා යුතු බවකි.
විවෘත ආර්ථික ක්‍රමයේ යහපත් ප්‍රතිඵල නැතුවා නොවේ. අපේ සුබ මංගල්‍ය උත්සවයට වුයේ එහි අයහපත් ප්‍රවණතා බලපෑමකි.
‘ව්‍යාපාර’ යනු වෙළඳ ලෝකයේ වදනෙකි. යම් පුද්ගලයකු හෝ යම් ආයතනයක් විසින් ව්‍යාපාරයක් අරඹන්නේ උපරිම ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙනි. එහි කිසිදු වරදක් නැත.
කෙළින්ම එක් පුද්ගලයකු හෝ ආයතනයක් සඳහන් කළ නොහැකි නමුත් වර්තමාන සමාජ ප්‍රවාහය විසින් විවාහ මංගල්‍යය මහාපරිමාණ ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බව පෙනේ. වර්තමානයේ තරුණ පරපුර වටහාගෙන ඇත්තේ ‘විවාහ මංගල්‍යයක්’ නම් හෝටලයක ම පැවැත්විය යුතු බවය. තමන් ආදරයෙන් හදාවඩා ගත් දරුවන්ගේ කැමැත්තට පිටුපාන්නට බැරි නිසා තම නිවෙසේ විවාහ මංගල උත්සවයක් පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් තරමට හිතන්නට වැඩිහිටියෝ පුරුදු වී සිටිති.
හෝටල් මඟුල්වල අනුසස් දකින පිරිස් නිවෙසක මංගල උත්සව පැවැත්වීමේ මහා බාධක දකිති.
ඔවුන් දකින ප්‍රධාන බාධකය නිවෙසක විවාහ මංගල උත්සව පැවැත්වීමට ගොඩනැගිලි ඉඩකඩ මදිකමය.
පැරණියන් ඒ ප්‍රශ්නය විසඳුවේ ගමේ හැමදෙනාම එක්ව මඟුල් මඩු සෑදීමෙනි. ඒ සඳහා විශාල වියදම් කරන්නට සිදු වුයේ නැත.
තවත් ප්‍රශ්නයක් වුයේ විශාල නෑදෑ පිරිසකට සංග්‍රහ කිරිමට පිඟන් කෝප්ප හා දැව උපකරණ නැතිකම ය. ගමේ ලොකු පොඩි කොයි ගෙදරක මඟුලක් වුවත් අහල පහල ගෙවල ඇති භාණ්ඩ, අවශ්‍ය වේලාවට මඟුල් ගෙදරට රැස්විය. මේ ආකාරයේ කවර අඩුපාඩු තිබුණත් මඟුල් ගෙදර මඟුල් සිරිසර මවන්නට අපේ ගැමියෝ සමත් වුහ.
අද සුබ මංගල උත්සව, මංගල ව්‍යාපාර බවට පත් වී ඇත. මේ ව්‍යාපාරය මෙහෙයවන ප්‍රධාන ආයතන තුනක් ඇත.
1.හැඩවැඩ ගැන්වීමේ හා
ඇන්දවීමේ කටයුතු කරන ආයතන.
2.මංගල උත්සවය පවත්වන හෝටලය.
3 ඡායාරූප ශිල්පියා.
යන ආයතන එක් වී මංගල්‍යය මහා පරිමාණ ව්‍යපාරයක් කරගැනීමේ ඒකාබද්ධ ප්‍රයත්නයක යෙදෙනු ඇත. යුවතිපතියන් ඇතුළු දෙපිරිසේ ම නෑ හිතවතුන් ගොනාට අන්දවා අති විශාල ධනස්කන්ධයක් වියදම් කරන්නට සලස්වා ඒ ධනස්කන්ධය තම ආයතන වෙත ලබාගැනීම ඔවුන්ගේ ප්‍රයත්නය වී ඇත.
