ලොක්කෝ, සොක්කෝ හා බක්කෝ | සිළුමිණ

ලොක්කෝ, සොක්කෝ හා බක්කෝ

උස්තැන් දැක හැකිළීම ද ලොකුකම නොවේ. මිටිතැන් දැක පුප්පන එක ද ලොකුකම නොවේ. එහෙත් අපේ බොහෝ ලොක්කන් දන්නා ලොකුකම එයයි. එහෙත් අපේ ලොක්කන් දන්නා ලොකුකම එයට සීමා නොවේ.

ලොක්කෙක් ඇත්තමට ලොක්කෙක් වන්නේ ඔහු ළඟ ඉන්නා සොක්කන්ට ද ලොක්කන් වීමට මඟ පෙන්වන්නේ නම් පමණි. තමන් ළඟ සිටින සොක්කන්ට බක්කන් වීමට උපකාර වන්නේ නම් පමණි. එහෙත් බොහෝ ලොක්කන් වලිකන්නේ තමන් ළඟ සිටින සොක්කන් බක්කන් කිරීමට නොව මැක්කන් කිරීමටය. එය ද ලොකුකම යැයි ඔවුහු සිතති. එහෙත් ඒ නිසා අවසාන වශයෙන් සිදුවන්නේ අපේ රට ලොක්කන්ගෙන් නොව මැක්කන්ගෙන් පිරුණු රටක් වීමය. මැක්කන් පිරිවරාගත් ලොක්කන් කිහිප දෙනකු සිටින රටක් වීමය. අපේ රට ලෝකය තුළ ලොක්කෙක් නොව සොක්කෙක් වීමට අපේ බොහෝ ලොක්කන්ගේ මේ හැසිරීම ද හේතුකාරක වී ඇත.

සොක්කන් ලොකු වැඩ පෙන්වන විට ලොක්කන්ට පෙන්වන්නට බැරිය. එහෙත් සැබෑ ම ලොක්කෝ නම් ඒ ගැන සතුටු වෙති. එහෙත් එවන් අය ඉතා දුර්ලභය.

අනෙක් අතට ලොක්කා කළ යුත්තේ තමන්ගෙන් ද ලකුණු සොක්කන්ට දමා සොක්කන් ලොක්කන් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් බොහෝ ලොක්කන් කරන්නේ සොක්කන්ගේ ලකුණු ද තමාට දමාගෙන තමාගේ ලොකුකම වැඩිකර ගැනීමටය. මේ තරගය තුළ ලොක්කන් දිනුවත් රට පරදියි. රටක් ඉස්සරහට යන්නේ සොක්කන්ගේ දස්සකම්වලින් ද වැඩගන්නේ නම් පමණි. සොක්කන්ට ද වැඩ පෙන්වීමට ද ලොක්කන් වීමට ද අවස්ථාවක් ඇත්නම් පමණි. එහෙත් අපේ බොහෝ ලොක්කන්ගේ ලොකුකම අපේ රට ලොකු රටක් කිරීම නොව තමන්ගේ ලොකුකම ම පුම්බාගැනීම නිසා එය එසේ සිදුවීම වැළකී ඇත.

සොක්කන්ගේ වැඩ දැක හදවතින් ම සතුටුවන්නා නියම ලොක්කෙකි. තමන්ට වඩා ලොක්කන් වීමට හැකියාව ඇත්තන් දකින විට සතුටු වන්නා නියම ලොක්කෙකි. එසේ වීම සඳහා සොක්කන් දිරිමත් කරන්නා නියම ලොක්කෙකි. රටක් ඉදිරියට යන්නේ එවන් ලොක්කන් ඇති විටය. ඒ අනුව අපේ රට ඉදිරියට නොයෑමට හේතුව පැහැදිලි යැයි සිතමි. ලොක්කන්ගේ ලොකුකම් රැකගැනීම සඳහා රටේ ඉදිරිගමන බිලි දී ඇත. අපේ බොහෝ ලොක්කන්ගේ ලොකුකම එබඳුය.

