මම ආණ්ඩුව සම්බන්ධ කර නොගෙන ඇත්ත කතා කිරීමට උත්සාහ කරමි. සැබවින්ම ඇත්ත කතා කිරීමට ද පුළුවන් වන්නේ ආණ්ඩුව සම්බන්ධ කර නොගත්තොත් පමණි. මක්නිසාද යත් වැඩි දෙනා තමන්ගේ බොරු වසාගැනීමට ආණ්ඩුව පෙන්වන බැවිනි. ආණ්ඩු හෝ ආණ්ඩුවේ වැරැදි ගැන කතා කරන අයගෙන් වැඩි දෙනෙක් හෘද සාක්ෂියක් නැත්තන් විය හැකිය. මෙයින් කිසිසේත් ආණ්ඩුව නිවැරැදි යැයි අදහස් නොවේ. එහෙත් අද පවතින ජනප්‍රියම සත්‍යය ආණ්ඩුවේ වැරැදි වන අතර එය සත්‍යයක් කොට අන් සියල්ල අසත්‍ය බවට පත්වීම සිදුවේ. මෙය මේ ආණ්ඩු කාලයේ පමණක් නොව සියලූම ආණ්ඩු යටතේ පැවැති තත්ත්වයකි. මිනිස්සු දැන් කලෙක සිටම තමන්ගේ වැරැදිවලට තලන්නේ ආණ්ඩුව නමැති මුව හමටය. ආණ්ඩු නිසා ජනතාවගේ හෘද සාක්ෂිය නැති වී තිබේ.
නාස්තිය හා දූෂණය බොහෝ ආණ්ඩුවලට පොදු ලක්ෂණයකි. එහෙත් එය ආණ්ඩුවලටත් වඩා බොහෝ මිනිසුන්ට ආවේණික ලක්ෂණයකි. නාස්තිය ආණ්ඩුවට ද වඩා ජනතාවගේ ලක්ෂණයකි. මිහිපිට නොපවතින මතවාදවලට වහල් වී ජීවිතයම නාස්ති කරගැනීම නාස්තියක් නොවේද? මිහිපිට නොපවතින මතවාද අනෙක් අයට පොවා තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද කාළකණ්ණි කිරීම දූෂණයක් නොවේද? නැති යකුන් පෙන්නා යකැදුරන් හම්බාකරගන්නා සේ ම නැති ලෙඩ පෙන්නා හම්බ කරන දොස්තර මහත්තුරුන් සේ ම නැති ප්‍රශ්න ඇතැයි පෙන්නා ජීවිකාව ගැට ගහගහගන්නා න්යායාචාර්යවරු කොතෙක් ද? මා උත්සාහ කරන්නේ ආණ්ඩුවෙන් පිට ප්‍රශ්න සෙවීමටය. එහෙත් එය ආණ්ඩුවේ වැරැදි සෙවීම තරම් සරල හෝ පහසු නොවේ. සුන්දර ද නොවේ. ඒ ඒ උත්සාහයේ දී කොතනක දී හෝ තමන් ද අසුවන බැවිනි. බොහෝ අය ආණ්ඩුවේ ම වැරැ දී දැකීමට උත්සාහ කරන්නේ ඒ නිසාය. තමන් අසුවීම වළක්වා ගැනීමටය. ප්‍රශ්න වැරැදි කොනකින්ම අල්ලා ගත් විට නියම වැරැදිකරුවන් කවදාවත් හසු නොවේ. අපට ඕනෑ එවැනි විග්රහයන්ය.
