
මේ වන විට තම රටේ සහ රුසියාවේ හමුදා එක්ව අයිඑස් සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කර ඇති බැවින් සිරියානු රජයේ ඉල්ලීමකින් තොරව රට තුළ සිටින සියලුම විදේශ හමුදා ඉවත් විය යුතු බව සිරියානු විදේශ අමාත්‍යවරයා පසුගිය බදාදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සිරියානු ජනාධිපතිගේ ඉල්ලීමකින් තොරව සිරියාවට පැමිණ සිටින සියලුම විදේශ හමුදා වහාම රටින් පිටව යා යුතු බවත්, එසේ නොමැතිව රට තුළ තවදුරටත් රැඳී සිටීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බවත්ය.
එහෙත් ඒ සමඟම ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ සිරිායාවෙන් පිටව යෑමට අමෙරිකානු ආරක්ෂක හමුදාවලට කිසිදු හදිසියක් නොමැති බවයි.
විදෙස් දේශපාලනික තොරතුරුවලට අනුව තමන් අයිඑස් සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කර ඇති බැවින් සිය හමුදා කැඳවා ගන්නා ලෙස සිරියාව වොෂිංටනයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද සනාථ වී තිබේ. එහෙත් අමෙරිකාව මේ සම්බන්ධව තවමත් දක්වා ඇත්තේ නිද්‍රාශීලී පිළිවෙතකි.
2011 වසරේදී සිරියානු ජනාධිපති අසාද්ට එරෙහිව රටතුළ කැරළි හට ගැනීම සහ එය අයිඑස් අයිඑස් සංවිධානය දක්වා වර්ධනය වීමත් සමඟ අමෙරිකානු හමුදා සිරියානු රජයේ අවසරයකින් තොරව සිරියාවට පැමිණ තිබේ. මෙලෙස පැමිණි හමුදා කැරළිකරුවන්ට සහයෝගය දුන් බවටද චෝදනා ද එල්ල වී ඇති අතර මේ කාලය කැරළිකරුවන්ගේ ස්වර්ණමය යුගය වූ බව නම් රහසක් නොවේ.
එහෙත් 2015 සැප්තැම්බර් මාසයේ සිට සිරියාව කළඹමින් සිටි මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට රුසියානු හමුදා එක් වූ අතර එතැන් සිට ත්‍රස්තවාදීන්ට සැබැවින්ම ප්‍රබල හමුදා ප්‍රහාර එල්ල වනු දැකගත හැකි විය. එලෙස එල්ල කළ ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අයි.එස් සංවිධානය සම්පූර්ණයෙන්ම සිරියාවෙන් අතුගා දමා ඇති බව ප්‍රකාශ කිරීමේ හැකියාව අසාද් ජනාධිපතිවරයාට ලැබී තිබේ. දැන් ඔහුට අවශ්‍ය වී ඇත්තේ අනවසරෙයෙන් පැමිණි අමෙරිකානු හමුදා සිය රටින් පිටත් කර ගැනීමය. එහෙත් අමෙරිකාවේ ප්‍රතිචාරවලින් පෙනී යන්නේ ඔවුන්ට නම් ඒ සම්බන්ධව කිසිදු හදිසියක් නොමැති බවය.
මහ පොළොව ඉරානය වනසයි
පසුගිය සතියේ ඇති වූ ප්‍රබල භූමි කම්පාවෙන් පීඩාවට පත් ජනතාව තවමත් මූලික අවශ්‍යතා හෝ නොලැබීමෙන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. ගොඩනැගිලි කඩා වැටී මාර්ග අවහිර වීම නිසා විපතට පත් ජනතාව වෙත ළඟා වීමේ අපහසුතාවට සහන කණ්ඩායම් මුහුණ පා තිබේ. නිවාස හානියට පත්වූ දහස් ගණන් ජනතාව රළු පොළොවේ වැතිර රාත්‍රිය ගත කළද ළඟ ළඟ එන සීත කාලය හේතුවෙන් ඔවුන් තවතවත් පීඩාවට පත් වෙමින් සිටින බවද වාර්තා වේ.
පසුගිය ඉරිදා රිච්ටර් මාපක 7.3ක භූමි කම්පාවකින් ඉරානයේ කුර්දි දේශ සීමාව ආසන්න ප්‍රදේශය පොළොවට සමතලා වූ අතර ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 530ක් බව දැනට ගණන් බලා තිබේ. තුවාල ලැබූවන් ගේ සංඛ්‍යාව හයදහසද ඉක්මවා තිබේ. ව්‍යසනය සිදුවීමෙන් දින කිහිපයක්ම ඉක්ම ගියද ජනතාවට මූලික පහසුකම් සැපයීමට අවස්ථාව අවම වීමෙන් බොහෝ දෙනා දැඩි සේ පීඩාවට පත්ව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉරාන රජය මේ වන විට විපපතට පත් ජනතාවට උපකාර කරන ලෙස ලෝකයේ සෙසු රටවලින් ඉල්ලා තිබේ. එහෙත් ලැබෙමින් පවතින ආධාර විපතට පත් ජනතාවට ලබා දීම මූලික අභියෝගයක් වී ඇත්තේ මහා මාර්ග ඇතුළුව කම්පනයට මුහුණ දුන් ප්‍රදේශයේ සියලුම භූ දර්ශනය විනාශයට පත් ව ඇති බැවිනි. නිවාස හානියට පත් ඇතැම් ජනතාව දරුවන්ගේ පාසල් පොත් යළි ලබා ගැනීම වැනි කරුණු අරමුණු කර ගනිමින් තම නිවෙස් කරා යළි ගියද වරින් වර ඇතිවන පසු කම්පන හේතුවෙන් තම අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව සිටිති.
සති අන්තය වන විට කූඩාරම් රෙදි 12000ක් ජනතාව අතර බෙදා දුන්නද ගණන් බලා ඇති පරිදි විපතට පත් පවුල් සංඛ්‍යාව 30000ක් බැවින් තවත් කුඩාරම් රාශියක අවශ්‍යතාව ඇති වී තිබේ.
ඉරාන දේශසීමාව භූමිකම්පාවලට නිරත බඳුන්වන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර ආසන්නයේම සිදුවූ භූමිකම්පාව සිදු වී ඇත්තේ 2003 වසරේදීය. ඉතිහාස වාර්තා අනුව එම භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 26000කි.