තොර­තුරු දැන­ගැ­නීමේ පනත මාධ්‍ය­ ව්‍යා­පාරය ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක් | සිළුමිණ

තොර­තුරු දැන­ගැ­නීමේ පනත මාධ්‍ය­ ව්‍යා­පාරය ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක්

2017 ජූනි මස 3වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ වී වසර 25ක් සපිරීම අරමුණු කරගෙන නොවැම්බර් 21 වෙනිදා ‘සමාජ වගකීමක් සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක්‘ යන තේමාව යටතේ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී සැමරුම් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයින්, විද්වතුන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහභාගි වීමට නියමිතය. මේ මහඟු පරිශ්‍රමය පිළිබඳව ආරම්භයේ පටන් විවිධ තනතුරු දරමින් කටයුතු කළ එහි හිටපු කැඳවුම්කාරිණියක වන සීතා රංජනී මහත්මිය සමඟ කළ කතාබහකි.

 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව සැකෙවින් සඳහන් කළොත්?

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ වෙන්නේ 88 - 89 භීෂණ සමයේ. එවක පැවැති මාධ්‍ය මර්දනයට එරෙහිවයි. විශේෂයෙන් මාධ්‍ය සඳහා කොමිසමක් ඇති කිරීමට එවක පාලනතන්ත්‍ර විසින් කටයුතු කරමින් තිබුණා. ඊට අපේ විරෝධතාවය පළ කරන ගමන් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, තර්ජනය කිරීම, බියවැද්දීම, මාධ්‍ය වාරණය, නිල හා නිල නොවන ආකාරයට සිදු කළ පැහැරගෙන යෑම්, අතුරුදහන් කිරීමවලට එරෙහිව හඬක් නගන්න අපි ක්‍රියා කළා. ඒ වන විටත් වෙනත් මාධ්‍ය ව්‍යාපාර තිබුණට මෙවැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව ඍජුව හඬ නගන්න, ඊට මුහුණ දෙන්න පුළුල් ව්‍යාපාරයක්, තැනක් මාධ්‍යවේදීන්ට තිබුණේ නැහැ. ඒ වන විටත් පුවත්පත් කලාවේදීන්ගේ සංගමය අක්‍රියවයි තිබුණේ. එය නීතිමය ක්‍රියාමාර්ග මගින් අඩපන කර තිබුණා. මේ නිසා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දැක්මකින් යුතුව මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා ක්‍රියාකාරී ව්‍යාපාරයක අවශ්‍යතාව දැනෙමින් තිබුණා. ඊට ගාමකයක් වෙන්න මේ හරහා අපට ඉඩ ලැබුණා.

 ආපහු හැරිලා බලද් දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අත් කරගෙන තියෙන ජයග්‍රහණ මොනවද?

මේ වසර 25ක කාලය තුළ බොහොමයක් ජයග්‍රහණ අත් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය මර්දනයට එරෙහිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකිවීම අප ලබපු විශාල ජයග්‍රහණයක්. මේ නිසා නිදහස් මාධ්‍ය මර්දනයට ආණ්ඩුවලට තිබූ අවකාශය ඇහිරී ගියා. මේ නිසා මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන්ට දෙවරක් සිතාබලන්න සිද්ධ වුණා. මේ අතරතුර කර්තෘ සංසදය, ප්‍රකාශකයින්ගේ සංගමය වගේ තවත් මාධ්‍ය ව්‍යාපාර ආරම්භවීම අපේ ව්‍යාපාරයට ලොකු පිටිවහලක් වුණා. මේ වසර විසිපහ තුළ අප ක්‍රියා කළ ආකාරය සැකැවින් මෙසේ දක්විය හැකියි,

1992. 06. 01 සහ 02 - නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම මහජන රැස්වීම ප්‍රකාශයට පත් කරමින් නිර්මාණය කළ පෝස්ටරය කොළඹ පුරා ඇලවීම සහ අත් පත්‍රිකාව බෙදා හැරීම.