මනාලියට ඇන්දවීම හා හැඩගැන්වීම පුරාණයේ කරන ලද්දේ මනාලියගේ යෙහෙළියක, අක්කාකෙනකු, හො නැන්දා කෙනකු විසිනි. ඒ ඇන්දවීම අද ‘ගොරක මෝස්තර’ වී ඇත. අද ඇන්දවීම හා හැඩගැන්වීම මනමාලියට පමණක්, ළමා යොවුන් වයස් මට්ටම්වල අටදෙනකු පමණ පිරිවර ඇත. ඒ පිරිසට ද ඇන්දවිය යුතුය. අන්දවනු ලබන පිරිස වැඩි වු විට ඇන්දවීම කරන ආයතනයට ආදායම් වැඩිවේ. ඒ පිරිවරට ඇඳුම් තෝරා මිලදී ගත යුත්තේ එම ආයතනයේ අනුදැන්ම ඇතිවය. ඔවුන් නියම කරන සාප්පුවලින් ම ඇඳුම් මිල දී ගත යුතුය. ඒ සඳහා විශාල වශයෙන් කොමිස් මුදල් එම ආයතනයට ලැබෙන බව ඇන්දවීමට ලක්වන අයට නොපෙනේ.
ඉස්සර කාලයේ මනමාල තරුණයා යහලුවකුගේ සහාය ඇතිව ඇඳුම් ඇඳගත්තේ ය. අද ඒ ඇඳීම හරි නැත. අන්දවාගත යුතුය.
ඔහුටද විශාල පිරිසක් ඇත. ඒ පිරිසටද ඇන්දවීම කරනු ලැබේ. එපමණක් නොවේ. යුවතිපතියන් ගේ මා පියවරුනට ද වෙනදා හුරුපුරුදු ඇඳුම් හරි නැත. උත්සවයට මැච් වෙන පාට වලින් රෙදි තෝරා ඒවාද මසා ඇන්දවිය යුතු වන්නේ ය.
ඊළඟට හෝටල් සේවය ගැන කතා කළ යුතුය. හැම හෝටලයකම අයකිරීම සාධාරණය. එයින් කෙරෙනුයේ ආහාරපාන සංග්‍රහය පමණක් නොවේ. මංගල්‍යයේ නොයෙක් අවශ්‍යතා එයින් සපුරා දෙනු ඇත. මංගල පෝරුව, මනාල යුවළට හිද ගැනීමට සරසන ලද යහනාවක්, සැරසිලි සඳහා මල් පෝච්චි, නැටුම් කණ්ඩායම්, පෝරුවේ චාරිත්‍ර කිරිමට සංවිධායකයෙක් ආදී සියලු දේ එයින් ලැබේ. නොමිලයේ නොවේ. එක් එක් පැකේජ තිබේ. ඒ පැකේජයේ මුදල ගෙවු විට ලැබෙන සේවාවන්හි තත්වය, ඒවා කරන අයගේ සුදුසුකම් ආදියේ ‘තත්ත්ව පරික්ෂණයන්’ තිබිණි. අද ඒ කිසිවක් නැත. හෝටලයේ ලොකු මුදලකට ලැබෙන මංගල පෝරුව ඉන් පෙර මංගල ජෝඩු සියගණනින් පරිහරණය වුණු එකක් වුවත් කම් නැත. පෝරුවේ චාරිත්‍ර කරන්නා වැන්දඹු පුරුෂයකු හෝ එක් ඇසක් අන්ධ පුද්ගලයකු වුවද කම් නැත.පැකේජයට දෙන දේ ලබාගත යුතුය.
ගෙදරක් මඟුල් ගෙදරක් වු විට සිදු කෙරුණේ භෝජන සංග්‍රහයකි . හෝටල් වල ඒවා නැත. දහවල් දොළහ පමණ වන විට දිවා ආහාරය දීම සිංහල අපගේ සිරිත විය. අද මඟුලට පැමිණෙන පිරිමින්ගෙන් සියයට අනුවක් පමණ පිරිසක් ඇත්තේ හෝටල් භූමියේ ගස්යට කුඩ යට හෝ අඟු පිල්වලය.
