ඔය කේන්දර මොන බොරුද ? | සිළුමිණ

ඔය කේන්දර මොන බොරුද ?

ජ්‍යොතිෂය ආලෝකයේ විද්‍යාව යි. ආලෝකය යනු ප්‍රඥාව යි. ජ්‍යොතිෂය ප්‍රඥාවන්තයන්ගේ විෂයයක් වන්නේ ඒ අනුසාරයෙනි.ග්‍රහ ලොව රවි ගෙන් නිවේදනය කෙරෙන්නේ මෙකී ප්‍රඥාව ‍හෙවත් ආලෝකය යි. හිරු කිරණ වැඩියෙන්ම පරාවර්ථනය කරන විශාලතම ග්‍රහයා ගුරු ‍‍හෙවත් බ්‍රහස්පතිය. ගුරු ඒ නමටමට ගැළපෙන ලෙස ග්‍රහලොව අග්‍ර පුරෝහිත වන්නේ ඒ නිසාය.

අර්ක යනු ආලෝකයට කියන තවත් නමකි. එනම් ප්‍රඥාව ඇති තැනය. මෙහි විරුද්ධාර්ථය න - අර්ක හෙවත් නාකය. එනම් ආලෝකය හෙවත් ප්‍රඥාව නැති තැන ය. මෙය සාමාන්‍ය ජන වහරට එක්ව තිබෙන්නේ ‘නරකාදිය’ යනුවෙනි. පාපය හට ගන්නේ සහ පල දෙන්නේ ආලෝකය හෙවත් ප්‍රඥාව නැති තැන යනු එහි අදහස වේ. පෘථග්ජන මිනිසාට ජ්‍යොතිෂය පිහිට වන්නේ ප්‍රඥාව ඇති කර ගැනීමටය. එහෙත් ‍ ඒ සඳහාත් පෙර කුසලයම ඉස්මතු විය යුතුය. ‘ඔය කේන්දර මොන බොරු දැයි’ එළිපිට කියමින් හොරෙන් හොරන් ගොස් හදි හූනියම් - අණ වින කරන්නෝ ජ්‍යොතිෂයේ පිහිට නොලබති. ඔවුන් වැටෙන්නේ නරකාදියටය.ජ්‍යොතිෂය විකෘති කරමින් එය අව භාවිතයට ගන්නෝ ද අඳුරෙන් අඳුරටම යති. මෙවැන්නෝ මරණින් මතු රෞරව නම් නරකාදියේ කල්ප ගණනක් දැවෙන බව පුරාණාචාර්යවරු පවසති.

ඝන අන්ධකාරයක ඔබ යන මඟ ඉදිරියේ සැඟ වී තිබෙන කඳුහෙල් ගිරි සිඛර මෙන්ම මාරාන්තික ප්‍රපාතයන් ද කල්තබා පෙන්විය හැකි ආලෝක ධාරාවක් ජීවිතයට එකතු කිරීම ජ්‍යොතිෂයේ ඇති අසමසම බලයකි.

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. එය කවුරුත් දන්නා භෞතික විද්‍යාවේ සිද්ධාන්තයකි.

එහෙත් පුද්ගලයකු සිත,කය,වචනය යන තුන් දොරින් සිදුකරන ක්‍රියාවන් කෙරෙහි ලැබෙන ප්‍රතික්‍රියාව එතරම්ම සරලව තේරුම් ගැනීමට නොහැකිය.

සාමාන්‍ය මිනිසා පින පව යනුවෙන් හෝ කුසල අකුසල වශයෙන් හෝ ලැබෙන ප්‍රතික්‍රියාව තේරුම් ගනියි.

යම් කිසි කේන්ද්‍රයක සුබ ග්‍රහයන් සුබ දශාවකදී සුබ පල දෙන්නේ එම පුද්ගලයා පෙර භවයක කරන ලද පින්කම් නිසාය. මේ පුද්ගලයාම මේ භවයේත් ධාර්මික ජිවිතයක් ගත කළේ නම් ඒ ලැබෙන පිනෙහි ආනිශංසය තව දුරටත් ඉහළ යයි. එසේම යම් පුද්ගලයකුට අශුභ දශාවක දී අසුබ ග්‍රහයකු විසින් දුර්විපාක ගෙන දෙනු ලබන්නේ ද එම පුද්ගලයා පෙර භවයේ කළ පව් මතය.මෙවැනි පුද්ගලයකු මේ භවයේදීත් තව දුරටත් පාප ක්‍රියාවන් හි යෙදෙන්නේ නම් ඔහුට ඉතා දරුණු විපාක වලට භාජනය වන්නට සිදුවේ. මේ බව දැනුම් තේරුම් ඇතිව දුක හා සැප සම සිතින් විඳීම මනස දියුණු කළ පුද්ගලයාගේ ගති ලක්ෂණයකි. අපල කාලයට කොතරම් බෝධි පූජා කළත් යන්තර මන්තර යාතුකර්ම කළත් ඒවායෙන් පිහිටක් නොලැබෙන අවස්ථා ද තිබේ. එසේ වන්නේ කළය නොපිට හරවා ජලය වත්කරන්නාක් මෙන් සිත කය වචනය යන තුන්දොර හික්මවා නොගෙන අපල දුරුකර ගැනීමට යන්තර මන්තරවලින් පමණක් හැකි යැයි සිතන නිසාය. සැබැවින්ම අපල දුරුකර ගැනීමට හැකි හොඳම මාර්ගය නම් සම සිතින් දුක් කරදර විඳ දරාගන්නා අතර තව තවත් බලවත් කුසල කර්ම සිදුකිරීමෙන් රැස්කර ගන්නා වූ ප්‍රාණ ශක්තියෙන් පෙර භවයන්හි කරන ලද අකුසල කර්ම යටපත්කර ගැනීමට උත්සාහ ගැනීමයි.

එසේ නැතිව ලක්ෂ ගණන් මුදල් වැය කොට යන්තර මන්තර හා යාතුකර්ම සිදු කොට මුදල් බලයෙන්ම ග්‍රහයන්ට අල්ලස් දී අපල කර්මවලින් බේරීමට සිතන්නේ නම් එය හරියට සමාන වන්නේ පොල් කටුවකින් ලෝකය ආවරණය කිරීමට දරන නිරර්ථක උත්සාහයක් ලෙසයි. 

 

Comments