1992. 06. 03 - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රසිද්ධ රැස්වීම - කොළඹ නව නගර ශාලාවේ දී පැවැත් වීම. 1992 නොවැම්බර් මස 7 සහ 8 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ එයට සහභාගී වූ පිරිස සමඟ මහා සභාවක් පවත්වා එය අනුමත කර ගැනීම.(‘‘සත්‍ය ප්‍රකාශ කිරීමටත්, සත්‍ය දැන ගැනීමටත් ඇති අයිතිය සුරකිමු’’ යන තේමාව ඔස්සේ 1992 ජූනි 03 -1993 මාර්තු 3 දක්වා ප්‍රසිද්ධ රැස්වීම් 19ක් දිවයින පුරා පැවැත්වීම.) 1993 ජනවාරි 14 සිට 21 - ‘‘මාධ්‍යවේදීන්ට අත නොතබනු’’ තේමාව යටතේ විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කොට වැඩ සටහන් දියත් කිරීම.1993. 11. 11 සිට 1994. 11. 20 දක්වා, ‘‘ යුද්ධය හා ජනමාධ්‍ය’’ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම.

1994 අගෝස්තු - මහ මැතිවරණයෙන් පොදු පෙරමුණ ජයගත් පසු, රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් මාධ්‍ය නිදහස සඳහා ලබා දීමට හැකි යෝජනා 14කින් සමන්විත නිවේදනයක් නිකුත් කිරීම. මෙම ඉල්ලීම් අතර, මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුවී ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීම, මාධ්‍ය නිදහසට බලපාන නීති, අණපනත් ඉවත් කරවා ගැනීම, විද්‍යුත් මාධ්‍ය සඳහා සංඛ්‍යාත ලබා දීමේ විනිවිදභාවයක් ඇති කර ගැනීම, පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවලට ප්‍රවෘත්ති විකාශනය කිරීමට අවසර ලබා ගැනීම, ස්වාධීන ජාතික මාධ්‍ය ආයතනයක් පිහිටුවා ගැනීමට අදාළ යෝජනා ද ඒ අතර විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඉල්ලීම් ඉටු නොවූ තැන, එම පාලනය යටතේ පත් වූ ප්‍රථම මාධ්‍ය ඇමැතිවරයා වූ ධර්මසිරි සේනානායක මහතා හමු වී කරුණු ඉදිරිපත් කිරීම හා එයින් පසු කමිටු 4ක් පත් කිරීම. (මෙම කමිටු හතරේ වාර්තා නිකුත් වුව ද ඒවා ක්‍රියාත්මක වූයේ නැත.)

1996 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නව අධ්‍යාපන සේවය නවතා දැමීමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඓතිහාසික තීන්දුවක් ලබා ගැනීමට හැකිවීම.

1996 අසන්නකු වූ විමල් ප්‍රනාන්දු මහතා ලවා පැවරූ ඉහත පෙත්සමේ පිටුපස සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම නඩු තීන්දුව පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වනු ලැබිණ.

1997 අපේ‍්‍රල් - ශ්‍රී ලංකා විකාශන අධිකාරී පනතට එරෙහිව විරෝධතාවක් දියත් කිරීම. (ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අංග සහිතව රජය මගින් ඉදිරිපත් කළ විකාශන අධිකාරී පනතට විරුද්ධව විරෝධතා දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමඟ එක්ව ස්වාධීන විකාශන අධිකාරියක් සඳහා අවශ්‍ය විකල්ප යෝජනාවක් ද ඉදිරිපත් කළේය.

1997 - පොදු පෙරමුණ රජයට ඉදිරිපත් කළ යෝජනාවලට ද ඇතුළත් වූ, මාධ්‍ය ඇමැතිවරුන් හමු වී කළ ඉල්ලීම්වලට ද ඇතුළත් වූ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ මාධ්‍යවේදීන්ට එරෙහිව බලපෑ කොටස්, එම රජයේ දෙවැනි මාධ්‍ය ඇමැතිවරයා වූ මංගල සමරවීර මහතා ගෙනා අංක 27 දරන සංශෝධනයක් මඟින් ඉවත් කර ගන්නා ලදී.