හෝටලයෙන් නොව හෝටලයේ බරපැන ගෙවන්නන්ගෙන්, මත් වතුර හා කටගැස්ම ලැබේ. කාන්තාවනට ද ‘බයිට්’ දීසි ලැබේ. මේවා උපාසක අම්මලත් බොන ඒවා යැයි කියා බියර් බෝතල ගෙනැවිත් දෙනු ඇත.
ඒවට අරක්කු මිශ්‍රකර ඇති බව වැඩි දෙනාගේ මතයයි. මත් වතුර නොගන්නා පිරිමි - ගැහැනු සුළු පිරිසක් ආහාර ගනිති. මත්වතුරෙන් සප්පායම් වු පිරිස බොහෝ වේලා ප්‍රමාද වී දිවා ආහාරයට එති. ඔවුනට ඒ වන විට ආහාර ගැන හෝ වෙන කිසිවක් ගැන හොඳ සිහි කල්පනාවක් නැති බැවින් ඉඳුල් බත් ටිකක් රැස්කර තිබුණත් ඔවුනට සෑහේ මා එසේ සඳහන් කළේ මතට ගිජු වු තැනැත්තාට ආහාරයෙහි රස ගුණ හෝ පිරිසිදුකම ගැන කිසිදු හැඟිමක් නැති බැවිනි.
පැරැණි සුබ මංගල උත්සව උඩුයටිකුරු කරන අනෙක් සාධකය වන්නේ කැමරාකරු ය. ඡායාරූප තාක්ෂණය අද ඉතා දියුණු ය. කැමරාකරුවන් නව තාක්ෂණයේ පහසුකම් ලබාගත යුතුය.
නව තාක්ෂණයේදී ඔවුන් කැමරාවක් ගන්නටත් ලක්ෂගණනින් වැය කළ යුතු ය. එම වියදම එක් මංගල උත්සවයකින්ම උපයාගන්නට සිතතොත් වරදෙකි.
පැරැණියන් මංගල්‍ය උත්සවයේ සියලු කටයුතු කළේ පවුලේ ජ්‍යෝතිර්වේදියා විසින් දෙන ලද නැකැත් අනුවය. අද ජ්‍යෝතිර් වේදියාගේ නැකැත් අවශ්‍යතා ද කැමරාකරු විසින් දෙනු ඇත. අද මඟුල් නැකැත් සෑදිය යුතු වන්නේ කැමැරාකරුගේ අවශ්‍යතා අනුව ය. නැකැත්කරු නැකැත් පත්‍රයේ සඳහන් කරන මුල්ම නැකත වන්නේ මනමාල මහතා මනාලියගේ නිවසට යාමට පිටත්වන නැකතටම මනාලියත් හෝටලයට යාමට පිටත්විය යුතුය. එහි වරදක් නැත. ඒ ආකාරයට නැකැත් සාදා දුන්නත් නැවතත් නැකැත් සංශෝධනය කරන්නට සිදුවේ. “මේ වේලාව හෝටලයට යාමට නම් හොඳයි. ඒත්ඊට ප්‍රථම අන්දවන තැනට යන්න වෙනවා.ඒ නිසා රාත්‍රි දෙකට විතර එතනට යන්න ඕනෑ”කියා නැකැත් වෙනස් කරන්නට කතා කරනු ඇත.
මඟුල් දවසේ හිරු උදාවෙන් පසුව යෙදෙන සුබ නැකත ඊට කලින් දින රාත්‍රි 2 ට පමණ යොදන්නට නැකැත් කරුට නියම කරනු ඇත.
ඔහු විසින් කලින් දින රාත්‍රි 2 ට පමණ යෙදෙන ‘වේලාවක්” සඳහන් කර දෙනු ඇත.
එහෙත් මඟුල් දින හිරු උදාවෙන් පසුව යෙදෙන ශුභ මුහුර්තයේ අති ගුණය බලය අර රාත්‍රි 2 ට පමණ සඳහන් කර දුන් වේලාවේ නැත.
