
සුවහසක් රසික සිත් සතන් සිය මධුර මෝහනීය හඬින් දශක හයකට අධික කාලයක් මුළුල්ලේ රසාලිප්ත කළ හෙළයේ මහා ගීත කෝකිලාවකට අපි මෙවර පැහැසර හමුවට ඇරියුම් කළෙමු. ශාස්ත්‍රීය සංගීතය මැනවින් ප්‍රගුණ කළ ගායිකාවක මෙන් ම වාද්‍ය ශිල්පිනියක ද වන ඇය රාග ඥානය, ස්වර ඥානය ලත් පිරිපුන් සංගීතවේදිනි සුජාතා අත්තනායකයෝ ය.
උපන් දිනය?
1942 මැයි 12
උපන්ගම?
මාතලේ රත්තොට
උප්පැන්නයේ නම?
මුදුන්කොටුව මුණසිංහ ආරච්චිෙග් සුජාතා පෙරේරා
දෙමවුපිෙයා්?
මව විමලාකාන්තා. ඇය ටවර් හෝල් නිළියක් මෙන් ම ගායිකාවක්. පියා එම්.එච්. ධර්මදාස පෙරේරා. පොලිස් නිලධාරියෙක්.
සහෝදර සහෝදරියෝ?
පස් දෙනයි. අයියා ධර්මසිරි, අක්කා ලලිතා, නංගි රංජනී, මල්ලි සුසිල්.
මුලින් ම අකුරු කළේ?
කැලණිය වෙදමුල්ල මහ විදුහලෙන්.
පසුව?
රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වී වැඩිදුර සංගීතය හදාරනවා.
සංගීතයට යොමු වෙන්නේ?
අපේ මුළු පවුල ම කලාකාමි පවුලක්. මා ඔබට කලින් කිව්ව වගේ අම්මා වගේ ම මගේ අක්කත් ටවර් හෝල් නිළියක්. ඇය ප්‍රසිද්ධ වුණේ ෆ්ලෝරි දේවි නමින්.
කලාකාමි පවුලක් කිව්වේ?
අපේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුණාට ඔහු උසස් වින්දනයක් තිබුණ කෙනෙක්.
ඒ කිව්වේ?
ඔහු රාජකාරි ඉවරවෙලා ගෙදරට ආවහ ම හැමදාම වගේ අපි සියලු දෙනා එකතුවෙලා පැදුරු සාජ්ජ පවත්වනවා. අපව ඉදිරියට ගෙන ගිය යෝධ සෙවණැල්ල වුණේ තාත්තයි.
තාත්තා මෙතරම් ම කලාව පැත්තට යොමු වෙන්න විශේෂ කාරණා තිබුණ ද?
තාත්තගේ නංගි කෙනෙක් තමයි ජනප්‍රිය ගායිකා වසන්තා සන්දනායක. ඉතිං අපේ පවුලේ කට්ටිය එකතුවෙන තැන නැටුම් ගැයුම් පිරිලා.
ඔබ පාසල් කාලයේ කොයිවගේ චරිතයක් ද?
ඉගෙනීමට මෙන් ම ගායනයටත් හැකියාව ඇති අයෙක්.
ඔබේ මුල්ම ගුවන් විදුලි ගායනය?
සිසිර කුමාර මානික්කආරච්චි ලියූ ඒ.ජේ. කරීම් සංගීතවත් කළ ගීතයක්. එය ‘විචිත්‍රාංගය’ කියන වැඩසටහනට ගායනය කළේ.
කුමන වසරෙද?
1950 වසෙර්! එතකොට මට අවුරුදු අටයි. එය සජීවීව ප්‍රචාරය වුණා.
මුලින් ගුවන් විදුලියේ තැටිගත කළ ගීතය?
‘සාදු දන්ත දා’ ගීතය. එතකොට මට අවුරුදු 13 යි.
එදා ගුවන් විදුලිය ගැන යමක් කියන්න?
එදා හරි ම වටින තැනක්, විශ්වවිද්‍යාලයක් වගේ. සුන්දර ආරක්ෂාකාරි තැනක්.
ඉන් පසුව ගුවන් විදුලියේ ගීත ගැයුවේ කුමන වැඩසටහන්වලට ද?
‘ජයග්රාහි පෙළපාළිය’ කියන වැඩසටහනෙන් පසුව වෙළෙඳ සේවයේ ‘තරුහමුව’, ස්වදේශීය සේවයේ ‘නැවුම් මිහිර’.
ඔබ පාසල් වියේදි ම ජනප්‍රිය ගායිකාවක්?
ඔව්! සාදු දන්ත දා ගීතය ප්‍රචාරය වුණාට පසුව.
ජනප්‍රියත්වය අධ්‍යාපනයට බාධාවක් වුණේ නෑ!