1998. 02. 16 - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමඟ එක්ව සකස් කළ, මාධ්‍ය නීති ප්‍රතිසංස්කරණ යෝජනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට භාර දීම.

1998. 04. 29 - මාධ්‍ය නිදහස හා සමාජ වගකීම සම්බන්ධයෙන් ඇති වූ කොළඹ ප්‍රකාශනයේ සම කොටස්කරුවකු වීම

1998. 09. 03 - පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ජයග්‍රාහී තීන්දුවක් 1999 දී ලබා ගැනීම.

2001 - මාධ්‍යවේදීන්ට එරෙහිව භාවිත වූ සාපරාධී අපහාස නීතියට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව අරගල කළ අතර, බලයට පත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් එය ඉවත් කරන ලදී.

2005. 09. 11 - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදයෙහි බහුත්වවාදී සහ ප්‍රජාතාන්ත්‍රික මාධ්‍ය සංස්කෘතියක් සහ සමාජීය සහ වෘත්තීය අයිතීන් උදෙසා අත්සන් කළ තෝලංගමුව ප්‍රකාශනයේ සම කොටස්කරුවකු වීම.

2006 මාර්තු 13 සහ 14 දෙදින පුරා පැවැත්වූ කාන්තා මාධ්‍යවේදිනියන්ගේ සමුළුවකින් පසු අත්සන කරන ලද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ජනමාධ්‍ය ප්‍රඥප්තියේ සම කොටස්කරුවකු වීම.

2007/2008 - ජනමාධ්‍යයෙහි මහජන සේවා වටිනාකම් ප්‍රවර්ධනය සඳහාත්, ගැටුම් සංවේ දී වාර්තාකරණය ප්‍රවර්ධනය සඳහාත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇති වන වෙනස්කම් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා වැඩමුලූ රැසක් සංවිධානය කිරීම.

2008 - මහජන සේවා වටිනාකම් සහ මානව හිමිකම් වාර්තාකරණය සම්බන්ධයෙන් සම්මාන උළෙලක් පැවැත්වීම.

2011. 05. 03 - ලෝක ජනමාධ්‍ය දින සමරුව ප්‍රථම වරට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සැමරීම සහ ඉන් පසුව අඛණ්ඩව වාර්ෂිකව එය සැමරීම.

2011. 05. 03 - දණ්ඩ මුක්තිය අවසන් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් ප්‍රකාශ කිරීම නිසා ඝාතනයට ලක් වූවන්ගේ තොරතුරු ඇතුළත් ‘‘අදහස් ඝාතනයේ ගොදුරු’’ නම් කෘතිය භාෂා තුනෙන් කෘති 3ක් ලෙස නිකුත් කිරීම. (පොතෙහි කර්තෘ - සීතා රංජනී)

2012 - අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට සහ ආයතනවලට යුක්තිය ඉටු කිරීමට බලපෑම් කිරීමට ‘‘කළු ජනවාරිය’’ නමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. මුලින් අනෙකුත් මාධ්‍ය සංවිධානව ද සම්බන්ධ කරගෙන ආරම්භ කළ මෙම විරෝධතාව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව ජනවාරි මාසයේ දිනෙක සැමරීම සිදු කරයි.

2014 සැප්තැම්බර් - ‘‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’’ කෘතිය ප්‍රකාශයට පත් කිරීම. (කර්තෘ - ජගත් ලියනආරච්චි)

2014/2015 - දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාර දියත් කිරීම

2015 - තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරවා ගැනීම, ජනමාධ්‍යවේදයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ගැටලූ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ දණ්ඩ මුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීම සඳහා මාසයක කාලයක් ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 1994 දී පොදු පෙරමුණ රජයට ඉදිරිපත් කළ යෝජනාවලට ද ඇතුළත්ව තිබූ ‘තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය’ වෙනුවෙන් ගෙන ගිය සමාජ කථිකාව 2016 වසරේ ජූනි මාසයේ දී ‘තොරතුරු දැනගැනීමේ පනත’ ලෙස සම්මත කර ගැනීමට හැකිවීම.