අනෙක් අතට ආණ්ඩුවල තවත් ලක්ෂණයක් ඇත. එනම් රාජාණ්ඩු වුවත් ප්රජාතන්ත්රවාදී ආණ්ඩු වුවත් සමාජවාදී ආණ්ඩු වුවත් පැසිස්ට්වාදී ආණ්ඩු වුවත් ඒවා ආණ්ඩු වීමය. එනම් ආණ්ඩුව රාජාණ්ඩුවක් හෝ මොන ආණ්ඩුවක් වුවත් ආණ්ඩුවලට පොදු වැරැදි හැමදාම පවතියි. අල්ලස් ගෙන හිමියන් අහිමියන් කළ අධිකරණ නායකයන් ගැන ජාතක පොතේ ඇත. රජුන්ට වැරැදි උපදෙස් දුන් පුරෝහිතයන් ගැන ජාතක පොතේ ඇත. වංචා දූෂණ කළ ඇමැතියන් ගැන ජාතක පොතේ ඇත. ඥානවන්තයන්ට වෙනුවට අඥානයන්ටම තනතුරු වරප්‍රසාද දුන් රජවරු ගැන ජාතක පොතේ ඇත. එනම් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවල පවතින වැරැදීම රාජාණ්ඩුවල ද පැවතිණි. ආණ්ඩුව මොකක් වුව ද ආණ්ඩුවලට පොදු වැරැදි සෑම කල්හිම පවතියි. එය ආණ්ඩුවල ස්වභාවයයි. ප්රජාතන්ත්රවාදය, සමාජවාදය පමණක් නොව පැසිස්ට්වාදය පවා සමහරවිට බොරු ලේබල පමණි. පවුල් සංස්ථාවේ පවතින ගැටලු හැමදාම පැවතිණි. එය මේ සමයට අදාළ වූ ප්‍රශ්න පමණක් නොවේ. විවාහක ගැහැනුන් සොර සැමියන් ඇසුරු කිරීම හා විවාහක පිරිමින් අනියම් බිරියන් සොයායෑම එදත් අදත් පැවතිණි. ආණ්ඩුව නමැති සංස්ථාවට ද එසේ ම ඉතිහාසයේ සැමදාම වැරැදි අදාළ වේ. මේ නිසා ආණ්ඩුව ජීවිතයේ සමාජයේ ආර්තිකයේ එකම සාධකය කරගැනීම වැරදිය. මෙය ආණ්ඩුව දෙවියෙක් කරගැනීමකි. නැතිනම් ආණ්ඩු හා සබැඳි දේශපාලන අදහස් තමන්ගේ ආගම කරගැනීමකි. දේශපාලනයට ආගම විය හැකිද? ඇත්තමට මෙතන ඇත්තේ එවන් ප්රශ්නයකි. දේශපාලනය ආගමක් වූ කළ ආගමේ සත්‍යයන් සමාජයෙන් අතුරුදහන් වී යා හැකිය. ආගමේ සත්‍යයන් වනුයේ අවංකම, මෛත්‍රීය, කරුණාව, සත්‍යවාදී බව, පරිත්‍යාගශීලීත්වය, එළඹගත් සිහිය ආදියයි. එහෙත් දේශපාලනය ආගම කරගත් කළ මේ සියල්ල අතුරුදහන් විය හැකිය. අපට සිදුවී ඇත්තේ මෙවැන්නකි. ආණ්ඩු ගැන කතා කරන්නට ගියහොත් අපට සත්‍යය කතා කළ නොහැකි යැයි මා කීවේ මේ නිසාය. එනම් දේශපාලනය ආගමක් තරම් සවිමත් නොවීමය. දේශපාලනය ආගමක් යැයි මිනිස් ශිෂ්ටාචාරය විසින් විධිමත් ආකාරයෙන් තවමත් පිළිගෙන නොතිබීමය. එහෙත් අවිධිමත් ආකාරයෙන් එවන් පිළිගැනීමක් සමාජය තුළ සිදුවෙමින් පවතී යැයි සිතෙයි. එනම් සමහර විට බොහෝ දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ට බෝධිසත්ත්ව ගුණ ඇති විරුද්ධ පක්ෂයේ සාමාජිකයෙකුට වඩා දේවදත්ත ගුණ ඇති තමන්ගේ පක්ෂයේ ආධාරකරුවකු යහපත් යැයි සිතෙයි. එනම් දේශපාලන අදහස් විසින් මිනිසා පටු බවට පත්කරනු ලැබේ. මේ පටු බව ඥානය පමණක් නොව විදර්ශනාව කොට ද මිනිසුන් සලකන බවක් පෙනේ.
මෙය ආගම හා දේශපාලනය පටලවා ගැනීමක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මා සිතන අන්දමට මටත් වඩා එය එසේ කරගෙන ඇත්තේ එසේ සිතන අයය. මෙය නායකයන්ට ද වඩා සාමාන්‍ය පුරවැසියාට බෝවී ඇති ලෙඩක් යැයි සිතේ. ඔක්කොම රජවරු වී ඇතැයි ද කියන්නේ මෙයටම විය හැකිය.
මෙය සමහරවිට දාර්ශනික ගැටලුවක් ද විය හැකිය. එහෙත් ඒ ගැටලු පිළිබඳ සංවාදයකින් තොරවම දැනුවත් භාවයකින් තොරවම තමන් කරන්නේ කුමක් ද කියා නොදැනම මිනිසා දේශපාලනය ආගම කරගෙන ඇතැයි සිතේ. ආගමික දේ හුදු සංකේත බවට පමණක් පත් වී ඇතැයි සිතේ. ධර්මපාඨ කොතෙක් මිනිසාගේ හදවත තුළ ඒවා නැති බවත් ඇත්තේ දේශපාලන අරගලය පමණක් යැයි සිතෙයි. මේ තත්ත්වය විසින් දේශපාලනය ද අර්ථ විරහිත වී ඇතැයි සිතේ. එනම් ආගම දහමෙන් තොර දේශපාලනයෙන් ඇති පලේ කුමක් ද කියා ඇසිය හැකිය.
මා සිතන විදිහට මේ ප්රශ්නය නිරවුල් කරගත යුතුය. එය නිරවුල් කරගතහොත් තවත් බොහෝ ප්‍රශ්න ද විසෙදෙනු ඇත.