ලොක්කන් අතින් බොහෝ විට සිදුවිය යුතු දෙය සිදු නොවේ. එහෙත් එයට හරියන්නට ඔවුන් රටේ ඉදිරිය වෙනුවෙන් යැයි කියා ඉතා උදාර අදහස් ඉදිරිපත් කරති. ඒ අදහස්වල වැඩකට ඇති කිසිම දෙයක් නැත. ඒ අදහස්වල ඇති එකම අදහස තමන් ලොක්කන් බව හැඟවීම පමණි. කිසිදු වැඩක් නොකරම ලොක්කන් බව හැඟවීම පමණි. අපේ බොහෝ ලොක්කන් එසේය. වැඩවලින් නොව වැඩකට නැති අදහස්වලින් ලොක්කන් වෙති. අපේ බොහෝ ලොක්කන්ගේ ලොකුකමේ ස්වරූපය එසේය.

මා මේ කියන්නේ එක ක්ෂේත්‍රයක ලොක්කන් ගැන පමණක් නොවේ. බොහෝ ක්ෂේත්‍රවල ලොක්කන් ගැනය. ලංකාවේ සියලුම ක්ෂේත්‍රවල සිදුවිය යුතු දියුණුව සිදු නොවන්නේ ඒ නිසාය. කලාව සාහිත්‍යය තුළ පවා තත්ත්වය එයයි.

පිටින් ලොකුකම තිබුණත් ඇතුළින් සොක්කන් වීම ද ලොක්කන්ගේ මේ හැසිරීමට එක් හේතුවක් විය හැකිය. තමාගේ ලොකුකම ගැන විශ්වාසයක් නොවීම ද එයට එක් හේතුවක් විය හැක. නැතිනම් සොක්කන් ගැන බියවීමට හේතුවක් නැත. රට ගැන සිතීම යනු ලංකා සිතියම ගැන සිතීම හෝ ජනගහණය ගැන සිතීම නොව තමා අවට ළඟ සිටින අයගේ දියුණුව ගැන සිතීමය. දුර ගැන සිතන්නේ ළඟ ගැන සිතීමෙන් වැළකීමටය. මෙය ද අපේ බොහෝ ලොක්කන්ගේ ගුණාංගයකි.

සැබවින්ම මේ සියල්ල මෙසේ වී ඇත්තේ ඇයිදැයි තේරුම් ගැනීම පවා සමහර විට අමාරුය. කෙසේ හෝ එය එසේ වී ඇත.

රුක්මණි දේවිය ගැන මාලනී ෆොන්සේකා සඳහන් කරන්නේ සිනමා රැජිනක් වුවත් රුක්මණි සැමවිටම සැමටම නිහතමානීව උපකාර කළ බවයි. මාලිනී ෆොන්සේකා සිනමාවේ ස්වකීය පරමාදර්ශී චරිතය වශයෙන් සඳහන් කරන්නේ රුක්මණි දේවියයි. මෙහි රටටම වැදගත් කතාවක් ඇත. එනම් කලා හැකියාව මෙන් ම මනුස්සකම ද රුක්මණි දේවිය ගැන උපරිමයෙන් තිබුණ බවය. එහෙත් අපේ බොහෝ ලොක්කන් ළඟ නැත්තේ ද එයයි. එනම් මනුස්සකමයි. මනුස්සකම නැත්නම් කොතරම් ලොක්කෙකු වුවත් වැඩක් නැත. අවසාන වශයෙන් ඔහුගේ ලොකුකමෙන් ද රටට වැඩක් නොවේ. ලොකුකම් රැස්කරගෙන යාම තුළ තමාගේ මනුස්සකම අහිමි වේ ද යන්න පරීක්ෂා කරගන්න. මා මෙය කියන්නේ සොක්කන්ටය. ලොක්කන් වීමට දඟලන සොක්කන්ටය. නැතිනම් ඔබ ලොක්කෙකු වූව ද ඔබේ ලොකුකමින් ඔබට හෝ රටට කිසිදු පලක් නොවනු ඇත.

 

Comments