රාත්‍රි දෙකට පමණ අන්දවන තැනට යන්නේ අන්දවන ආයතනයේ වුවමනාවට ය.
ගැහැනු ළමයකු වස්ත්‍ර හඳින තැනට පිරිමියකු කඩා වැඳිම අශිෂ්ට සම්ප්‍රදායකි. එහෙත් අද අපේ කැමරාකරුවා මනමාලිය වස්ත්‍ර හඳිනා තැනටත් කඩා වැදී එක් එක් කෝණයට තබා පින්තූර ගනිති. ඔවුහු මංගල උත්සවවල නව ප්‍රවණතා ඇති කරගෙන සිටිති.
එක් නිදසුනක් දක්වමි. එක් මංගල්‍ය හෝටලයක පෝරුවේ චාරිත්‍ර යෙදී තිබුණේ උදේ 9.25 ට ය. කල් ඇතිව කැමරාකරුට නැකැත් පත්‍රය පෙන්විය යුතු බව නියෝගකොට තිබිණි. යුවතිපති දෙදෙනාත් හෝටලයත් මාතර ය.
“අන්දවල ඉවර වෙනකොට හයයි තිහ විතර වේවි. අන්දවපු හැටියේ ඇඳුම් පොඩිවෙන්න කලින් විශේෂ පින්තුරයක් ගන්න තියෙනවා එකට ගාල්ලෙ කොටුවේ ස්ටුඩියෝවකට යන්න ඕන. ඊට ප්‍රථම අධිවේගී මාර්ග පිවිසුමට ගිහින් එතැනදීත් පින්තූර ටිකක් ගන්න වෙනවා. අධිවේගී පාරෙන් ගියත් ගාල්ලට ගිහින් ඔය ටික කරගෙන එන කොට වේලාව මදිවෙනවා. ඒ නිසා පෝරුවේ චාරිත්‍ර කරන වෙලාව තව පස්සට දාන්න වේවි” යැයි කැමරාකරු නියෝග කළේය. මංගල්‍ය උත්සවයක වැදගත්ම නැකත පෝරුවේ චාරිත්‍ර නැකැතයි. එය වෙනස් කිරිමට කැමරාකරු කතා කරනවා නම් එම මඟුලට ජ්‍යෝතිර්වේදීන්ගේ නැකැත් අවශ්‍ය නැත.
උක්ත කාරණයේ ම තවත් කොටසක් ඇත. මේ විකාර අසා සිටි වැඩිහිටියෙක් “ඔය විශේෂ පින්තූරය ගන්න ගාල්ලට නොගියද මාතර දී බැරිද” යි විමැසීය.
“බෑ ! බෑ ! ඒ විශේෂ පින්තූරය ගත හැකි ස්ටුඩියෝවක් මාතර නැහැ. ගාල්ලට ම යන්න ඕන” කැමරාකරුගේ පිළිතුරු විය.
පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නා (අෂ්ටක කියන්නා ) එතැනට වැදගත් පුද්ගලයෙකි. ඔහු ඔහුගේ වගකීම් ඉටුකරන අවස්ථාවේ “අංකල් ඔතනින් එහාට වෙන්නැයි” ඔහු පසෙකට තල්ලුකර දමා කටයුතු කරන කැමරා කරුවෝ ද සිටිති.
මංගල උත්සවයක් නව ප්‍රවණතා අනුව අද ඉතා අඩු වියදමින් කළත් ලක්ෂ හයක් වත් වියදම් වන බව පෙනේ මේවා කජු, කොස් ඇට නොවේ. රුපියල් ය. එහෙත් අපේ තරුණ දු පුතුන් සිතන්නට පුරුදු වී ඇත්තේ මංගල්‍ය උත්සවයේ වියදම අධික වු තරමට තත්වය උසස් වන බවය. ඔවුනට ඒ වැරැදි වැටහීම තිබීම ජාතියේ අවාසනාව ය.