නෑ! අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නෑ.
ගුවන් විදුලියේ සිංහල සේවයේ වගේ ම ඔබ දෙමළ සේවයෙත් ගීත ගායනා කරනවා.
ඔව්! මා දෙමළ සේවයෙත් විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක්. ඒ කාලේ දෙමළ සින්දු ගායනා කළ එක ම සිංහල කෙනා මමයි.
ඔබ කොහොමද දෙමළ දැන ගන්නේ?
මට වයස 4දි පමණ මවත් අක්කත් සමඟ ඉන්දියාවට යන්න ලැබනෙවා. එහි මාස දහයක් පමණ ගත කරන්න ලැබීමෙන් දෙමළ ඉගෙන ගත්ත.
ඔබ කලින් කිව්ව ඒ කාලේ දෙමළ ගීත ගායනය කළ ප්‍රථම සිංහල කෙනා මමයි කියලා. ඉස්ලාම් ගීත ගායනය කළ ප්‍රථම බෞද්ධ ගායිකාවත් ඔබ?
ඔව්!
මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ භාෂා කීයකින් ගීත ගායනය කැර තිබෙනවද?
භාෂා 8 කින්.
මොනවද ඒ?
සිංහල, දෙමළ, හින්දි, මරාටි, බෙංගාලි, දුර්දු, නේපාලි සහ ඉංග්‍රීසි ගුවන් විදුලියේ අදටත් මා ගයන ලද ඉංග්‍රිසි ගීත ප්‍රචාරය වෙනවා.
ඔබ විශාරද සමත් වෙන්නේ?
1968 දී රජයේ කලායතනයේ උපාධිය කරල තිබුණ නිසා එය මට පහසු වුණා!
එදා - මෙදාතුර ගයා ඇති ගීත සංඛ්‍යාව?
පන්දහසකට අධිකයි.
* ඔබ තාමත් නර්තන ශිල්පිනියක්?
ඔව්! කතක් නර්ථනය උත්තර භාරතීය සංගීතයට සම්බන්ධයි!
මුල්ම චිත්‍රපට පසුබිම් ගීතය?
සොහොයුරෝ චිත්‍රපටයට, 1956 නොවැම්බර් 7 දායි එය පටිගත කළේ! චිත්‍රපටය තිරගත වුණේ 1958 දීයි.
ඔබ වැඩිපුරම ගීත ගායනා කළ චිත්‍රපටය මතකද?
අපේ ඔව්! ‘අල්ලපුගෙදර’ චිත්‍රපටයට ගීත දහයක්.
ඔබට වැඩිපුර ම සංගීත අධ්‍යක්ෂණය කළේ?
ආර්. මුත්තුසාමි., එම්.කේ. රොක්සාමි, ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න, සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක වගේ අය.
ගීත රචකයෝ?
රාශියක් සිටිනවා! කරුණාරත්න අබේසේකර, මහගම සේකර, කරුණාසේන ජයලත්, මඩවල එස්. රත්නායක, චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, ආනන්ද සමරකෝන්, ධර්මසිරි ගමගේ වගේ අය.
පසුබිම් ගීත ගයා ඇති චිත්‍රපට?
සිංහල චිත්‍රපට තුන්සිය පනස් දෙකක්. දෙමළ චිත්‍රපට විස්සක්.
ඔබ මෙතරම් ජනප්‍රිය ගායිකාවක් වෙලත් රැකියාවකුත් කළා?
මගේ මුල්ම පත්වීම ගුවන් විදුලියේ. පසුව 1972 කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරියක්, 1977 දී මහරගමට ආවා.
පසුව?
1982 දී අමාත්‍යාංශයේ අධ්‍යාපන නිලධාරී වුණා. පසුව මා 1998 දී විශ්‍රාම ගියේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ තනතුරෙන්.
ඔබේ ගායනා දිවියේ සියලු තතු දින වකවානු ඒ අයුරින් ම මතකයේ සිටියේ කොහොමද?
ඒක හොඳ ප්‍රශ්නයක්! මා කුඩා කාලයේ පටන් ඒ ඒ දිනේ කරන කටයුතු පොතක ලිව්වා. ඒ පුරුද්ද මට ඇති කළේ මගේ පියායි.
ඔබට වාද්‍ය භාණ්ඩ වාදනය කළ හැකියි?
ඔව්! සර්පිනාව, පියානෝව, ඕගනය, සිතාරය වගේ භාණ්ඩ.
අද ගීතය ගැන යමක් කියන්න?
කියන්න කණගාටුයි!
ඒ ඇයි?
අද දරුවෝ ස්වරවලට බය නෑ! අදත් අපි ස්වරවලට බයයි. ස්වරවලට බය නැතිව ගියාම කොහොමද ස්වරයේ රසය එන්නේ.