2017 අගෝස්තු - ඔක්තෝබර් - දිස්ත්‍රික්ක 10ක් පමණ ආවරණය වන පරිදි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා ගවේෂණාත්මක මාධ්‍යවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩ මුලූ මාලාවක් පැවැත්වීම.

 අපි දකිනවා පසුගිය පාලන සමයේ මාධ්‍ය මර්ධනය උච්ඡස්ථානයකට පැමිණෙනවා. කොටින්ම රාජපක්ෂ පවුලේ අයගෙ නම සඳහන් කිරීම මරණයට අතවනන කාරණයක් බවට පත්ව තිබුණා. ඒ කාල සීමාව ඔබ දකින්නේ කොහොමද .

2004 සිට 2014පාලනය කාලය දිහා අපි බැලුවොත් ඒ තමයි ලංකාවේ බිහිසුණුම මාධ්‍ය මර්දනය පැවැති සමය. මාධ්‍යවේදීන් ඝාතනය වුණා, පැහැරගැනීම්වලට අතුරුදහන් කෙරුණා, දරුණු වධහිංසාවලට පහරදීම්වලට ලක්වුණා. ඇතැම් මාධ්‍යෙව්දීන්ට ජීවිතය රැකගන්න රටින් පලායන්න සිද්ද වුණා. අදත් සමහර මාධ්‍ය වේදීන්ට වෙච්චදෙයක් හිතා ගන්න බැහැ. ඒ ගෙවුණු සමය ලංකාවේ මාධ්‍යපැත්තෙන් කල්පනා කර බැලුවොත් ඉතාම කණගාටුදායක යුගයක්. ඒ වුණත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විදියට අපි නොබියව මේ පිළිබඳව පුළුල් කථිකාවක් රට පුරා ගොඩනගන්න උත්සාහ ගත්තා. එක් අතකින් ඔවුන්ට බලය අහිමි වුණේ මාධ්‍ය නිදහසට බාධාකරමින් ඒතුළ ආඥාදායකත්වයක් පැතිරවීමට උත්සාහ කළ නිසයි. මොකද ඒ යුගයේ මාධ්‍ය වර්තා ටීවී, රේඩියෝ මේ හැම එකකම ඔවුන්ගේ කියුම් කෙරුම් පමණයි අපි දැක්කේ. මාධ්‍යවෙදීන් ඝතනය කර හෝ අතුරුදහන් කර ඔවුන්ට කොටි ලේබල් අලවා ඒවා සාධාරණීකරණය කිරීමට මාධ්‍ය යොදාගත්තා. එය ලංකා ඉතිහාසයේ අඳුරු යුගයක් කියන්න පුලුවන්.

 ඉතිං නොවැම්බර් 21වෙනිදා මොකද වෙන්නේ?

පසුගිය දසක දෙකහමාරක පමණ කාලය තුළ සත්‍ය දැනගැනීමට හා සත්‍ය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ පොදුවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ගෙන ගිය සමාජ අරගලයේ සුවිශේෂී අවශ්ථා සිහිපත් කෙරෙන ප්‍රදර්ශනයක් මෙහි දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීමට ඉවහල්වන පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙමින් කෙටුම්පතක් (Blueprint) ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.මෙහි දී මාධ්‍යවේදීන්ය හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම පිළිබඳව දණ්ඩ මුක්තිය අවසන් කිරීම ගැන පර්යේෂණ වාර්තාව ජනගත කෙරෙනවා.

මේ සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව සියලු පළාත් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන්, නියෝජිතයින් හා ලංකාව පුරා විසිරී සිටින නිදහස් මාධ්‍යවේදීන්ට ඇරැයුම් කර තිබෙනවා. මෙදින ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආරාධිත දේශනය පවත්වනවා. මීට අමතරව ආචාර්ය දීපිකා උඩුගම, රුකී ප්‍රනින්දු, නඩේසපිල්ලයි විද්‍යාදරන්, විජයානන්ද රූපසිංහ, ලසන්ත රුහුණගේ...ඇතුළු විද්වත් සමාජ ක්‍රියාකාරීන් සහභාගිවීමට නියමිතයි. 

 

Comments