නව පුරපර ගැන යමක් කියන්න?
බොහෝවිට විළිබිය නැති පරපුරක් නිර්මාණය වෙලා අද ගුණදර්ම නෑ! නැත්නම් ප්‍රසිද්ධියේ ගීත හොරකම් කරයි ද?
ඒ කියන්නේ?
බලන්න අද නිර්මාණයක් කළොත් හෙට ඒක ඉතාමත් සුළු මුදලකට පේමන්ට් එකට එනවා. මහ දවාලේ හොරකම.
ඔබ සුජාතා අත්තනායක ගීතාවලිය ග්රන්ථයක් එළිදැක්වූවා?
ඔව්! මගේ ගීත මොනවාදැයි පහදා දෙන්න ඒ පොත ගැහුවා. හොරකම නැවැත්වීම එහි අරමුණයි. එම පොතේ තවත් කොටස් කීපයක් නිකුත් කරනවා.
අද ගීත රචනා?
ඒකාකාරියි! උසස් වින්දනයක් නෑ! ඉඳහිට එකක් දෙක් ඇරෙන්නට අනෙක්වා නීරසයි. එදා ගී පද අනුමත වුණාට පසුවයි පටිගත කරන්නේ. අද එහෙම එකක් නෑ!
මේ රටේ විද්යුුත් නාළිකා ගණනාවක් තිබුණත් ඔබලගේ ගීත නෑසෙන තරම්?
අද ගීත ප්‍රචාරය කර ගන්න ලක්ෂ ගණන් මුදල් දිය යුතුයි. මුදල් දුන්න ම ඕන කුණු ගොඩක් ප්‍රචාරය කරනව. අප දන්න සිද්ධි කීපයක් තිබෙනවා.
නව පරපුරේ බොහෝ දෙනාට හඬ අනන්‍යතාවක් නෑ වගේ?
ඇයි පරිගණකයෙන්නේ හඬ හදන්නේ. ස්වර ගායනය කළ නොහැකි අදත් අය පරිගණකයට පිංසිද්ධ වෙන්න ගායනයට ඇවිත්.
එදා?
එදා ගීතයේ පදමාලාවට, තනුවට, සංගීතයට, ගායනයට ප්‍රමිතියක් තිබුණා. අද එහෙම එකක් නෑනේ.
විවේක පාඩු වෙලාවලදී?
බලන්න අද හරි වේදිකා නාට්‍යයක් බලන්න තිබෙනවද? දැන් තියෙන නාට්‍යවල නම ඇහුව පමණින් නාට්‍ය එපා වෙනවා.
ටෙලිනාට්‍යය?
මා නම් බලන්නෙ ම නෑ! බලන්න තරම් යහපත් නාට්‍ය නෑ!
විදේශ ටෙලිනාට්‍ය සිංහල හඩ මුසුකරල විකාශය කරනවා?
ඒක මහ විනාශයක්. අපේ රටට ගැළපෙන ටෙලිනාට්‍ය ඒ අතර තියෙනවද? ඒවා හොඳයි ඒ රටවලට. අපේ ශිල්පීන් මේවට නිහඩව ඉන්නේ ඇයි කියන ප්රශ්නයයි මට තියෙන්නේ.
අද රූපවාහිනි නාළිකා අවරගණයේ දෑ ප්‍රචාරය කරනවා?
ඔව්! මේ නාළිකා එක පැය 12 ක් වහල තිබ්බොත් බාල පරපුර හදා ගන්න පුළුවන්.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැනගන්න කැමැතියි?
මගේ මහත්තයා නවරත්න අත්තනායක. ඔහු හමුවන්නේ ලලිත කලායතනයේදි. මගේ ජීවිතයේ විශාල ශක්තිය වුණේ ඔහුයි.
දරුවෝ?
පුතාල ම තුනයි. හේළි ලොකු පුතා. දෙවැනියා කැප්ටන් චානක. ඔහු යුද්ධයේදි රට වෙනුවෙන් දිවි දුන්නා. ඒ සිදුවීම අපගේ ජීවිතවලට විශාල ලෙස බලපෑළු. පොඩි පුතා පයිලට් කෙනෙක්. අබුඩාබියේ පදිංචියි.
මුනුපුරෝ?
තුනයි. එක මිනිපිරියයි. ලොකු පුතාට දුවයි, පුතයි. පොඩි පුතාට පුතාල ම දෙන්නයි.
අද දවස ගෙවෙන්නේ?
මා උදේ හයට අවදි වෙනවා. හැබැයි මහත්තයා මට කලින් අවදි වෙනවා. සතියට දින තුනක් මා පන්ති පවත්වනවා. අනෙක් දිනවලත් නොයෙක් කටයුතු යෙදෙනවා.